මහාචාර්ය කොටගම.

මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මහා ලේඛකයො , දේශපාලන විචාරකයෝ , රූපවාහිනී නිවේදකයෝ , ගායකයෝ විශ්වවිද්‍යාල ආචාර්‍ය මණ්ඩල වල හිටියා. ඒත් ඒ මහා මිනිස්සුන්ගෙන් මට දැනගන්න ලැබුනේ හරිම අල්පයයි.



විද්‍යා පිඨයේ මහාචාර්ය අනුරාධ මහසිංහ මගේ පළමු දෙවන වසරවල ආචාර්යවරයා. Game theory සංකල්පය මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඒත් විෂය කරුණුවලටත් වඩා සාහිත්‍යකරණය , පත පොත , කාව්‍ය සාහිත්‍ය ගැන මම අදටත් පරිචයක් ලබන්නේ ඔහුගේ ඇසුරෙන්.

කළමණාකරන පිඨයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ හම්බෙන්න අවස්ථාව ලැබුනේ    Krishmal Fernando   අයියට ස්තුති වෙන්න. මම ලියපූ කෙටි කතා සංග්‍රහයක ගුණ දොස් විමසන්න මම මහාචාර්ය ජයසිංහ මුණගැහුනා. පෞද්ගලිකව මම අදටත් විශ්වාසකරන විදියට නූතන ලාංකීය කෙටි කතා කලාවේ විශිෂ්ටතම කෙටි කතාකරුවාගේ මුණ ගැසීම අංකුර කෙටි කතාකරුවෙක් උන මට මහා දෙයක් උනා.

ඒත් මට කවදාවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ  මහාචාර්ය සරත් විජේසුරිය විශ්වවිද්‍යාල භූමියේ හූවක දුර ඉදලත් මුණගැහෙන්න බැරි උනා. එහෙම මඟහැරුන මහා ගොඩක් මගේ ජිවිතේ ඉන්නවා.

අද මේ කතාවත් එහෙම කෙනෙක් ගැන. 2019-2020 වගේ කාලෙක හැම හැන්දෑවකම කොළඹ විශ්වවිද්‍යාලයෙ ග්‍රවුන්ඩ් එක වටේ පොඩි ජොග් එකක් දාන අමුතු පන්නයේ පොරක් හිටියා.  වැඩිය උස නැති , ඝන රැවුලකුයි ඒ එක්කම කැපෙන දිග කොණ්ඩයකුයි මේ මනුස්සයට ආභරණයක් වෙලා තිබුනා. සරල කොළ පාටට හුරු ඇඳුමක් දාගෙන ,හැන්ඩ්ෆ්‍රී දෙකක් කනට හයිකරගත්ත මේ මනුස්සයා කව්ද කියලා මම කීපදෙනෙක්ගෙන් ඇහුවා.

" ඒ තමා Zoology department එකේ  මහාචාර්ය සරත් කොටගම"

මට උත්තරයක් ලැබුනා.

" මහාචාර්ය ??"

ඉන්දියන් මෙගා ටෙලියක නැන්දම්මා කෙනෙක් වගේ ඒ වචනේ මම දෙපාරත් තුන්පාරක් ප්‍රතිරාවය කරා. මම එච්චර විස්මයෙන් ඇලෙන්න හේතුව සාම්ප්‍රදායික මහාචාර්යවරයෙක් සතු යැයි කියවෙන කිසිම පෙනුමක් මහාචාර්ය කොටගමට තිබුනේ නැතිකම. ඒ නොමැතිකමම ඔහු ගැන හොයන්න මාව පෙළඹවූවා.

කවදාවත් වචනයක් වත් ඔහූ එක්ක කතා කරන්න ලැබුනේ නැතත් ඔහුගේ ලේඛන මම දිගටම කියෙව්වා. ඒ කියවිම පටන් ගත්තේ මහේ විශ්වවිද්‍යාල ජේෂ්ඨයෙක් උනු Vimukthi Gunasekara  අයියා දුන්න Study of Parakeets in Sri Lanka with respect to their distribution and damage paddy field පර්‍යේෂණ වාර්තාවෙන්. ඒක මහාචාර්ය කොටගම සැහෙන්න පරිශ්‍රමයක් යොදලා ලියලා තිබුන පත්‍රිකාවක්.

කොහොමත් මගේ පරම්පරාවට සරත් කොටගම නම අමුත්තක් නෙවෙයි. ඒ මහාචාර්ය සරත් කොටගම ලෝකයට හඳුන්වා දුන්න Duttaphrynus Kotagamai නොහොත් Kotagama's dwarf toad නම් ගෙම්බා ගැන අපේ විද්‍යා පොත්වල ලියවිලා තිබිම. පස්සේ කාලෙක මහාචාර්ය කොටගම ළඟින් ආශ්‍රය කරපූ කීපදෙනෙක්ම ඔහු ගැන , ඔහු පරිසරය දකින විදිහ , පර්‍යේෂණ විධික්‍රම ගැන මට කියලා තිබුනා. ඒත් මට වචනයක්වත් ඔහු එක්ක කතා කරන්න ලැබිලා තිබුනේ නෑ.

මේ අල්ලපනල්ලේ මට මහාචාර්ය කොටගම මතක් උනේ Gemunu Jayantha Wanninayake  අයියගේ මතක පදය දැකලා.අවුරුදු ගාණකට පස්සේ ඒ සංවාදය බලලා ඉවර උනාම මට හිතුනේ.

මොන තරම් වැදගත් මිනිහෙක්ද මට මඟහැරුනේ කියලා.

මනුජය තෙන්නකෝන්


Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.