Skip to main content

Once a minister - now a prisoner

මහින්දානන්ද දවස් තුනකට කලින් අවුරුදු 20 ඇතුළට ගියා. පේන විදියට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මහින්දානන්දගේ අභියාචනය විසික් කරොත් ,එයාගේ අන්තිම කාලේ කුරු ඇතුළෙම ගෙවෙයි.දැනට නම් අකුරු ගැළපිලා තියෙන විදියට මේක තමා මහින්දානන්දගේ තීරණේ.ඒකට නීතීමය හේතුව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකින් තීරණය දුන්න නිසත් , අභියාචනාධිකරණයට නොයා කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල හරි පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉස්සරහා මේක නැවත අහන නිසාත් , දඬුවම  අවුරුදු 20 ක් අයින් කරලා ගෙදර එවයි කියලා හිතන්න සෑහෙන  අමාරුයි.අනික මහාධිකරණයෙන් වැරදිකරුවන් කරපු නිසා මහින්දානන්දට ඇපත් නෑ. බන්ධනාගාරයේ ඉදන්ම නඩුවට එන්න වෙන්නේ.


  මහින්දානන්ද කියන්නේ ඉතින් අපේ ගමේ මිනිහා. නාවලපිටියේ මනුස්සයා. පස්සේ කාලෙක මම කොහේ හරි ගිහින් ගම නාවලපිටිය කීවම මගේ මිත්‍රයෝ ඇහූවේ


 "මහින්දානන්ද උඹලගේ පැත්තේ නේද "


 කියලා. කොටින්ම මහින්දානන්ද නම් නාවලපිටිය , නාවලපිටිය නම් මහින්දාන්ද වගේ ලයින් එකක් තිබ්බේ. 

මට මහින්දානන්දව මුලින්ම හම්බෙන්නේ අනුරුද්ධේ තිබුන වසර අවසාන තෑගී ප්‍රධානෝත්සවයේ ආරාධිත අමුත්තා විදියට. ඒ නම මම මුලින්ම ඇහුවෙත් ඒ දවසේ.  එදා ඉදන් පහුගිය මහමැතිවරණයෙන් මිනිහා පැරදෙන කන් නානාප්‍රකාර තැන්වල මම මිනිහව දැකලා තියනවා.ඒ හැමතැනකම මහින්දානන්ද  වටේ  හෙංචයියෝ රැළක් හිටියා. මළගෙදර , දානේ ගෙදර, අරකේ මේකේ කොහේ ගියත් ඒ හෙංචයියෝ "අපේ ඇමතිතුමා "කියලා දංකුඩ කකා හිටියා.


මහින්දානන්දගේ මේ කුක්කෝ සෙට් එක මාර්කට් එකේ ඉදන් කඩේ පොළේ හැමතැනම තමන්ගේ ප්‍රමාණයෙන් බලය විහිදවගෙන හිටියා. මාර්කට් එක හදනකොට එතනින් කඩ ප්‍රමාණයක් , සාප්පූ සංකීර්ණයක් හදනකොට එතනින් සාප්පු දෙකක් තුනක් , ක්‍රීඩාංගණයක් හදනකොට ක්‍රීඩා භාණ්ඩ අලෙවි වෙළඳ සැලක් , බාර් පර්මිට් එකක් , සතොස සභාපතිකමක් , කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකක් , හොටෙල් එකක්  ඒ මොකුත් නැත්නම් ත්‍රී වීලර් පාර්ක් එකක ස්ලොට් එකක් හරි  මහින්දානන්ද එයාගේ තග් ගෝලයන්ට බෙදුවා. ඒ කාපූ කෑමට කෘතගුණ විදියට නාවලපිටියේ අයියලා මහින්දානන්ද එක දිගට අවුරුදු විස්සක්  උඩම උස්සලා තිබ්බා. හැමදාම පාර්ලිමේන්තු එව්වා. වෙන එකෙක්ට දේශපාලනය කරන්න තියා අන් මතයක් දරන්න බැරි තැනට නාවලපිටිය පත් කරා. බලය ,ප්‍රචණ්ඩත්වය ,මැර බලය මැදින් මහින්දානන්ද ඉන්ද්‍රඛීලයක් වගේ නොනැසී කාලාන්තරයක් හිටියා.


මහින්දානන්දත් ,2005 චන්ද්‍රිකාගෙන් ගැළවිලා රාජපක්ෂගේ ඔඩක්කුවට පැනලා ගත කරපූ ජනාධිපති වාර දෙකේදිම ආණ්ඩූවේ ලොකුම සයිස් ඇමති උනා.විදුලි බල , ක්‍රීඩා ,කෘෂිකර්ම වගේ බරපතළම අමාත්‍යයංශ ටිකක් එයා කරා. ඒ ඉන්නකන් නාවලපිටියේ එයාගේ ගෝල බාලයන්ගෙන් මිනිස්ට්‍රීස් ඔක්කොම පිරෙව්වා. මම කියන්නේ බොරුවක් වගේ නම් ගිහින් බලන්න විදුලි බල මණ්ඩලයේ , ක්‍රීඩා අමාත්‍යංශයේ මෙලෝ කර්‍යභාරයක් නැතුව පිනට කකා පඩි ගන්න මහින්දානන්දගේ ගොට්ටෙක් නැද්ද කියලා. 


 කොහොමෙන් කොහොම හරි  ගෝඨාභයගේ ආණ්ඩූවේ ,රාජපක්ෂ පවුලෙන් පිට ගෝඨාභය ගනුදෙනු කරපූ එකම ඇමති උනේ මහින්දානන්ද. ඒ ලෙවල් එකේ ඉදලා බන්ධනාගාරේ ප්‍රින්ටින් මැෂින් එකක් ඔපරේට් කරන්න වෙනවා කියන්නේ එක අතකින් ලංකාවේ Judiciary (අධිකරණය) එහෙම නැත්නම් නීතීය හා සාමයේ ආධිපත්‍ය තහවුරු වීම කියලා සාමාන්‍ය ජනතාවට සතුටු වෙන්න පුලුවන්. කාගේ කාලේ නඩුව දැම්මත් මේ ආණ්ඩුව නොහිටින්න මහින්දානන්ද මේ කපේට හිරේ යන්නේ නෑ කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට තේරෙන තර්කයක්.


වැදගත්ම දේ මාලිමාවට හෝ ජනාධිපති දිසානායකට බලයක් ලැබුනේ මහින්දානන්ද වගේ මිනිස්සූ ඇතුළට යවන්න විතරක් නෙවෙයි. මහින්දානන්දගේ සාම්පලේ දේශපාලන සංස්කෘතියම අවසන් කරන්න. මහින්දානන්දගේ නාවලපිටියේ උන්නූ දේශපාලන කුක්කන්ගේ නූගත් , අමන දේශපාලන භාවිතයට තිත තියන්න.ඒ එක්කම දේශපාලනේ ඉන්න , ඉඳපු සහ එන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕන කෙනෙක්ට ඇඟ හිරිවැටෙන තරමේ දඬුවමක් මේ ලැබුනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයට ලැබෙන තීරණය අනුව අපිට ඒ දඬුවමේ බරපතළ බව මැනගන්න පුලුවන් වෙයි. ඒත් මුල්‍යමය වංචා විශේෂයෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතයට කිසිම සමාවක් නැත කියන පණිවිඩය රාජ්‍ය සේවයටම යවාගන්න පුලුවන් උනා මේ නඩු තීන්දුවෙන්.


අවුරුදු විස්සක් !! දශක තුනක තරුණ ජිවිත , මහජන මුදල් නාස්ති කරපූ මහින්දානන්දට මේ අවුරුදු විස්ස ඇතුළෙන් ඒ කරපූ පව් ටික ගෙවාගන්න පුලුවන් වෙයි .ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ මේ ෆයිල් එකත් වහලා දාන්න ජනාධිපති දිසානායකට පුලුවෙන් වෙයි.


මනුජය තෙන්නකෝන්

2025-06-01


Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...