මට ඕන ගුරුවරයෙක් වෙන්න.
ගුරුවරයෙක් ?
ඔව් !! ගුරුවරයෙක්.
මොන ජාතියේ ගුරුවරයෙක්ද ?
මොන ජාතියේද ?
ගණිතය ,සිංහල , විද්‍යාව වගේ උගන්වන ගුරුවරයෙක් වෙන්නද ? නැත්නම් ඉංග්‍රීසී ,භූගෝල විද්‍යාව , ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් වෙන්න ? එහෙමත් නැත්නම් සංගීතය , නැටූම් , නාට්‍ය උගන්වන ගුරුවරයෙක් වෙන්නද ?
නෑ මට ඕන ගුරුවරයෙක් වෙන්න.වර්තමානයවත් අනාගතයවත් නොදැන අතීතයේම පල්වෙලා කුණුවෙන ඈත දූර ගමක දරුවන්ට ගුරුවරයෙක් වෙන්න.
රෑට තරු පිරුණූ පැහැදිලි අහසක දඩයක්කාරයා , මහා වලසා වගේම යාන්තමින් දැල්වෙලා නිවෙන ඉරබටූ තරුව කව්ද කියලා , හැතැම්ම මිලියන ගාණක දූරින් දිලිසෙන තරු රටා බලලා උගන්වන පුළුවන් ගුරුවරයෙක් වෙන්න. ඒ තරු රටා ඇතුළේ කිමිදෙන ග්‍රීක පුරාවෘත දරුවන්ට කියාදෙන ගමන් මනුෂ්‍යයෙක්ව ඉපිද දේවියෙක් වූ "හර්කියූලීස්" ගේ නොසිඳෙන එඩිය ගැන කතාන්දර කියන ගුරුවරයෙක් වෙන්න.
ඈත සීත රුසියාවේ සාර් පාලනය බිම දමා පාගමින් ජනතාවගේ පාලනයක් පිහිටවූ කල , " අවූරෝරා"නෞකාවෙන් පිටවූ වෙඩි හඬේ ගැඹුර දරුවන්ට කියාදෙන අන්දමේ ගුරුවරයෙක් වෙන්න.එය විප්ලවයක් බවත් හුදෙක් බඩගින්නට පාන් ඉල්ලමින් කල සටනක් නොවන බවත් , උගන්වන පුලුවන් තරමේ ගුරුවරයෙක් වෙන්න.
ඇමෙරිකා එක්සත් ජනපදය යනූ සුද්දන්ගේ නිජබිමක් නොවන බවත් , බොහෝ කලකට ඉහත , පරිසරයේ සුවඳ ජීවනාලිය වූ රතු පැහැති මිනිසූන් එහි වාසය කළ බව කියා දෙන ගුරුවරයෙක් වෙන්න. එක අතකින් බයිබලයද , අනෙක් අතෙන් බයිනෙත්තුවද ගෙන ආ සූද්දන් , රතු මිනිසුන්ගේ අතීතය කීතූ කීතූ කළ අන්දම උගන්වන ගුරුවරයෙක් වෙන්න.
රටවැසි පනතින් සහෝදර දමිළයන් , අන්රටක සිට පැමිණියාවුන් මෙන් සලකා දහඩිය දමමින් පිළිස්සෙන උතුරට , නැගෙනහිරට කොන් කොට මහා යුද්ධයකට ඇවිද ගිය ආකාරය හැඟිම්බර නොවී උගන්වන අන්දමේ ගුරුවරයෙක් වෙන්න. අන්ධකාරය රජ කෙරූ " කලූ ජූලියක " මුල මැද අග සියල්ලම අපක්ෂපාතීව උගන්වන ගුරුවරයෙක් වෙන්න. ජාතියට , ආගමට , වර්ණයට ඉහළින් මනුෂ්‍යත්වයම පමණක් රජයන බව දරුවන්ට ඒත්තූ ගන්වන ගුරුවරයෙක් වෙන්න.
නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ කණ්ඩායම මංගල වතාවට සඳ තරණය කළ බවත් , එඩ්මන් හිලරි මුල්ම වරට එවරස්ට් තරණය කළ බවත් ,කැප්ටම් මැතිව් වෙබී ඉංග්‍රීසී ඕඩය හරහා පළමුවරට පිහිනූ බවත් , මහා බ්රිතාන්යේ රොජර් බැනින්ස්ටර් මිනිත්තූ හතරට පෙර හැතැම්මක් දුවා අවසන් කළ ලොව පළමුවැන්නා වූ බවත් දරුවන්ට කියාදෙන ගුරුවරයෙක් වෙන්න.
සිහින් සීතලක් තැවරුණූ , රහස් කප්පරක් සඟවන සුළඟත් , වසර දහස් ගණනක කතාන්දර දැන දැක මුනිවත රකින වෘක්ෂලතාවත් , කඳු සිරසකින් පැන නැඟී , වක්කලම් ගැන්වී , පෙණ බුබුළු මවමින් ඇදෙනා ගංඟාවත් , අප ගන්නා හුස්ම මෙන්ම එක හා සමාන බව උගන්වන ගුරුවරයෙක් වෙන්න.
මට ඕන ඒ ජාතියේ ගුරුවරයෙක් වෙන්න.
මනුජය තෙන්නකෝන්.
ප:ලි :- ඡායාරූපය අන්තර්ජාලයන්
ඉතින් ඒ හීනයට මොකද වුනේ
ReplyDeleteIt's still there Ajith.
Delete