Skip to main content

ෆ්‍රොයිඩියානූ ලිස්සා යෑම

මහ ඡන්දෙට සති දෙකක් තියලා මට කොළඹ එන්න වුනා. ඒ එක්කම ඒ සතියම මම ඔෆිස් යන්නත් තීරණය කරා.සති තුනක් නාවලපිටියේ වැස්සට තෙමිලා තෙමිලා හිරු රශ්මියක් වදින්න කියලා කොළඹට අඩියක් තිබ්බ ගමන් කොටුවෙදි වැස්ස වලාහකට අහූ උනා. සුබ සතියට ආයූබෝවං කියලා මම සතිය පටන් ගත්තා. මේ සතියෙම මම ඔෆිස් ගිය නිසාම ලන්ච් ටයිම් එකේ සති දෙකක් තුනක් සමහර විට හතරක් මුණ නොගැහුනු යාලූවෝ හම්බෙන්නත් , කතා කරන්නත් වෙලාවක් ලැබුනා. වෙනදට "අද නම් වහී වගේ නේද ?" එහෙම නැත්නම් "කොහොමද මේ දවස්වල වැඩ ?" වගේ දේවල් ඇහූවට , දැන් හැමෝම අහන්නේ " මේ පාර නම් අනුරට කැරකෙයි වගේ නේද ?? "සජියට දෙන්නේ කොහොමද ඌ තඩි ගොනෙක් නේ " "රනිල් නරක නෑ වටේ ඉන්න උං ,අර රෝහිත අබේගුණවර්ධන ,මහින්දානන්ද වගේ රාළහාමිලත් ඇවිත් නේ. " මං මේවට ගැළපෙන , පිළිවෙළ උත්තර දෙන ගමන් , ඒ ප්‍රශ්න අහන , සාකච්ඡා කරන , දේශපාලනික අදහස් ඉදිරිපත් කරන මිනිස්සූ ගැන වෙනදට වඩා හොඳින් හොයාබලනවා . බන්දුල ගුණවර්ධන කියනව වගේ නිදහසෙන් පස්සේ ලංකාවේ පැවැත්වෙන තීරණාත්මකම ඡන්දය මේකලුනේ.ඉතින් අපිත් ඒ බර දෙන්න එපැයි මේ දේවල්වලට. මෙහෙම මූන,හැසිරීම , භාෂා භාවිතය දිහා බලගෙන හිටියම වෙලාවක් ගතවෙනවා තමා ඒත් සමහර ව්ට ඔෆිස් වල බත් කාලා කාපූ පිඟානයි , අතයි දෙකම වේලෙනකන් කරන්න දේවලුත් තියෙන්නෙ එපැයි. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා. මේ ඊයේ උනූ කතා බහක් , දවල්ට බත් එකේ තිබුණු ලාවට බැඳුණු ඉස්සෙක්ගේ බඩ මැදින් කඩාගෙන එක කෑල්ලක් බඩටයි , අනෙක් කෑල්ල පිඟානටයි දාගන්න ගමන් මගේ දකුණු පැත්තේ උන්නූ කාර්‍යාල මිතුරිය රුචිනි මෙහෙම කතාවක් කියනවා. "අනුර නෙවෙයි ,මොකෙක් ආවත් තනියම මේ රට හදන්න බෑ . මිනිස්සූත් ඡන්දේ දීලා උඩ බලාගෙන ඉදලා බෑ. ඒකට උදව් කරන්න ඕන. " මාත් ඉස්සගේ අර්ධයක් හක්කෙ දතකින් හපන ගමන් ඔව් ඔව් කියලා ඔළුව වැනූවා. ආපහූ ඇගේ කතාව. මේක නම් ඉවරයක් නැති කතාවක් වගේ කියලා හිතන ගමන් මට යාන්තමින් දකුණට වුණු පුංචි දාවිත් අම්මා බෙදලා දුන්නූ බත් එක කනවා. නහය දිගේ රූටලා පහතට වැටෙන කණ්නාඩි කුට්ටම වම් අතේ දබරඇඟිල්ලෙන් තල්ලූ කරන ගමන් තමන්ගේ කෑම පෙට්ටියට හිනා වෙනවා. හොඳට අනාගත්ත බත් කටක් හපන ගමන් ආපහූ රුචිනිගේ කතාවට ඇහුන්කම් දෙනවා. . "දැන් බලන්න වාහනේ යනකොට පොලීසීයෙන් නතර කරාම අපි කොච්චර බොරු කියනවද ? එහෙම නැත්නම් කීයක් හරි පොලීසීයේ අතේ ගුලි කරලා පැනලා යනවා. ඒ වගේ දේවල් නම් නවත්තගන්න වෙනවා. " රුචිනි තදින් කීවා. ඒ වෙනකොට ඉස්සාගේ භාගෙ ගිලල හිටපූ නිසා "ඔව් ඔව් ඒක ඇත්ත කියලා මාත් සද්දෙන් කීවා. " කෑම මේසේ අපි කීපදෙනෙක් හිටියට මේ කතාවට හවුල් උනේ අපි හතර දෙනෙක්. රුචිනි,මම , පුංචි දාවිත් එක්ක අශාන්. අශාන් ‍රනිල් වගේම රාජකීයේ කොල්ලෙක්. රාජකීය පන්නෙටම ඇඳුම් පැළඳුම වගේම වැඩත්. මහන්සි වෙලා වැඩ කරන , පිළිවෙළට අදින , කෝච්චියෙන් එහෙ මෙහෙ යන ,වෙලාවට කෑම කන අශාන් නූතන අදහස් තියෙන වචනේ පරිසමාප්තඅර්ථයෙන්ම එළ කොල්ලෙක්. අපි හැමෝම ඔෆිස් කැන්ටිමෙන් කෑවට අශාන් කෑම ගේන්නේ ගෙදරෙන්. අපේ කතාවේ සිව්වෙනියා වගේම වැදගත්ම පාත්‍රයා තමා අශාන්. ඒ නිසා අශාන්ව ටිකක් අඳුන්වන්න සිද්ධ උනා. දැන් ආපහු කතාවට!! රුචිනිගේ පොලිස් කතාව අහන් උන්නූ පුංචි දාවිත් කෑම පෙට්ටියෙන් ඔළුව එළියට ගත්තා. "ඔව් ඉස්සර අපේ වාහනෙත් පොලීසීයෙන් නැවැත්තුවම අම්මා පරණ සිද්ද්ධියක් අරගෙන වාහනේ ඇතුළෙම අඬනවා. අම්මා අඬනවා දැකලා අපිත් අඬනවා. ඒක ඇහෙන පොලීසීයේ මහත්තයා පරිස්සමෙන් යන්න මහත්තයා කියලා අපිව යවනවා." ලියන්න ආව දඩ කොලේ පොලීසීයේ මහත්තයාගේ උණූ කඳුළු වලට දියවෙලා පරල වෙනවා. අපි දඩ නැතුව ගෙදර යනවා. කතාව කියලා ඉවර වෙලා පුංචි දාවිත් අපි තුන්දෙනා දිහා බලාගෙන ඉන්නවා. මගේ කටේ තවත් ඉස්සෙක් ඉඩ අරගෙන තියෙන නිසයි , රුචිනි චිකන් කෑල්ලේ කට්ට ඇතුළේ හැංගුනු මස් ගොබ හොයන නිසයි දාවිත් ගේ කතාවට උත්තරයක් දෙන්න බැරි උනා. ඒ පමාවට මේසේ දකුණු පැත්තේ උන්නූ අශාන් මෙහෙම කතාවක් කීවා. ඒ කතාව කියනකොට අශාන්ගේ ඇස් දෙක පොඩි වෙලා අමුතු සීරීයස් පෙනුමක් ඇවිත් තිබුනා. මම ඉස්සව චව් චව් ගාලා හපලා ඉවර කරනකොටම අශාන් මේ වචන ටික කියලා ඉවර කරා. "ඒ කියන්නේ අනුර ආවොත් උඹලාගේ අම්මා කෙලින්ම හිරේ දානවා. " ඔන්න අශාන් පුංචි දාවිත්ට කීව කතාව. මමයි රුචිනියි එතන ඉදන් බත් කාලා වතුර බීලා සීට් එකට ඇවිත් ඉදගන්නකන් අශාන්ට බයියෙක් කියලා පරිභව කරා. හිතේ තිබ්බ එක නොහිතපු වෙලාවක කටින් පැන්නා නේද කියලා ඔච්චම් කරා. මේ පාරවත් කලින් වගේ මෝඩකම් නොකරන්න කියලා දැනුවත් කරා. ඒ ඔක්කොම කියලා හවස මම ගෙදර එන්න ලෑස්ති වෙලා අශාන්ට මම යන්නම් කියනකොට "ආ...ජෙප්පා යනවද කියලා " අශාන් මට අත දුන්නා. මොනා නැතත් රනිල්ට අශාන් ඉන්නවා කියලා හිත හිතා මම බෞද්ධාලෝක මාවත දිගේ ගෙදර ආවා. මට අශාන්ගේ කතාවත්, දාවිත්ගේ පොලීස් කතාවත් , මගේ ඉස්සත් මේ හැමදේම අමතකවෙලා. ඉන්නකොට ජයන්ත චන්ද්‍රසිරිගේ පුතා , සඳකත්ගේ ටික් ටොක් එකක් දැක්ක. එකෙදි Gen Z එකේ හැඩිදැඩි කොල්ලෙක් තමන්ට සීයා කියන්න පුලුවන් මොඩලයේ රනිල්ගෙන් What is your favorite drink ? Wisky , Wine , Beer or Gal කියලා අහනවා. හැමදාම වේදිකාව උඩ උන්නූ රනිල් අදත් වේදිකාවේ උඩ ඉඳගෙන , බිම උන්නූ කොල්ලට I like power කියලා අහක බලාගන්නවා.
සඳකත් එයාගේ ටික් ටොක් එකේ මේ කතාව උපුටලා Freudian slip කියන මනෝවිද්‍යා තත්වය පහදනවා. තමන් කැමැති , තමන් විශ්වාස කරන ,තමන්ගේ යටි සිතෙ හංගගෙන , යටපත් කරගෙන උන්නූ දෙයක් , හදිසියේ තමන්ගේ කතාවකින් හෝ ක්‍රියාවකින් හෙළි වීම සිග්මන් ෆ්‍රොයිඩ් තමන්ගේ පොතක හඳුන්වලා තියනවා Freudian slip කියන නමින් . සඳකත්ට අනූව රනිල් වේදිකාව උඩ ඉඳන් I like power කියන්නෙ අන්න ඒ වගේ මනෝවිද්‍යාත්මක ලිස්සා යෑමක්. සඳකත් කියන්නෙ ඇත්ත නම් මගේ මිත්‍රයා අශාන් " ජෙප්පෝ ආවොත් උඹලගේ අම්මව හිරේ දායි කියන්නෙත් "ඒ වගේම ලිස්සා යෑමක්. හේතුව මිත්‍රයාගේ යටි හිතේ පැළපැදියම් වෙලා තියෙන්නේ ජ.වි.පෙ ආවොත් මිනිස්සූ හයියෙන් හූ කීයනවා ඇහුනත් හිරේ දායි කියලා. මෙහෙම අප්පූහාමිලා ඡන්ද පොළට යනකන් ජේ.වි.පි තියා. ඇන්.පී.පී එකටත් දිනන්න නම් ලැබෙන් නෑ කියලා හිතන ගමන් හෙට ඔෆිස් යන්න මම ඇඳුම් මදිනවා.

Comments

  1. මං අශාන් ගැන නොදනිමි, නමුත් ඔහු එසේ පැවසුවේ සමස්ථ දේශපාලනයම අරහං වෙලා වෙන්නත් පුළුවන් නේද? ජවිපේට වරදක් කියන්න හිතාගෙන නෙමෙයි එහෙම කිව්වා වෙන්නත් බැරිද ඉතින්?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...