තෙල් මිල සහ අපි
තෙල් මිල වැඩිවිමත් එක්ක පුදුම විදිහේ කතාබහක් ලංකාවේ ඇතුවෙලා තියනවා. මට රටේ දේශපාලනයේ ගලා යෑම ගැන පෞද්ගලික අදහසක් තිබුනත් ඒ දේශපාලනය ගැන මොහොතකට නොහිතයි මේ ලිපිය ලියන්නේ.
මැයි 29 මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ ඩීසල් ලීටර් එකක් 407/= ත් ,පෙට්‍රල් ලීටර් එකක් 434/= දෙන්න සිද්ධවෙන බව CPC එකෙන් කියලා තිබුනා. ඊට හරියටම දවසකට කලින් IMF සමාලෝචනය අවසානයේ ඇඩොමි 695 ලැබෙනවත් එක්කම අපට පැහැදිලි වෙලා තිබුනා නැවත තෙල් මිල ඉහළ යන බව. එයාට මෙයාට ඇඟිල්ල දික් නොකර මේ සිද්දියේ විකාශනය අපි පොඩ්ඩක් තේරුම් ගමු. එකෙන් මේ ප්‍රශ්නය දකින විදිහ වෙනස් කරගන්න පුළුවන් වෙයි අපිට.
* 2022 අප්‍රේල් මැයි මාසේ වෙනකොට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම නිසා ලංකාව බංකොලොත් වූ බවට නිල වශයෙන් Moody's සහ fitch ආයතන දෙක නිවේදනය කරා.
* ඒ මොහොතේ රටේ උද්දමනය 70% ආසන්නයි.
* 2023 මාර්තු වෙනකොට ජනාධිපති වික්‍රමසිංහගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක උනු කණ්ඩායම මුලින්ම EFF (Extend fund facility ) හරහා බිලියන තුනක් රටේ සාර්ව ආර්ථික අංශය (macroeconomics) සහ මුල්‍ය ස්ථාවරත්වය (fiscal sustainability ) පවත්වාගැනිමට වැය කළා.
* 2024 වන විට IMF උපදෙස් සහ රාජ්‍යයේ දැඩි මුල්‍ය විනය මත රට බංකොලොත් වන විට ආදායමට ඒක දළ ජාතික නිෂ්පාදන අනුපාතය ( Revenue to GDP ratio) 8.2% තිබු අගය 13.5% දක්වා ඉහළ ගොස් තිබුනා.
* 2024 අග දිසානායක ජනාධිපති බලයට පත්වන අතර එවකට සිටි ජනාධිපතිවරයා IMF සමඟ පවත්වාගෙන ගිය සාකච්ඡා සහ වැඩපිළිවෙළ එලෙසම තම ආණ්ඩුවද පවත්වාගෙන යන බව ඔවුන් ප්‍රකාශ කළා.
දැන් එමු තෙල් ප්‍රශ්නයට. අපි අවුරුදු ගානක් තෙල් ගහලා තියෙන්නේ ආණ්ඩුවේ සල්ලී වලින්. ඒ කියන්නේ තෙල් ලීටර් එකක් ගේන ගාණට වඩා සැහෙන අඩුවෙන් තමා අපි ලීටර් එකකට ගෙවන්නේ. වෙන රටක වෙනවා වගේ දවස පතා අපේ තෙල් මිල වෙනස් නොවෙන නිසා ආන්ඩුවට මේ වැඩෙන් දිගින් දිගටම පාඩුයි.
* දේශපාලන උවමනාවන් , ඡන්ද හා ජනප්‍රසාදය හීන වීමේ අවදානම් නිසා රාජපක්ෂ ආණ්ඩුවත් , සිරිසේන ආණ්ඩුවත් නියමිත විදියට තෙල් මිල වෙනස් කරේ නැහැ. ඒ නිසා 2019 වෙනකොට සත්‍ය මිල සහ විකුණුම් මිල අතර සැහෙන පරතරයක් තිබුනා.
* අපි IMF වැඩසටහන ඇතුළට ගිය ගමන් ඔවුන් කීව දේ තමා Cost recovery pricing is mandatory . වියදම පියවා ගත හැකි මිලක් නියම කිරීම අත්‍යවශ්‍යයයි. මේ නිසා තමා බොහෝ දෙනෙක් කියන්නේ IMF එක ආණ්ඩුවේ අත්දෙක බැන්දා කියලා.
* අනෙක් කාරණය Automatic monthly pricing formula . කට්ටියට මතක නම් 2015 යහපාලන ආණ්ඩුවේදි මංගල සමරවීර ගේන්න උත්සහ කරපු මිල සුත්‍රය . ඒ වෙලාවේ මහින්ද පාර්ලිමේන්තුවට ආවෙත් බයිසිකලයක් පැදගෙන.මේක මාසිකව වෙන්නේ CPC එකට දෛනික මිල විචල්‍යයක් කරන්න බැරි නිසා.
* තුන්වෙනි කාරණය ටිකක් අමිහිරි කොන්දේසියක් . Non commercial obligation . කොටින්ම රාජ්‍යට තෙල් මිලේ පීඩනය දරාගත නොහැකි අතර එය පාරිභෝගිකයා දරාගත යුතුයි.හේතුව මේ සුත්‍රය අනුව
Actual price - selling price = non-commercial cost
සරලවම හිතුවොත් ඔයාගේ සිල්ලර කඩේට සීනී කිලො එකක් රු.100 ගෙනත් ඒක රු.50 විකුණනවා වගේ වැඩක් මේක. ඒක දිගින් දිගටම කරගෙන යන්න බැරි තත්වයක්.
මම CPC නිවේදනය දැක්ක විදියට ඩීසල් ලීටරයක පිරිවැය රු 536 වෙනුවට අපි දෙන්නේ 407 ට. එතන ආණ්ඩුවේ රු.100 සහනාධාරයක් තිබුනත් රු.29 පාඩුයි. පෙට්‍රල් වල පාඩුව රු.40.
*හතරවෙනි කාරණය zero subsides without budget transfer. ඒ කියන්නේ ආණ්ඩුව තීරණය කරනවා නම් අපි ජනතාවට ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලා. ඒක වෙන්න ඕන අයවැය වෙන් කිරිමකින් මිසක් CPC හෝ වෙන අභ්‍යන්තර මුදලිකින්.
දැන් මේකට තියෙන විකල්පය මොකක්ද ? අපි තෙල් මිල වැඩි නොකළොත් ඒක අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂයට බලපානවා. IMF නිර්දේශ අනූව දැනට අතිරික්තයක් විදියට තියෙන ගිණුම මේ සහනාධාරය දීමේ ශිඝ්‍රතාව මත තවත් අඩුවෙන්න පුළුවන්. හැබැයි අපි තෙල් මිල වැඩිකළොත් උද්දමනය ඉහළ යනවා. ඒක මහ බැංකුවේ ගණන් බැලීම අනූව 5.5% යන්න පුළුවන්. 2024/25 කාර්තුව එක්ක බලනකොට ඒක 3.3% වැඩිවිමක්.
*මහ බැංකුවේ අදහස අපිට අවස්ථා දෙකක් තියනවා. එකක් නැවත තෙල් මිල වැඩි කිරිම. එහෙම නැත්නම් IMF එක එක්ක නැවත සාකච්ඡාවකට ගිහින් ඉන්ධන සහනාධාරයකට අවස්ථාව ඉල්ලීම.
*හැබැයි ඉන්ධන සහනාධාරය දෙනව නම් Targeted subsides එහෙම නැත්නම් ඉලක්කගත පිරිසකට විතරක් සහනාධාරය දෙන්න වෙනවා. එහෙම නොවුනොත් අපි සැහෙන්න ප්‍රශ්නයකට මුහුණ දෙනවා.
අපි හැමෝම උත්සහ කරන්නේ ලංකාව හොඳ රටක් කරන්න. ඒක දේශපාලන අධිකාරිය මහන්සි වෙනවා , මහ බැංකුව මහන්සි වෙනවා. ඒ හැමදේකටම වඩා මහජනතාව අපි මහන්සි වෙන්න ඕන. අඩුම ඇත්ත තත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
ලී ක්වාන් යූ ගේ Third world to first world කෘතියේ එක තැනක කියනවා
"අප අවංකව ක්‍රියා කරන්නේ නම් සහ මිනිසුන්ගේ විශ්වාසය සුරකින්නේ නම් , අපගේ ප්‍රතිපත්ති දැඩි සහ ප්‍රියජනක ඒවා නොවුන ද ඒ ජනයා අප සමඟ එක්ව ක්‍රියා කරනු ඇතැයි මට විශ්වාසයක් තිබිනි."
එවන් විශ්වාසයක් මාලිමා ආණ්ඩුවටද තවම ඇතැයි මම විශ්වාස කරමි.
මනුජය තෙන්නකෝන් .

Comments
Post a Comment