Thursday, 21 August 2025

ගිනිතැබිම

අම්මා මට සුදු කමිසය අන්දලා හැඩ බලන්න ගත්තා,"කෝ මෙහාට..ආ..දැන් මෙහාට" වමට දකුණට හරව හරවා එයා මගේ හැඩ බලන්න පටන් ගත්තා,සද්දයක් වත් නැතුව එයා හරවන හරවන පැත්තට මාත් හැරෙන්න ගත්තා.පොල් තෙල් තලියක් "තක්ස් " ගාලා අප්පච්චි ඔලුවට දැම්මා.ටිකකින් පොල් තෙල් නළලටත් එතනින් කන් දෙක දිගෙත් බේරෙන්න ගත්තත් මම කරබාගෙන හිටියා.එයාගේ කලු පැතලි සාක්කු පනාවෙන් සුලිය පන්නලා මගේ කොන්ඩේ පීරන්න ගත්තා.කන දෙපැත්තෙන් වැටෙන කොන්ඩ කෑලී දෙක පිටිපස්සට පීරලා එයා, "දැන් හරි" කියලා සද්දෙට කීවා.



මේ ඉස්කෝලේ පළවෙනි දවස නෙවෙයි .මුල්ම දවස් වල සෙල්ලම් ගෙවල් හදලා අපිට සෙල්ලම් කරන්න දුන්නා,අපේ සෙල්ලම් ගේ නිල් පාට ඉටි රෙදි වලින් වට කරලා තිබුනේ,මං වගේ දෙකක් විතර මහත උණ ගස් හතරකින් විසාල වහල අපේ ඔලුවට වැටෙන්නේ නැතුව බේරගෙන හිටියා. කලු කණ්නාඩි කුට්ටමක් දාපු වයස ටීච කෙනෙක් අපේ සෙල්ලම් ගේ පුටුවක ඉඳගෙන ඔරවගෙන හිටියා.ළමයෙක් තක්කඩි කමක් කරොත් "ඒයී ...ඒයී.ගුටි!" කියලා සද්දෙට කියන්න ගත්තා.එයාගේ සද්දෙට අකමැති නිසා මම එයාගේ මූණ දිහා නොබලා ,පාට කරන්න දුන්න රූපේ එක්ක හිනා උනා.එයා මගේ අම්මගෙත් ක්ලාස් ටීචර් කියලා අම්මා පස්සේ කාලෙක මාත් එක්ක කීවා.


මම ආපහු බෑග් එක ඇරලා අලුත් චිත්‍ර පොත එළියට ගත්තා.සුදුම සුදු දිග කොළ හෙමින් හෙමින් මම පෙරළන්න ගත්තා .කවරේ ලස්සනම ලස්සන සිම්බෙක් හිනා වෙලා ඉන්නවා මට පෙනුනා."සිංහයන්ටත් හිනා වෙන්න පුලුවන් ද අත්තම්මේ "කියලා මම දවසක් අත්තම්මාගෙන් ඇහුවා , එයා හෙමින් ඔලුව වැනුවා.මට වඩා අවුරුදු තුනක් බාල නංගී සීතල ටයිල් එකේ ඉදගෙන ටීවී එක දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. කටත් චුට්ටක් ඇරිලා නංගීගේ දිලිසෙන ඇස් දෙක දකින මම ආපහු චිත්‍ර පොත බෑග් එකට දාගත්තා.


බස් එකේ හිර වෙලා පොඩි වෙලා නාවලපිටියෙන් බැස්සම අම්මා මං දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා .තෙල් ගාපු කොන්ඩේ අවුල් වෙලා යට කරපු ෂර්ට් එක උඩ ගිහින් මූණ නාළු කරන් ඉන්න මාව එයා ආපහු මුලක ඉදන් හරිගස්සන්න පටන් ගත්තා.පුංචි බෑග් එක කරේ එල්ලගෙන, කහ පාට බෝලයක් වගේ බෝතලේ එල්ලගෙන , අම්මගේ අතින් අල්ලන් මම ඉස්කෝලේට එනවා. ඔහොම එන සමහරක් දවසට බලු පැටියෙක් වාහනේකට හැප්පිලා වැටිලා ඉන්නවා.අනික් ළමයි අනේ අපොයි ! කියලා හැරෙනකොට මම අම්මවත් ඇදගෙන එතනට යනවා.පුංචි බලු පැටියා එක්ක එයාගේ රෝස පාට බඩවැල් ගෝනියකට දානව දැකින මම "යමු!" කියලා ආපහු එනවා.


ඉස්කෝලේ ඇතුළට මාව දාලා අම්මා, "මම හවස ගන්න එන්නම් "කියනව..එයා ගේට්ටුවෙන් පේන්නේ නැතුව යනකම් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න මම, එයා පේන්නේ නැති උනාම අනික් පැත්ත හැරෙනවා. සුදු කලිසම් ,නිල් කලිසම් පහුකරගෙන හෙමින් හෙමින් මම ඇවිදිනවා.හැමදාම ,තණකොළ නැති වැලි පිරිච්ච පිට්ටනියෙ බැමි වල ඇදපු අමුතූ චිත්‍ර දිහා බලන ගමන් මම පංතියට යනවා.සමහරක් චිත්‍ර ගල් සෙවළ වලින් වැහිලා ගිහින්, ලස්සන පාටක් නැතුව අඳුරු පාටක් තියෙන නිසා මගේ හිත නරක් වෙනවා.


පංතියට ගියාම හැමදාම උදේට අපිව පිට්ටනියට යවනවා.දෙන්නා දෙන්නා අත් අල්ලගෙන ගියේ නැත්නම් කරුණා ටීචර් රවන්න පටන් ගන්නවා. ඒ නිසා යාලුවාගේ අත අල්ලගෙන සිමෙන්ති පොළවේ කකුල අද්දන ගමන් අපි පෝළිම් ගැහෙනවා.උසේ පිළිවෙළට ඉන්න තේරෙන්නේ නැති අපිව අයියා කෙනෙක් ඇවිත් එහෙට්ට මෙහෙට්ට කරනවා."ඔයා මෙහෙට,ඔයා අතනට,අයියෝ මල්ලී ඉන්න කීව තැන ඉන්නකෝ".අයියා මල්ලීලාට සද්දේ දානවා.මට ඉන්න කීව තැන මම සද්දයක් වත් නැතුව ඉන්නවා.

හරියටම අපේ පොළිමේ ඉස්සරහ ,ඔලුව නමාගෙන අපි දිහා බලාගෙන ඉන්න සද්දන්ත කොට්ටම්බ ගහෙන් කොළ සූ ...ගාලා බිම වැටෙනවා.කොච්චර අතුගෑවත් ඊළඟ මොහොතේ ආපහු කොළ වැටෙන නිසා ප්‍රින්සිපල් සර්ට තරහ යනවා."මේක අතුගාන්න ඉන්නේ කව්ද ?? අඩිහප්පලා අහපුවම පොඩි උන්ට ඇඬෙන්න එනවා.


ප්‍රින්සිපල් උන පරණගම සර්ගේ කතාවෙන් පස්සේ අපි හැමෝටම පොල්තෙල් පූරෝපූ පහනක් දුන්නා.කලින් මෙහෙම එකක් නොදුන්න නිසා මම ඉස්සී ඉස්සී ඉස්සරහා බලන්න පටන් ගත්තා.අපිව පෝළිම් කරපු අයියා ඇවිත් හැමෝගෙම පහන පත්තු කරා.පහනේ තෙල් එහෙට මෙහෙට පැද්දීලා පැද්දීලා නතර වෙනවා.හෙමින් ඔලුව උස්සලා මම ස්ටේජ් එක දිහා බලනවා."මේ ටික මම කිව්වම ලස්සනට කියන්න" සුදු ලස්සන ටීචර් කෙනෙක් හරිම හෙමින් කීවා.එයා සුදු සාරියක් ඇදලා කලු සෙරෙප්පු දෙකක් දාලා හිටියා.කතා කරන හැමවෙලාවෙම ඔලුව හොල්ලන නිසා මට එයාව හොඳට මතක තිබුනා.


මම ටීච කියන එක අමතක කරලා පහන දිහා බලාගෙන හිටියා.පොල් තෙල් පිරුණු පහන් තිරෙන් පොල් තෙල් බිංදුව බිංදුව වැටෙන්න පටන් ගත්තා. ඉස්සරහින් සුදු කමිසයක් පිම්බිලා පේනවා.පිටහරියෙන් කමිසය ලොකු නිසා වක්ගැහිලා.නිල් දාලා හෝදපු නිසා දිදුලන සුදක් පේනවා.මම හෙමීට පහන කමිසය ළඟට ළං කරා.කලු දැල්ලක් කමිසේ මතු උනා.දෙවැනි පාර මම කලබල නොවී පහන ටිකක් වෙලා කමිසෙට අල්ලන් හිටියා.මුලින්ම පුංචි හිලක් හැදුනා,බැනියම් නැති සුදු පිටක් මට පෙනුනා.තුන්වෙනි පාර පහන ළං කරනකොට ඉස්සරහා හිටපු පොඩි මිත්‍රයා හැරීලා දඟලන්න ගත්තා .පිටේ මතුවුනු පුංචි ගින්න ශිෂ්‍ය නායක ගිනි භටයෝ නිවලා දැම්මා.අලුත්ම කමිසේ කලු පාට හිලක් එක්ක මගේ මිත්‍රයා බුකවගෙන ඉන්නවා මට පෙනුනා."මහ පෝරිසාද ළමයෙක්" කරුණා ටීච හැමදාම වගේ එදත් දත නියෙව්වා.


මම ගිනි තිබ්බ මිත්‍රයා,පස්සේ කාලෙක මගේ හොඳම මිත්‍රයෙක් උනා.කරුණා ටීච පස්සේ කාලෙක ගම්පහදි නැති උනා කියලා ආරංචි උනා.අපි ලොකු උනා,ජිවිතේ වෙනස් උනා.ඒත් අහම්බෙන් හරි තාමත් දෙහි ගෙඩි දෙකක් උස නැති පොඩ්ඩෙක් දැක්කම මට මාව මතක් වෙන්න පටන් ගන්නවා.වෙව්ලන අතින් පහනක් අල්ලන් හිටි හැටි මතක් වෙනවා.මගේ හිත දුකෙන් පිරෙනවා.


1 comment:

  1. මරු වැඩ කරලා තියෙන්නේ . ඔන්න මේ බ්ලොග් එක මගේ බ්ලොගේ අලව ගත්ත .

    ReplyDelete

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...