ශිෂ්‍ය සංගම් නඩත්තුව

 මේ මාතෘකාව බොහෝම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න ඕන දෙයක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ශිෂ්‍ය සංගම්වල පැමිණිම සිද්ධ උනේ අද ඊයේක නෙවෙයි. ඒ ශිෂ්‍ය සංගම් තුළට දේශපාලනික මතවාද (Political ideologies ) ආවේත් අනාදිමත් යුගයක ඉඳන්. ඒ නිසා ශිෂ්‍ය සංගම් දැන් මෙහෙයවන්නේ පෙරටූගාමීන්ද , කලින් ජවිපෙද , ඊට කලින් බැසිල්ගේ කණ්ඩායමද , 71 කැරැල්ලට කලින් සාම්ප්‍රදායික වමද කියන කරුණ අපිට අදාළ නැහැ. එය සිදුවන සිදුවිය යුතු ආකාරයට වනවා ඇති.



හැබැයි මට ප්‍රශ්නයක් තියනවා. ඒක තමා ලංකාවේ බුද්ධිමත්ම කොට්ඨාසයෙන් බහුතරයක් නියෝජනය වෙනවායැයි සැලකෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මකවෙන ශිෂ්‍ය සංගම් මොඩර්න්ද යන්න ? නැත්නම් ඔවුන් තාම රතු පොත් දෙකක් පෙරළගෙන ඒ තුළින් ලෝකය දකින්න දරන වෑයමක් දරන්නෝද ,එහෙමත් නැත්නම් නවක වදය කියන වධබන්ධනය විශ්ව විද්‍යාල පරිසරයට අනුගත වීමේ ක්‍රියාපටිපාටිය කියන අමු තක්කඩි ව්‍යාපෘතියේ කොටස්කාරයෝද , විශ්වවිද්‍යාලය තුළ කිසිම සාධනීය , ප්‍රගතශීලී පියවරකට බාල්දි පෙරළන අසංවරවාදීයෝද ? නූතන ලෝකයේ නැග්ම , ඉංග්‍රීසී භාෂාව , ධනවාදයේ නව හැසීරීම් , සමාජවාදයේ යහගුණතා නොදකින අන්දමේ මුග්ධයෝද ? 

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න බෝහෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක්  තමන්ගේ උපාධිය  සම්පූර්ණ නොකරන්නන්. නිදහස් අධ්‍යාපනයට අතනොතබනු යනුවෙන් බෝඩ් ලෑලී එල්ලන්නන් එලෙස ලැබෙන නිදහස් උපාධිය හෝ නොගන්නො. විදේශීය භාෂාවක්ද ඇතුළුව නියමිත සුහුරු හැකියාවන්ගේ (soft skills) මඳ බවෙන් රැකියාවක් සොයාගැනිමේ අපහසුතාවයෙන් පෙළෙන ඔවුන්ගේ පශ්චාත් විශ්වවිද්‍යාල දිවිය අතිශයින්ම ඛේදජනක නිමාවකි. ඒ වෙනුවට දේශපාලන දැනුමෙන් සන්නද්ධ , ලෝක දේශපාලනයේ රටාවන් හඳුනාගතහැකි , විවාදශීලී , තර්කානූකූල , ගැටුලු විසඳීමේ ක්‍රමය දන්නා , නිර්මාණශීලී දේශපාලනික තරුණ තරුණියන් බිහිකළ යුතු නැද්ද ? (මෙහිදි ජයවර්ධන ජනාධිපතිගේ ශිෂ්‍ය සංගම් දේශපාලනිකව වියුක්ත වීමේ අදහසට මම එකඟ බවත් ලියමි.)

මේ ප්‍රශ්නය ඔවුන්ව මෙහෙයවන දේශපාලන ධාරාවන් කිසිවිටක ප්‍රශ්න නොකරන අතර පාවිච්චියෙන් පසූ කරපිංචා නැට්ටක් මෙන් පිඟානෙන් විසිවනු ඇත. මේ සරල සත්‍ය තේරුම් ගතනොහැකි බොහෝ තරුණ කොලුගැටයන් දක්නා විට මට අවංක කණගාටුවක් දැනේ. එයට කළහැක්කක් නොමැතිද යන්න මම නිතර කල්පනා කරමි. 

පලි : පහතින් මම දක්වා ඇත්තේ ශිෂ්‍ය සංගම්වල කටයුතු කරමින් පසුකලක ව්‍යාපාර ලෝකයේ සහ ආයතන ප්‍රධානීන් දක්වා ගමන් කළ අයගේ ලැයිස්තුවකි. සන්දන්ධනය කර බලන්න..අපට මෙවන් ලැයිස්තුවක් තිබේද ? 


Natalie Ceeney : කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගම් සභාපතිනිය (1990-1991) : HSBC  ආයතන ප්‍රධානී


Trevor Fish : LSE ශිෂ්‍ය සංගම් සභාපති (1964) බ්‍රිතාන්‍ය වානේ සංස්ථාවේ ප්‍රධාන විධායක.


Bruce Nolop : South Dakota හි ශිෂ්‍ය සංගම් සභාපති , ප්‍රකට බැංකු තුනක ආයෝජන බැංකුකරුවන්ගෙ ප්‍රධානියා.


John Replogle : Dartmouth හි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්.පසුව Seventh generation Inc හි ප්‍රධාන විධායක නිලධාරීයා බවට පත්විය.


Arianna Huffington : කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයා සහ විවාද සභික.Thrive global හි සමාරම්භක සභාපතිනිය.


John Maynard Keynes : නැවත කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගම් සභික . විසිවන සියවසේ බිහිවූ විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ඔහුයි.


Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.