Tuesday, 29 July 2025

කතා කරන පින්තූර

 1985-86 කාලය වෙනකොට ජයවර්ධන ජනාධිපති නොහිතපූ විදියට LTTE  එක බලවත් වෙන්න ගත්තා. PLOT, TELO ,EPLRF වගේ උතුරේ විප්ලවවාදි කණ්ඩායම් මැදින් තම්බි (මල්ලී) නොහොත් ප්‍රභාකරන්ගේ LTTE එක ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩූවේ පවා අවධානය දිනා ගත්තා.



ප්‍රභාකරන් කියන්නේ මිලිටරි මෑන්..ඒ නිසා මිනිහා තමා මේකට ගැළපෙන්නේ. ඉන්දියාව ගණන් හැදූවේ ඒ විදියට. 

මේ කාලේ වෙනකොට ඉන්දියාවටත් , ජයවර්ධනට රිදෙන්න දෙන්න ලොකු උවමනාවක් තිබුනා. ඒකට හේතුව ජයවර්ධන ආණ්ඩූවේ තිබූනූ එක්සත් ජනපද ගැතිබව.මොකද අසූවේ දශකයේ අග ඉන්දියාවේ මාස්ටර් උනේ සොවියට් රුසියාව. තමන්ගේ දෙපාමූළ ඉදන් තමන්ට කොකා පෙන්වන ජයවර්ධනව මෙල්ල කරගන්න රජීව් ගාන්ධිගේ Political wing එක LTTE භාවිතා කරා.  

දැන් මේ වැඩේ කරගන්න නම් ලංකාව ඇතුළේ දේශපාලනික අස්ථාවරත්වයක් ඕන. ඒ  වෙනුවෙන් ඉන්දියානූ රෝ ඔත්තු සේවය ලංකාවේ රජයට දැනෙන තැනකට ලොකූ ප්‍රහාරයක් දෙන්න කියලා TELO සංවිධානයට කීවා. TELO ප්‍රහාරක බලඇණී මේකට බෑ කීවා.

"අපි ඉන්නේ ආමි එක එක්ක ගහගන්න , අපිට බෑ ගෝල්ෆේස් එකට ඇවිත් සාමාන්‍ය මිනිස්සු මරලා යන්න ".TELO එක බෑ කීව කොන්ත්‍රාත්තුව ප්‍රභාකරන්  භාර ගත්තා. 

"අපිට කොළඹට ගහන්න බෑ තාම..ඒත් දැනෙන තැනකට අපි ගහන්නම්."

1985 මැයි 14 අනුරාධපුරේ ජයසිරි මහා බෝධියට , මන්නාරමේ LTTE අණදෙන නිලධාරී වික්ටර්ගේ ප්‍රධානත්වයෙන් ඇතුළු උනූ කොටි සටන්කාමීන් , සාමාන්‍ය වැසියන් 146 ඝාතනය කළා. 

ඉන්දියාවේ පණිවිඩය ජයවර්ධනගේ ඉහමොළේටම ගියා. උතුරු දකුණු මාරු උනූ ජයවර්ධන , ඩෙන්සිල් කොබ්බෑකඩුව , සිරිල් රණතුංග , නලීන් සෙනවිරත්න කැඳවලා උතුර ආක්‍රමණය කරන්න අණ දුන්නා.  Operation Libeation  ඒ විදියට පටන් ගත්තා.ඒ...ජයසිරි මා බෝධියේ ඝාතනයෙන් අවුරුදු එක හමාරකට පස්සේ.

"යුද්ධයක්ම ඉල්ලපු ප්‍රභාකරන්ට  යුද්ධයක්ම ජනාධිපති ජයවර්ධන ලබා දුන්නා.

දවස් පහකින් Operation Liberation phase 1 ඉවර කරගත්ත රජයේ හමුදාව වඩමාරච්චියට ඇතුළු උනා. ඊළඟ අදිරය ඇතුළේ ප්‍රභාකරන්ව බිත්තියටම හේත්තු කරපූ ආරක්ෂක අංශය උතුරට සැපයුනූ සැපයූම් ජාලා නැවැත්තුවා.  කෑම ,බෙහෙත් නැතුව LTTE එක වගේම සාමන්‍ය වැසියනුත් තක්කූ මුක්කූ වුනා.

"ජයවර්ධන උතුරට සැපයූම් නවත්තලා .උතුරේ ජනතාව හාමතේ. ඉන්දියානූ රජය තමන්ගේ සුරතලා වෙනුවෙන් කට ඇරියා. එයාලා ඒ ප්‍රශ්නේ UN එකටම අරගෙන ගියා. "ජයවර්ධන කොටූ උනා. ඒ අස්සේ ඉන්දියාවේ රාජතාන්ත්‍රික මාර්ගයෙන් අති රහසිගත ලියූමක් ජයවර්ධනට ලැබුනා.

"ඔයා සැපයූම් යැව්වේ නැත්නම් , අපි ලංකාව ඇතුළට දැනූම් දීමකින් තොරව එනවා."

ඉන්දියාව තමන්ගේ මතය කීවා. කීවා වගේම ආහාර බෙහෙත් එක්ක නාවුක බලකායක් උතුරු වෙරළට පිටත් කරා. ලංකාවේ නාවික හමුදාව පෙර දැනූම් දිමකින් තොරව ලාංකීය සාගර සීමාවට ඇතුළු උනූ ඉන්දීය නාවූක යාත්‍රා ආපහූ අනෙක් පැත්තට හරවලා යැව්වා. ඒ එක්කම ආහාර , බෙහෙත් එක්ක ගුවනට නැඟුනූ ඉන්දීය හමූදා ජූනි 4 වෙනිදා දවල් 3:33 ඉදන් හවස 6:13 වෙනකන් අත්‍ය්වශ්‍ය භාණ්ඩ පැරෂූට් මාර්ගයෙන් යාපනයය ලබාදුන්නා.සැපයූම් අංශවලට සහයට ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා උතුරු අහසේ සැරිසරමින් හිටියා.

අතපය බැඳලා දාපූ ජයවර්ධන , ඉන්දීය ආක්‍රමණය හමූවේ ඔද තෙඳ බිඳුනු නායකයෙක් විදියට ජූලි මාසේ 29 වෙනිදා ඉන්දූ ලංකා ගිවිසූම අත්සන් කරා.Operation liberation මෙහෙයූමේ දෙවන අදියරය නවත්තපූ ලංකාවේ රජය ,උතුරට සැපයූම් නැවත යැව්වා.IPKF (Indian peace keeping force) එහෙම නැත්නම්  ඉන්දීය සාම සාධක හමුදාව ඉන්දූ - ලංකා ගිවිසුම ප්‍රකාරව යාපනයට ගොඩ බැස්සා . එතැන් සිට සිදූවු සියල්ලම  ඉතිහාසයට කලූ සුදූ අන්දමින් එක් වුනා.

ඡායාරූපය : 1987 ජූලි 29 දින ඉන්දූ-ලංකා ගිවිසුම අත්සන් කරන ජයවර්ධන සහ රජීව් ගාන්ධි. 


Sunday, 27 July 2025

කතා කරන පින්තූර

"යාපනයේ මූර සංචාරයක් අතරතුර LTTE සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් මියගිය හමුදා සෙබළුන් 13 දෙනාගේ අවමංගල්‍ය උත්සවය බොරැල්ල කනත්තේදි පැවැත්වේ." 

මේ ප්‍රවෘතිය වෙන්න ඇති නිදහස් ලංකාවේ මාධ්‍යකින් නිකුත් උනූ බරපතළම මාධ්‍ය නිවේදනය. 1983 වෙනකොට ලංකාවේ ජනාධිපති උනූ , ඒ වෙනකොටත් අවුරුදු 40 විතර දේශපාලනය කරමින් හිටපූ ජූනියස් රිචර්ඩ් ජයවර්ධනට පවා ආපහූ හරවන්න බැරි තරමේ වැරැද්දක් උනූ දේශපාලන තීරණය. 

හමුදා මූර සංචාරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල උනූ එක ඇත්ත.ඒකට හිලව්වට ඒ ප්‍රහාරය සිද්ද උනූ සීමාව අවට දෙමළ ගම්මානවල මිනිස්සූ 51 විතර හමුදාවෙන් ඝාතනය කළ බවත් ඇත්ත. ඒත් මේ තීරණය ??

හමූදා මෙහෙයූම්වලදි මියයන සෙබළුන්ගේ මරණ යවන්නේ ඔවුන්ගේ ගමට.ඒක හැමදාම උනේ ඒ පිළිවෙළට. ඒත් ජයවර්ධනයි එයාගේ බෑණා උනූ හමුදාපතියි , එයාගේ දිර්ඝ කාලීන මිතුරා උනූ ආරක්ෂක ලේඛම් කියන තුන්දෙනා වෙනත් තීරණයක් ගත්‍තා.

 "නෑ අපි මරණ ගේන්නේ කොළඹ බොරැල්ල කනත්තට " 

ජූලි 24 වෙනිදා මරණ 13 කනත්තට එනකොට සූ ගාලා සෙනඟ. ඇල්ලේ ගුණවංශ ඇවිත් සිංහල ලේ කකියන උද්වේගකර කතාවක් කරා. පේමන්ට් එකේ බිස්නස් කරපූ , පොකට් ගහපූ , කොටූවේ මුට්ට කරගහපූ , පොඩි පොඩි අයිආර්සී වැඩ කරපු කොළඹ වතුවල අයියලා අතට අහූවෙන ආයූධයක් අරගෙන එළියට බැස්සා . පිරිසක් බොරැල්ලේ දෙමළ මිනිස්සූ හොයාගෙනත් , අනෙක් පිරිස බම්බලපිටිය ,වැල්ලවත්ත ගිනිබත් කරන්නත් , කනත්තෙන් කෙලින්ම එළියට ඇවිත් නාරහේන්පිට පැත්තට ගිහින් මීනී මරන්නත් මේ සිංහල ,බෞද්ධ දේශප්‍රේමියෝ පටන් ගත්තා. 

මේ මොකුත් නොදන්න ගාණට සුදු පිරුවට ඇන්ද ජනාධිපති ජයවර්ධන , වෝඩ් ප්ලේස් ඉදන් දවස් හයක් කල් මැරූවා. ඒ දවස් හයට දෙමළ ජිවිත 5600 විනාශ උනා. තව බොහෝ දෙනා අතුරුදහන් උනා. පුදුම තරමේ දේපළ , මුදල් ,රත්තරං හොරකම් කරා.

 පොලීසීය ,හමුදාව ඉස්සරහා දෙමළ මිනිස්සූන්ව පණපිටින් ගිනි තිබ්බා. ආරක්ෂක අංශ ඒවා නොදැක්ක ගාණට අහක බලන් හිටියා. වැලිකඩ බන්ධනාගාරය ඇතුළෙ විතරක් 24 වෙනිදා දෙමළ දේශපාලන සිරකරුවෝ 31 මිලේච්ච විදියට මරලා දැම්මා. හරියටම ජූලි 29 වෙනිදා ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවා.

"ඔබේ කඩුව දැන් බිම තියන්න ."

ඒ කොටස කියනකොට , ජනාධිපති ජයවර්ධන තවත් අවුරුදු තිහකට ලංකාවේ ජනතාවගේ මරණ වරෙන්තුව අත්සන් කරලා ඉවරයි. කඩූව බිම තිබ්බම ඔය කරපූ ඝාතනවලට නඩූත් නෑ කියලා ඒ අස්සෙම ජයවර්ධන ව්‍යංගයෙන් කිවා.

ඡායාරූපය : කොළඹ ගිනිබත් කරමින් , දෙමළ ජාතින් හොය හොයා ඝාතනය කරන දේශප්‍රේමී බෞද්ධයන්.


Saturday, 26 July 2025

කතා කරන පින්තූර

 2008 අගෝස්තු 20 වෙනකොට උසේන් සෙන්ට් ලියෝ බෝල්ට් ලෝකේ වේගවත්ම මිනිහා වෙලා ඉවරයි. ඔලිම්පික් තරගවලට මාසෙකට උඩ තිබුනු Reebok ගෝන් ප්‍රී තරගේ තත්පර 9:72 දුවලා ආපූ බෝල්ට්,  100m අවසන් තරගයෙදි දෙපැත්තට අත් දෙකත් විහිදවගෙන ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ තත්පර 9.69 කින්.

සෙල්ලම ඉවරයිද ?

අපෝ නෑ.ජැමෙයිකානුවෝ එහෙම ලේසියෙන් තරග අතාරින්නේ නෑ. මීටර් 200 දුවන්න බෝල්ට් එක්ක ඇමෙරිකන් කාරයෝම තුන්දෙනෙක් ඉන්නවා. ඒ එක්කම ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් දූපතේ  කිම් කොලින්ස්.  ඒත් බෝල්ට් ලෑස්ති.  

කැමරා එළි මැදින් බෝල්ට් තරුණයා හිනා වෙනවා. මේ බෝල්ට් ගේ ඉසව්ව. අඩි හයයි අඟල් පහක උස නිසා පුහුණුකරු ග්ලේන් මිල්ස් උනත් කැමැති උනේ බොල්ට් මීටර් 200 ඉසව්ව විතරක් කරනවට.  ඒත් බෝල්ට් පුහුණුකරු එක්ක ඔට්ටූවක් දැම්මා.

"මම ජැමෙයිකාවේ මීටර් 200 වාර්තාව කඩනවා. හැබැයි මට මීටර් 100 දිගටම දුවන්න දෙන්න ඕන." 

1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් ශූරයා වුනු ඩොන් කූරී ගේ වාර්තාව බෝල්ට් සුනුවිසුණු කරා. පුහුණුකරු බෝල්ට්ට මීටර් 100 දිගටම ඉඩ දුන්නා.

2008 වෙනකොට එක්සත් ජනපදයේ  මයිකල් ජෝන්සන්ගේ  අවුරුදු 12 පැරණි 200m ලෝක වාර්තාව මකුළු දැල් බැඳිලා මලල ක්‍රීඩා වාර්තා පොතේ තවම තියනවා. ඇට්ලැන්ටා නුවරදි මයිකල් ජොන්සන් තත්පර 19:32 කින් මීටර් 200  ලෝක වාර්තාව තියනකොට උසේන් යාන්තමින් අවුරුදු දහය එළැඹුනු කොලුවෙක්.දැන් බෝල්ට් ඇවිත් ඉන්නේ අන්න ඉතිහාසය වෙනස් කරන්න. 

වෙඩි හඬක් බිජිං කුරුළු ක්‍රීඩාංගණයෙන් නිකුත් උනා. එහෙ බලලා මෙහෙ බලනකොට තත්පර 19.30 යි . අලුත් ලෝක වාර්තාවයි , රන් පදක්කමයි. උසේන් බෝල්ට් කියන තරුණ ගැටයා මුලු ලෝකෙම ඇස් තමන් දිහාවට ඈද ගත්තා. 

එයා විශ්‍රාම යනකන්ම ඒ දිස්නය නොමැකී ඒ විදියටම තිබුනා.

ඡායාරූපය : උසේන් බෝල්ට් බිජිං ඔලිම්පික් උළෙලේ, මීටර් 200 ඉසව්ව අවසානයේ.


Friday, 25 July 2025

කතා කරන පින්තූර

 ජෝන් එෆ් කෙනඩි !!!



 ඒ තරම් කඩවසම් ජනාධිපති   කෙනෙක් එක්සත් ජනපදයේ කවදාවත් ඉදලා නෑ.ඒ විතරද ජැකී කෙනඩි. ඒ කඩවසම් කමට කැපෙන සුන්දර බිරිඳ. මිලියනපතියෙක්ගේ පුතෙක් , සැප සම්පත් පිරුනු ළමා කාලයක්, නීතීධරයෙක් , Massachusetts ප්‍රාන්තයේ හිටපු කොන්ග්‍රස් සභිකයා . ඇයි ඒ විතරද සුරූපී මැරලීන් මොන්රෝගේ රහසිගත ආලවන්තයා.

මොනවගෙන් කියලා අඩුවක්ද ??

කියුබාවේ හිතුවක්කාර රැවූල් කාරයා කැස්ත්‍රෝ එක්ක හැප්පූනාට , පිළිකාවක් වගේ උඩුදුවන සොවියට් සමූහාණ්ඩූව ආම්බාන් කරගත්තට.  ජෝන් එෆ් කෙනඩිට තමන්ගේ රටේ උඩු දුවන මාෆියා වෙළඳාමයි , වෘත්තිය සමිති සෙල්ලමයි දෙකම පාලනය කරගන්න බැරි උනා. 

ඩලාස් ,ටෙක්සාස් වල මේ ආවරණය රහිත රථයේ තමන්ගේ බිරිඳ එක්ක යන මොහොතේ ඒ පාලනය කරගන්න බැරි උනූ හතුරෝ තමාට කොකා ගස්සන බව  ඒ වෙනකොට ලෝකේ ලොක්කා උනූ කෙනඩිට තේරුනේ නැතිවෙන්න ඇති. 

අවුරුදු 46 විතරක් ජිවත් වුනූ ජෝන් එෆ් කෙනඩි ,තවත් අවුරුදු සීයකට හරියන්න මතක ගොන්නකුයි , රහස් තොගයකුයි හංගගෙන ඉතාලියන් Carcano රයිෆල් උණ්ඩ තුනකට බිලි උනා. එතනින් ඔලුවටම ඇතුළු උනු උණ්ඩයෙන් කෙනඩි සදහටම දෑස් පියාගත්තා.

ඡායාරූපය : ජෝන් ඇෆ් කෙනඩි, ඩලාස් හි වෙඩි වැදිමකට මොහොතකට පෙර. පසෙකින් සිටින්නේ ඔහුගේ බිරිඳ ජැකී කෙනඩි.


කතා කරන පින්තූර

 " ඔහු තමා රජා" 



1966 නොවැම්බර් 14 වැනිදයින් පස්සේ හැමෝම එහෙම කියන්න ගත්තා.

ක්ලැසියස් ක්ලේ කියන තරුණයා 1960 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ හෙවිවේට් රන් පදක්කමක් අරගෙන එනකොටවත් එහෙම නොකියපූ උදවියත් ඒ විදියට එයා ගැන කතාකරන්න  පටන් ගත්තා. 

1964 අවුරුද්දේ මාරාන්තික වෙඩි පහර තුනකින් බේරුනූ Cleveland Williams එහෙම නැත්නම් Big Cat.  කටකාර අලී එක්ක තරගයකට එනකොට හැමෝම හිතුවේ Sonny Liston ට කරන්න බැරි උනූ දේ Clveland කරයි කියලා. ඒත් සමනලයෙක් වගේ පියාඹන ,මී මැස්සෙක් වගේ දෂ්ට කරන මේ හැඩකාර තරුණයට Cleveland ව බිම දාන්න වැයවූනේ වට තුන හමාරක් විතරයි. තුන්වෙනි වටේ විනාඩියකුයි තත්පර දහ අටකදි Cleveland ට ආපහූ නැඟිටින්න බැරි වෙන්න අලී තුන් පාරක්ම බිම දාලා තිබුනා. විනිසුරු තවත් බලාගෙන ඉන්න බෑ කියලා අවසාන සීනූව නාද කරා.  Cleveland තුන්වෙනි කෝණ කනුව ළඟ අන්දරේ මැරුණූ විදිහටම වැතිරිලා උන්නා.

35460 ප්‍රේක්ෂකයෝ ඉස්සරහා ඒ වෙනකොට අවුරුදු 24 මාස 9 උනූ මොහොමඩ් අලී තමන්ගේ හෙවිවේට් ශූරතාව තවත් වාරයකට ඒ විදියට ආරක්ෂා කරගත්තා.

"ඔහූ තමා ශ්‍රේෂ්ඨයා තවත් සෑහෙන කාලෙකට පස්සේ මිනිස්සූ එයා ගැන එහෙම කියන්න පටන් ගත්තා."

ඡායාරූපය : තුන්වන වටය අවසානයේ ඇඳ වැටූනූ Big Cat නොහොත් Cleveland Willams.

Sunday, 20 July 2025

මිනිසාගේ ශ්‍රේෂ්ඨතම ගමන

අදට අවුරුදු 56 එහායින් , අවුරුදු දහයක් මහන්සි උනූ "ඇපලෝ" මෙහෙයූමේ 11 වෙනි අදිරය සාර්ථකව අවසන් කරගන්න නාසා ආයතනයට හැකි උනා. 

වමේ සිට ආම්ස්ට්‍රෝන්ග් ,කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින්


අභ්‍යවකාශයට මුලින්ම මනුෂ්‍යයෙකු යැවීමේ තරගයෙන් සොවියට් දේශය ඉස්සරහා පරාද උනූ එක්සත් ජනපදය , කෙනෙඩි ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මතම ඇපලෝ මෙහෙයූම කඩිනම් කරන්නට යෙදුනා. එහි ප්‍රතිඵලයක් විදියට 1969 ජූලි මස 16 දින ආරම්භ වුනු ඇපලෝ 11 මෙහෙයූම දින 8 පැය 3 විනාඩි 18 පස්සේ සාර්ථකව අවසන් කරගත් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් තිදෙනා 1969 ජුලි මාසේ 24 දින පැසිෆික් සාගරය හරහා පෘථිවියට පැමිණියා. 


මේ කෙටි සටහන වසර 56 පිරෙන මානව ඉතිහාසයේ සුවිශේෂිම පිම්ම වූ සඳ ගමන පිළිබඳවයි. 

සැටර්න් -5 රොකට්ටුව , කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරිම.


මම මුලින් කී විදියටම සොවියට් සමුහාණ්ඩුවේ සමාජවාදි කඳවුරත් , එක්සත් ජනපදයේ ධනවාදි කඳවුරත් පනහේ දශකය වෙනකොට ආර්ථිකමය යුද්ධයෙන් , බලයෙන් තවත් එහාට ගිහින් අභ්‍යවකාශය ජයග්‍රහණය කිරිමත් , ඉන් පසූව සඳ තරණයටත් සටන් කරමින් සිටියා.ඒ ලැබෙන ගෞරවය වෙනුවෙන් යටිබිබ්ගත සීතල යුද්ධයක් පැවතුනා. සුප්‍රකට Cold war විදියට හඳුන්වන්නේ මේ රාජතාන්ත්‍රික එදිරිවාදිත්වය. 


එක්සත් ජනපදය මේ වෙනුවෙන්ම ඇපලෝ ප්‍රධාන මෙහෙයූම දියත් කළේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසූව ඔවුන් අත්කරගෙන් සිටි මහා ධනයේ ආනූභාවයෙන්. ඇස්තමේන්තුගත ආකාරයට ඇපලෝ 11 වෙනුවෙන් එක්සත් ජනපද භාණ්ඩාගාරය ඇමෙරිකානූ ඩොලර් බිලියන් 24.5 වියදම් කරලා තිබුනා. වර්තමානයේ මුදලේ අවප්‍රමාණය අනූව ඒ මුදල ඇමෙරිකානූ ඩොලර් බිලියන් 150 ආසන්නයි. මීට අමතරව කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහ හූස්ටන් පාලන මැදිරිය ඇතුළු ස්ථානවල 2000 ආසන්න ප්‍රමාණයක් මෙහෙයූමට සම්බන්ධ වුනා. 

නීල් ආම්ස්ට්‍රෝන්ග් ලබාගත් එඩ්වඩ් ඕල්ඩ්‍රින්ගේ ඡායාරූපය



 මේ ව්‍යාපෘතියට ඇපලෝ (Apollo) යන්න යෙදිමට හේතුව විදියට නාසා ආයතනය පවසන්නේ , ග්‍රීක මිත්‍යාකථා වලට අනූව ආලෝකයට සහ සංගීතයට අධිපති දෙවියා වූ ඇපලෝ සිහි කරවිම බවයි. එක්සත් ජනපදයෙන් ඇරඹි ඇපලෝ මෙහෙයුමෙන් 11 අති සාර්ථක වුනත් , 1967 ජනවාරි මස සිදු කළ  ඇපලෝ 1 මෙහෙයූම ආසාර්ථක වුනේ අභ්‍යවකාශගාමීන් තිදෙනාම පෙර පුහුණුවකදි ඇතිවූ ගින්නකින් මරණයට පත්විමෙනි. ඒ වගේම සඳ ගමනෙන් පසුව 1970 අප්‍රේල් මස සිදු කළ ඇපලෝ 13 ගමනේදි ඔක්සිජන් ටැංකියේ ඇතිවූ පිපිරිමක් හේතුවෙන් නැවත රොකට්ටුව පෘථිවියට කැඳවනු ලැබූවා. එහි ජිවිත හානි සිදු නොවුනද ඉතිහාසයට එක් වූවේ අසාර්ථක මෙහෙයුමක් ලෙසයි. ඒ නිසා 1969 සඳ ගමන කිසිම විදියක අහම්බයක් නෙවෙයි . ධනය , ජිවිත සහ කාලය වැය කරමින් දැනුම මතම වර්ධනය වුනු ක්‍රියාවලියක්.


නැවත 1969 ජුලි  මෙහෙයුමට අපි යොමුවෙමු. 


නීල් ආම්ස්ට්‍රෝන්   - කමාන්ඩර්

එඩ්වින් බස් ඕල්ඩ්‍රින්  - ලූනා මොඩලයේ නියමූවා 

මයිකල් කොලින්ස්  - මව් යානයේ නියමූවා

එක්සත් ජනපද ධජයට පිටුපසෙන් තිබෙන්නෙ ලූනා මොඩලයයි.


නාසා ආයතනයේ එවකට ප්‍රධාන මෙහෙයුම් නිලදාරියා වුනු Deke Slayton විසින් සෑම ඇපලෝ මෙහෙයුම් කණ්ඩායමක් වෙනුවෙන්ම අතිරේක (Backup) කණ්ඩායමක් නිර්මාණය කර තිබුනා. ඒ අනුව ඇපලෝ 7 අතිරේක ඛණ්ඩය (Backup crew) ඇපලෝ 10 මෙහෙයූමේ ප්‍රධාන නියමූ බලකාය විදියටත් , ඇපලෝ 8 අතිරේක ඛණ්ඩය ඇපලෝ 11 මෙහෙයූමේ ප්‍රධාන නියමූ බලකාය විදියටත් සේවය කරන්නයි මුලික සැලැස්ම තිබුනේ. අපේ කතා නායකයන් තුන්දෙනා මුලින්ම ඇතුළත් වෙලා තිබුනේ ඇපලෝ 9 මෙහෙයුමේ අතිරේක ඛණ්ඩයට , ඒ නිසා ඔවුන් ඇත්තටම පියාසර කරන්න තිබුනේ ඇපලෝ 11 සමඟ නෙවෙයි ඇපලෝ 12 සමඟ. ඒත් අවසාන මොහොතේ නාසා ආයතනයේ අභ්‍යන්තර තීරණයක් අනූව ඇපලෝ 8 සහ 9 අතිරේක ඛණ්ඩ එහෙම නැත්නම් Backup crews එකෙනක හුවමාරු කරා (Swap) . අන්න ඒ නිසයි නීල් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ කණ්ඩායමට මේ අමරණීය මොහොතට සහභාගි වෙන්න ලැබුනේ. 


ජර්මන් ජාතික වර්නර් වොන් බ්‍රෝන් නිපදවූ සැටර්න් -5 රොකට්ටූවෙන් ෆ්ලෝරීඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ LC-39A launching pad  එක යොදාගෙන ආම්ස්ට්‍රෝන් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් ජූලි 16 දින පෘථිවියෙන් පිටත් උනා.  අදියර තුනක් යටතේ සැටර්න් - 5  රොකට්ටූවේ detachments (වෙන්වී යෑම් ) සිදුවුනු අතර අවසානයේ Lunar module සහ command module නොහොත් කොලොම්බියා යානය සඳෙ ගුරුත්වයට ඇතුළත් උනා. ඒ service module ඉවත් වීමෙන් පසූව.

මයිකල් කොලින්ස් කොලොම්බියා යානය තුළදි.


Lunar module Eagle : නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වඩ් බස් ඕල්ඩ්‍රින් සිටි කොටස. සඳට සැබැවින්ම ගොඩ බෑම කළේ මේ කොටසයි. ජර්මන් ජාතිකයන්ගේ නිෂ්පාදනයක් වු මෙය. ප්‍රධාන මෙහෙයුමේ අවසන් අදිරයේදි සඳෙහි කක්ෂයෙදි අතහැර දැමූවා.


Command module :  නොහොත් කොලොම්බියා යානය. මයිකල් කොලින්ස් විසින් පැදවූ මෙය. පැය විසි එකක් පුරාවට සඳ මත වූ ගවේෂණය තෙක් සඳෙ කක්ෂය වටා කරකැවෙමින් සිටියා. lunar module නැවත පැමිණෙන විට. නිවැරදිව යානා දෙක සම්බන්ධ කරගැනිමේ වගකීම තිබුනේ කොලින්ස් ප්‍රමුඛ කොලොම්බියා යානයටයි.


ගොඩ බැසීමට පෙරාතුව අවසාන වෙන් වී යෑම සිදු වූවේ Lunar module සහ Command module අතරයි. ඒ සමඟ සඳෙ ගුරුත්වය යටතේ ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් Lunar eagle ය සඳට ගොඩ බැසිම සාර්ථකව සිදු කළා. 


Eagle යානය සඳට ගොඩ බැසිම සිදුකළ විටම නීල් ආම්ස්ට්‍රෝන් සිය රේඩියෝ පණිවිඩය නිකුත් කළා.


"Eagle has landed."


එතැන් සිට පුරා පැය විසි එකක්  සඳෙහි වූ පාෂාණ සහ පස් සාම්පල රාත්තල් 42.7 පමණ එකතු කරගත් අහ්‍යවකාශගාමීන් දෙදෙනා පසුව එක්සත් ජනපද ධජය සඳ මත සිටවනු ලැබුවා. නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් බස් ඕල්ඩ්‍රින්ගේ ඡායාරූපයකුත් ගනු ලැබුවා. පෘථිවියෙන් මෙහි පැමිණි බවට පණිවිඩයකුත් සටහන් කළා. 


එවකට එක්සත් ජනපද ජනාධිපත් රිචඩ් නික්සන් හූස්ටන් පාලන මැදිරිය හරහා අභ්‍යවකාශගාමින්ට දුරකතන ඇමතුමකුත් ලබාදිලා ඒ එක්කම සුබ පැතුවා. මේ වැඩේ ඇතුළෙන්ම එයාගේ දේශපාලන වැඩකුත් එයා  හෙමින් සීරුවේ කරගත්තා.


 පසුව නැවත සඳෙන් Columbia module සමඟ සම්බන්ධ වූ අභ්‍යවකාශගාමීන් දෙදෙනා (ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින්) කොලොම්බියා යානය තුළට පැමිණ මයිකල් කොලින්ස් සමඟ සම්බන්ධ වෙනවාත් එක්කම Luna module ඉවත් කළා. නැවත සඳෙ ගුරුත්වයෙන් ඉවත්ව දින දෙක හමාරකට පසුව පෘථිවි කක්ෂයට පැමිණි වීරයන් තිදෙනාව එක්සත් ජනපද නාවික හමුදාව විසින් පැසිෆික් සාගරයේදි සුරක්ෂිතව පිළිගනු ලැබුවා.  ඇපලෝ 11 මෙහෙයුම සාර්ථක වූ බව නාසා ආයතනය ඒ එක්කම නිල වශයෙන් නිවේදනය කළා.


මේ මෙහෙයුමේ වැදගත් කරුණක් තියෙනවා. සඳ ගමන සිදුවන විට නාසාව සතුවු බොහෝ පරිඝණකවලට තිබුනේ ඉතාම අඩූ ධාරිතාවයක් . මුලාශ්‍ර සඳහන් කරන ආකාරයට මයිකල් කොලින්ස් විසින් පාලනය කළ Command module හි වු පරිඝණකයේ මතකය 4 KB . එ නිසා එකල සිදුවු බොහෝ මෙහෙයුම් වෙනුවෙන් ගණනය කිරිම් සිදු කළේ අති දක්ෂ මිනිසුන් යොදාගනිමිනි. මාග්‍රට් හැමිල්ටන් කියන්නේ Apollo 11 ව්‍යාපෘතියේ Navigation and Guidance ගණනය කළ Colossus කණ්ඩායමේ ප්‍රධානිය ලෙස කටයුතු කළ කාන්තාව. ඔවුන් Human calculators යොදාගෙන සියලූම ගණනය කිරිම් නැවත නැවත සිදුකළ අතර එවැනි ගණනය කිරිමකදි සිදුවන කුඩා අංශු මාත්‍රීය වෙනසක් මුලු මෙහෙයුමම අනතුරේ හෙළිමක් මෙන් විය. මේ ඇපලෝ 11 මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගමන වන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම මේ මෙහෙයුම සමඟ STEM විෂයන් , නව නිපැයූම් සහ අත්හදා බැලීම් පිළිබඳව ලෝකයේම අමුතු උද්දීපනයක් ඇති විය. එතැන් ඉදලා අවුරුදු 40 පුරාවට ලෝකයේ ඇතිවූනූ තාක්ෂණික ත්වරණයට මේ සඳ ගමන බලපෑවේ අන්න ඒ විදියටයි.



ප.ලි :

ඇපලෝ 11 මෙහෙයුමට සම්බන්ධ අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් මයිකල් කොලින්ස් සහ නීල් ආම්ස්ට්‍රෝන්ග් මියගොස් ඇති අතර එඩ්වස් බස් ඕල්ඩ්‍රින් පමණක් තම 95 විය ගෙවමින් ජිවත් වේ. 


මනුජය තෙන්නකෝන්

2025-07-20



  

සංගා.............

2007 ඕස්ට්‍රේලියානූ සංචාරයේ හෝර්බාට් තරගය බලනකොට මම පොඩිම පොඩි කොල්ලෙක්. උදේ පාන්දර නැඟිටගෙන , ගෙදර හැමෝම නිදි වෙලාවක , පෙට්ටී ටීවී එක ඉස්සර...