ආචාර්ය දිලීප විතාරණ එක්ක ගැමුණු කරන සාකච්චාවක් යාන්තමින් ඇහැ ගැටිලා බලලා අහලා ඉවර කරේ පහන් නිවෙන හැන්දෑවේ. පොඩ්කාස්ට් එකේ ටයිටල් එක දැක්කම කතාව "රාවණාට" ලඝු වෙනවා වගේ දැනුනට , දිලීප හොඳ කාරණයක් මතු කරනවා සාකච්චාවෙදි .මට පෞද්ගලිකව ඒ තත්පර විස්සේ කොටස විමලසුරේන්ද්‍ර මහත්මයාගේ උපුටා ගැනිමටත් , රාවණා පුරාවෘතය පිළිබඳ කෙරෙන විස්තරයටත් එහා ගිහින් දැනුන දෙයක්.
දීලිපගේ උපුටා දැක්විම :
"මාත් එක්ක මොරටුවේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් කරපූ 24 දෙනාගෙන් ලංකාවේ ඉන්නේ දෙන්නයි අනෙක් අය එක්කෝ කැන්ඩාවේ ,නැත්නම් ඕස්ට්‍රේලියාවේ. "
මේ ප්‍රකාශය කොයිතරම් බරපතළද කියලා මට තේරුනේ , කොළඹ විශ්ව විද්‍යාලයේ මාත් එක්ක හිටපූ මගේ මිත්‍රයන්ගෙන් කී දෙනෙක් පහුගිය අවුරුදු දෙක තුළ ලංකාවෙන් පිට උනාද කියලා කල්පනා කරාම. ඔවුන් එක්සත් ජනපදයෙ , ඕස්ට්‍රේලියාවේ ,කැනඩාවේ , මහා බ්‍රිතාන්‍යයේ ,සිංගප්පූරුවේ , ජපානයේ ,ප්‍රංශයේ,ජර්මනියේ සහ පින්ලන්තයේ තමන්ගේ ජිවිත පටන් අරගෙන ඉවරයි.
ඔවුන් බොහෝ දෙනෙක් නැවත ලංකාවට පැමිණෙයිද කියන එකත් සැකයක්. ඒ වගේම ඒ සියලූ දෙනාම තමන්ගේ විෂය පථයන්වල ප්‍රාමාණික දක්ෂයින්. ගණිතය , භෞතික විද්‍යාව , දත්ත විද්‍යාව සහ රසායනික විද්‍යාවේ දක්ෂයින්.
මෙතන හොඳම කොටස දිලිප ,ඔහුගේ සමකාලීනයන්ගේ බුද්ධි ගලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජිවිතේ අඩ සියවසකුත් ඉක්මවූවාට පස්සේ. ඒත් මේ කතාව කියන මගේ වයස තාම අවුරුදු විසි හතයි. ඒත් දෙපැත්ත හැරිලා බැලුවම මගේ මිත්‍රයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ජිවිතේ තුන්වන දශකය එළැඹෙන්නත් කලින් රටෙන් පිට වෙලා.
මේකට හේතුව දිලීප තර්කානූකූලව පැහැදිලී කරනවා වචන කිහිපයකින්.
" ලංකාවේ විශ්වාසයක් තියනවා උසස් තාක්ෂණයක් භාවිතා වෙලා සිදුවෙන විශාල ව්‍යාපෘති සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ යම් ඉහළකට ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් නතර වෙන්නේ Admin positions වල."
මොකක්ද මෙතන දිලිප මේ... කියන්න උත්සහ කරන්නේ ?
ඇත්තටම ලංකාවේ බුද්ධි ගලනය ආකාර දෙකකින් වෙනවා. පළමුවැන්න External brain drain. හරියට මගේ මිත්‍රයෝ වගෙ. අනෙක් එක Internal brain drain. උදාහරණයක් විදියට ආයතනයක දක්ෂ දත්ත විද්යඥ්දයෙක් ඉන්නවා කියමූ, ඔහුගේ තාක්ෂණික හැකියාව යොදා ගන්න තරම් ව්‍යාපෘතියක් ආයතනයේ සිද්ධ වෙන්නේ නැත්නම් කාලයත් එක්ක නිකන්ම ඔහුව Manegerial position (කළමණාකාර ධූරයකට) එකකට තල්ලු වෙනවා. ඒකට ආයතනයෙන් නමකුත් දෙනවා Team lead , Technical lead කියලා.
මේ නිසා ලංකාව වගේ තැනක දක්ෂ මෘදූකාංග ඉංජිනේරුවෝ , සිවිල් ඉංජිනේරුවන් , මුල්‍ය විශ්ලේෂකයන් (Financial Analyst) ඔවුන්ගේ වෘත්තිය ජිවිතේ නතර වෙන්නේ බොහෝ දූරට තමන්ගේ හැකියාව කේන්ද්‍ර උනූ එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනව නම් Experties area එකෙන් පිට තැනක ඉදන්. කොටින්ම වෛද්‍යවරුන්ටත් , විශ්ව විද්‍යාල ආචාර්වරුන්ටත් මේක පොදු කතාවක්.
දැන් ඒ තර්කයෙන්ම අපට පැහැදිලි කරගන්න පුලුවන් ඇයි මගේ මිත්‍රයෝ රටෙන් පිටවෙන්නේ කියලා.
ඔවුන්ට වැඩ කරන්න තරම් විශාල ව්‍යාපෘති හෝ Research institutes ලංකාවේ නැහැ . ඉතින් ඔවුන් ,ඔවුන්ගේ දැනුම සහ නිපුණතාවය ඔහේ කැරකැවෙන පුටුවකටයි , වායූසමීකරන යන්ත්රයකයි කොටු නොකර ඊටත් වඩා ලොකූ හීනයකට ඉගිලිලා යනවා.
එහෙම ඉගිලෙන උගතුන්ව නවත්තගන්න කිසිම උත්සහයක් නොදරපූ දේශපාලන අධිකාරියයි අනෙක් බලධාරීනූයි සංවිධායකයෝ නැති අවුරුදු උත්සවයක කණා මුට්ටි බිඳින උං වගේ ඔහේ මුට්ටි බිඳ බිඳ ඉන්නවා.
මනුජය තෙන්නකෝන්
2025-02-11
No comments:
Post a Comment