හැමෝටම බොතම් කෙනෙක් වෙන්න බෑ. පාන්දර වෙනකන් අඩි පුඩි ගහලා උදේ තියෙන මැච් එකේ ලකුණු පනහක් එක්ක විකට් පහක් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද ? සර් ඉයන් බොතම් ඒ දෙකම කරපූ කෙනෙක්. බොතම් මොනවගේද කියලා තේරුම් ගන්න ඇන්ඩෲ ෆ්ලින්ටෝෆ් ,බෙන් ස්ටෝක්ස් දෙන්නව බලන්න. ඒ තමා බොතම්ගේ මිනි වර්ශන්ස් දෙක.
1981 අළු බඳුන තරගාවලියේ තුන්වෙනි තරගය බොතම්ව උඩටම උස්සලා තිබ්බ තරගයක්. ඕස්ට්‍රේලියාව කාසිය වාසිය දිනලා ලීඩ්ස් තණනිල්ලේ පන්දුවට පහර දෙන්න තීරණය කරන්නෙම සුද්දන්ට බැටේ දෙන්න හිතාගෙන. සැලැස්ම සාර්ථකයි ඕස්ට්‍රේලියානූ පළවෙනි ඉනිම 401 යි කඩුලු නමයයි. හැබැයි අපේ වීරයා බොතම් ලකුණු 95 ට කඩුලු හයයි. ඉනිම අත්හිටවලා කිම් හියූස් එංගන්තයට පන්දුවට පහර දෙන්න ආරාධනා කරන්නේ ඉනිමකින් තරගය දිනාගෙන බර්මින්හැම් තරගයට පුලුවන් ඉක්මනය දුවන්න.
පිට පිටම දෙවෙනි වතාවටත් එංගලන්තය ,ඕස්ට්‍රේලියාව ඉස්සරහ අසරණයි. පළවෙනි ඉනිමට ලකුණු 174 යි. හැබැයි , අපේ වීරය තාම කෙලින්. බොතම් පන්දු 58 ට ,හතරේ පහර අටයි ලකුණු 50 යි. දැන් නම් සෙල්ලම ටිකක් භයානකයි. ඉනිමක පරාජයෙන් බේරෙන්න ක්‍රිකට් උපන් රටට තවත් ලකුණු 227 අවශ්‍යයි.
ඕස්ට්‍රේලියානූ නායක කිම් හියුස් එංගලන්තය නැවත පන්දුවට පහර දෙන්න දාන්නේ ඒ නිසයි.ඇරඹුමම කඳුළක් වෙලා ඩෙනිස් ලිලී පන්දු තුනකින් ග්‍රැහැම් ගූච්ව දවාගන්නවා. එංගලන්ත ලකුණු පූවරුව 0-1. මගේ ප්‍රියතමයා ජෙෆ් බොයිකෝට් පන්දු 141 ට මුහුණදීලා ධෛර්‍යසම්පන්න ලකුණු 46 යි. පීටර් වයිලි හැරෙන්න අනෙක් එංගලන්ත පිතිකරුවෝ එදා ගැහූවේ ටෙලිෆෝන් නම්බර්ස් විතරයි. බොබ් ටේලර් දැවෙනකොට එංගලන්ත ලකුණු පුවරුව 135-7. දිනුම කෙසේවෙතත් ඉනිමකින් තරගය පරාද නොවෙන්න නම් එංගලන්තයට තව ලකුණු 92 ඕන. කඩුල්ලේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසෙලී ඉන්නේ අපේ වීරයා. ඉයන් බොතම් .
පන්දූ 148 , නොදැවුනු ලකුණු 149 යි. හතරේ පහර 27 , එක හයේ පහරයි. ඒ හැමදේකටම බොතම්ට ගත උනේ මිනිත්තු 240 යි. වෙන්නේ මොකක්ද කියලා ඕස්ට්‍රේලියානූවෝ හරිහැටි තේරුම් ගන්නකොට එංගලන්තය ලකුණු 129 ඉලක්කයක් ලකුණු පුවරුවේ තියලා ඉවරයි.හිස් ආවරණයක් නැතුව බොතම් එංගලන්ත ප්‍රේක්ෂකයන්ට ගිණිකෙළ සංදර්ශනයක් පෙන්නූවේ නොමිලේ. පිට ඉන්නෙන් පිටත පතිත උනූ එක පන්දුවකටවත් බොතම් නෙවෙයි සමාවක් දුන්නේ. එංගලන්ත දෙවෙනි ඉනිම ලකුණු 356 යි. කෙන්ට් වේග පන්දූ යවන්නා උනු ග්‍රැහැම් ඩිලීගෙන් මසුරන් හා සමාන ලකුණු 56 යි. ඩීලී ,බොතම් එක්ක එකතුවෙලා අටවෙනි කඩුල්ලට ලකුණු 117 ගැහූවා. තරගේ උඩුයටිකුරු උනේ ඒ සබඳතාවයෙන්.
අවසන් ඉනිමේ ලකුණු 130 ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 36 යි එක පන්දුවක් තුළ ලකුණු 111 සීමා උනේ බොබ් විල්ස්ට පිං සිදුවෙන්න. දැන් දෙව් මව් තුරුළේ ඉන්න වේග පන්දූ යවන බොබ් විල්ස් ලකුණු 43 ට කඩුලු අටයි. අපේ වීරයා පන්දුවාර හතයි , ලකුණු 14 යි කඩුල්ලයි. එක මොහොතක කඩුලු දෙකකට ලකුණු 56 ගහලා හිටපූ ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් කඩුලු අටම ලකුණූ 55 දැවුනේ ලීඩ්ස් ජයග්‍රහණය එංගලන්තයට හිමිකර දෙමින්.
ක්‍රිකට් ඉතිහාසයේ Follow on (පිට පිට ඉනිමක පරාජයකින් බේරීමට පන්දුවට පහර දීම.) අවස්ථාවකින් තරගයක් ජයග්‍රහණය කළ දෙවෙනි අවස්ථාව මේක. අදටත් පැරණි ක්‍රිකට් ලෝලීන් කතාවෙන Miracle of Headingley තරගය තමා මේ දෙවෙනි අවස්ථාව.
ඡායාරූපය : නොදැවුනු ලකුණු 149 පස්සේ හෙඩින්ලී ක්‍රීඩාගාරයේ ඉදන් සිගරට්ටුවක් බොන සර් ඉයන් බොතම්.
+++++++++++++
ReplyDeleteක්‍රිකට් ගැන මේ කාලේ වැඩි උනන්දුවක් නැහැ