පසුනොබසින ජයවර්ධන
ජයවර්ධන ජනාධිපති තරම් ලංකා ඉතිහාසයේ කතා බහට ලක්වන දේශපාලනඥයෙක් නැති තරම් .ජයවර්ධන කළ කී දෑ ගැන විවේචන , විචාර ,අවලාද , අපවාද මෙන්ම ගුණ ගැයීම් කොතරම් තිබුනද තවමත් එජාපය පවා දුවන්නේ ජයවර්ධන ගොඩනැගු ප්‍රතිසංස්කරණ මත වීමම අරුමයකි. මගේ කල්පනාව නම් රනිල් වික්‍රමසිංහ නික්ම යන්නේ යම් දිනකද , එතැන් සිට ජයවර්ධනගේ දේශපාලන ධාරාවද මෙරටින් අතුරුදහන් වී යනු ඇත.
ජයවර්ධන යනු සැබවින්ම දක්ෂ මිනිසෙකි. ඔහු විජේවර්ධන පවුලට මව් පාර්ශවයෙන් ඥාතීත්වය දරමින් උපන් අයෙක් බැවින් බොහෝ දෙනෙක් ඔහුව හැඳින්වූවේ රීදී හැන්ද කටේ තබා උපන්නෙක් ලෙසයි. එහෙත් ඔහුගේ දේශපාලන චාරිකාව කෙදිනකවත් ඒ සමානව සුමට වූවේ නැත.
ඔහූ ඩී.ඇස් සේනානායක ආණ්ඩූවේ මුදල් ඇමතිවරයා ලෙස 1948 පත් වූ බව සැබෑය. එහෙත් ඩඩ්ලි සේනානායක මියයන තුරාවට ජයවර්ධනට එජාපයේ බලයවත් තහවුරු කරගැනිමට නොහැකි විය. සර් ජෝන් ඔහුගේ විදග්ධභාවයට ගරු කළද කිසිදිනක ඔහූ රටේ නායකයකු වේයැයි විශ්වාස නොකළේය , ඩඩ්ලි සේනානායක සහ ජයවර්ධන හතළිහ දශකයේ අග සිට ප්‍රාණ සමාන මිතුරන් වූවත් කිසිදිනක ජයවර්ධනව විශ්වාස නොකළේය. සෑමවිටම ඩඩ්ලි පක්ෂයේ සේම ආණ්ඩූවේ පවා බලය සිය යටතේ තබාගත් අතර ජයවර්ධනව 1970 ඡන්ද පරාජයෙන් පසුව විපක්ෂ නායක කිරිම හැර අන්කිසිම අවස්ථාවක ප්‍රධාන තලයේ සම්බන්ධ කිරීම් වලට නොගත්තේය .
ඩඩ්ලි ස්භාවිකව සැනෙන් සැලෙන , හැඟුම්බර චරිතයක් වූ අතර ජයවර්ධන එයට හාත්පසෙන්ම වෙනස් චරිතයක් විය. ඔහූ අප්‍රමිත අදිටනෙන් , මනා සැලසුමෙන් සහ නොසැලෙන මනසින් කටයුතු කරන්නෙක් වූ අතර එය ඩඩ්ලි සෑම විටම දුටුවේ අභියොගයක් ලෙසටය . ඔවුන් දෙදෙනාගේ හිත නෝක්කාඩුව හැටේ ආණ්ඩූවේ සිට 1972 මැයි දක්වා පැවති අතර එක් මොහොතක ජයවර්ධනව පක්ෂයෙන් නෙරපීමට පවා ඩඩ්ලි සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙහෙයූවේය.
ජයවර්ධන පිළිබඳ බණ්ඩාරනායක මැතිණියගේ ක්‍රියාකලාපය සර් ජෝන්ගේ මැනීමට බොහෝ සමාන විය. ඇයත් ඇගේ ඇමති මණ්ඩලයත් ජයවර්ධන දෙස බැලූවේ ගම්බද ජනතාවගේ ආකර්ෂණය නොමැති කොළඹට සීමා වූ නායකයකු ලෙසයි.ඩඩ්ලි සේනානායක මෙන් ජනතාව අතරට යන නායකයකු ලෙස බණ්ඩාරනායක මැතිණිය ජයවර්ධනව නොදුටුවේය. නමුත් 1977 තමන් ආසන අටකට වැටී ජයවර්ධනය හයෙන් පහක බලයක් ලබාගන්නා විට ඈ සිහිනයෙන් අවදි වී තිබිනි.
ජයවර්ධන මෙරට විධායක ජනාධිපති වන විට ඔහුට වයස අවුරුදු 71 කි. ඔහූ 1988 විශ්‍රාම යන විට වයස 82 කි. 1948 සිට කල්යල් බැලූ ජයවර්ධනහට අවස්ථාවක් ලැබෙන තුරු ඔහූ දශක තුනක් එකම ඉලක්කයක් වෙනුවෙන් කැප කර තිබිනි..ඔහූ බලය වෙනුවෙන් ඕනෑම ආකාරයක පාදඩ වැඩක් කළ හැකි අන්දමේ නායකයෙක් වූවද ඔහූගෙන් උගත හැකි පාඩම් වලින් එකක් මෙයයි .
ඔහූගේම චරිතාපදානයට අනූව
"1973 අප්‍රේල් මස ඩඩ්ලි සේනානායකගේ අභාවය සමඟ එජාප නායකත්වය ජේ.ආර් ජයවර්ධන හට ලැබිනි. එවිට ඔහුට වයස අවුරුදු 66 දි. ඒ වන විට ජයවර්ධනය ලිස්සන ගසේ භාගයක් නැඟ තිබීනි."

Comments
Post a Comment