Wednesday, 27 August 2025

Pinkman ට 46 ක් !!!!

 Vince Gilligan ගේ Breaking Bad කතාමාලාව  මම මුලින්ම බලන්න පටන් අරගෙන කොටස් දෙකකට පස්සේ නවත්තලා දැම්මා. තවත් අවුරුදු තුනක් ගියා ඒ නවත්තපූ එක පටන් අරගෙන ඉවර කරන්න. දැන් මම  Breaking Bad ප්‍රේමියෙක්, හිතවතෙක් ඒවගේම සහෲදයෙක්.

Aaron Paul ,Breaking Bad හි ජෙසී පින්ක්මන් ලෙස

මට ඕනෑම ශානරයක කතාවක් බලන්න ටිකක් වෙලා යනවා. ඒ කාර්‍යබහූලත්වය නිසාම නෙවෙයි . කතාවක් ඇතුළේ කියවෙන හැම පොඩි දෙයක් ගැනම මම ටිකාක් වැඩිපූර අවධානය යොමූ කරන්න ආස නිසා . උදාහරණයකට  House of Cards බලන්න ගත්තම , එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ හැසිරීම , සෙනට් මණ්ඩලයේ පත්වීම , නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ( House of Representative) පත්විමේ පටිපාටිය වගේ දේවල් සහ ඔවුන්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසිමේ ක්‍රියාවලිය පවා ඉගෙන ගෙන තමා කතාමාලාව බලන්නේ. ඒක වෙහෙසකර ,කාලය මිඩංගු වෙන ඒත් විනෝදබර දෙයක්. 

ඒ හින්දම මට Breaking Bad සෑහෙන්නම ගැළපුන කතාවක්. තිරපිටපතේ ගලා යෑම , කුතුහලය විතරක් නෙවෙයි චරිතවල වෙනස්විම පවා සැහෙන්න තිගැස්මක් ඇතිකළා. කාලයක් X-Files රචකයෙක් උනූ Vince Gilligan ට ඒක අමුත්තක් වෙන්න විදියක් නෑ. ප්‍රධාන චරිත දෙක ඇතුළෙත් වෝල්ටර් වයිට් ඉස්මතු වෙන හැම තැනකදිම Pinkman Kid එහෙම නැත්නම් Jesse Bruce Pinkman  ගේ ඡායාව නොනැසී තිබුනා. සහායක චරිතයකට ප්‍රධාන කතා තේමාවට දෙන්න පුලුවන් දායකත්වයේ තරම Pinkman ගේ චරිතයෙන් පෙන්නුම් කරා. මතකනේ

House of Cards කතාමාලාව වෙනුවෙන් මා ලිවූ සටහන්

 "Yeah Mr.White !! Science "

කියන තරුණ Junkie ව. (මතට ලොල්වූවෙක්) 

Pinkman ගැන මගේ මිත්‍රයෙක් පස්සේ දවසක කතාබහක් ඇතුළේ හොඳ අර්ථ දැක්විමක් කරා.

" වෙන උන්ගේ මොළේ වැඩ කරලා , හරි තීන්දූ තීරණ ගන්න පුලුවන් වෙන්නේ උන් හොඳ සිහියෙන් ඉන්නකොට. හැබැයි Pinkman හරියට හිතලා වැඩ කරන්නේ Panic එකකදි."  

ඔහූ ඒකට උදාහරණයක් විදියට කීවේ  Walter White තමන්ගේ විද්‍යාගාර සහයක Gale Boetticher ඝාතනය කරන්න කියලා Pinkman ට කියන අවස්ථාව.කතාව ඉවර වෙනකොට මට Walter ට වඩා දැනූනේ Pinkman ව.  තමන්ගේ දක්ෂතාවය හැකියාව දෙමාපියන්ට ,ගුරුවරුන්ට පවා මඟඇරුනු , ආදරය මඟඇරුනූ , හුදකලාව ඉතිරි උනූ තරුණයෙක්ගේ ජිවිතේ ඉරණම වෙනස් වෙන විදිය Pinkman ගේ චරිතේ හරස්කඩක ලියවෙලා තියනවා. 

කොහොම හරි මුල් පිටපතට අනූව පළවෙනි කොටස් තුනෙන් ඉවත් කරන්න හිටපූ Jesee Pinkman චරිතය ,  අවසානයට ලෝක ටෙලි කතාමාලාවේ නොමැකෙන නමක් ඉතිරි කරා. ඊයේ අගෝස්තු 27 වෙන්දා Jesse Pinkman ගේ චරිතය නිරූපණය කරපූ Aaron paul ගේ 46 වෙනි උපන්දිනය. වෙන මොනවා කියන්නද ?? 

Happy birthday bitch !!!  නොකියා.


Sunday, 24 August 2025

මංගල නැතිව පස්වසක්

මංගල නැතිවෙලා ඊයේට අවුරුදු පහයි. මංගල නැති උනූ ප්‍රවෘත්තිය ඒ වෙනකොට දැඩි මංගල විරෝධියෙක් උනූ මගේ අප්පච්චි පවා තැතිගැන්වූවා. ලංකාවේ දේශපාලනයට මංගලගේ සාම්පලේ දේශපාලකයෙක් පහුගිය අවුරුදු පහටම බිහිවෙලා නෑ. නිදහස් චින්තනය විශ්වාස කරපූ, සංස්කෘතික ජිවිතය අගයපූ  , ආගම දේශපාලනයෙන් වියුක්ත විය යුතුයි කියලා තර්ක කරපූ , මංගල තරම් නූතනවාදියෙක් පේනතෙක් මානෙක නෑ.

මංගලගේ සංස්කෘතික ජිවිතය ,චින්තනය සහ ලිබරල්වාදි හැසිරිම නිසාම මහින්ද වගේ කෙනෙක් එක්ක බොහෝකල් එකට රැඳෙන්න  බැරි උනා. ජාතිවාදය, ආගම , පන්සල උගස් කරමින් බලය වඩ වඩා තහවුරු කරගත් මහින්ද වගේ කෙනෙක්ට මංගල හිතන්නේ කොහොමද කියලවත් නොතේරෙන්න ඇති. මංගලට පෑහුන එකම චරිතේ උනේ ඔහූගේ දිර්ඝකාලීන මිතුරිය චන්ද්‍රකා. අනෙක් කිසිම කෙනෙක්ට මංගල හිතන විදිය දැනූනේ නෑ. තේරුනේ නෑ.

මං හැමදාම පුදුම උනා මංගල ශ්‍රීලනිප වගේ තැනක ඉන්නේ ඇයි කියලා. එයාව හැමදාම පෑහූනේ එජාප රනිල්ගේ සෙවණට. මංගල එංගලන්තේ දැක්ක , ලෝකේ වටේ අත්වින්ද ජිවිතය  ලංකාවේ සමාජෙ ඇතුළේ සාක්ෂාත් කරගන්න පුලුවන්කම තිබ්බේ රනිල් එක්ක.ඒත් මංගලට ඒක තේරෙනකොට එයාගේ ජිවිතේ හොඳම කාලේ ගිහින් ඉවරයි. 

ගොඩක් අය දන්නේ නෑ මංගල , කොස්වාඩියේ බුද්ධි බතික් එකේ Designer කියලා. බුද්ධි බතික් එක අයිති උනේ ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක බූඩී කීර්තිසේනගේ තාත්තට . මංගල ගැන රසකතා ගොඩක්ම කියන්නේ බූඩී.  බූඩී කියන විදියට ඩේවීඩ් බෝවිගේ සංගීත පිස්සූව ඒ වටේටම බෝ කරලා තියෙන්නේ මංගල.  වූඩී ඇලන්ගේ චිත්‍රපටි බලන්න  ෆිලිප් ග්ලාස්ගේ ඔපෙරා රසවිඳින්න . කොස්වාඩියේ වටේම තරුණයෝ සංස්කෘතික ජීවීන් කරේ මංගල. බුද්ධී කීර්තිසේනගේ අවසරය එක්ක මංගල තමන්ගේ පළවෙනි විලාසිතා දැක්ම කරේ Barefoot කැෆේ එකේ. ඒ එක්කම ආචර්‍ය චන්ද්‍රමානි තේනුවරගේ ආරාධනයෙන් මංගල කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්‍යවරයෙක් විදියටත් කාලයක් සේවය කරා. දේශපාලකයාගෙන් වැහූනූ මංගලගේ වර්ණවත් ජිවිතය තමා ඒ.

අදටත් සංගීතයක් රසවිඳින , ලස්සනට ඇඳුමක් අදින , චිත්‍ර ප්‍රදර්ශනයක චිත්‍රයක් රසවිදින , රසවත් සම්භාව්‍ය චිත්‍රපටියක යටි අර්ථය තේරුම් ගන්න පුලුවන්  එක දේශපාලකයෙක් ඉන්නවද ? කියන එක ප්‍රශ්ණයක් . දශක භාගයක් ගිහිල්ලත් මංගල ගේ හිස්තැන තවමත් පෙන්නේ අන්න ඒ නිසයි.

තමන් තමන් වීම කිසිදින  ප්‍රතික්ෂේප නොකළ ඛේමගේ කොල්ලා නොහොත් ප්‍රින්ස් මංගල නික්මයාමට පස්වරක් පිරිම  නිමිතෙන් ලියවූනූ සටහනකි. 

(මංගලගේ එංගලන්තයේ මිතුරියක් වූ Smooth opertor ගීතයේ ගායිකාව , මංගලව හැඳින්වූවේ Prince Mangala නමිනි.)



Friday, 22 August 2025

රනිල් වැලිකඩට

 වික්‍රමසිංහ කවදාවත් මේ බස් එකට නඟි කියලා  වික්‍රමසිංහවත් හිතන්න නැතුව ඇති.ඉතිහාසය පුරාම මේ බස් එකේ යවන්න ඕන කව්ද ?නොයවන්න ඕන කව්ද ? කියලා තීරණය කරපූ උදවියටත් දැන් ඒ බස් එකටම නඟින්න වුනු විදිය එක අතකින් දෛවෝපගතයි.



 වික්‍රමසිංහගේ සහයට කොටුව අධිකරණ භූමියට පැමිණි නාමල් රාජපක්ෂ , දිනේශ් ගුණවර්ධන , මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාසගේ ට්වීටර් පණිවිඩය ( ඔහු මේ මොහොතේ ලංකාවේ නැත) අන් සියල්ලටම වඩා පෙන්නූම් කරේ තවමට් ඔවුන් සියල්ලෝම එකක් බවයි. ඒ නිසා මේ ගැටූම කිසිවිටකත් මාලිමා ආණ්ඩූව සහ විපක්ෂය අතර සිදුවන්නක් නොව සාතිශය බහූතර ජනතාව සහ දූෂිතයන් අතර සිදුවන්නකි. සරල අරුතෙන් නම්


 "උනුයි... අපියි ...."



ජයවර්ධනට , ප්‍රේමදාසට රටේ නීතීය නමා ගෙන නීතී හිදැස් අතරින් මිදෙන්න පුලුවන් උනාට අවුරුදු 32 ක් එජාප නායක වික්‍රමසිංහ  අන්තිමට තමන්ගේ කාර්ඩ් අත පරාද උනා. කොටූව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපූර විසින් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම ඉවතලමින් එළැඹෙන 26 තෙක් ඔහූව රක්ෂිත බන්ධනාගාර කළේ ඒ නිසයි.


ව්ක්‍රමසිංහට , 26 උදේ  වෙනකන් බන්ධනාගාර රෝහලේ ඇතුළේ ඉදන් ස්වයං විවේචනයක් කරගන්න පුලුවන් අවුරුදු 48 ක තමන්ගේ දේශපාලන ගේම්ස් ගැන.

එතකන් නීතීයේ හැසිරවීම පිළිබඳ සතුටු වෙමින් සුව සති අන්තයකට පිවිසෙන්න අපි හැමෝටම පුළුවන් !!! රනිල් හාමූ බලන්න කොටුවට ගිය මහජනතාවට මහ රෑ බස් එකක නැඟලා ගංබිම් බලායන්නත් ඒ විදියටම පුලුවන් !!


මනුජය තෙන්නකෝන්

Thursday, 21 August 2025

ගිනිතැබිම

අම්මා මට සුදු කමිසය අන්දලා හැඩ බලන්න ගත්තා,"කෝ මෙහාට..ආ..දැන් මෙහාට" වමට දකුණට හරව හරවා එයා මගේ හැඩ බලන්න පටන් ගත්තා,සද්දයක් වත් නැතුව එයා හරවන හරවන පැත්තට මාත් හැරෙන්න ගත්තා.පොල් තෙල් තලියක් "තක්ස් " ගාලා අප්පච්චි ඔලුවට දැම්මා.ටිකකින් පොල් තෙල් නළලටත් එතනින් කන් දෙක දිගෙත් බේරෙන්න ගත්තත් මම කරබාගෙන හිටියා.එයාගේ කලු පැතලි සාක්කු පනාවෙන් සුලිය පන්නලා මගේ කොන්ඩේ පීරන්න ගත්තා.කන දෙපැත්තෙන් වැටෙන කොන්ඩ කෑලී දෙක පිටිපස්සට පීරලා එයා, "දැන් හරි" කියලා සද්දෙට කීවා.



මේ ඉස්කෝලේ පළවෙනි දවස නෙවෙයි .මුල්ම දවස් වල සෙල්ලම් ගෙවල් හදලා අපිට සෙල්ලම් කරන්න දුන්නා,අපේ සෙල්ලම් ගේ නිල් පාට ඉටි රෙදි වලින් වට කරලා තිබුනේ,මං වගේ දෙකක් විතර මහත උණ ගස් හතරකින් විසාල වහල අපේ ඔලුවට වැටෙන්නේ නැතුව බේරගෙන හිටියා. කලු කණ්නාඩි කුට්ටමක් දාපු වයස ටීච කෙනෙක් අපේ සෙල්ලම් ගේ පුටුවක ඉඳගෙන ඔරවගෙන හිටියා.ළමයෙක් තක්කඩි කමක් කරොත් "ඒයී ...ඒයී.ගුටි!" කියලා සද්දෙට කියන්න ගත්තා.එයාගේ සද්දෙට අකමැති නිසා මම එයාගේ මූණ දිහා නොබලා ,පාට කරන්න දුන්න රූපේ එක්ක හිනා උනා.එයා මගේ අම්මගෙත් ක්ලාස් ටීචර් කියලා අම්මා පස්සේ කාලෙක මාත් එක්ක කීවා.


මම ආපහු බෑග් එක ඇරලා අලුත් චිත්‍ර පොත එළියට ගත්තා.සුදුම සුදු දිග කොළ හෙමින් හෙමින් මම පෙරළන්න ගත්තා .කවරේ ලස්සනම ලස්සන සිම්බෙක් හිනා වෙලා ඉන්නවා මට පෙනුනා."සිංහයන්ටත් හිනා වෙන්න පුලුවන් ද අත්තම්මේ "කියලා මම දවසක් අත්තම්මාගෙන් ඇහුවා , එයා හෙමින් ඔලුව වැනුවා.මට වඩා අවුරුදු තුනක් බාල නංගී සීතල ටයිල් එකේ ඉදගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. කටත් චුට්ටක් ඇරිලා නංගීගේ දිලිසෙන ඇස් දෙක දකින මම ආපහු චිත්‍ර පොත බෑග් එකට දාගත්තා.


බස් එකේ හිර වෙලා පොඩි වෙලා නාවලපිටියෙන් බැස්සම අම්මා මං දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා .තෙල් ගාපු කොන්ඩේ අවුල් වෙලා යට කරපු ෂර්ට් එක උඩ ගිහින් මූණ නාළු කරන් ඉන්න මාව එයා ආපහු මුලක ඉදන් හරිගස්සන්න පටන් ගත්තා.පුංචි බෑග් එක කරේ එල්ලගෙන, කහ පාට බෝලයක් වගේ බෝතලේ එල්ලගෙන , අම්මගේ අතින් අල්ලන් මම ඉස්කෝලේට එනවා. ඔහොම එන සමහරක් දවසට බලු පැටියෙක් වාහනේකට හැප්පිලා වැටිලා ඉන්නවා.අනික් ළමයි අනේ අපොයි ! කියලා හැරෙනකොට මම අම්මවත් ඇදගෙන එතනට යනවා.පුංචි බලු පැටියා එක්ක එයාගේ රෝස පාට බඩවැල් ගෝනියකට දානව දැකින මම "යමු!" කියලා ආපහු එනවා.


ඉස්කෝලේ ඇතුළට මාව දාලා අම්මා, "මම හවස ගන්න එන්නම් "කියනව..එයා ගේට්ටුවෙන් පේන්නේ නැතුව යනකම් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න මම, එයා පේන්නේ නැති උනාම අනික් පැත්ත හැරෙනවා. සුදු කලිසම් ,නිල් කලිසම් පහුකරගෙන හෙමින් හෙමින් මම ඇවිදිනවා.හැමදාම ,තණකොළ නැති වැලි පිරිච්ච පිට්ටනියෙ බැමි වල ඇදපු අමුතූ චිත්‍ර දිහා බලන ගමන් මම පංතියට යනවා.සමහරක් චිත්‍ර ගල් සෙවළ වලින් වැහිලා ගිහින්, ලස්සන පාටක් නැතුව අඳුරු පාටක් තියෙන නිසා මගේ හිත නරක් වෙනවා.


පංතියට ගියාම හැමදාම උදේට අපිව පිට්ටනියට යවනවා.දෙන්නා දෙන්නා අත් අල්ලගෙන ගියේ නැත්නම් කරුණා ටීචර් රවන්න පටන් ගන්නවා. ඒ නිසා යාලුවාගේ අත අල්ලගෙන සිමෙන්ති පොළවේ කකුල අද්දන ගමන් අපි පෝළිම් ගැහෙනවා.උසේ පිළිවෙළට ඉන්න තේරෙන්නේ නැති අපිව අයියා කෙනෙක් ඇවිත් එහෙට්ට මෙහෙට්ට කරනවා."ඔයා මෙහෙට,ඔයා අතනට,අයියෝ මල්ලී ඉන්න කීව තැන ඉන්නකෝ".අයියා මල්ලීලාට සද්දේ දානවා.මට ඉන්න කීව තැන මම සද්දයක් වත් නැතුව ඉන්නවා.

හරියටම අපේ පොළිමේ ඉස්සරහ ,ඔලුව නමාගෙන අපි දිහා බලාගෙන ඉන්න සද්දන්ත කොට්ටම්බ ගහෙන් කොළ සූ ...ගාලා බිම වැටෙනවා.කොච්චර අතුගෑවත් ඊළඟ මොහොතේ ආපහු කොළ වැටෙන නිසා ප්‍රින්සිපල් සර්ට තරහ යනවා."මේක අතුගාන්න ඉන්නේ කව්ද ?? අඩිහප්පලා අහපුවම පොඩි උන්ට ඇඬෙන්න එනවා.


ප්‍රින්සිපල් උන පරණගම සර්ගේ කතාවෙන් පස්සේ අපි හැමෝටම පොල්තෙල් පූරෝපූ පහනක් දුන්නා.කලින් මෙහෙම එකක් නොදුන්න නිසා මම ඉස්සී ඉස්සී ඉස්සරහා බලන්න පටන් ගත්තා.අපිව පෝළිම් කරපු අයියා ඇවිත් හැමෝගෙම පහන පත්තු කරා.පහනේ තෙල් එහෙට මෙහෙට පැද්දීලා පැද්දීලා නතර වෙනවා.හෙමින් ඔලුව උස්සලා මම ස්ටේජ් එක දිහා බලනවා."මේ ටික මම කිව්වම ලස්සනට කියන්න" සුදු ලස්සන ටීචර් කෙනෙක් හරිම හෙමින් කීවා.එයා සුදු සාරියක් ඇදලා කලු සෙරෙප්පු දෙකක් දාලා හිටියා.කතා කරන හැමවෙලාවෙම ඔලුව හොල්ලන නිසා මට එයාව හොඳට මතක තිබුනා.


මම ටීච කියන එක අමතක කරලා පහන දිහා බලාගෙන හිටියා.පොල් තෙල් පිරුණු පහන් තිරෙන් පොල් තෙල් බිංදුව බිංදුව වැටෙන්න පටන් ගත්තා. ඉස්සරහින් සුදු කමිසයක් පිම්බිලා පේනවා.පිටහරියෙන් කමිසය ලොකු නිසා වක්ගැහිලා.නිල් දාලා හෝදපු නිසා දිදුලන සුදක් පේනවා.මම හෙමීට පහන කමිසය ළඟට ළං කරා.කලු දැල්ලක් කමිසේ මතු උනා.දෙවැනි පාර මම කලබල නොවී පහන ටිකක් වෙලා කමිසෙට අල්ලන් හිටියා.මුලින්ම පුංචි හිලක් හැදුනා,බැනියම් නැති සුදු පිටක් මට පෙනුනා.තුන්වෙනි පාර පහන ළං කරනකොට ඉස්සරහා හිටපු පොඩි මිත්‍රයා හැරීලා දඟලන්න ගත්තා .පිටේ මතුවුනු පුංචි ගින්න ශිෂ්‍ය නායක ගිනි භටයෝ නිවලා දැම්මා.අලුත්ම කමිසේ කලු පාට හිලක් එක්ක මගේ මිත්‍රයා බුකවගෙන ඉන්නවා මට පෙනුනා."මහ පෝරිසාද ළමයෙක්" කරුණා ටීච හැමදාම වගේ එදත් දත නියෙව්වා.


මම ගිනි තිබ්බ මිත්‍රයා,පස්සේ කාලෙක මගේ හොඳම මිත්‍රයෙක් උනා.කරුණා ටීච පස්සේ කාලෙක ගම්පහදි නැති උනා කියලා ආරංචි උනා.අපි ලොකු උනා,ජිවිතේ වෙනස් උනා.ඒත් අහම්බෙන් හරි තාමත් දෙහි ගෙඩි දෙකක් උස නැති පොඩ්ඩෙක් දැක්කම මට මාව මතක් වෙන්න පටන් ගන්නවා.වෙව්ලන අතින් පහනක් අල්ලන් හිටි හැටි මතක් වෙනවා.මගේ හිත දුකෙන් පිරෙනවා.


Friday, 15 August 2025

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිමතාන්තර බොහෝමයකි.එහි සත්‍ය අසත්‍යටාව කෙසේදයත් එකී සිදුවීම අනූරූපිත ඉටි පිළිමයක් පවා මහනුවර ඉටි රූප කෞතුකාගාරයේ නිමවා ඇත. නමුත් බොහෝ විද්වත් මත අනූව ගිවිසුම අත්සන් වන විට වාරියපොළ සුමංගල හිමියන් එවන්නක් සිදුකර නැත.



පළමු පැහැදිලි කරවා ගැනිම නම් 1815 මාර්තු දෙවෙනි දින Kandyan Convention නොහොත් උඩරට ගිවිසුම කෙටුම්පත් කරවිමේදි කිසිදූ භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා නැත. එය Sri Wickrema , Brownrigg and Ehelepola කෘතියේත් , ජෝන් ඩොයිල්ගේ දින පොතෙත්  පැහැදිලිවම සටහන් කර ඇත.රාජ තාන්ත්‍රික කෝණයකින් සිතා බැලූවත් , ගිවිසුමට පෙර භික්ෂූන් වහන්සේලා බැහැ දැක අදහස් විමසන බැවින් කෙටුම්පත් කරවිමේදි උන්නාන්සේලා නැවත ගෙන්විමේ සිරිතක් නැත. එදින රාත්‍රී 7:30 වන තෙක් අදිකාරම්වරු  සහ දිසාවේලා සමඟ ගිවිසුමේ ආගම සම්බන්ධ කරුණු සාකච්චා කළා විනා කිසිදූ භික්ෂූන්ගේ සම්බන්ධයක් එදිනට තිබි නැත. 


ඩොයිලිගේ මාර්තු දෙවෙනි දින වාර්තාව අනූව 


"පස්වරු හතරට රැස් වී ගිවිසුමේ වගන්ති කියවා අවසන ධජය එසවීම සහ ආචාර්‍ය වෙඩි මුර පැවැත්විම සිදු වී ඇත. " 


නමුත් වාරියපොල ශ්‍රී සුමංගල හිමිගේ කලබල කිරිමක් එදිනවත් ,මාර්තු තුන්වන දිනවත්  සිදු වී නැත.  මාර්තු තුන්වන දින ඇහැළේපොළ විසින් දිසාවනි සහ රට ප්‍රධානීන් පෙර රජ කල මෙන් දණ ගැස්සවිමට උත්සහ කිරිමේදි උද්ගතවූ ප්‍රශ්ණයක් හැරෙන්නට වෙන යමක් වී නැත. අනෙක් සාධාරණ තර්කය නම් පසුකාලීනව ලියවූ ලිපි තුළ වාරියපොළ සුමංගල හිමිගේ ධජය පහතට හෙළිමේදි කුපිත වූ ඉංග්‍රීසී සෙබළුන් පාලනය කොට ඇත්තේ ජෝන් ඩොයිලි බව පැවසිමයි (ජනප්‍රවාද මත පිහිටවා ලීවූ සටහන්) . නමුත් එවැන්නක් ඩොයිලිගේ වාර්තා තුළ නොවිම පුදුමඑලවන සුලු සිදුවිමකි.  විශේෂයෙන්ම ඔහූ මාර්තු දෙවනි දින ගැන දිනපොතේ ලියා ඇත්තේ 

" හොඳ උණුසුම් දිනයක් , පැහැපත් අහසක් " 


යනුවෙනි. ඉංග්‍රීසී ධජයක් බිම දමා කලහෝලාහලයක් සිදූවූ දිනක ඔහූට එවැන්නක් කිසිවිටක ලිවිමට හැකියැයි සිතීම අපහසුය. 


මාර්තු 2 දින වාරියපොළ සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම නොදැමූවේ නම් නැවත එය කළ හැකිව තිබුනේ මාර්තු 10 වන දිනයි. එදින ඊට සතියකට පෙර කෙටූම්පත් කළ ගිවිසුම සහ වගන්ති දොළහා , එහි පැමිණ සිටි අදිකාරම්වරුන් සහ දිසාවේවරුන් විසින්  අත්සන් කරන ලදි. බ්‍රවුන්රිග්ද මෙහි පැමිණ සිටි අතර මහා බ්‍රිතාන්‍ය ගැසට් වාර්තාවත් සහ ඩොයිලිගේ වාර්තා නැවත ඒ සඳහා සාක්ෂි දරනු ඇත. මොල්ලොගොඩ සහ ඇහැළේපොළ අදිකාරම්වරු මූලිකරගත් ගිවිසුම අත්සන් කිරිමට අස්ගිරී සහ මල්වතු පාර්ශවයේ මහනායකවරුන්ද පාවඩ එලා කැඳවා තිබිනි. මාර්තු දෙවෙනි දින අස්ගීරී පාර්ශවයේ භික්ෂුවක් සිය රටේ ධජය බිම දමා පාගා තිබුනේ නම් බ්‍රවුන්රිග් මෙවැනි ගරු සැලකිල්ලක් දැක්විමට ඉඩක් නැත..


මාර්තු 10 දින ගිවිසුම අත්සන් කිරිමේ උත්සවයට පැමිණි උභයපාර්ශවික භික්ෂූන් අතර 


මල්වතු පාර්ශවය : කොබ්බෑකඩුව නායක  උන්සන්සේ සහ වැලිවිට අනුනායක උන්නාන්සේ


අස්ගිරී පාර්ශවය : මාවතගම නායක උන්නාන්සේ සහ තුඹගොඩ අනුනායක උන්නාන්සේ 


සිටි අතර අදිකාරම්වරුන් දෙදෙනාගේ ඉල්ලීම මත


නාථ දේවාලයේ බස්නායක නිලමේ : රණවන

මහා දේවාලයේ බස්නායක නිලමේ : ලෙව්කේ


කැඳවා තිබිනි.


නැවත වාරියපොළ සුමංගල හිමි ගැන මෙහි සඳහනක් නොමැත.ගිවිසුම අත්සන් කිරිමෙන් පසූ  විහාර හා නින්දගම් නැවත ඒ ඒ විහාර වෙතට පැවරීමේ එකඟතාව මත පාර්ශව දෙකම විහාර වෙතට කැදවාගෙන යාමේදි ඉංග්‍රීසී තූර්‍ය වාදන ආචාර පැවැත්විය . එය නම් පැරණි යටත්විජිත ලිපි ලේඛන තුළද පැහැදිලි කොට ඇත. මාර්තු තුන්වන දින බිම හෙළන්නට නොහැකි වූ ධජය මාර්තු දහවන දින බිමහෙළා තිබුනේ නම් මල්වතු සහ අස්ගීරී මහානාහිමිවරුන් නැවත වැඩමවීම මෙතරම් ගරු ගාම්භීරව නොවනු ඇත. 


ඉංග්‍රීසී ධජය පහත හෙළිම පිළිබඳව මහාචාර්‍ය ඔබේසේකරගේ අදහස නම් එය කිසිවිටක සිදූ නොවූවක් බවයි. ඔහූගේ පළමූ සාමාන්‍ය (General) තර්කය නම් එදින මඟුල් මඬුව වැනි ඉංග්‍රීසී සෙබළු ආයූධ සන්නද්ධව සිටින තැනක සිය උසස් නිලධාරීන් ඉදිරියේ සිංහල භික්ෂුවක් ඉංග්‍රීසී ධජයක් බිම හෙලූවේ නම් වාරියපොළ සුමංගල හිමිට අත්වන ඉරණම පිළිබඳවයි.හැඟිම්බර වීමකින් තොරව ඒ පිළිබඳ සිතුවේ නම් එවැන්නක් කර තිබුනේ නම් , වාරියපොළ සුමංගල හිමි නිරුපද්‍රිතව උඩරට සිටිම ඇති හැකියාව අල්පය.


  දෙවැන්න , මෙතරම් වීරත්වයට නැංවිය හැකි සිදුවීමක් පාදක කරගත් කිසිදූ ඉංග්‍රීසී හෝ සිංහල ලියවිල්ලක් නොමැති විම. ඒ කරුණ තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි විසින් රචිත "වාරියපොළ අනූනාහිමි සහ උඩරට ගිවිසුම" නම් කෘතියේද  අවධාරණය කර ඇත. උන්නාන්සේද මෙකී ධජය බිමහෙළිම ජනප්‍රවාදයට එහා ගිය දෙයක් නොවන බව පවසයි.


තෙවන්න , සුමංගල හිමි එසවූවා යැයි සැලකෙන සිංහ ධජය පිළිබඳව ඇති විසංවාදය. උඩරට ගිවිසූමට පෙර අවසන් රජූ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහ කොඩියක් භාවිතා කොට නැත. 1818 කැරැල්ලේ සිටි කැප්පෙටිපොළ හෝ වෙනයම් අයෙක්ද සිංහ කොඩියක් දරා නොමැත . ඒ පිළිබඳ ඉංග්‍රීසී හටන් කවි තුළද නැත.  විය හැකි දෙය ලෙස මහාචාර්‍ය ඔබේසේකරගේ තර්කය නම්  වාරියපොළ හිමි සත් කෝරළයෙන් පැමිණි නිසා ඔවුන්ගේ ප්‍රාදේශීය කොඩිය 1818 අරගල අවසන් අත්අඩංගුවේදි ඔසවන්නට ඇති බවයි. හේතුව සත් කෝරළයේ ධජය තුළ සිංහයෙක් අඩංගුවීමයි. ඒ සිංහයාද කඩුව දරන්නෙක් නොව සිව්පා මත සිටින්නෙකි. ඒ නිසා 1818 කැරැල්ලේ සිදුවූ සිදුවීම ජනප්‍රවාද හරහා පරිණාමය වී මඟුල් මඩුව තුළ සිදූවූවක් ලෙස වරනගන්නට ඇත.  


මීට අමතරව මා මේ මිත්‍යාව තහවුරු කරගැනිමට වාරියපොළ සුමංගල හිමිගේ වයස (උන්නාන්සේ 1831 අපවත් වන විට ඉතා වයෝවෘද්ධව සිටි බව පැවසේ ) ගණනයට උත්සහ කළද ඒ සඳහා ප්‍රමාණවත් දත්ත හෝ තොරතුරු නොමැත්තේය. නමුත් කෙසේ හෝ පවතින පැහැදිලි කිරීම් අනූව වාරියපොළ සුමංගල හිමිගේ ඉංග්‍රීසී ධජය බිම ඇද දමා සිංහ ධජය එසවීම හුදූ ජනප්‍රවාදයක් මිස සත්‍යයක් නොවනු ඇති බවයි මගේ හැඟිම.


ලොහාන් සහ මතක


 ලොහාන් රත්වත්තේගේ මරණය සවනට වැටෙන විට මා සිටියේ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ආසනයේ.


"ලොහාන් රත්වත්ත මැරිලා "


 යැයි මට නොදැනුවත්වම කියවෙන විට , නම නොදන්නා ත්‍රී රෝද රථ රියදූරා සැනෙන් කීවේ


"උඩතලවින්නේ මුස්ලිම් කොල්ලෝ දහදෙනාට කරපූවා තමා ඔය .." 

යනුවෙනි.


මනුෂ්‍ය මරණයක් පිළිබඳව මහජන මතය ගොඩනැගෙන අන්දම පිළිබඳ මට වැටහුනේ එවිටයි. 


ලොහාන් මියගිය විට කිසිවකු ඔහූ රාජ්‍ය ආමාත්‍යවරයකු ලෙස සිටි බවවත් , ඔහුගේ පියා හිටපූ ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වතේ බවවත් , ඔහූගේ නැන්දනිය ලොව පළමුවන අගමැතිනිය වූ සිරිමා ඩයස් රත්වත්තේ බවවත් , ඔහූගේ ඥාති සහෝදරිය මෙරට බිහිවූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රකා බණ්ඩාරණායක බවවත් , ඔහූගේ සීයා වූ හැරිස් ලෙව්කේ රත්වත්තේ 1932 තරම් ඈත රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් පසූව දියවඩන නිළමේ තනතුරද දැරූ බවවත් මතක නැත.


මිනිසුන්ට මතක පැපුවා නිව්ගිනියාවේ රග්බි ක්‍රීඩක සහ එවකට හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු වූ ජොයෙල් පේරා දෙනෝදහක් මැද වෙඩි තබා ඝාතනය කිරිම පමණි.  මිනිසුන්ට රත්වත්තේ දිසාවේවත් , බාන්ස් රත්වත්තේවත් මතක නැත.  මිනිසුන්ට මතක උඩතලවින්න ඝාතකයන් නිදොස් කොට නිදහස් කිරිමේ අභියාචනාධිකරණ තීරණය පමණි. මිනිසුන්ට මතක තමන් ඇසුරුකරන කාන්තාව සමඟ බන්ධනාගාරයට ගොස් එල්ලුම් ගස ඇයට පෙන්නවා , රාජකාරියේ සිටි නිලධාරීන් දණගස්සවා පිස්තෝලය කටට එබූ ලොහාන් රත්වත්තේ පමණි.


අප සියල්ලෝම කිසියම් දිනක , කිසියම් තැනක ,කිසියම් මොහොතක මියෙන බව ඇත්ත. එය මෙය ලියන මටත් , ජනාධිපති දිසානායකටත් , මහින්ද රාජපක්ෂටත් ,උදය ගම්මන්පිලටත් , විමල් වීරවංශටත් , ලාල් කාන්තටත් , චාමර ප්‍රසන්නටත් , ප්‍රසන්න රණතුංගටත් , හරිනි අමරසූරියටත් , කාදිනල් හිමිපාණන්ටත්, මල්වත් අස්ගීරී පාර්ශව ප්‍රධාන සංඝනායක හිමිපාණන්ටත්, අනෙකුත් ආගමික ශාස්තෲවරුන්ටත් පොදු කරුණකි. 


නමුත් !! කමින් බොමින් නටමින් ජිවත්වන විට තමා මියගිය පසූ ලෝකයා තමාගැන මතක තබාගන්නේ කෙසේද යන්නත් යාන්තමින් හෝ සිතා බැලිය යුතුය. අපට ලොහාන්ගේ මරණයෙන් උගත හැකි එකම පාඩම එයයි.


මනුජය තෙන්නකෝන්

Wednesday, 13 August 2025

කදිරගාමර් ඝාතනයට දශක දෙකක්

 කදිරගාමර් ඝාතනය මුලින්ම මා සවනට ඇසුනේ 2005 අගෝස්තු 13 උදේ ගුවන් විදුලියෙන්.ඝාතනය LTTE ස්නයිපර්කරුවකු විසින් සිදුකළ බවත් ජාතික රෝහලට අමාත්‍යවරයා රැගෙන යන විට මරණයට පත්වුනු බවත් , බෙල්ලට සහ හිසට එල්ල වූ මාරාන්තික උණ්ඩ දෙකකින් LTTE සංවිධානය , කදිරගාමර් මහතාගේ ඉරණම විසඳා තිබිනි. මේ ප්‍රවෘත්තිය  ගුවන් විදුලි යකඩ කට සැරෙන් සැරෙන් ඇසුන බවද මට මතකය.   


කදිරගාමර් මහතා කුමාරණතුංග ආණ්ඩූවේ ඒ මොහොතේ විදේශ අමාත්‍යවරයා බවත් ,  රටේ ඉහළම මට්ටමේ රාජතාන්ත්‍රිකයා බවත් , චන්ද්‍රිකාගේ ආණ්ඩූවේ මිළඟ අගමැති අපේක්ෂකයා වීමේ හොඳම සුදුසුකම් සහිත වූ පුද්ගලයා ඔහු බවත් මාහට කල් යනකොට අවබෝධ කරගැනිමට හැකිවිනි. ඒත් ඔහුගේ දියණිය පහු කාලෙක රචනා කළ "The cake that was baked at home " කෘතිය කියවිමෙන්  කදිරගාමර්ගේ නික්මයාමේ දිග පළළ හරිආකාරව මට තේරුම් ගැනිමට පිළිවන් විය.


 විශේෂයෙන් පශ්චාත් යුධ සමයේදි ඉතා කඩිනමින් ගතයුතුව තිබූ එහෙත් නොගත් දේශපාලන විසඳුම් කදිරගාමර් වැන්නකු සිටියානම් මොනාආකාරයෙන් විසඳනු ඇතිද කියා මම කල්පනා කරලා තිබුනා. ඔහූගේ ඇවෑමෙන් ඒ හිස්තැන පිරවූ බොහෝදෙනා හුදු දේශපාලන පඹයන් පමණක් වී රටේ ගොඩනැගිය හැකිව තිබූ සංහිඳියාව කඩා බිඳ හෙළිම අදද කම්පාවන සුලූ  මතකයකි.


දෙමළ ජාතීන්ට ද්‍රෝහිත්වය දැරූ වරදට LTTE ත්‍රස්තයන් විසින් කදිරගාමර් ඝාතනය කොට ඊයේට දශක දෙකකි. ඔහූගේ මරණයෙන් වසරක් ගෙවුනු තැන හතරවන ඊළාම් යුද්ධය මාවිල්ලාරු හරහා ආරම්භ වූ අතර ඔහූගේ මරණයෙන් වසර හතරක් ගෙවීමට මාස දෙකක් තිබියදි  එකී යුද්ධය සංග්‍රාම භූමියේදි පරාජය කළේය. 


එහෙත් තුවක්කුවෙන් විසඳගැනිමට නොහැකි බොහෝ කරුණු තවමත් සාකච්චා මේස මත ඉතිරිව ඇත. කදිරගාමර් වැන්නවූන් අවශ්‍යය වූවේ ඒ සාකච්චා මේසයේ ඉදගැනිමටයි.


ලක්ෂමන් කදිරගාමර් (1932-2005)


මනුජය තෙන්නකෝන්.


Tuesday, 12 August 2025

පැණි වළලූ

 



මගේ අප්පච්චි ජිවත් වෙලා ඉන්නකන් කියෙව්වේ ලංකාදීප පත්තරේ. එයා සෙනසුරාදා වැඩ ඇරිලා එනකොට දෙකට නමාගෙන එන පත්තරේ මුල්ම සුවඳ බැලූවේ මම. ඒ සුවඳ පත්තරේ ඇතුළෙ කොලමක ජිවත් උන මනුස්සයෙක්ට මම ඒ වගේම ආදරේ කරා. කොලමේ නම "පැණි වළලු" . ඒ පැණි පිරුණූ කොලම ලීව ආදරණීය මනුස්සයා ධම්මික ගංගානාත් දිසානායක. හරියටම කිවොත් මහාචාර්‍ය ගංගානාත් දිසානායක. 

පොකුටූ කොණ්ඩෙයි , සුදු පාට දම්වැල් මාලෙයයි , උඩ බොත්තම ඇරපූ කමිසයයි  එක්ක ගංගානාත් දිසානායක මහාචාර්‍ය කෙනෙක් කියලා මට කවදාවත් දැනූනේ නෑ. එයාගෙ කොලමෙන් මට හැමදාම දැනූනේ නුවර ඉපදිලා,කන්ද උඩ ධර්මරාජෙට ගිහින් එතනින් ජපුරට ආව , මිනිස්සූ ,ජිවිතේ ,ලෝකේ ගැන දැනෙන කතා ලීව මනුස්සයෙක් විදියට විතරයි. එයා කොච්චර ලොකූ මනුස්සයෙක්ද කියලා මට තේරුනේ පස්සේ කාලෙක ජපානේ  තානාපති උනා කියලා දැක්කම. 

පොළේ කූර විකුණන අම්මගේ ඉදන් තමන්ගේ නුවර ගෙදර උන්නූ පූසා , ආච්චි අම්මා , පොඩි කාලෙම නැති උනූ තමන්ගේ අම්මා , ජපානේ ජිවිතේ , මුලින් කන්න නොහිතෙන ඒත් පස්සේ රසකර කර කන සූෂි මේ හැමදේම ගැන පැණි වළලු කොලමේ ලිව්වා ගංගානාත් , ඒ ඔක්කොම එකතු කරලා පොත් තුනකුත් කරේ ගංගානාත්මයි
. මගේ ජපන් මිතුරියකට මම දවසක් කීවේ

 "ඔයාගේ රට ගැන මම මුලින්ම දැනගත්තේ ඔෂින් බලලා ඊළඟට  ගංගානාත් දිසානායක ලීව පැණි වළලු කොලම කියවලා. " 

ගංගානාත් දිසානායක නැතිවෙන කාලේ ලංකාවේ Youtube සම්මුඛ සාකච්චා මෙච්චර ප්‍රචලිත නැති නිසා , එයාගේ රස කතා අහන්න ,බලන්න පුලුවන් කමක් අපට තිබුනේ නෑ. එහෙම තිබුන නම් එයාව Youtube එකේ හැමතැනම පේන තරමේ රසවත් මනුස්සයෙක් වෙන්න තිබ්බා. එයාට ඒ තරම් කියන්න කතා තිබුනා. පුලුවන් තරමක් ඒවා ලීවා. අනෙක් ටික එයා එක්කම නැතිවෙලා ගියා. 

ඊයෙට ගංගානාත් දිසානායක නැතිවෙලා අවුරුදු පහයි. මහරගම අපේක්ෂා රෝහලේදි අවුරුදු හැට දෙකකින් ජිවිතෙන් බැහැල ගියපූ පැණි වළළ්ලේ සාඩම්බර නිමැයුම්කරු අද මිනිස්සුන්ට මතකද කියන්න මම දන්නේ නෑ. ඒත් ඔහූ වගේම ඔහූගේ ලියවිල්ලත් අමතක නොවෙන තරම් සුන්දරයි කියලා විතරක් මට  දිව්රලා කියන්න පුලුවන්. 

මීට ආදරෙන් : පැණි වළලු කොලම හොයන්න ලංකාදීප පත්තරේ උඩුයටිකුරු කරපූ පොඩි එකා. 

Sunday, 10 August 2025

කතාකරන පින්තූර

 මාතර කෝට්ටේගොඩ , රත්නපුරේ මහවලතැන්න , ගම්පහ අත්තනගල්ල , හම්බන්තොට මැදමුලන , අනුරාධපුරේ තඹුත්තේගම වගේම ලංකාවේ දේශපාලනේට දරුණූ සෙලවිමක් කරපූ තැනක් තමා යාපනේ අර්ධද්වීපයේ වැල්වැටිතුරේ කියන්නේ. 



ලංකාව අවුරුදු තිහක යුද්ධයක හිර කරලා , අවුරුදු පනහකින් රට සම්පූර්ණයෙන්ම ආපස්සට හරවපූ ප්‍රභාකරන්ගේ උපන් ගම වැල්වැටිතුරේ. විජේවිරට කෝට්ටේගොඩ , මහවලතැන්නට සිරිමාවෝ , අත්තනගල්ලට බණ්ඩාරනායක,මැදමුලනට රාජපක්ෂ , තඹුත්තේගමට අනුර දිසානායක වගේම වැල්වැටිතුරේට ප්‍රභාකරන් වෙන්නේ අන්න ඒ විදියට. 


යාපනේ ඉදන් යාපනේ තුඩුවේ පාරේ විනාඩි 40 ගිය තැන වැල්වැටිතුරේට යන්න පුලුවන් . ඊටත් වඩා කන්කසන්තුරේ නමි ඉන්නේ , පලාලි හරහා කිලෝමීටර් 15 දුරින් තියෙන වල්වැටිතුරේට යන්න විනාඩි 25 යයි.  තාමත් අව් කාෂ්ටේ ගිනිගන්න වැල්වැටිතුරේ ,ප්‍රභාකරන්ගේ කියන්න කිසිම දෙයක් නෑ. ඔහුගේ උපන් නිවස ආරක්ෂක අංශවලින් බූල්ඩෝසර් කරාත් එක්කම ඉතිරි වෙලා තිබුනේ ඔහුගේ නිවසේ  තාප්පයක එක කොටසක් විතරයි.  ඒත් තාමත් වැල්වැටිතුරේ වැඩිහිටියෙක්ගෙන් 


"Thalaivar (ලොක්කාගේ) ගෙදර කොහෙද ඇහුවොත්. " 


ඔහූට ඔබව සැක නැත්නම් ,ප්‍රභාකරන්ගේ ගෙදර තිබ්බ තැනට ඔබව එක්කන් යන්නත් පුලුවන්. ඒත් අඩියෙන් අඩිය තියෙන කඳවුරු නිසා කව්රුත් ඒ අවදානමට කැමැති වෙන්නේ නෑ.


 වැල්වැටිතුරේ කියන්නේ ගුප්ත , රහස් හංගන නඟරයක්. ධීවර නගරයක් කියලා පිටින් පෙනූනට , වැල්වැටිතුරේ මිනිස්සූ තනිකරම ජීවත් උනේ හොර බඩූ ජාවාරමෙන්. ඒ හින්දම එකිනෙක කෙරෙහි ඇතිවෙන සැකය , ස්වයං ආරක්ෂණය වගේම මඟහැරීම උතුරේ අනෙක් තැන්වලට වඩා වල්වැටිතුරේ බහුලවම තියෙනවා. මම උතුරේ නොවෙන්නෙක් වගේ බාහිරින් පේනව නම් 


"ඇයි උඹ මෙහෙ ආවේ ?" අහන්න ඒ මිනිස්සූ පැකිළෙන්නේ නෑ."


ඒ හැසිරිම කන්කසන්තුරේ , කිලිනොච්චියේ පවා අඩු වැඩි විදියට තියෙනවා. පටූ පාරවල් , පොඩි ගෙවල් , නිතරම අවදානෙන් අවදිවෙලා ඉන්න මිනිස්සූ ප්‍රභාකරන්ගේ LTTE ආරම්භයට හොඳටම කැපූන මිනිස්සූ. 1975 දි යාපනේ ප්‍රතිමූර්තිය වගේ හිටපූ ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පට වෙඩි තිබ්බ වල්වැටිතුරෙන් ආපූ පොඩි කොල්ලා (මුල් කාලේ සංවිධානේ ඇතුළේ ප්‍රභාකරන්ට කීවේ තම්බි (මල්ලී) කියලා.) වුනු ප්‍රභාකරන් , සතාසිවම් ක්‍රිශ්නකුමාර් නොහොත් කිට්ටූ වගේම නඩරාජ් තංගවේලූ නොහොත් තංගදුරෙයි කියන තුන්දෙනාම වැල්වැටිතුරෙන් බත් කාපූ අය. ඒ නිසා වල්වැටිතුරේ කියන නම උතුරේ අනෙක් හැම ගමකටම වඩා ප්‍රසිද්ධයි.


අදටත් වල්වැටිතුරේ ඇතුළු උතුරේ මිනිස්සූ ඊළමට පක්ෂයි ,ආදරෙයි  ,නායකයා ගැන ගෞරවයෙන් කතා කරනවා. මං මේ කියන්නේ කසිප්පූ බූලියක් බීගෙන රෑට පිස්සූ නටන අවුරුදු 25-30 කොල්ලෝ ගැන නෙවෙයි. යුද්ධය දැක්ක , වින්ද වැඩිහිටියෝ. හැබැයි ඒ එක්කම යුද්ධයේ බිහිසුණු බවට , තල් ගස් ගලවගෙන යන මෝටාර් වලට , හදිසි වැටලීම් වලට , ගෙවල් දොරවල් දාලා අනාථ කඳවුරු ඇතුළේ ජිවත් වෙන ජිවිතයට අකමැති. 


හැබැයි ඒ දෙකෙන් එකක් විතරක් තෝරගන්න බෑ කියලා උතුරේ මිනිස්සූන්ට තාමත් තේරෙනවද කියන එක ප්‍රශ්නයක්.


ඡායාරූපය : වල්වැටිතුරේ අද තත්වය.


Wednesday, 6 August 2025

කතා කරන පින්තූර

  "පෝර්ට් ඔෆ් ස්පේන් සිට පැමිණි කුමාරයා"


බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් මතුවුනූ දර්ශනීය වමත් පිතිකරුවාව ක්‍රිකට් ලෝකය හැඳින්වූවේ එහෙමයී.  බ්‍රයන් චාල්ස් ලාරා ගැන බොහෝ දෙනෙක්ට මතක තියෙන්නේ සර් ගාෆිල්ඩ් සෝබර්ස් ගේ ලකුණු 364  ඉක්මවපූ ඉනිම ගැන එහෙම නැත්නම් එංගලන්තයට දුවන්න ගහපූ ලකුණු 400 ගැන. ඒත් ලාරා ඕස්ට්‍රේලියාවට 92-93 තරග වාරේ ගහපූ ලකුණු 277 ගැන කතා නොකෙරෙන තරම්. 


මේ තරගාවලියේ පළවෙනි තරගේ බටහිර ඉන්දිය කොදෙව්වන් බොහෝම අමාරුවෙන් බේරගත්තත් ,  දෙවෙනි මෙල්බර්න් තරගය ෂේන් වෝන් ඇවිත් ගත්ත කඩූලූ හතත් එක්ක සුනුවිසුණු උනා. 


තුන්වෙනි සිඩ්නි තරගෙත් මුලින් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානූවෝ ලකුණු 503 දාලයි කොදෙව්වෝ බැට් කරන්න දැම්මේ. එදා නොම්බර හතරෙන් පිටියට ආපූ අවුරුදු 23 තරුණ ලාරා  රිදෙන පාරවල් කීපයකින් තමන්ගේ මංගල ශතකේ රැස් කලා. නායකයකා උනූ රීචී රිචර්ඩ්සන් දුන්න සහයෝගය එක්ක , එතනින් 150,200,250 යනකනුත් ඕස්ට්‍රේලියානූවෝට ලාරව නවත්තගන්න බැරි උනා. හතරේ පහරවල්ම 38 ක්. පන්දූ 362, පහර දිමේ වේගේ 78.6. ඉබිගමනින්ම නෙවෙයි මේ ඉනිම ගැහූවේ.


ඕස්ට්‍රේලියානූ වේග පන්දූ යවන්නන්ට ලාරගේ අහසේ ඉදන් එන බැට් ලිෆ්ට් එක වගේමත් , දඟ පන්දූ යවන්නන්ට ඔහූ ගහපූ ස්වීප් පහරවලුත් පාලනය කරගන්න  කිසිම අදහසක් තිබුනේ නෑ.

හෙල්මට් එකේ ආරක්ෂිත දැලත් නැතුව අධිවේගි සිඩ්නි තණතිල්ලේ ලාරා   හතර අතේ පහරවල් එල්ල කරා. ඩ්‍රයිව්ස් , කට්ස් වගේම පූල් පහරවලුත් ලාරගේ 277 වර්ණවත් කළා. වැඩේ කොච්චර බරපතළ උනාද කියලා කියනවනම් ඇලන් බෝඩර්ටත් ඇවිත් ඕවර්ස් 14 දාන්න උනා.  


ලාරාගේ ලකුණු 277ඉස්සරහ අසරණ උනූ  ඕස්ට්‍රේලියානූවෝ ඔහූව පරාද කළේ දුවද්දි දැවියාමකින්. මංගල ශතකය ,මංගල ද්විත්ව ශතකය අන්තිමට මංගල ත්‍රිත්ව ශතකයත් පේන මානෙදි නොතිබුනු ලකුණකට කලබල උනූ තරුණ ලාරා දුවද්දි දැවී යාමකට අසූ උනා. හැබැයි තව අවුරුද්දක් ගතවුන තැන ඔහූ ,සර් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ ලකුණු 364  වාර්තාව පහූ කරා.ලාරා පස්සෙ කාලෙක තමන්ගේ දුවට "සිඩ්නි ලාරා" කියන නම දුන්නේ තමන්ගේ අනුස්මරණීය සිඩ්නි ඉනිම සිහිකිරිමක් විදියට.



ඉයන් චැපල්ට අනූව තමන් දැක්ක හොඳම ඉනිම් අතර තුන්වෙනි තැනට නම් කරන්නේ අවුරුදු විසි තුනේ බ්‍රයන් ලාරාගේ සිඩ්නි 277 ඉනිම.චැපල්ගේ වචනවලින්ම කියනවනම්.


"Kid was very very good ." 


ඡායාරූපය : ලාරා සිඩ්නි පිටියේදි ලකුණු 277 දුවද්දි දැවී යාමට අසුවීම.

Monday, 4 August 2025

කතා කරන පින්තූර

 අද ඕවල් ක්‍රීඩාංගණයේ එංගලන්ත ඉන්දියා පස්වෙනි ටෙස්ට් තරගේ එංගලන්ත දෙවෙනි ඉනිමේ අවසන් කඩුල්ලට ක්‍රීස් වෝක්ස් කියන කඩවසම් තරුණයා ආවේ එක අතක් එල්ලගෙන. දෙවෙනි දවසේ පන්දූ රකිනකොට උරහිස පැන්න වෝක්ස් , එතන ඉදන් එංගලන්ත ඉනිමේ එක පන්දුවක්වත් නොයවා ක්‍රීඩාගාරයේ හිටියේ.


ඒත් ඉන්දියානුවෝ තමන්ට පේන්න තිබුන දිනුම උදුරගන්නවා දැක්ක වෝක්ස් වේදනාවට බම්බූ ගහගන්න කියලා බැට් එක අරගෙන ආවා. ලකුණු හයකින් ඉන්දියාව තරගේ දින්නත් ක්‍රිස් වෝක්ස් අපේ හදවත දිනාගත්තා.

https://youtu.be/YDopqjqIhlA?si=Jvjz2mpM6oZaajHb

ඒ වගේම හදවත හොරා ගැනිමක් උනා 1963 ජූනි 25 වෙනිදා එංගලන්ත ,බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දෙවෙනි තරගේ. තරගේ තිබ්බේ ලෝඩ්ස් වල. එංගලන්තේ ලකුණු 234 ඉලක්කයක් එලවනවා කඩූලූ දෙකක් අතේ තියාගෙන. ජයග්‍රහණයට ලකුණු 6 තියෙන වෙලාවේ Shackleton දුවද්දි දැවෙනවා. දැන් එංගලන්ත අවසන් පිතිකරුවා ලෝඩ්ස් වල දහස් ගණනක ප්‍රේක්ෂකයෝ මැදින් ඇවිදගෙන එනවා. 

ඒ තමා ජිවත්වෙන දැවැන්තයා Colin Cowdrey.සංගක්කාර දේශනය පවත්වපූ Colin Cowdrey ම තමා . මිනිහගේ වම් අත වැහෙන්න ප්ලාස්ටෝ පැරිස් බදාමයක් . දකුණු අතේ පිත්ත. David Allen එක්ක බේර ගන්න පන්දූ දෙකක් තියනවා. ඒ තරගේ එංගලන්තේ සම කරගත්තා.හැබැයි තරගාවලිය 3-1 පරාද උනා. ඒත් පරණ එංගලන්තකාරයින්ට Colin Cowdrey කැඩූනූ අතක් එක්ක ලෝඩ්ස් මැදට ඇවිදගෙන ආපූ විදිය අමතක කරන්න බැරි උනා සෑහෙන කාලෙකට.


එදා Cowdrey අද Woakes !!


ඡායාරූපය : 1963 ලෝඩ්ස් පිටියට ඇවිදින Cowdrey සහ 2025 ඕවල් පිටියට පැමිණෙන Chris Woakes.

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...