Skip to main content

දයාබර මිතුරනි සැතපුම් කණුවක් ඉදිරියෙනි !!!!!!

 මම උපන්නේ 98 ජනවාරියේ. මගේ ඉස්කෝලේ ජිවිතේ ඉවර කරේ 2016 අවුරුද්දේ අගෝස්තු මාසේ. මම කැම්පස් එකෙන් එළියට බැස්සේ 2022 ජුනි වල. මේ කාල සීමාව දිහා බැලුවොත් මම කවදාවත් නොදැක්ක , නොවින්ද , නොඅහපු යුග කීපයක්ම තියනවා . ඒ හැමදේකින්ම මට අතපසූ උනා නේද කියලා හිත කීරී ගැහෙන තරමේ වේදනාවක් දැනෙන  යුග තියෙන්නේ එකයි. ඒ තමා බ්ලොග් අඩවි ලියන්නන්ගේ  යුගය. 

ලංකාවේ බ්ලොග් සම්ප්‍රදායක් තිබුනයි , එයින් අංකූර ලේඛකයින් ප්‍රබෝධමත් උනයි , ඒයින් නවතාවෙන් යුත් පාඨක පිරිසක් බිහිවුනයි යන කාරණා අතීතය විසින් මුද්‍රා තබා ඇත්තේ ය. 

කොර්‍රෝනා හා ලෝකයක් සිර කඳවුරුගතව සිටිනා සමයක පෙර කී අතපසූ වූ ව්‍යායාමයේ නිරත වීමේ අභිලාසය පෙරදැරි කොට මා බ්ලොග් පඩංගුවක් ලිවීම ඇරඹුවෙමි . වෛරසයෙන් බැට කමින්  ලෝකයක් උදාසීන වන්නා වූ සමයක  මා නොසිඳෙන ජීවයකින් යුතුව අත්දැකීම් අකුරු කරන්නට විය. 

මාගේ ඩිජිටල්ගත ලේඛනයේ ඇරඹුම එයයි එයින් අනතුරුව පසුකලක How I see නම් තවත් බ්ලොග් අඩවියක් ඇරඹූ අතර ඔබ මේ කියවනා පයිංඩයද ජාලගතවන්නේ How I see හරහාය. 

දැන් මා මෙහි සැතපුමක් පසුකර වගත් මින් ඉදිරියට යමක් ඇරඹිය යුතු යැයි කල්පනාවෙන් යුතුව මෙසේ ලියමි.බ්ලොග් අඩවියෙන් අරඹා කලක් විජය පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙසත් , Roar හි පරිභාහිර ලේඛකයක් ලෙසත් කලක් ක්‍රියා කර ඇති බැවින් ඒ සඳහා මා සතුව විභවයක් ඇත්තේ ය. එබැවින් How I see  වෙනස් මුහුණුවරක් හරහා පැමිණිමේ උවමනාව මෙයින් ඉටු කරගනිමි. 

ඩිජිටල් වේදිකාවේ තාක්ෂණික වෙනස් කම සිදුවන තෙක් සතිපතා තීරු ලිපි පන්නයේ ලිපියක්ද , කලාව සාහිත්‍යය හෝ ක්‍රීඩාවේ ප්‍රාමාණිකයකු සමඟ සිදුකරන්නා වූ සරල පිළිසඳරක්ද වෙනුවෙන් ඉදිරියට මෙහි ඉඩ තබමි.

පාඨකයන්ගෙන් සහ අනුශාසනාවෙන් තොර ලේඛක භුමිකාවක් නොමැත්තේ ය. එබැවින් ඔබේ අදහස් අන් කිසිවකටත් වඩා මා අගය කරන්නෙමි.


මීට හිතැති ...

මනුජය තෙන්නකෝන් 


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...