Saturday, 21 September 2024

සිහිනයක් කියන්නෙම සැලැස්මක්


  20 හවස අපි කීවෙ , අපි මේක දිනන්න ඕන ඡන්දයක් කියලා.අපි එන්නේ දිනන්න කියලා.

කිසිදා නොවූ අයුරෙන් ඒ ජය පෙනෙමින් ඇත. විශ්වාසය  , බලාපොරොත්තුව 


මැදින් අප  සතුටු වන්නෙමි. 

මේ තියෙන්නෙ සෙල්ලම් හීනයක් නෙවෙයි. පරම්පරා තුනකට බලන්න බැරි උනු හීනයක්, පරම්පරා හතකට සිහිනයක් ලෙසවත් දකින්න දුර හීනයක්. ඒ හීනය !!  මහින්ද  පත් කළ  , සිරිසේන ජනාධිපති කළ , ගෝඨාභයව වේදිකාවට ගොඩකළ , ජනතාව  විසින්ම තඹුත්තේගම අනුර කුමාර දිසානායක මෙරට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවන විධායක ජනාධිපති ලෙස මේ මොහොතෙත් පත්කරමින් සිටි. 


පශ්චාත් බල හුවමාරුව වික්‍රමසිංහ සමඟ අනුර දිසානායක සුමටව සිදුකරගනු ඇත. ඉදිරි දේශපාලනික පියවරත් , එය සිදුවිය යුතු ආකාරයට වනු ඇත. අනුර කුමාර විසින් අමාත්‍යාංශ ලේඛම්වරුන්ව පත්කර පාර්ලිමේන්තු මැතිවරණ තෙක් ගමන් කරනවාද ? නැතිනම් දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ කැබිනෙට්ටූව විසුරුවා නව අගමැතිවරයෙක් / අගමැතිනියක් පත් කරගන්නවාද යන්න ජා.ජ.බලවේගයේ දේශපාලන මංඩලය තුළ මේ මොහොතේ සාකච්ඡා වෙමින් තිබේ.  ඇඳීරී නීතිය බොහෝවිට අද සවස් යාමය තෙක් දිර්ඝ කල හැකි අතර අභිනව ජනාධිපති අනුර කුමාර තව නොබෝවේලාවකින් ජාතිය අමතනු ඇති.


3% ඡන්ද පදනම මත වසර පහක් සිටිමින් අපවාද , අපලාද , උපහාස ,අපහාස සහ  ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ ජා.ජ බලවේගය ඔවුන්ගේ දශක දෙකක් පුරාවට තම හොඳම  රේස් අශ්වයා වූ අනුර කුමාර, ඔවුනගේ ඉස්තාලයෙන් මුදාහැරියේ ය. දැන්  ඔහු තම සටන්කාමී තරගයේ අවසන්  වටය දුවමින් සිටි. 


මෙය මෙරට වසර 76 තුළ සිදුවූ  සුවිශේෂම දේශපාලනික පරිවර්තනයයි.යුග ගණනක් නොහැකී වූ , ඒ වෙනුවෙන් දහස් ගණනින් ජිවිත පුද කෙරූ , තරුණ රුධිරය කැප කෙරූ. සියල්ල වෙනුවෙන් ඔවුනගේ දිනය උදා වී ඇත.



 ආදරණීය මිතුරනි වෙනසක් සිදුවී ඇත. දේශපාලනික මොහොත එළැඹී ඇත.

 ඉතින් අප දිගටම සටන් කරමු. වඩා හොඳින් වැඩ කරමූ , තවත් හොඳින් මුවහත් වෙමු , වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මේ පෙරලු පස මත සරු බීජ ඉසිමු. 


 ජනතාවගේ හීන අමු අමුවේ සොරකම් කළ   පාදඩ දේශපාලකයිනි, නුඹලා  බිඳ නොහෙළෙන්නෙ යැයි  උස් හඬින් කිව් බලකොටු  බිඳී ගොස් ඇත.මහ මන්දිරයෙන් මහාපාරට බලය හුවමාරු වී ඇත. බැසීටීලය බිඳදැමූ මිතුරනි ....මේ ගෞරවය නුඹටමයි !!!!

 




Thursday, 19 September 2024

නුඹලා අසමත්ය , හෙයින් අපි වෙනසක් සොයන්නෙමු

 


මීට වසර දෙකකුත් මාස පහකට උඩදි , ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ  රජයත් , ආණ්ඩුවත්  විධායකයත් පුටුවක එල්ලලා පස්සහ දොරෙන් එළියට ගිය මොහොතේ , වික්‍රමසිංහ ආණ්ඩූව අතට ගත්තහම , දිනයක් විදියට 2024 මැයි මාසේ 24 මා ඉංග්‍රීසි භාෂාවෙන් ලීව්   Ranil should Stay (රනිල් සිටිය යුතුයි) ලිපියත් , ඉන් වසරකට පසුව නැවත අනුප්‍රාප්ති ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය පවත්වනවාද නැද්ද යන්න උඩ හොල්මන් කරන විට , එයත් දිනයක් වශයෙන් 2024-05-24 දින මා ලීව් "අනුර වෙනස් විය යුතුයි " ලිපියෙනුත් මා , මාගේ දේශපාලනික කියවීම විවරණය කළෙමි. එහිදි පක්ෂයක නොඉඳ ,පුද්ගලවාදි නොවී, දේශපාලනික ආවඩන්නෙක් නොවී. මොහොතේ අවශ්‍යතාව පිළිබඳව ලියා ඇත්තෙමි. රනිල් අවශ්‍යය නම් අවශ්‍යයැයි කීමටත් , අනවශ්‍ය නම් ගෙදර යන්නැයි කීමටත් අපට පුලුවනි. හේතුව නම් වික්‍රමසිංහ හෝ කිසිවකු අපට අනුග්‍රහය නොදක්වා ඇති බැවිනි.




උක්ත ලිපි දෙකෙන් පසුව පසුගිය සැප්තැම්බර් 10 සිට 18 වන දින තෙක් ලිපි තුනක් ලියා ඇත. 


ෆ්‍රොයිඩියානූ ලිස්සා යෑම

ප්‍රේමදාසගේ ප්‍රසංගය

සංස්කෘතියක අවසානය


ඒ ලිපි තුනම සෙනසුරාදා එලැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කොට ලියූ ඒවාය. පහත සටහන 21 දිනට පෙර ලියනු ලබන අවසන් ලිපියයි. මේ ලිපිය මේ මොහොතේ දේශපාලනික වෙනසක් , පරිවර්තනයක් සහ පුනරුදයක් බලාපොරොත්තුවන්නා වූ මා වැනි , වැඩ කරන තරුණ සමාජයේ මතය පිළිඹිබුවේ යන උපකල්පනයේ මත පිහිටවා ලියමි. 


එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට රජයේ රැකියාවක් අනවශ්‍යය. නමුත් කාර්‍යශීලී , විධිමත් රජයේ සේවයක් නම් අපට අවශ්‍යය. මෙතෙක් සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යායවරුන් එයට අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු.


එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට නොමිලේ සහන මල්ලක් හෝ රු.10000 , තහඩු දෙකක්, පොහොර ගෝනියක් හෝ වැසිකිළි පෝච්චියක් අනවශ්‍යය . නමුත් ඕනෑම සමාජ තලයක මනුෂ්‍යයකුට තම අවම අවශ්‍යතා හෝ පිරිමසාගත හැකි ආර්ථිකයක් අවශ්‍යය. ගොවින්ට මැසි තෙල් බී මැරෙන්නට සිදුනොවන දිනයක් අවශ්‍යය. මෙතෙක් හුන් කිසිවකු මෙහි අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු. 


එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසූ අපට අපේ පාර, පාලම , බෝක්කුව , සමූපකාරය අලුත්වැඩියාවට ප්‍රාදේශීය ලේඛම්, සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලකයින් සොයා යා නොහැක, ඔවුන්ට දණ්ඩ නමස්කාර කිරිමට නොහැක ,නමුත් අලුත්වැඩියාවන්, ග්‍රාම සංවර්ධනයන් රජයේ වගකීමක් , වගවීමක් වග තේරුම්ගත් නිලධාරී පැළැන්තියක් සහ ක්‍රමවේදයක් අවශ්‍යය . නැතිනම් පාරක් තොටක් සංවර්ධනය කළ විගස , බැනර් දමා නම් ලැයිස්තුවකට ස්තුති කරන්නට සිදුවනු ඇත. එවන් දේ අප නොකරන්නෙමු. ඔබලා එයට අසමත් වූ බැවින් අප වෙනසක් සොයන්නෙමු.


එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව අපට ගුරු පත්වීමක් , මාර්කට් එකක කඩයක් , පොළක වෙළඳාමට ස්ථානයක් , ත්‍රීවීල් රථ ගාලක නැවතුම් ස්ථානයක් , පාරක කොන්ක්‍රීට් කොන්ත්‍රාත්තුවක් , බදූ දැළෙන් රිංගා යාහැකි අත යට ගනුදෙනුවක්,වගුරු බිමක හෝටලයක් හදන්න බිම් කඩක් , සුරාසැල් බලපත්‍රයක්  ,වැලි ගොඩදැමිමේ, පැටවිමේ ,ප්‍රවාහනයේ බලපත්‍රයක්, දුර ගමන් බස් රථයකට මාර්ග අනුමැති බලපත්‍රයක් , ආයතන අධ්‍යක්ෂ තනතුරක් හෝ අඩූම ගානේ රජයෙන් ගොවියන්ට බෙදන්න ගෙනා එළදෙනක්වත් අනවශ්‍යය .


.නමුත් අපට දැනුමැති , යාවත්කාලීන උනු ගුරු පරපුරක් , විනිවිදභාවයෙන් යුක්ත , සාධාරණ එහෙත් තරගකාරී  වෙළඳපොළ ආර්ථික ක්‍රමයක්,  ඕනෑම උපයන්නෙක්ගෙන් බදු නිශ්චිතව අයකරන ඩිජිටල්කරණය වුනු ක්‍රමවේදයක් , සංවර්ධනයට යෙදෙන ජනතා බදු මුදල් භාවිතය පිළිබඳව විගණනයක් , පාරසරික ගැටලූ සඳහා දේශපාලනික නොවන විශේසඥ විසඳුමක්, දූෂණ සිදු නොවිමට ක්‍රම සහ පාලනයන් (process and control ) යෙදූ ලාභ ලබන (දේශපාලන හෙංචයියන් නොව රජය ) සුරාබදු ආයතනයක් , රජයේ සංස්ථා , බැංකු , දෙපාර්තමේන්තු හි උසස් තනතුරු සඳහා දේශපාලනික පත්වීම් වලින් තොර ඇකඩමියානු හෝ වාණිජ ව්‍යාපාරහි දක්ෂයන් සහ නවසීලන්තයෙන් ගෙනෙන කිරි එළදෙනුන් මොණරගල විජිත් වියමුණි සොයිසාගේ ගෙදරට නොයවන  සැලසුම්සහගත ක්‍රියාවලියක්. මේ කිසිවක් නුඹලා නොකළ නිසාවෙන් අප වෙනසක් සොයන්නෙමු.


තරුණ අපට පත්වන ආණ්ඩුවකින් තඹ දොයිතුවක් අනවශ්‍ය , නමුත් සුරක්ෂිත රටක් අවශ්‍යය .දහනමවන සියවසේ අවසානය එක්සත් ජනපදයේ ඇති වූ American Dream පන්නයේ ඕනෑම ශ්‍රීලාංකිකයකුට ජාති ආගම් භේදයකින් තොරව කුසලතාවයෙන් ඉහළට යාහැකි ඉණිමඟක් නිර්මාණය කල යුතුය . රටේ සාමාන්‍ය පවුලක ඉපිද , රජයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ලබා , දේශපාලනය කොට , රටේ ජනාධිපති ධූරයට පිවිසිය හැකි රටක් නිර්මාණය කළ යුතුය . එය කිරිම දශක හතක් තිස්සේ නුඹලා කරඇරියේය , ඒ නිසා අප වෙනසක් සොයන්නෙමු. 


පත්වන ආණ්ඩූවකින් , කිසිත් නොපතන අප එහෙන් මෙහෙට පනින , පත්වෙන පත්වෙන ආණ්ඩූවේ ඔඩක්කයේ සැප විඳිනා, එහෙන් මෙහෙට  , මෙහෙන් එහෙට වාසි ලබන ගම් මට්ටමේ සිට අමාත්‍යාංශ තනතුර තෙක් විහිදුණු දේශපාලනික සංස්කෘතිය අවසන් කළ යුතුය. පක්ෂය , පක්ෂයේ නායකයාගේ තීරණය  , පක්ෂයේ පාට නොබලා පවතින දේශපාලනික මොහොත තේරුම් ගතහැකි මිනිස්සූන් අවශ්‍යය . නුඹලාට ආණ්ඩූ හතකින් එය සිදුකිරීමට නොහැකිවිය. ඒ නිසා අප වෙනසක් සොයමු.


අනූප්‍රාප්තික ජනාධිපති  වික්‍රමසිංහය විසින් අද සවස නිකුත් කළ පණිවිඩයක් කියා සිටියේ


"මේ රට හැමදාම කරේ අත්හදා බැලිම් කරපූ එක. ඒ අත්හදා බැලිම් හරි ගියාද ?"


වික්‍රමසිංහ හොඳින්ම මතකයේ තබා ගන්න අවශ්‍යය කාරණය 1977 සිට 2024   තෙක් අත්හදා බැලීම් කර තිබුනේ ඔබේ පැළැන්තිය තුළ පමණි. ඔබගේ පක්ෂය , පන්තිය  සහ ප්‍රතිපත්තිය ඒ තුල අසමත් බව ඕනවටත් වඩා දැන් සනාථ කර අවසන්. මේ අත්හදා බැලීම වික්‍රමසිංහගේ කඳවුරෙන් පිට අත්හදා බැලීමක් නිසා ඔහූගේ කලබලය මට අවබෝධ කරගත හැක.ඔහුගේ පරාජිත වියරුව මැන ගත හැක. 


අවසානයේ !!! උසස් කඳවුරෙන් ජනතාවගේ පාලනයකට  බල පෙරළිය සිදුවිය යුතුයි. 22 උදෑසන උදාවන්නේ ඒ බලපෙරළිය සමඟ බව අපගේ විශ්වාසයයි.


21 සටන දිනිය යුතුයි . කිසිදූ වාසියක් , වරප්‍රසාදයක් නොලබමින් , නොපතමින් මේ සටන වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරවිය යුතුයි.  සුවහසක් වූ තරුණ හදවත් වෙනුවෙන් එය මා මෙසේ ලියා තබන්නෙමි.


 


Tuesday, 17 September 2024

සංස්කෘතියක අවසානය !!!!!

   වික්‍රමසිංහ මේ ඡන්දේ පටන් ගත්තේ වැලිකතර ෆිල්ම් එකේ ගෝරිං මුදලාලි වගේ එයා කීවේ 



"ආසියත් මං ළඟ , බුරුවත් මං ළඟ , නමයේ කොළෙත් මං ළඟ . මොකද කියන්නේ අත වහලා ගහමුද ?"


 කියලා. ඒත් වික්‍රමසිංහටත් හිතාගන්න අමාරු විදියට මේ සෙල්ලම වෙනස් උනා.එයා හිතුව උසස් මධ්‍යම පංතියත් කඳවුර අතාරින්න පටන් ගත්තා.  දැන් භූමියේ වාසිය අනුරට ඇවිත් . අනුර ඇතුළු කණ්ඩායම අන්තිම මාස දෙකේ නිවැරැදි දේ කියමින් , නිවැරැදි දේ කරමින් , තමන්ගේ මැතිවරණ සැලැස්මට පිටින් දෙයක් නොකියා , නොකර ප්‍රවේශම් වුනා. අනුර මේ සටන මේ විදියටම 21 රෑට  ඉවර කරන්න බොහෝ දුරට ඉඩකඩ තියනවා. අන්තිම දවස් දෙකත් තුනත් තීරණාත්මකයි තමා ඒත් පාවෙන ඡන්ද කිහිපයක්ම හැරෙන්න දකුණේ බහුතරයක් මාලිමාවට බලයක් දෙන්න ඕන කියන මතයට ඇවිත් කියන එක රහසක් නෙවෙයි . 

ඕනනම් ප්‍රේමදාසව තව සජීවී වැඩසටහන් දෙකකට ගෙන්න ගන්න පුලුවන් නම් ( 18 පස්සේ ප්‍රචාරක ක්‍රියා නවත්තන්න වෙන නිසා උපරිම වැඩසටහන් දෙකකට ඉඩ තියෙන්න පුලුවන් ) තව    ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට එක්කාසු කරගන්න පුලුවන් . 


මේ සටනේ අවසානය කුමක් උනත් , හදිසියේ හමාගෙන ආ..මේ  ජන ප්‍රවාහය ගැන මට පෞද්ගලිකව සතුටු වෙන්න පුලුවන් . තක්කඩි හොරු වෙනුවට , තමන්ගේ තමන්ගේ දරුවන්ගේ හීන හොරාකාපූ වංචාකාරයෝ වෙනුවට මධ්‍යස්ථ දේශපාලනික මතයකට ජනරාශියක් ගොඩනැගීමම සාධනීය කරුණක් නෙවෙයි ද ? අවුරුදු හැත්තෑපහක් තිස්සේ  අවම මානව පරිභෝජනයක්වත් හදලා දෙන්න බැරි උනු කොමිස් කාක්කෝ ටික ගෙදර යවන්න ඕන කියන එකම ප්‍රගතිශීලී කාරණයක් නෙවෙයි ද ?  එක පැළැන්තියක් විතරක් සැප විදින , ආර්ථික ප්‍රතිලාභ ලබන අසමමිතික ආර්ථික ක්‍රමයකට, නීතී පද්ධතියකට , ව්‍යාකූල අධිකරණ පද්ධතියක් වෙනස් කළ යුතුයැයි කීවා පැසසුමට ලක්වෙන්න අවශ්‍ය කරුණක් නෙවෙයි ද ? රජයේ ආයතනවල පෝලිම් මැද , පැය ගණන් , දින ගණන් දුක් විදගෙන රජයේ කාර්‍යන් කරගෙන , පොල් පටවපු බස් එකක , වෙලාවට නොඑන කෝච්චියක එල්ලිලා , වීදී ලාම්පුවක් වත් නැති පාරක ගෙදර ඇවිත් නොකා නිදා ගන්න ජීවන විලාසය වෙනස් කරගන්න ඕනැයි කියන එක දියුණු මානව ලක්ෂණයක් නෙවෙයි ද ?? 


මින් ඉදිරියට කිසිදූ දේශපාලනික ව්‍යාපාරයකට ඒක රාජපක්ෂගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙන්න පුලුවන් , සිරිසේන ගේ සැලැස්ම වෙන්න පුලුවන් , වික්‍රමසිංහගේ කූට නාටකයක් වෙන්නත් පුලුවන් , ප්‍රේමදාසගේ විගඩම් රූකඩ සංදර්ශනයක් වෙන්නත් පුලුවන්  ඒ වගේම අනූරගෙ පාරම්භානා  දේශපාලන දර්ශනයක් වෙන්නත් පුලුවන්.මේ කිසිම දේකට දේවත්වයෙන් නොසලකා ඔවුන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වන අපගේ නියෝජිතයෝය, අප වෙනුවට පාර්ලිමේන්තුව නියෝජනය කරනා අපගේ සේවකයෝය යන්නෙන් සැලකීම වඩා නැණවත් වේ . මෙහි මට තේරුම් ගතහැකි තව කරුණක්ද ඇත . මිනිසා දේශපාලනික සත්වයෙක් වුවද ,දේශපාලනය ග්‍රහණය කරගැනිම අතින් මිනිස්සූ අහසට පොළොව විය හැක. නමුත් දේශපාලකයා යනූ තමාගේ සේවකයා මිස දිව්‍ය පුත්‍රයා නොවන වගෙ තේරුම් ගැනිමට මහා බුද්ධියක් අනවශ්‍යය.

මේ දේශපාලනික භූමියේ අවලස්සනම , අවීනීතම සහ අශීලාචාරම සංස්කෘතිය වන පිල් මාරු කිරිම ජනතාව තුළින්ම ප්‍රතික්ෂේප විය යුතුය. ඒ සඳහා අවශ්‍ය නෛතික රාමුව පසුව ගෙන ආයුතු අතර සදාචාරාත්මක ප්‍රතික්ෂේප කිරිම ජනතාව තුළින්ම සිදුවිය යුතුය .ජයග්‍රහණයේ  වාසියට බෙල්ල නමන්නා ආත්මය පාවාදෙන්නකු මිස අන්කිසිදූ සමාජ ගෞරවයක් නොඉසුලවනු ඇත. 

 රටේ බුද්ධිමතුන් , විද්‍යාර්ථයින් , ආයතන ප්‍රධානින් , විශ්ව විද්‍යාල උපාධිදාරීන් , පර්‍යේෂකයන් , පරිපාලන ප්‍රධානීන් බුරුතු පිටින් රට හැර ගොස් ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ මගේ පිඨයේ මිත්‍රයින් රාශියක් පිටවී ගොස් හමාරයි. ඒ මේ රටට අවශ්‍යයම සම්පත් , මානව සම්පත් , දැනුමේ කේන්ද්‍රය බලයන්. ඔවුන්ට නිවැරදි පිළිගැනිමක් , වැටුපක් , සමාජ තත්වයක් මෙරට නොමැති නිසාවෙන් එසේ රට හැර යාමත් , නැවත නොපැමිණීමත් අතිශයින්ම ඛේදජනක කරුණකි. ඔවුන් වැනි ඇකඩමියානු බුද්ධිමතුන් සහ පරිපාලනයේ අත්දැකීම් ඇත්තවුන් පිටව යාමෙන් ඇතිවන රික්තකය පුරවා දමන්නේ සාම්ප්‍රදායික දේශපාලනික වහල්ලුන් විසිනි. රට හැරගියවුගේ දමා ගිය තනතුරු දරන්නේ ඒ සඳහා අඩියකවත් සුදුසුකමක් නැති දේශපාලනික සට්ටඹිරාළලා විසිනි.


තව දින තුනකින් හෝ හතරකින් සියල්ල විසඳෙනු ඇත. මේ මොහොත හොඳින් කළමනාකරණය කරන්නාට 22 සවස ජයපැන් පානය කළ හැකිවේ. වඩා වැදගත් වන්නේ ඒ ජයපැන් ඔවුන්ට ඡන්දය ලබාදෙන ජනතාවටද පානය කිරිමට හැකි තරමේ ජයක් වීමයි.  හේතුව නම් පසුගිය දශක හත පුරාවටම ඒ ජයපැන් බීවේ එක්තරා පැළැන්තියක කොට්ඨාසක් පමණක් වීමත් ඡන්දය දූන් බහුතරයක් ලුණුයි බතුයි කමින් ඔහේ ජිවත් වී ඔහේ මියගිය ගණයට ඇතුළු වීමයි.  දැන් ප්‍රේමදාස කල්ලිත් , වික්‍රමසිංහගේ නඩයත් කලබලවී හැඩක් පෙනෙන්නට තිබේ. එය ස්භාවික හැසිරීමකි. බලාපොරොත්තු වූ පිළිතුරකි. ඔවුන් තැතිගැන්විමට හැකිවීමමද ජනතා ජයග්‍රහණයකි . අපට වික්‍රමසිංහට කීමට ඇත්තේ නැවත වැලිකතරේ ගෝරිං මුදලාලි වික්‍රම රණ්දෙනියට  කීව් දෙබසකි.


"මහත්තයා දැන් නේ පොඩ්ඩක් ඇහැරිලා ඉන්නේ. මෙච්චර කල් නිදාගෙන නේ උන්නේ" 


මෙතක් නිදා සිටි ජනතාව වඩා හොඳ සමාජයක් වෙනුවෙන් 21 තෙක් සටන් කරමින් සිටි. වඩා හොඳ සමාජයක් !! වඩා හොඳ සමාජයක් !! වික්‍රමසිංහ , ප්‍රේමදාස නොදකින සමාජයක් !!



Sunday, 15 September 2024

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත. 

 පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )

 ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය එළැඹෙන තෙක් සජිත්ට පාර්ලිමේන්තු දොර වැසී තිබිනි. ඒ දිසානායක බලය සහ වික්‍රමසිංහයන්ගේ පක්ෂය තුළ වූ බල පරාක්‍රමය නිසාවන්නට පිළිවනි. නමුත් පක්ෂය තුළ ඔහුට සිටි හිතවතා වූවේ කරු ජයසූරිය පමණි. වසර 2000 වන විට උක්ත කරු ජයසූරියගේ අභ්‍යන්තර සහයෝගයෙන් හම්බන්තොටෙන් පාර්ලිමේන්තු පැමිණි ඔහූ 2011 දි සෙලවිය නොහැකි එ.ජා.ප නායකත්වයට කුප්‍රකට රනිල් සමඟ ගැටුමක් ඇතිකරගත්තේය. සිරිකොතෙන් ඇරඹි ඒ ගැටූම සමතයකට පත් වූවේ 2019 ජනාධිපතිවරණය නම් දුවන කෝච්චියට වික්‍රමසිංහ විසින් සජිත් නම් ළඳරුවා තල්ලූ කිරිමෙනි. සජිත්ට අනූව නම් 2019 ජනාධිපතිවරණයේදි තමා පරාජය කිරිමට වික්‍රමසිංහ ඩීල් එකක් දමා තිබූ බවත් ඒ නිසා ගෝඨාභය දිනූ බවත් පසු කලක හඬමින් කියා තිබිනි. නමුත් සජිත්ව ආසන්නව වසර 17-18 අසා , දැක , කියවා ඇති අයෙක් ලෙස මගේ හැඟිම නම් සජිත් වැන්නකු පරාජය කිරිමට ඩීල් වැනි බරපතළ උපක්‍රම අනවශ්‍ය බවයි. අවසානයේ ජනාධිපතිධූරය කෙසෙ වෙතත් පක්ෂයද අහිමිවෙමින් දුරකථනයක් අතැතිව සජිත් ඇතුළු නඩයට එළියට බසින්නට විය. 


 කෙසේ හෝ 2019 පරාජයෙන් පසුව වනගත වූ ඔහූ දැන් නැවත පැමිණ වසර පහකට බලයක් ඉල්ලා සිටි. පියාණන් මෙන් මමත් කරන්නෙමි යැයි වගන්ඩාභාරව කෑගසමින් සිටි . මේ නිසාම සජිත් උදෙසා මගේ ඇති උදාසීනත්වයටත් වඩා ඇතිවූ අනුකම්පාව මත පිහිටුවා පසුගිය දින කිහිපයේ ඔහූගේ පක්ෂ ක්‍රියාකාරිත්වය මම ප්‍රවේශමෙන් අධ්‍යනය කළෙමි. වසර දහයකට පෙර වේදිකාවේ කෑ ගැසූ සජිත් තවමත් ඒ ස්වරයෙන් , ඒ භාරයෙන් , ඒ මානසිකත්වයෙන් කතා කරමින් සිටි. ඔහු වෙනස් වී නැත. තවමත් ඔහු පෙර පාසල් වලට ගොස් දරුවන්ට "මගේ මිත්‍රවරුනි යැයි ආමන්ත්‍රණය කරයි ." , තවමත් ආබාධිතයකුගේ රෝද පුටුවක් රැස්විම් ශාලාවට තල්ලුකොට පැමිණ අවධානය ගැනිමට තැතක් දරයි , මෙරට පාසල් 10250 ට කෝටිපතියන් 10250 සම්බන්ධ කරනා බවට වහසි බස් දොඩවයි. අවසානයේ මගේ නිගමනය වූවේ කිසිදාක සජිත් , ඔහුගේ මේ ළදරු මානසිකත්වයෙන් ඉවතට නොඑනු ඇති බවයි. මගෙ අදහස නම් කුඩා කල සිට හුරතලයෙන් දිවිගෙවූ (pampered ) සජිත් වැන්නකූට ඔහූගේ චරිත ලක්ෂණයෙන්ම , ඔහුගේ සහජ විභවයෙන්ම ජනාධිපතිත්වයක් තබා ප්‍රාදේශීය සභාපතිත්වයක් හෝ ලබාදීම තැති ගැන්වෙන සූලූ පියවරක් බවයි. ඔහූ වැන්නකුට සමූපකාරයක් වැනි තැනක නිශ්චිත ක්‍රමවේදයක් සකසා නීතීයෙන් පිට තම අභිමතයට ක්‍රියාකිරීමට නොදී ,සහයට පමණක් අයෙක් ලබාදී ,( ප්‍රේමදාසලාගේ පැළැන්තිගතිත්වය පෙන්වා ගැනිමට) ගබඩා පාලක තනතුරක් පමණ ලබාදීම සෑහේ. එයින් එහා දෙයක් සජිත් වැන්නකුට සුදුසු නොවේ. මොනතරම් ආලවට්ටම් සජබේ කැම්පේන්කරුවන් දැමුවද , සජිත් කට ඇරිය විගසම ඡන්ද 10-15 කැඩෙන බව මටත් වඩා එහි හර්ෂ ද සිල්වා පවා දන්නා කරුණකි. 



සජිත් අද ජනාධිපති වේදිකාවක කෑමොර දෙන්නේ ඔහූ රණසිංහ ප්‍රේමදාසගේ ජීවවිද්‍යාත්මක පුතාවන නිසා පමණක් බව මට කැට තබා කිව හැක. ඒ සුදුසුකම හැරෙන්නට ඔහුට කිසිදු ප්‍රවීණත්වයක් , ප්‍රාමාණික බුද්ධියක් , නිර්මාණශීලිත්වයක් , තාර්කික චින්තනයක් නොමැත. සජිත්ගේ දේශපාලන සටන පිළිබඳ අල්ප අවධානයක් යොමු කළ මට ඔහූගේ සහයට සිටින රාජපුත්තිනම් රාසමාණික්කම්ගේ වීඩීයෝවක් අද උදෑසන ඇස ගැටිනි. 

එහි ඔහූ
 "Why we should vote Sajith "

 යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදේ. මම එකින් එක පහත විස්තර කරන්නේ රාසමාණික්කම්ගේ ඒ පිළිතුරුය.

 Sajith will provide equal political power to all communities in Sri Lanka including sinhala, tamil and muslim.

 මෙහි සජිත් පවසන අන්දමට සමාන දේශපාලනික අයිතියක් සෑම ජන කොට්ඨාසයක් සඳහා ලබාදිය යුතුයි යන්න අපැහැදිලි කරුණකි. මක්නිසාදයත් මෙරට ජන ව්‍යාප්තිය අනූව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒ ඒ ජන සංයුතියේ නියෝජනයක් පිළිඹිබුවනවා මිස සමාන දේශපාලනික බලයක් ලැබිය යුතුයි යන්න අපබ්‍රංසයකි. . මෙය නිවැරැදි නම් රාසමාණික්කම් තම දේශපාලනික බලය ව්‍යාප්ත ප්‍රදේශය (යාපනය) අතහැර මහනුවර ඔහු පාසල් ගිය ප්‍රදේශයේ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු යායුතුය එය එසේ වනු ඇත්ද , ඒ අදහසේ ප්‍රායෝගිකත්වයක් තිබේද යන්න ඔබ ඔබේ විචාර බුද්ධියෙන් සිතා බැලිය යුත්තකි. මෙහි සජිත් විසින් ප්‍රගතිශීලී අන්දමෙන් සංශෝධනය කළ යුතු පිළිතුර මෙය විය යුතුය.

 Sajith must provide equal political power to all communities in Sri Lanka excluding their cast and ethnicity . 

 සජිත් කියනවානම් කිවයුත්තේ මෙයයි. වාර්ගික හෝ කුල බෙදිමකින් තොරව දේශපාලනික බලය බෙදී යා යුතුයි. නමුත් යාපනේ වෙල්ලාල කුලයෙන් පැමිණි රාසමාණික්කම් වැන්නකුට එවැන්නක් කීමට හැකි දැයි ප්‍රශ්නයකි. මෙය රාසමාණික්කම්ගේ කොන්ද පිළිබඳව ප්‍රශ්නයක් නිසා මෙයින් ඉදිරියට මෙය සාකච්ඡා නොකරමි.මම දිගටම සජිත්ගේ කොන්ද සහ බුද්ධිය ප්‍රශ්න කරමි. 


 සජිත්ට ඡන්දය දිය යුත්තේ ඇයි යන්නට රාසමාණික්කම් ගෙනෙන දෙවන පිළිතුරු අතිශයින්ම විහිළුසහගත ප්‍රසංගයකි. එය මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය වන් ප්‍රසංගයකි. මේ රාසමාණික්කම්ගේ දෙවන පිළිතුර

 Don't vote for an individual , look at what happened in 2019. Vote for a team. Because I believe that Sajith has the best team that can deliver the best results for the country . 

 පුද්ගලවාදි නොවී කණ්ඩායම ගැන සිතා ඡන්දය දෙන්න. ඔවුන් එයට උදාහරණය සපයන්නේ 2019 ගෝඨාභය ආගමනයයි. සජබේ සෝදාපාලූව සහ සජිත්ගේ අවිනිශ්චිත , අසාමාන්‍ය අදහස් දැක්වීම රාසමාණික්කම්ගේ මේ පිළිතුරෙන් හොඳින්ම විද්‍යාමාන වේ. මුලින්ම සජබේ දැනගත යුත්තේ මෙය ජනාධිපතිවරණයක් බවත් එහි කේන්ද්‍රය බලය ඔවුන් කැමැති වුවත් නැතත් සජිත් වී ඇති බවය. ඒ නිසා Don't vote for an individual යන්න දේශපාලනික අඳ බාල තීරණයකි. මෙය පාර්ලිමේන්තු මැතිවරණයකට කදිමව ගැළපුනද ජනාධිපතිවරණයකට නොගැළපෙන පන්නයේ අවර අදහසකි. මෙම සටන් පාඨයේ ප්‍රතිවිරුද්ධ දේශපාලනික භාවිතය (Reverse psychology ) රනිල් පාවිච්චි කරමින් සිටින අතර ඔහූ ඒ හරහා සිඝ්‍රයෙන් සජිත්ගේ ඡන්ද අහිමිකරමින් සිටි. සජිත්ට නෙවෙයි කණ්ඩායමට ඡන්දය දෙන්න යැයි කියන රාසමාණික්කම් දැනගත යුතු කාරණය වන්නේ සැප්තැම්බර් 21 දින සජිත් හදිසියේ හෝ ජනාධිපති වුවහොත් , ඔබම නොසලකා හරින්නැයි කියනා පුද්ගලයා අති විශාල විධායක බලතල සමඟ රාජ්‍යත්වයට පත්විමයි. 
ඔබම අවතක්සේරුවට ලක්කරන පුද්ගලයකුට එවන් බලයක් ලැබිම (සජිත් ජනාධිපති වීම මා අවදියෙන් සිටිනා විටද භීතියට පත්වන අන්දමේ සිදුවිමකි. ) කුමනාකාරයෙන් කළමනාකරණය කිරිමට හැකිදැයි මැනබැලිම අපහසු කරුණකි. 

 G.R.R Martin ගේ සුප්‍රකට House of Dragons ග්‍රන්ථයට  අනුව  යමින් Otto hightower වරක් පවසන අන්දමට

 Damon would be a second Megor or worse. 

 මටද කීමට ඇත්තේ එලෙසින්ම , බලය සහිත සජිත් ,ඔහුගේ පියාටත් වඩා බිහිසුණු , වඩා අපරිණත , එම තනතුරට පත්විය හැකි නුසුදුසුම ජනාධිපතිවරයා වනු ඇති බවයි. එවැනි Bottleneck එකක් ආර්ථිකමය වශයෙන් අසීරු කාලයක පැමිණියහොත් උදාවන්නා වූ අනාගතය වඩ වඩා අඳුරු වනු ඇත. 

 2005 වසරේ සිට පැවති ජනාධිපතිවරණ සෑම එකක් පාසාම මා යම් අවබෝධයකින් කියවාගෙන ඇත. ඒ සෑම ජනාධිපතිවරණයකම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය ලබාදීමට ඡන්දදායකයන්හට සාධාරණ , ශක්තිමත් , තාර්කික හේතුවක් තිබිනි. අපි එකින් එක සලකා බලමු

 2005
 මහින්ද : ශාපලත් යුද්ධය නිමා කිරිම 

 රනිල් : චන්ද්‍රිකාගේ විවෘත ආර්ථිකයට සංස්කෘතික මුහුණුවරක් යන සටන් පාඨය වෙනුවට ජේ.ආර් ගේ ආර්ථික මොඩලය නැවත ඉදිරියට ගෙන යාමට. 

 2010 
 මහින්ද : 2009 දි තිස් වසරක යුද්ධය අවසන් කිරිම 

 ෆොන්සේකා : යුද්ධය දිනු වීරයා , ඒ විනයෙන්ම රට සමෘද්ධිමත් කරනු ඇතැයි යන විශ්වාසය. 

 2015 
 මහින්ද : ආසියාවේ ආශ්චර්‍ය ඉදිරියට ගෙනයාමට. නිදහස් රටක ආර්ථික දියුණුවක් ඇති කිරිම. 

 මෛත්‍රී : දූෂිත රාජපක්ෂ රෙජීමය පාලනයෙන් අතුගා දැමිමට.


 2019 
 ගෝඨාභය : එක රටක් , එක නීතීයක් 

 සජිත් : නැවත රාජපක්ෂ හොරරැළට පාලන බලය උරුමකර නොදිමට. 


 2024 
 රනිල් : බංකොලොත් වූ රට නඟා සිටවූ නායකයා ලෙස තවත් වසර පහක් ක්‍රියාකිරීමට . 

 අනුර : නව දේශපාලනික සංස්කෘතියක් , පොහොසත් රටක්. 

 සජිත් : ????? 


 මෙවර ඡන්දයට දින නියම වූ දා සිට මෙහි තතු විත්ති පිළිබඳව පැහැදිලි ඉවකින් මා සිටියද තවමත් සජිත්ට ඡන්දයක් දිය යුත්තේ ඇයිද යන්න මට ගැටලුවකි. නමුත් පසුගිය සතියෙන් පසුව මට කරුණු අවබෝධ විය. සජිත්ට ඡන්දය දෙන්නකු නම් බොහෝ විට සජිත්ගේ පැරණි අමාත්‍යාංශයක පිං රස්සාවක් ලබාගෙන තිබිය හැකි , නැත්නම් රජයේ ඉඩමක වගා අයිතිය ලබාගෙන තිබිය හැකි , අනෙක් අතට වැසිකිළි පෝච්චියක් , තහඩුවක් , වියළි ආහාර මල්ලක් , පොහොර මිටියක් හෝ සජිත්ගෙන් ලබාගෙන තිබිය හැකි. එහෙමත් නැත්නම් , සජිත් තමන්ගේ ප්‍රදේශයට පැමිණියේ නම් දවල්ට කෑම කන්නේ , තේ එකක් බොන්නේ ඔවුන්ගේ ගෙදරෙන් වන්නට පුලුවනි. ඒ හැරත් සජිත්ට ඡන්දයක් දෙන්නේ නම් ඒ ඇයි යන්න මගේ මොළ ධාරිතාවට ග්‍රහණය නොවේ. බොහෝවිට එය මගේ සිතුවිලි ධාරාවෙන් එහායින් වූ තර්කයක් විය හැක. 

 කෙසේ හෝ ජනාධිපතිවරණයට තව දින පහකි. මගේ විශ්වවිද්‍යාල ජේෂ්ඨයා අනුරාධ බණ්ඩාර පෙරලුනු පසක නැවුම් බව පිළිබඳව උදෑසන මුහුණුපොතට ලියා තිබිනි. ඒ පෙරළෙන නැවුම් පසට සජිත් වැනි හිස් ප්‍රාණීන්ද යටවී ඔවුන් දේශපාලන භූමියෙන්ම වියැකී යා යුතුය. 
එතෙක් රටට හෝ මිනිස්සූන්ට හෙටක් නම් උදානොවනු ඇත. හෙට මෙයැයි කියා රවටමින් , ඔබ සතු ඡන්දය නම්  සජිත්   වැන්නවුන් මංකොල්ල  කනු  ඇත. 



ප.සු : ඡන්ද දැමිමට යෑමට පෙර , සජිත් ඈත ගමක මිනිස්සූන්ට රැකියා බෙදා දෙන වීඩියෝව නරඹන්න , එහි ඇති හාස්‍ය වෙනුවට ඔහූගේ මනෝභාවය සහ චින්තනය තේරුම් ගැනිමට වෙරදරන්න. මෙවැන්නකුට රට ගිය කල උදාවන තත්වය මනසින් සිහිගන්වාගන්න. 




Tuesday, 10 September 2024

ෆ්‍රොයිඩියානූ ලිස්සා යෑම

මහ ඡන්දෙට සති දෙකක් තියලා මට කොළඹ එන්න වුනා. ඒ එක්කම ඒ සතියම මම ඔෆිස් යන්නත් තීරණය කරා.සති තුනක් නාවලපිටියේ වැස්සට තෙමිලා තෙමිලා හිරු රශ්මියක් වදින්න කියලා කොළඹට අඩියක් තිබ්බ ගමන් කොටුවෙදි වැස්ස වලාහකට අහූ උනා. සුබ සතියට ආයූබෝවං කියලා මම සතිය පටන් ගත්තා. මේ සතියෙම මම ඔෆිස් ගිය නිසාම ලන්ච් ටයිම් එකේ සති දෙකක් තුනක් සමහර විට හතරක් මුණ නොගැහුනු යාලූවෝ හම්බෙන්නත් , කතා කරන්නත් වෙලාවක් ලැබුනා. වෙනදට "අද නම් වහී වගේ නේද ?" එහෙම නැත්නම් "කොහොමද මේ දවස්වල වැඩ ?" වගේ දේවල් ඇහූවට , දැන් හැමෝම අහන්නේ " මේ පාර නම් අනුරට කැරකෙයි වගේ නේද ?? "සජියට දෙන්නේ කොහොමද ඌ තඩි ගොනෙක් නේ " "රනිල් නරක නෑ වටේ ඉන්න උං ,අර රෝහිත අබේගුණවර්ධන ,මහින්දානන්ද වගේ රාළහාමිලත් ඇවිත් නේ. " මං මේවට ගැළපෙන , පිළිවෙළ උත්තර දෙන ගමන් , ඒ ප්‍රශ්න අහන , සාකච්ඡා කරන , දේශපාලනික අදහස් ඉදිරිපත් කරන මිනිස්සූ ගැන වෙනදට වඩා හොඳින් හොයාබලනවා . බන්දුල ගුණවර්ධන කියනව වගේ නිදහසෙන් පස්සේ ලංකාවේ පැවැත්වෙන තීරණාත්මකම ඡන්දය මේකලුනේ.ඉතින් අපිත් ඒ බර දෙන්න එපැයි මේ දේවල්වලට. මෙහෙම මූන,හැසිරීම , භාෂා භාවිතය දිහා බලගෙන හිටියම වෙලාවක් ගතවෙනවා තමා ඒත් සමහර ව්ට ඔෆිස් වල බත් කාලා කාපූ පිඟානයි , අතයි දෙකම වේලෙනකන් කරන්න දේවලුත් තියෙන්නෙ එපැයි. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා. මේ ඊයේ උනූ කතා බහක් , දවල්ට බත් එකේ තිබුණු ලාවට බැඳුණු ඉස්සෙක්ගේ බඩ මැදින් කඩාගෙන එක කෑල්ලක් බඩටයි , අනෙක් කෑල්ල පිඟානටයි දාගන්න ගමන් මගේ දකුණු පැත්තේ උන්නූ කාර්‍යාල මිතුරිය රුචිනි මෙහෙම කතාවක් කියනවා. "අනුර නෙවෙයි ,මොකෙක් ආවත් තනියම මේ රට හදන්න බෑ . මිනිස්සූත් ඡන්දේ දීලා උඩ බලාගෙන ඉදලා බෑ. ඒකට උදව් කරන්න ඕන. " මාත් ඉස්සගේ අර්ධයක් හක්කෙ දතකින් හපන ගමන් ඔව් ඔව් කියලා ඔළුව වැනූවා. ආපහූ ඇගේ කතාව. මේක නම් ඉවරයක් නැති කතාවක් වගේ කියලා හිතන ගමන් මට යාන්තමින් දකුණට වුණු පුංචි දාවිත් අම්මා බෙදලා දුන්නූ බත් එක කනවා. නහය දිගේ රූටලා පහතට වැටෙන කණ්නාඩි කුට්ටම වම් අතේ දබරඇඟිල්ලෙන් තල්ලූ කරන ගමන් තමන්ගේ කෑම පෙට්ටියට හිනා වෙනවා. හොඳට අනාගත්ත බත් කටක් හපන ගමන් ආපහූ රුචිනිගේ කතාවට ඇහුන්කම් දෙනවා. . "දැන් බලන්න වාහනේ යනකොට පොලීසීයෙන් නතර කරාම අපි කොච්චර බොරු කියනවද ? එහෙම නැත්නම් කීයක් හරි පොලීසීයේ අතේ ගුලි කරලා පැනලා යනවා. ඒ වගේ දේවල් නම් නවත්තගන්න වෙනවා. " රුචිනි තදින් කීවා. ඒ වෙනකොට ඉස්සාගේ භාගෙ ගිලල හිටපූ නිසා "ඔව් ඔව් ඒක ඇත්ත කියලා මාත් සද්දෙන් කීවා. " කෑම මේසේ අපි කීපදෙනෙක් හිටියට මේ කතාවට හවුල් උනේ අපි හතර දෙනෙක්. රුචිනි,මම , පුංචි දාවිත් එක්ක අශාන්. අශාන් ‍රනිල් වගේම රාජකීයේ කොල්ලෙක්. රාජකීය පන්නෙටම ඇඳුම් පැළඳුම වගේම වැඩත්. මහන්සි වෙලා වැඩ කරන , පිළිවෙළට අදින , කෝච්චියෙන් එහෙ මෙහෙ යන ,වෙලාවට කෑම කන අශාන් නූතන අදහස් තියෙන වචනේ පරිසමාප්තඅර්ථයෙන්ම එළ කොල්ලෙක්. අපි හැමෝම ඔෆිස් කැන්ටිමෙන් කෑවට අශාන් කෑම ගේන්නේ ගෙදරෙන්. අපේ කතාවේ සිව්වෙනියා වගේම වැදගත්ම පාත්‍රයා තමා අශාන්. ඒ නිසා අශාන්ව ටිකක් අඳුන්වන්න සිද්ධ උනා. දැන් ආපහු කතාවට!! රුචිනිගේ පොලිස් කතාව අහන් උන්නූ පුංචි දාවිත් කෑම පෙට්ටියෙන් ඔළුව එළියට ගත්තා. "ඔව් ඉස්සර අපේ වාහනෙත් පොලීසීයෙන් නැවැත්තුවම අම්මා පරණ සිද්ද්ධියක් අරගෙන වාහනේ ඇතුළෙම අඬනවා. අම්මා අඬනවා දැකලා අපිත් අඬනවා. ඒක ඇහෙන පොලීසීයේ මහත්තයා පරිස්සමෙන් යන්න මහත්තයා කියලා අපිව යවනවා." ලියන්න ආව දඩ කොලේ පොලීසීයේ මහත්තයාගේ උණූ කඳුළු වලට දියවෙලා පරල වෙනවා. අපි දඩ නැතුව ගෙදර යනවා. කතාව කියලා ඉවර වෙලා පුංචි දාවිත් අපි තුන්දෙනා දිහා බලාගෙන ඉන්නවා. මගේ කටේ තවත් ඉස්සෙක් ඉඩ අරගෙන තියෙන නිසයි , රුචිනි චිකන් කෑල්ලේ කට්ට ඇතුළේ හැංගුනු මස් ගොබ හොයන නිසයි දාවිත් ගේ කතාවට උත්තරයක් දෙන්න බැරි උනා. ඒ පමාවට මේසේ දකුණු පැත්තේ උන්නූ අශාන් මෙහෙම කතාවක් කීවා. ඒ කතාව කියනකොට අශාන්ගේ ඇස් දෙක පොඩි වෙලා අමුතු සීරීයස් පෙනුමක් ඇවිත් තිබුනා. මම ඉස්සව චව් චව් ගාලා හපලා ඉවර කරනකොටම අශාන් මේ වචන ටික කියලා ඉවර කරා. "ඒ කියන්නේ අනුර ආවොත් උඹලාගේ අම්මා කෙලින්ම හිරේ දානවා. " ඔන්න අශාන් පුංචි දාවිත්ට කීව කතාව. මමයි රුචිනියි එතන ඉදන් බත් කාලා වතුර බීලා සීට් එකට ඇවිත් ඉදගන්නකන් අශාන්ට බයියෙක් කියලා පරිභව කරා. හිතේ තිබ්බ එක නොහිතපු වෙලාවක කටින් පැන්නා නේද කියලා ඔච්චම් කරා. මේ පාරවත් කලින් වගේ මෝඩකම් නොකරන්න කියලා දැනුවත් කරා. ඒ ඔක්කොම කියලා හවස මම ගෙදර එන්න ලෑස්ති වෙලා අශාන්ට මම යන්නම් කියනකොට "ආ...ජෙප්පා යනවද කියලා " අශාන් මට අත දුන්නා. මොනා නැතත් රනිල්ට අශාන් ඉන්නවා කියලා හිත හිතා මම බෞද්ධාලෝක මාවත දිගේ ගෙදර ආවා. මට අශාන්ගේ කතාවත්, දාවිත්ගේ පොලීස් කතාවත් , මගේ ඉස්සත් මේ හැමදේම අමතකවෙලා. ඉන්නකොට ජයන්ත චන්ද්‍රසිරිගේ පුතා , සඳකත්ගේ ටික් ටොක් එකක් දැක්ක. එකෙදි Gen Z එකේ හැඩිදැඩි කොල්ලෙක් තමන්ට සීයා කියන්න පුලුවන් මොඩලයේ රනිල්ගෙන් What is your favorite drink ? Wisky , Wine , Beer or Gal කියලා අහනවා. හැමදාම වේදිකාව උඩ උන්නූ රනිල් අදත් වේදිකාවේ උඩ ඉඳගෙන , බිම උන්නූ කොල්ලට I like power කියලා අහක බලාගන්නවා.
සඳකත් එයාගේ ටික් ටොක් එකේ මේ කතාව උපුටලා Freudian slip කියන මනෝවිද්‍යා තත්වය පහදනවා. තමන් කැමැති , තමන් විශ්වාස කරන ,තමන්ගේ යටි සිතෙ හංගගෙන , යටපත් කරගෙන උන්නූ දෙයක් , හදිසියේ තමන්ගේ කතාවකින් හෝ ක්‍රියාවකින් හෙළි වීම සිග්මන් ෆ්‍රොයිඩ් තමන්ගේ පොතක හඳුන්වලා තියනවා Freudian slip කියන නමින් . සඳකත්ට අනූව රනිල් වේදිකාව උඩ ඉඳන් I like power කියන්නෙ අන්න ඒ වගේ මනෝවිද්‍යාත්මක ලිස්සා යෑමක්. සඳකත් කියන්නෙ ඇත්ත නම් මගේ මිත්‍රයා අශාන් " ජෙප්පෝ ආවොත් උඹලගේ අම්මව හිරේ දායි කියන්නෙත් "ඒ වගේම ලිස්සා යෑමක්. හේතුව මිත්‍රයාගේ යටි හිතේ පැළපැදියම් වෙලා තියෙන්නේ ජ.වි.පෙ ආවොත් මිනිස්සූ හයියෙන් හූ කීයනවා ඇහුනත් හිරේ දායි කියලා. මෙහෙම අප්පූහාමිලා ඡන්ද පොළට යනකන් ජේ.වි.පි තියා. ඇන්.පී.පී එකටත් දිනන්න නම් ලැබෙන් නෑ කියලා හිතන ගමන් හෙට ඔෆිස් යන්න මම ඇඳුම් මදිනවා.

Thursday, 5 September 2024

බන්දුල මේ....බොරු මරිසි දාන්න එපා

බන්දුල ගුණවර්ධන කියනවා ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ සමුළුවකදි එයාට IMF ප්‍රධාන නියෝජිතයා කීවලු "ශ්‍රි ලංකාව මේ ගමන් කරන්නේ පිහිතල ඇතිරූ මාර්ගයක කියලා." ඒ නිසා රනිල්ම තමා මේකට ගැළපෙන මිනිහා කියලා.කිසිදෙයක් අබමල් රේණූවක් වෙනස් නොකර මේ මාර්ගයේම නොගියොත් රට බංකොලොත් වෙනවයි කියලා. දැන් මෙහෙම දෙයක් කීවම බන්දුල ගුණවර්ධනගෙන් අනෙක් පැත්තට අහන්න ඕන දැන් මේ පිහිතල අතුරපූ පාර හැදූවේ මමද , මගේ යාලුවෝද , මගේ රස්සාවේ යාලූවෝද , මගේ පාසලේ මිත්‍රයෝද , එහෙම නැත්නම් ඩී.ඇස් ගේ කාලේ ඉදන් උදේ දවල් වැඩ කරපූ කම්කරුවෝද , එක්ස්පෝර්ටින් සෝන් වල ඇඟිලි හිල්කරගෙන යන ඉඳිකටූ එක්ක දවසම බෙල්ල නමාගෙන මහන කාන්තාවෝද , රජරට වතුරත් නැතුව , පොහොරත් නැතුව හිතේ හයියටයි , බඩේ ගින්දරට වගා කරන ගොවියෝද , බෝට්ටු කියලා නමට තියෙන යකඩ ගොඩක ,යන්නේ කොහෙදවත් නොදැන බෙල්ලේ තියෙන කුරුසේ ඉඹලා මුහුදු රස්සාවට යන ධීවරයෝද ,උදේ ඉදන් වැස්සේ පින්නේ මහා හෙළක එල්ලිලා උදේ බීලා ආව කහට කෝප්පෙනුයි රොටියෙනුයි දවසම ඉන්න තේ දළු කඩන කාන්තාවෝද , මැදපෙරදිග ගෙදරක දවසම ඇඟ වැහෙන්න ඇදගෙන කරන්න ඕන වැඩ ඔක්කොමත් කරලා දත් කැඩෙන්න ගුටිත් කාලා ,ඇඟ ඇතුළේ ඇණත් පූරෝගෙන ලංකාවට එන ගෘහසේවිකාවෝද. දැන් බන්දුල ගුණවර්ධන අපිට නොවුනත් IMF ලොක්කට මේක කියන්න ඕන.මොකද ඒ මිනිස්සූ උනත් හිතන්න පුලුවන් මෙච්චර මේ රට පාඩූ වෙන්නේ , 16 පාරක් IMF ඇග්‍රීමන්ට්ස් ගහලා මැදින් දාලා යන්නේ , කවදාවත් අය වැය හිඟය පියවන්න බැරි වෙන්නේ මේ රටේ මිනිස්සූ කකා බීබී , කන්න නැතත් හුළං බිබී කාලේ මර මරා නිදාගන්නවා ඇති කියලා. නෑ මේ රටේ මිනිස්සූ පරම්පරා දෙකකට කලින් ඉඳලම කරේ වැඩ කරන එක , දුක් විදින එක , දුකම අනූභව කරන ගමන් පොල් පටවපූ බස් එකක ගෙදර එන එක , ආපහූ නැඟිටලා උදේ ගිහින් බන්දූල ගුණවර්ධන වගේ මිනිහෙක්ට ඡන්දේ දීලා ආව එක. කරන කරන වැඩේ නාලා , රටක මිනිහෙක්ට කැත නැතුව යන්න බස් සේවයක් , දුම්රිය සේවයක් හදන්න බැරි නඩයක් දැන් ආය කියනවා රට ස්ථාවර කරන්න අපිටම දෙන්න කියලා. බන්දුල ගුණවර්ධන 89 ඉදන් පාර්ලිමේන්තුවේ , එයා චන්ද්‍රිකගේ ආණ්ඩුවෙත් ඇමති , රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති , මහින්දගේ ආණ්ඩුවෙත් ඇමැති අන්තිමට ගෝඨාභයගේ ආණ්ඩුවෙත් ඇමැති. පහුගිය කාලෙම රටේ මම මුලින් කීව ගොවියෝ , ඇඟලුම් සේවකයෝ , ධීවරයෝ , වතු කම්කරුවෝ , සුලු සේවකයෝ බිංදුවෙනුත් පහළට වැටූනට බන්දුලට එහෙම උනාද , එයා ටියුෂන් කරලා කියල් හරි හොයාගත්තම කියමූකෝ. එතකොට මහින්දානන්ද , රෝහිත අබේගුණවර්ධන , අනෙක් පැත්තේ ඩලස් , දීප්ති කියන විදියට හිරු කාර්‍යාලයේ බිම පත්තර කොළ දෙකක් උඩ නිදාගත්ත විමල් , චාමර ප්‍රසන්න , ගම්පහ ප්‍රසන්න රණතුංග . මේ නම් එකක්වත් බිංදුවකට තියා එක දශමයකින් ආර්ථික අවපාතයකට අහුවෙලා තියනවා ද ? ඔය එක නමකවත් තමන්ගේ " ළමයෙක්ගේ ටියුෂන් ගෙවන්න බැරිවෙලා රනිල් ළඟට ගිහින් මේ කාලේ හරි අමාරුයි සර් කියලා අතමාරුවක් ඉල්ලලා තියනවාද" ? සර් ගෙදර ණය වාරිකේ ගෙවාගන්න බෑ කියලා මහින්දගෙන් උදව්වක් ඉල්ලලා තියනවාද ? තමන්ගේ වාහනේට තෙල් ගහගන්න බැරි උනා කියලා බස් එකේ අමාත්‍යාංශයට ගිහින් තියනවා ද ? ඒත් ඔය හැම එකම මේ රටේ පහළ, මධ්‍යම පන්ති කරා , කරනවා , කරන්න වෙනවා.
බන්දුල ගුණවර්ධන විතරක් නෙවෙයි ඒ සාම්පලේ හැම හෙංචයියෙක්ම ගෙදර යවන්න ඕන. මේ මිනිස්සූ රටක ව්‍යවස්ථාදායකයට තියා මරණාධාර සමිතියක මුල් පුටුවවත් දෙන්න ගැළපෙන අප්පූහාමිලා නෙවෙයි. මුලූජිවිතේම තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් තීන්දු තීරණ ගත්ත , රට ආපස්සට හරවන්න හොඳටම තිබුන අවස්ථා හැමඑකක්ම පයින් ගහලා නැතිකරගත්ත. බන්දුල ඇතුළු ඔය නඩේ හැමෝටම කියන්න තියෙන්නෙ :"බොරු මරිසි දාන්න එපා !! ඔයාගේ මරිසි අපි හොඳට දන්නවා. "

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...