සතුට

ජිවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න කියලා පොත පතෙන් උගන්නලා තිබුනට කවදාවත් ඒක කරන්න ඕන කියලා මට දැනිලා තිබුනේ නෑ.


 ඒත් හිස්කමක් , තනිකමක් දැනෙන මොහොතක හැඟෙන්න ගන්නවා , ජිවිතේ දින සති මාස ගෙවන්න මහා ජයග්‍රහණ , දූර සැතපූම්, බර හීන, උස සම්මාන විතරක්  ප්‍රමාණවත් නොවෙන බව. 

 එහෙම හිස්වෙන ජිවිතයකට ඕන කරනවා පොඩි පොඩි සැමරුම් , සරල විනෝදය , සංකීර්ණ නොවන සංවාද , හිත නිවෙන සංගීතය , දිව හිත පිරෙන වීදී කෑමක සුවඳ , බරසාර දේශපාලන වැඩසටහන්  වෙනුවට බොළඳ චිත්‍රපටයක රස  කොටින්ම  පොඩි පොඩි සතුට පිරුණූ ඒත් පොහොසත් මතක .

මට එහෙම කෙනෙක් විදියට හැමදාම මතක් වෙන්නේ FRIENDS කතාමාලාවේ Joe Tribiani. මට දැන් හිතෙන්නේ එතන වැඩියෙන්ම ජිවිතේ වින්දේ ඔහු කියලා.

අවාසනාවකට  අපි දකුණු ආසියාතිකයෝ  විදියට ම එහෙම පුංචි දේවල්වලින් සතුටු වෙන්න පුරුදු වෙලා නෑ. මම ඔබ අපි හැමෝම එහෙමයි.

අපිට සතුට දැනෙන්නේ උසස්ම කියන විභාගයක උඩම සාමාර්ථය ගත්තම , වීදූරු කැටේ වගේ වාහනයක් පැද්දම , පාස්පෝට් එකත් එක්ක පින්තූරයක් දාලා රට සවාරියක ගියාම ,වරිග පහක සෙනඟ එක්ක මඟුලක් කෑවම , සියක් නමක් වඩම්මලා දානයක් දුන්නම. හැබැයි අපට අමතක වෙන දේ තමා ඔය මහා සතුටට පුදුම කාලයක් අපි ගතකරනවා කියන එක. ඒ කාලය ඇතුළත අපි දිරනවා , මරණයට කිට්ටූ වෙනවා , ගතෙන් සිතෙන් දුර්වල වෙනවා 

ඒ නිසා මහා සතුටු දෙකක් තුනක් විදලා මැරෙනවද ? පොඩි පොඩි සතුටු පැටව් දස දහසක් විඳලා මැරෙනවද ? තීරණය අපේ අතේ.


Comments

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.