ළාබාල සජිත්

 එරාන් වික්‍රමරත්නගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස හැසිරවූ ආකාරයෙන් නැවත නැවත පැහැදිලි වෙනවා. සජිත් දේශපාලනිකව කොයිතරම් ළඳරුවෙක්ද කියන කාරණය. ඔහු ඉතිහාසය පුරාම සිය නොහැකියාව පෙන්නුම් කළ අවස්ථා රාශියක් ඇති අතර මෙය එහි තවත් නිදර්ශනයක් පමණි.


විධායක ජනාධිපතිවරයෙක්ගේ පුත්‍රයෙක් විදියට දශක තුනකට ආසන්න දේශපාලන අත්දැකීම් කිසිවකින් සජිත් කිසිවක් ඉගෙන ගෙන නැති වග පැහැදිලි . ඔහූ එරාන් ක්‍රිකට් සභාපති ධූරයට පත්වීමට ආසන්නව වග දුටු විගස කළේ හැඟිම්බර වෙමින් ඔහූව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපිමයි. ඒ එක්කම සමගි ජනබලවේගයේ සාමාජිකත්වයද අත හරින මෙන් පණිවිඩයක් යැවීමයි. 

එහෙත් ඔහූට කරන්නට තිබුනේ එරාන් එක්වන්නේ ක්‍රිකට් සංගමයට මිසක් ආන්ඩූවට නොවන වගත් ආණ්ඩූව සමඟ කටයුතු කිරිමට තරම් දක්ෂ කුසලතා පූර්ණ පිරිස තමා සමඟ සිටින බවට ජනමතයට ඒත්තු ගැන්විමයි. ආන්ඩුවත් එරාන්ගේ පත්වීම පිළිබඳ වඩා පැහැදිලි පැහැදිලිකිරිමක් නොකළ බැවිනුත් , තමන් ආණ්ඩුවක් ලෙස Meritocracy නොහොත් සුදුස්සාට සුදුසු තැන ලබාදෙන බව අවධාරණය නොකිරිමත් නිසා එරාන්ගේ පත්කිරිමේ වාසිය සජබට ගැනිමට ඕනෑ තරම් ඉඩකඩ තිබිනි. 

නමුත් ඔවුන් එරාන්ව නෙරපිම හරහා ජනතාවට විද්‍යාමාන වූවේ එරාන් වඩා ගැළපෙන්නේ මාලිමාවට මිස සජබට නොවන වගයි. බුද්ධිමතුන් සජබ හැරයන බවට ජනතාව මත අදහසක් පැළ වීම සිදුවූවේ සජිත්ගේ තීරණයෙන්. දැන් කනෙන් කොනෙන් ඇසෙන ආකාරයට තවත් සජබ ප්‍රබලයන් දෙදෙනෙක් සජිත් හැරයන බවට ඉඟි පළ වී ඇත. එරාන් ගේ ගැටලූව සජිත් හොඳින් කළමනාකරණය කළේ නම් මෙලෙස ගැටූම් ඇති නොවන්නට හොඳින් ඉඩ තිබිනි. 

ශූර දේශපාලකයෙක් යනු ඉක්මන් තීරණ ගන්නා අයෙක් නොව කාලය ගෙන ඉවසීමෙන් නිවැරදි තීරණය ගන්නා අයෙකි. සජිත්ගේ පියා එලෙස දේශපාලනය කළඳ එයින් තඹ දොයිතුවක් සජිත් ඉගෙන ගෙන නැත. අනෙක් අතින් සජිත් තනි වී ඇති බවක් පෙනේ. ඔහූගේ පක්ෂයේ මාධ්‍ය හසුරවන්නේ කට වාචාලයට දොඩන මයික් ටයිසන්ලා කීපදෙනෙක් මිසක් ප්‍රායෝගික , දුර දකින දේශපාලකයන් නොවේ. එහෙයින් සජිත් සජිත්ව විනාශ කරගන්නේ යම්සේද , ඔහූගේ සෙන්පතියන් ඔහූව විනාශ කරන්නේ ඒ සා දහස් ගුණයකිනි.

ජනාධිපති ජයවර්ධනට හුන් ගාමිණී දිසානායක හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායකට හුන් මංගල හෝ සජිත්ට නැත. ඔහුට ඉන්නේ නාමල්‍ට කුට්ටිආරච්චි සිටින්නාක් මෙන් හිටිවන කවි කියන අයියලා කීපදෙනෙකි. 

අනුර බණ්ඩාරනායක ගියේද සජිත් දැන් යන මඟයි . එහෙයින් අගමැතිවරුන් දෙදෙනෙකුගේ එකම පුත්‍ර රත්නය වී කිරුළ පළන් කුමරු වුවද අනුර දේශපාලනිකව අවතැන් විය. නමුත් ඔහුගේ අක්කණ්ඩිය වඩා ශූර , ප්‍රායෝගික දේශපාලනික කාන්තාවක් වෙමින් මෙරට සිව්වන විධායක ජනාධිපතිනිය විය. සජිත් වැන්නකුට එය මහා සිහිනයකි. 2029 පසුව ඔහූ රේල් පීලී මාරු නොකරන්නේ නම් විල්පත්තුවටම වී සිටිම යහපති.

Comments