Monday, 6 October 2025

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.වයස අවුරුදු 91 වෙනකන් සක්‍රීයව පරිසරවේදිනියක් විදියට කටයුතු කළ ඈ ජීවන ගමනෙන් පසුගිය පළවෙනිදා නික්මුනේ , සමාජය , සත්ව සංහතිය සහ  ලෝකය වෙනුවෙන් ඇගේ සේවය සම්පූර්ණයෙන් අවසන් කිරිමෙන් පස්සේ. ඒ නිසා ඇගේ අහිමිවීම ලෝකයට පාඩුවක් කියලා සිතීම ඇගේ පැත්තෙන් යුක්ති සහගත නැහැ.

Jane ගේ සුප්‍රකටම ඡායාරූපයක්.

ආචාර්‍ය Jane Goodall ගේ Through a window - My thirty years with the Chimpanzees of Gombe පොත මට කියවන්න ලැබුනේ ටික කාලෙකට උඩදි ඒත් ඊටත් කලින් 2009 වගේ කාලයක  ඇගේ පර්‍යේෂණ කටයුතු ගැන ලියවුනු සිංහල පරිවර්තනයක් කියවීමෙන් තමා මේ සුන්දර පරිසරවේදිනියව  මම මුලින්ම දැනගත්තේ. 

ආචාර්‍ය Goodall, අවුරුදු 26 දී  ආපනශාලා සේවිකාවක් විදියට සේවය කරලා ලැබුන මුදලින් ටැන්සානීයාවට යන්නේ ඕනෑම ආකාරයක අප්‍රිකානූ සතෙක් පිළිබඳ ගවේෂණය කිරිමේ අරමුණෙන්. ඒත් ඇගේ දෛවය ඇයට ලබා දුන්නේ මිනිසාට සමීපතම ඥාතියා උනූ චිම්පන්සීන්. ඇය Gombe වනාන්තරයේ දින ,සති ,මාස ,අවුරුදු ගණන් අධ්‍යන කටයුතුවල නිරත උනා. අව්, වැසි නොසලකා කූඩාරමක තමන්ගේ තරුණ සමයම ගතකළා. ඇගේ තනියට ඇගේ අම්මා ඈ සමඟ සිටියා. ආචාර්‍ය Goodal  සැලකෙන්නේ මුලික උපාධියක් (Bsc) නොමැතිව ඍජුවම ආචාර්‍ය උපාධියට සුදුසුකම් ලැබූ උපාධි අපේක්ෂකයෙක් ලෙස. කේම්බ්‍රීජ් විශ්වවිද්‍යාල ඉතිහාසයටම එවැන්නන් සිට ඇත්තේ අටදෙනෙක් පමණි.

තම එකම පුතු සමඟ ටැන්සානීයාවේදි.

"චිම්පන්සීන් ගැන මම දැක්ක ගොඩක් දේවල් ලෝකේ මුලින්ම දැක්කේ මම..උදාහරණයක් විදියට ඔවුන් උපකරණ (Tools) පාවිච්චි කිරීම වගේ දේවල්. ඒ නිසා ඒ හැමදෙයක්ම අලුත් අත්දෑකීමක් උනා." 

ඒ තමා Gombe ජිවිතේ ගැන ඇගේ මතකය.

 ආචාර්‍ය Goodall ගේ මැදිහත්වීමෙන් කොන්ගෝවට උනූ විශාලතම සේවය  Tchimpounga Sanctuary (චිම්පන්සී අභය භූමීය) .හැත්තෑව දශකය අවසානය වෙනකොට  අප්‍රිකාව පුරාම චිම්පන්සීන් දඩයම , මව මරා සතුන් වෙන්කොට විකිණීම , අවම ප්‍රමිතීකරණයෙන් යුතු සත්වෝද්‍යාන පවත්වාගැනිම සහ සර්කස් වෙනුවෙන් චිම්පන්සීන් යොදාගැනිම බරපතළව සිදුවෙමින් තිබුනා. ආචාර්‍ය Jane , ඒ මොහොතේ නික්සන් ජනාධිපතිවරයගේ රාජ්‍ය ලේඛම් වූ ජේම්ස් බේකර් හරහා අප්‍රිකානූ රාජ්‍ය තුළ එක්සත් ජනපද තානාපති කාර්‍යාලවලට නිලනිවේදනයක් නිකුත් කළා 

ඈ Gombe වනාන්තරයට ගිය මුල් අවදියේදි ගත් ඡායාරූපයක්.

Please help Jane !!

කරුණාකර ජේන්ට උදව් කරන්න !! 

ඒ එක්කම කොන්ගෝ රාජ්‍යේ Tchimpounga අභයභූමීය ඉදිකිරිමේදි ඒ මොහොතේ කොන්ගෝව තුළ තෙල් කැණීම් සිදුකළ Conoco ආයතනයේ සහය ඈ ලබාගත්තා. මහා පරිමාණ තෙල් කැණීමේ ආයතනයක් එක්ක පරිසරවේදිනියකට ඇති සම්බන්ධය ගැන විරෝධතා ,විවේචන ඒ මොහොතේ එල්ල උනත් . ඇය පරිසරවේදිනියක් , පරිසර ක්‍රියාකාරීනීයක් විදියට ඇගේ රාජතාන්ත්‍රික , වෘත්තීමයභාවය හරහා තමන්ට අවශ්‍ය දේ කරගන්න සමත් උනා. 

අසූව දශකයේ මැද භාගයේදි සිය සටහන් පොත සමඟ චිම්පන්සීන්ව අධ්‍යනය කරන අචාර්‍ය.Goodall

අනූව දශකයේ මැද කොටසේදි , චිම්පන්සීන් භාවිතා කරමින් වෛද්‍ය පර්‍යේෂණ කිරිම සහ විද්‍යාත්මක පර්‍යේෂණ කිරිම ගැන ආචාර්‍ය Jane දැඩි විරෝධයක් දැක්වූවා. දශකයකට පස්සේ එක්සත් ජනපද පර්‍යේෂකයන්ගේ සංගමය තවදුරටත් සිය විද්‍යාත්මක පර්‍යේෂණ සඳහා චිම්පන්සීන් යොදා නොගන්නා බව නිලවශයෙන් නිවේදනය කළා. 

Gombe වනාන්තරයෙන් පැමිණි දා  සිට මියයනතෙක් ඈ කළේ දේශන පවත්වමින් ,ජනතාව දැනුවත් කරමින් , අරමුදල් එක්රැස් කිරිමයි. Roots and shoot එලෙස ඈ ආරම්භ කළ ඇගේ මුලිකතම පදනමක්. විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරගත් වැඩසටහනක් වූ මෙය අදවන විට රටවල් 75 අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වූ ආයතනයක්. මෙම සංකල්පය වටා ලොව පුරා  දරුවන් මිලියන 1.7 එක්වී සිටිනවා. ඔවුන් බොහෝ දෙනා අචාර්‍ය. Goodall ගේ වෑයම තවත් ඉදිරියට ගෙනයාමට උත්සුක වෙන තරුණ පිරිස්.  

දවසක වෙහෙස අකුරුබවට හරවන ඈ


ආචාර්‍ය Goodall අවුරුදු හැටේ සිට පුරා දශක තුනක් වසරකට දින 300-320 අතර සංචාරය කළ කාන්තාවක්. ඇය Gombe වැනි තැනක සිට තමන්ගේ පර්‍යේෂණ කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අත්‍යන්තයෙන් ප්‍රිය කළත් එලෙස සිටිම ඇය දැක්කේ ද්‍රෝහීකමක් විදියට. 

"මම අදටත් කැමති පර්‍යේෂකයෙක් විදියට කාලය ගත කරන්න.මම අප්‍රිකාවට ආවේ ඒනිසා. ඒත් ලෝකය විනාශ වෙන විදිය බලාගෙන නම් මම පර්‍යේෂණ කරන්නේ. ඒක මම ලෝකයට කරන ද්‍රෝහිකමක්." 

ඒ ඇගේ අදහස.

තවදුරටත් ලෝකයට Jane Goodall කෙනෙක් නැහැ. ඒත් අනාගත ලෝකයට එවැනි මිනිසුන් දස දහසින් අවශ්‍ය වෙවී. සතුන්ගේ නිදහසටත් , මිනිසුන්ගේ අවබෝධයටත් , පෘථිවියේ පැවැත්මටත්.






No comments:

Post a Comment

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...