ලියූමක් !!!
මනුජය තෙන්නකෝන්
2026-4-17,
ඔබ නොදන්නා දේශයක සිට
මාගේ පැරණි පෙම්වතියින් වෙතටයි.
අපිට ජිවිතේ එක එක කාල වල පෙම්වතියෝ එහෙම නැත්නම් ආදරයන් හම්බෙනවා නේ. බදාදා හවස ගමේ ගණන් පංතියෙදි , ඉරිදා උදේ දහම් පාසලේදි , සතියේ දවස් පහේ ඉස්කෝලෙදි , කැම්පස් තේරුනා නම් කැම්පස් එකේදි , උදේ හවස යන එක බස් එකේ එහෙමත් නැත්නම් කිටි කිටියේ තද වුනු කෝච්චි පෙට්ටියෙදි , පොඩි ඉන්ටර්න්ශිප් එකකට ගියාම සුවඳ හමන ඔෆිස් එකෙදි , උණූ කෝපි සුවඳ සංගීතයක් වගේ දැනෙන කෝපි අවන්හල්වලදි එකී මෙකී නොකී තැන්වලදි පෙම්වතිය හම්බෙනවා .අපි ඔවුන්ට ප්‍රේමය ප්‍රකාශ කරනවා , ඔවුන් හා ප්‍රේම කරනවා , කොටින්ම තමන්ගේ ජිවිතේ එක කාල පරිච්ඡේදයක් තමන් නොවන තවත් අයෙක් එක්ක අපි බෙදාගන්නවා.
දැන් ඔය බොහෝ ප්‍රේම සම්බන්ධතා කාලෙකින් නතර වෙනවා නේ. ආදරණීය සංක්‍රාන්ති සමය නිවෙනවා. ඔවුන් එක්ක ජිවිතෙ බෙදාගත්ත මොහොත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් , දුකෙන් හෝ සතුටෙන් , කඳුළකින් හෝ සිනහවකින් අවසන් වෙනවා. නැවත කිසිදින පෙර වූ අන්දමට කිසිවක් සිදු නොවෙන ප්‍රේමණීය හැඟුම් හිඟවෙන කාලයක් එළැඹෙනවා. ඔබ ඔබේ පාරකත් , ඈ ඇගේ පාරකත් ඇවිද යන්න පටන් ගන්නවා. ප්‍රේමයේ ගිනි දළු නිවෙනවා.
හැබැයි සමාජ මාධ්‍යයේ පිහිටෙන් ඒ මඟහැරුන පෙම්වතියෝ නැවත අපට පේන්න ගන්නවා. පෞද්ගලිකව , දැන් මම ඒ ආදරය කරපු , හැඟිම් - සිතුවිලි බෙදාහදාගත්ත උදවිය ඔවුන් තෝරගත්ත පාරවල් දිගේ ඇවිදගෙන ගිහින් තියෙනව වග දකිනවා .
අයෙක් විවාහා වෙලා අලුත් ජිවිතයක් ගත කරන හැටි , තවත් කෙනෙක් මවක් වෙන්න හීන දකින හැටි , තවත් කෙනෙක් තම සැමියා එක්ක විදෙස් රටක ජිවත් වෙන්න සැලසුම් කරන හැටි , තවත් කෙනෙක් තම පෙම්වතා එක්ක සිනමා පටයක් , රස කෑම වේලක් රස විඳින හැටි , තවත් කෙනෙක් සුන්දර සවසක කලපුවක් අසබඩ විවාහා යෝජනාවක් කරගන්න හැටි , තවත් කෙනෙක් තමන්ගේ හුරුබුහුටි නිවසේ ළා අඳුරක පරණ සංගීතයක් එක්ක තමන්ගේ චිත්‍ර , ඡායාරූප ,එක්ක ජිවිතේ සුවය විදින හැටි , තවත් කෙනෙක් තමන්ගේ සැමියා එක්ක පොඩියට පටන් ගත්ත ව්‍යාපාර දියුණු කරගන්න වෙහෙසෙන හැටි , තවත් කෙනෙක් තමන්හේ පෙම්වතා එක්ක සෞම්‍ය උදෑසනක හයික් එකක් යන හැටි .
මේ හැම දේම මම අනුපිළිවෙළට දකිනවා. මට ඒ දේවල් එක්ක සිතුවිලි දෙකක් හැඟෙනවා. කාලය සහ ජිවිතය.
කාලය ගතවෙනවා. ජිවිතය වෙනස් වෙනවා. ආදරය වෙනස් වෙවී ඒ දෙක ඔස්සේ ගලනවා. මට ඔවුන් දකිනකොට සතුටක් දැනෙනවා. ඊර්ශ්‍යාවකින් , කෝපයකින් , වේදනාවකින් හෝ පසුතැවිමකින් කිළිටි නොවුන සතුටක්. ඔවුන්ගේ ජිවිතේ යම් කාලයක කොටස්කරුවෙක් උනු සැබෑ සතුටක්. පිවිතුරු සන්තෘෂ්ටියක්.
මීට විශ්වාසි මනුජය තෙන්නකෝන්.

Comments
Post a Comment