මගේ අප්පච්චි ජිවත් වෙලා ඉන්නකන් කියෙව්වේ ලංකාදීප පත්තරේ. එයා සෙනසුරාදා වැඩ ඇරිලා එනකොට දෙකට නමාගෙන එන පත්තරේ මුල්ම සුවඳ බැලූවේ මම. ඒ සුවඳ පත්තරේ ඇතුළෙ කොලමක ජිවත් උන මනුස්සයෙක්ට මම ඒ වගේම ආදරේ කරා. කොලමේ නම "පැණි වළලු" . ඒ පැණි පිරුණූ කොලම ලීව ආදරණීය මනුස්සයා ධම්මික ගංගානාත් දිසානායක. හරියටම කිවොත් මහාචාර්‍ය ගංගානාත් දිසානායක.
පොකුටූ කොණ්ඩෙයි , සුදු පාට දම්වැල් මාලෙයයි , උඩ බොත්තම ඇරපූ කමිසයයි එක්ක ගංගානාත් දිසානායක මහාචාර්‍ය කෙනෙක් කියලා මට කවදාවත් දැනූනේ නෑ. එයාගෙ කොලමෙන් මට හැමදාම දැනූනේ නුවර ඉපදිලා,කන්ද උඩ ධර්මරාජෙට ගිහින් එතනින් ජපුරට ආව , මිනිස්සූ ,ජිවිතේ ,ලෝකේ ගැන දැනෙන කතා ලීව මනුස්සයෙක් විදියට විතරයි. එයා කොච්චර ලොකූ මනුස්සයෙක්ද කියලා මට තේරුනේ පස්සේ කාලෙක ජපානේ තානාපති උනා කියලා දැක්කම.
පොළේ කූර විකුණන අම්මගේ ඉදන් තමන්ගේ නුවර ගෙදර උන්නූ පූසා , ආච්චි අම්මා , පොඩි කාලෙම නැති උනූ තමන්ගේ අම්මා , ජපානේ ජිවිතේ , මුලින් කන්න නොහිතෙන ඒත් පස්සේ රසකර කර කන සූෂි මේ හැමදේම ගැන පැණි වළලු කොලමේ ලිව්වා ගංගානාත් , ඒ ඔක්කොම එකතු කරලා පොත් තුනකුත් කරේ ගංගානාත්මයි
. මගේ ජපන් මිතුරියකට මම දවසක් කීවේ
"ඔයාගේ රට ගැන මම මුලින්ම දැනගත්තේ ඔෂින් බලලා ඊළඟට ගංගානාත් දිසානායක ලීව පැණි වළලු කොලම කියවලා. "
ගංගානාත් දිසානායක නැතිවෙන කාලේ ලංකාවේ Youtube සම්මුඛ සාකච්චා මෙච්චර ප්‍රචලිත නැති නිසා , එයාගේ රස කතා අහන්න ,බලන්න පුලුවන් කමක් අපට තිබුනේ නෑ. එහෙම තිබුන නම් එයාව Youtube එකේ හැමතැනම පේන තරමේ රසවත් මනුස්සයෙක් වෙන්න තිබ්බා. එයාට ඒ තරම් කියන්න කතා තිබුනා. පුලුවන් තරමක් ඒවා ලීවා. අනෙක් ටික එයා එක්කම නැතිවෙලා ගියා.
ඊයෙට ගංගානාත් දිසානායක නැතිවෙලා අවුරුදු පහයි. මහරගම අපේක්ෂා රෝහලේදි අවුරුදු හැට දෙකකින් ජිවිතෙන් බැහැල ගියපූ පැණි වළළ්ලේ සාඩම්බර නිමැයුම්කරු අද මිනිස්සුන්ට මතකද කියන්න මම දන්නේ නෑ. ඒත් ඔහූ වගේම ඔහූගේ ලියවිල්ලත් අමතක නොවෙන තරම් සුන්දරයි කියලා විතරක් මට දිව්රලා කියන්න පුලුවන්.
මීට ආදරෙන් : පැණි වළලු කොලම හොයන්න ලංකාදීප පත්තරේ උඩුයටිකුරු කරපූ පොඩි එකා.
❤️
ReplyDeleteThank you.
Delete