Friday, 15 August 2025

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිමතාන්තර බොහෝමයකි.එහි සත්‍ය අසත්‍යටාව කෙසේදයත් එකී සිදුවීම අනූරූපිත ඉටි පිළිමයක් පවා මහනුවර ඉටි රූප කෞතුකාගාරයේ නිමවා ඇත. නමුත් බොහෝ විද්වත් මත අනූව ගිවිසුම අත්සන් වන විට වාරියපොළ සුමංගල හිමියන් එවන්නක් සිදුකර නැත.


පළමු පැහැදිලි කරවා ගැනිම නම් 1815 මාර්තු දෙවෙනි දින Kandyan Convention නොහොත් උඩරට ගිවිසුම කෙටුම්පත් කරවිමේදි කිසිදූ භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා නැත. එය Sri Wickrema , Brownrigg and Ehelepola කෘතියේත් , ජෝන් ඩොයිල්ගේ දින පොතෙත්  පැහැදිලිවම සටහන් කර ඇත.රාජ තාන්ත්‍රික කෝණයකින් සිතා බැලූවත් , ගිවිසුමට පෙර භික්ෂූන් වහන්සේලා බැහැ දැක අදහස් විමසන බැවින් කෙටුම්පත් කරවිමේදි උන්නාන්සේලා නැවත ගෙන්විමේ සිරිතක් නැත. එදින රාත්‍රී 7:30 වන තෙක් අදිකාරම්වරු  සහ දිසාවේලා සමඟ ගිවිසුමේ ආගම සම්බන්ධ කරුණු සාකච්චා කළා විනා කිසිදූ භික්ෂූන්ගේ සම්බන්ධයක් එදිනට තිබි නැත. 


ඩොයිලිගේ මාර්තු දෙවෙනි දින වාර්තාව අනූව 


"පස්වරු හතරට රැස් වී ගිවිසුමේ වගන්ති කියවා අවසන ධජය එසවීම සහ ආචාර්‍ය වෙඩි මුර පැවැත්විම සිදු වී ඇත. " 


නමුත් වාරියපොල ශ්‍රී සුමංගල හිමිගේ කලබල කිරිමක් එදිනවත් ,මාර්තු තුන්වන දිනවත්  සිදු වී නැත.  මාර්තු තුන්වන දින ඇහැළේපොළ විසින් දිසාවනි සහ රට ප්‍රධානීන් පෙර රජ කල මෙන් දණ ගැස්සවිමට උත්සහ කිරිමේදි උද්ගතවූ ප්‍රශ්ණයක් හැරෙන්නට වෙන යමක් වී නැත. අනෙක් සාධාරණ තර්කය නම් පසුකාලීනව ලියවූ ලිපි තුළ වාරියපොළ සුමංගල හිමිගේ ධජය පහතට හෙළිමේදි කුපිත වූ ඉංග්‍රීසී සෙබළුන් පාලනය කොට ඇත්තේ ජෝන් ඩොයිලි බව පැවසිමයි (ජනප්‍රවාද මත පිහිටවා ලීවූ සටහන්) . නමුත් එවැන්නක් ඩොයිලිගේ වාර්තා තුළ නොවිම පුදුමඑලවන සුලු සිදුවිමකි.  විශේෂයෙන්ම ඔහූ මාර්තු දෙවනි දින ගැන දිනපොතේ ලියා ඇත්තේ 

" හොඳ උණුසුම් දිනයක් , පැහැපත් අහසක් " 


යනුවෙනි. ඉංග්‍රීසී ධජයක් බිම දමා කලහෝලාහලයක් සිදූවූ දිනක ඔහූට එවැන්නක් කිසිවිටක ලිවිමට හැකියැයි සිතීම අපහසුය. 


මාර්තු 2 දින වාරියපොළ සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම නොදැමූවේ නම් නැවත එය කළ හැකිව තිබුනේ මාර්තු 10 වන දිනයි. එදින ඊට සතියකට පෙර කෙටූම්පත් කළ ගිවිසුම සහ වගන්ති දොළහා , එහි පැමිණ සිටි අදිකාරම්වරුන් සහ දිසාවේවරුන් විසින්  අත්සන් කරන ලදි. බ්‍රවුන්රිග්ද මෙහි පැමිණ සිටි අතර මහා බ්‍රිතාන්‍ය ගැසට් වාර්තාවත් සහ ඩොයිලිගේ වාර්තා නැවත ඒ සඳහා සාක්ෂි දරනු ඇත. මොල්ලොගොඩ සහ ඇහැළේපොළ අදිකාරම්වරු මූලිකරගත් ගිවිසුම අත්සන් කිරිමට අස්ගිරී සහ මල්වතු පාර්ශවයේ මහනායකවරුන්ද පාවඩ එලා කැඳවා තිබිනි. මාර්තු දෙවෙනි දින අස්ගීරී පාර්ශවයේ භික්ෂුවක් සිය රටේ ධජය බිම දමා පාගා තිබුනේ නම් බ්‍රවුන්රිග් මෙවැනි ගරු සැලකිල්ලක් දැක්විමට ඉඩක් නැත..


මාර්තු 10 දින ගිවිසුම අත්සන් කිරිමේ උත්සවයට පැමිණි උභයපාර්ශවික භික්ෂූන් අතර 


මල්වතු පාර්ශවය : කොබ්බෑකඩුව නායක  උන්සන්සේ සහ වැලිවිට අනුනායක උන්නාන්සේ


අස්ගිරී පාර්ශවය : මාවතගම නායක උන්නාන්සේ සහ තුඹගොඩ අනුනායක උන්නාන්සේ 


සිටි අතර අදිකාරම්වරුන් දෙදෙනාගේ ඉල්ලීම මත


නාථ දේවාලයේ බස්නායක නිලමේ : රණවන

මහා දේවාලයේ බස්නායක නිලමේ : ලෙව්කේ


කැඳවා තිබිනි.


නැවත වාරියපොළ සුමංගල හිමි ගැන මෙහි සඳහනක් නොමැත.ගිවිසුම අත්සන් කිරිමෙන් පසූ  විහාර හා නින්දගම් නැවත ඒ ඒ විහාර වෙතට පැවරීමේ එකඟතාව මත පාර්ශව දෙකම විහාර වෙතට කැදවාගෙන යාමේදි ඉංග්‍රීසී තූර්‍ය වාදන ආචාර පැවැත්විය . එය නම් පැරණි යටත්විජිත ලිපි ලේඛන තුළද පැහැදිලි කොට ඇත. මාර්තු තුන්වන දින බිම හෙළන්නට නොහැකි වූ ධජය මාර්තු දහවන දින බිමහෙළා තිබුනේ නම් මල්වතු සහ අස්ගීරී මහානාහිමිවරුන් නැවත වැඩමවීම මෙතරම් ගරු ගාම්භීරව නොවනු ඇත. 


ඉංග්‍රීසී ධජය පහත හෙළිම පිළිබඳව මහාචාර්‍ය ඔබේසේකරගේ අදහස නම් එය කිසිවිටක සිදූ නොවූවක් බවයි. ඔහූගේ පළමූ සාමාන්‍ය (General) තර්කය නම් එදින මඟුල් මඬුව වැනි ඉංග්‍රීසී සෙබළු ආයූධ සන්නද්ධව සිටින තැනක සිය උසස් නිලධාරීන් ඉදිරියේ සිංහල භික්ෂුවක් ඉංග්‍රීසී ධජයක් බිම හෙලූවේ නම් වාරියපොළ සුමංගල හිමිට අත්වන ඉරණම පිළිබඳවයි.හැඟිම්බර වීමකින් තොරව ඒ පිළිබඳ සිතුවේ නම් එවැන්නක් කර තිබුනේ නම් , වාරියපොළ සුමංගල හිමි නිරුපද්‍රිතව උඩරට සිටිම ඇති හැකියාව අල්පය.


  දෙවැන්න , මෙතරම් වීරත්වයට නැංවිය හැකි සිදුවීමක් පාදක කරගත් කිසිදූ ඉංග්‍රීසී හෝ සිංහල ලියවිල්ලක් නොමැති විම. ඒ කරුණ තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි විසින් රචිත "වාරියපොළ අනූනාහිමි සහ උඩරට ගිවිසුම" නම් කෘතියේද  අවධාරණය කර ඇත. උන්නාන්සේද මෙකී ධජය බිමහෙළිම ජනප්‍රවාදයට එහා ගිය දෙයක් නොවන බව පවසයි.


තෙවන්න , සුමංගල හිමි එසවූවා යැයි සැලකෙන සිංහ ධජය පිළිබඳව ඇති විසංවාදය. උඩරට ගිවිසූමට පෙර අවසන් රජූ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහ කොඩියක් භාවිතා කොට නැත. 1818 කැරැල්ලේ සිටි කැප්පෙටිපොළ හෝ වෙනයම් අයෙක්ද සිංහ කොඩියක් දරා නොමැත . ඒ පිළිබඳ ඉංග්‍රීසී හටන් කවි තුළද නැත.  විය හැකි දෙය ලෙස මහාචාර්‍ය ඔබේසේකරගේ තර්කය නම්  වාරියපොළ හිමි සත් කෝරළයෙන් පැමිණි නිසා ඔවුන්ගේ ප්‍රාදේශීය කොඩිය 1818 අරගල අවසන් අත්අඩංගුවේදි ඔසවන්නට ඇති බවයි. හේතුව සත් කෝරළයේ ධජය තුළ සිංහයෙක් අඩංගුවීමයි. ඒ සිංහයාද කඩුව දරන්නෙක් නොව සිව්පා මත සිටින්නෙකි. ඒ නිසා 1818 කැරැල්ලේ සිදුවූ සිදුවීම ජනප්‍රවාද හරහා පරිණාමය වී මඟුල් මඩුව තුළ සිදූවූවක් ලෙස වරනගන්නට ඇත.  


මීට අමතරව මා මේ මිත්‍යාව තහවුරු කරගැනිමට වාරියපොළ සුමංගල හිමිගේ වයස (උන්නාන්සේ 1831 අපවත් වන විට ඉතා වයෝවෘද්ධව සිටි බව පැවසේ ) ගණනයට උත්සහ කළද ඒ සඳහා ප්‍රමාණවත් දත්ත හෝ තොරතුරු නොමැත්තේය. නමුත් කෙසේ හෝ පවතින පැහැදිලි කිරීම් අනූව වාරියපොළ සුමංගල හිමිගේ ඉංග්‍රීසී ධජය බිම ඇද දමා සිංහ ධජය එසවීම හුදූ ජනප්‍රවාදයක් මිස සත්‍යයක් නොවනු ඇති බවයි මගේ හැඟිම.


No comments:

Post a Comment

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිම...