මේක මම හරියටම අවුරුදු 4 ට කලින් මුහුණුපොතට ලීව හෑල්ලක්.කොළඹ දකින්න හිතලවත් නොතිබුනු , ගමේ ගොඩයෙක්ගේ අදහසක් , නොමේරූ පරිණත නොවූ මතයක් , ආගමික ධාර්මික අධ්‍යාත්මික මනුෂ්‍යයින්ගේ ගැරහුමට ලක්වන කරුණක්, නිරාගමික වෑයමක්. යාන්තමින් අවුරුදු විස්සක් පිරුණු මාව මිත්රයින් , වැඩිහිටියන් සේම ගුරුවරුන් පවා දෝෂාරෝපණයට ලක්වූ ලිපියක්.
සිව් වසරක් ඉක්මවූ අද දිනද මාගේ මතයේ වෙනසක් නොමැත. ආගම රාජ්‍යය පාලනයෙන් ස්වායත්ත වන්නා සේම ආගම ජන මතය නිර්මාණය කිරිමෙන් පවා වෙන්විය යුතුය . එය එසේ නොවේ නම් රාමුගත , සංස්කෘතිකගත , ජනේලයෙන් පිටත නොබලන ,කුණූ වී පල් වී යාවත්කාලීනත්වයක් උරුම නොකියන්නා වූ ජනතාවක් වීම නොවැළක්විය හැකි කරුණකි.
ඔබ කුමන මතය දැරූවද , කුමන ආගමික දර්ශනය හැදෑරුවද , කුමන නිකායේ වුවද ,
"ඔබගේ විමුක්තිය සපයා ගත යුත්තේ ඔබම පමණි."
මරණින් පසුව ලබාදෙන්නා වූ පාංශකූලයකින් එකී පතන්නා වූ විමුක්ති අත්නොවන්නේ ය. ලොව පවත්නා සදාතනික දහම සේම සත්‍යයද එයයි .
ජයන්ත චන්ද්‍රසිරි ගේ ගරිල්ලා මාර්කටින් චිත්‍රපටයට අනූව
"ආදරය අවසන් වෙන්නේ රැවටීමෙන් හැබැයි දේශපාලනය ආරම්භ වෙන්නේ රැවටීමෙන්." එහෙත් වර්තමානයට අනූව නම් "ආගමික ව්යාපාරකරණයද ඇරඹෙන්නේ රැවටීමෙන්."
ප.ලි : පහත ලිපිය මින් සිව් වසරකට ඉහත ජංගි කොටයක් හැඳ සුහුඹුල් තරුණයකුව සිටි මා රචනා කරන ලද්දකි. පහත ඇමිණු ඡායාරූපය සහ මෙම සටහන අතර සම්බන්ධයක් නොමැත. එය ඇමුණුවේ අලංකාරයට පමණි.
සල්ලි වලට පින
"මං නම් ලබන අවුරුද්දෙන් පස්සේ පංසල දියුණු කරන් නෑ"වෙන කල්පනාවක හිටිය මට එක පාරටම ලොකු හාමුදුරුවන් ගෙ කට හඩ ඇහෙනවා...පංසලේ තවත් දියුණු කරන්න තියෙන්නේ මොනාද මං කල්පනා කරනවා..සිල් ගන්න එන මිනිස්සුන්ට ඉන්න ධර්ම සාලාව හැදුවේ ගිය මාසෙක,වැසිකිළි ටික හදලා වතුර අරන් දීලත් සැහෙන කාලයක්...පරණ ඝාන්ඨාරය බිම දාලා අලුත් එකක් හැදුවෙත් මෑත කාලේ...හාමුදුරුවන් ගේ වාහන දාන්න කියලා ගරාජ් එකක් හැදුවෙත් මෑතකදී ,ඉතින් තවත් කියලා මොනාද,මං හිතනවා...
මං අලුතෙන් නාන කාමරයක් හදනවා,වළාකුළු බැම්මක් හදනවා හාමුදුරුවෝ කියනවා ඇහෙනවා...එතකොට තියන නාන කාමරේ,තියන බැම්ම...ඒවා..."පරණ එවා එහෙම්ම තිබ්බදෙන්" මං හිතපු එක තේරැනා වගේ හාමුදුරුවෝ සද්දෙට කියනවා.නැති බැරි මිනිස්සූ බණ අහන එක පැත්තකින් තියලා කීයක් දෙන්න වෙයි ද කියලා හූල්ලනවා..
කඨිනෙට 2000,නාන කාමරේට 750,බැම්ම ට 750,දානේ ගේන්නේ නැත්නම් 1500,තනි පඩියෙන් ළමයි 3 ඉස්කෝලේ ය්වලා කාලා ඇදලා ඉන්න පව්ලක් අසරණ වෙනවා...සල්ලී නොදුන්නොත් නිරාගමිකයෙක් වෙනවා...ථෙරවාදී බුදු දහමේ පදනම අත්හැරීම නම් ඇයි මෙහෙම පොදි ගහන්නේ...මට හිතා ගන්න බැරි වෙනවා...හදන්න හදන්න හාමුදුරුවෝ න්ට උනත් ආසා හිතනවා ඇති මට ඒමත් හිතෙනවා....
අතේ ඇගිලි පහ එක වගේ නෑ නේ..උපන් දින සාද ගන්න හාමුදුරුවෝ ඉන්න රටේ අපේ හාමුදුරුවෝ වාසනාවන්...ඒ වගේම වේලක් වලදලා ධර්මය ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නෙත් මේ රටේ මයි ...
බණ ඉවරයි ..."අත් හැරිමෙන් සැනසීම ලැබේ"හාමුදුරුවෝ දේසනා කරලා "ලබන සතිය වෙනකොට ආධාර සපයන්න" කියනවා..අත්තම්මා කෙනෙක් සාධු කියනවා...
මාත් ගෙදර ඉදන් සාධු කියනවා
මනුජය තෙන්නකෝන්
Comments
Post a Comment