කවුළුවක් සහ තරුණයෙක්
අඩක් වැසුනු දුම්රිය කවුළුවෙන් පිටත මනාව පෙනෙන්නේ යැයි යමෙක් කියන්නේ නම් එය මුසාවකි. නමුත් මඳක් නැමී දෑසට සමාන්තරව බැලු කල දුම්රියෙන් පිටත ලෝකය තරමක් දුරට පෙනේ. එසේ පෙනෙන විට දුම්රිය තුළ ලෝකයට වඩා දුම්රිය කවුළුවෙන් පිටත ලෝකය නිස්කලංක යැයි සැනෙන් දැනේ.
දුම්රිය තුළ මඟින් එහා මෙහා දුවන බවත් , ආසන වෙනුවෙන් පොරකන බවත්
"මේ මහත්මයා , කරුණාකරලා ඔය ආසනය මට දෙන්න. ඔබට පෙර මමයි එයට පැමිණියෙ."
යනුවෙන් ඇරඹෙන සංවර සංවාද සැනෙකින් විසංවාද වී පසුව කාලගෝට්ටියක් වී මැකී යන අයුරුත් , දරුවන් මව් සොයා හඬන අතර මව සිය සැමියා සොයා හඬ නගන අයුරුත් , වියපත් මවක් හෝ විශ්‍රාමික පුරවැසියෙක් සිය ආසනය සොයාගත නොහැකිව අසරණව හිස් බැල්මෙන් සිටින අයුරුත් , මහත දෙහත දුම්රිය පාලක තම බෙල්ලේ නහර පිම්බෙන තරමට වෙර යොදා
'ටිකට්පතේ අංකය බලා ඉඳ ගන්නවාලා"
කෑමොර දෙන අයුරුත් බලා සිටින විට ,
දුම්රිය කවුළුවෙන් පිටත ලෝකය දුම්රියට වඩා නිහඬව , සෞම්‍යයව , සෙමින් ගලනා බව හැඟේ. දුම්රිය තුළ කඨෝර හඬට වඩා කවුළුවෙන් එපිට මිනිසුන්ට මිහිරි හඬක් ඇති බවත් , දුම්රිය තුළ නීති මත තෙරපන අදිසි බලය වෙනුවට කවුළුවෙන් පිටත නිවහල් පැවැත්මක් ඇති බවත් හැඟේ. දුම්රිය තුළ මුඩුම , අපුල වාතයට වඩා කවුළුවෙන් පිටත වාතය පවා සුවපහසු බවත් හැඟේ. දුම්රිය තුළ සාමකාමීත්වය හිඟ බවත් , කවුළුවෙන් පිටත සර්ව සාධාරණ සාමකාමීත්වයත් රජයන බවත් හැඟේ.
ඒ හැඟිම කොයිතරම් අස්ථිරද ?,රැවටෙනසුලුද ?
යම් දිනක දුම්රියෙන් පිටතට පා තබා කවුළුවෙන් පිටත ලෝකයට ඇවිද ගිය විගස , මනසේ සැරිසැරු සියල්ලකම ව්‍යාජත්වය , මනෝරාජිකත්වය සහ මිත්‍යාව වැටහේ. කවුළුවෙන් පිටත යනූ දුම්රියේම තවත් මොහොතක් පමණක් බවත් , දුම්රිය යනු කවුළුවෙන් පිටත තවත් මොහොතක් පමණක් බවත් වැටහේ. දුම්රිය තුළ වේවා , දුම්රිය කවුළුවෙන් පිටත ලෝකය වේවා රිය සකක් එකම පථයක යන්නක් මෙන් එකම දෙය නැවත නැවත සිදුවේ. එය මොහොතක සමපාත වේ , තවත් මොහොත ප්‍රතිවිරුද්ධ වේ නමුත් ගුණය , පථය හා හැඩතලය පුනරාවර්තනය වේ.
නමුත් දුම්රිය තුළ කොතරම් පීඩාවක් දැනුනද ,මා තවමත් අසීරුවෙන් එහිම රැඳී සිටින්නෙමි. කුඩා ආලෝක පුංජයක් බඳු බලාපොරොත්තුවක් සිතෙහි දල්වා තවමත් සමාන්තර දෑස කවුළුවෙන් පිටතට යොමු කරගෙන සිටින්නෙමි. එවිට අහඹු ගොන්නක තවත් අහඹුවක් මෙන් මෙහි කතා නායකයා මා දෑසට හසුවිනි.
ඔහූ තුන්වන වේදිකාවේ දකුණු දිග කෙළවරේ දෙවැනි බංකුව මත හුන් තරුණයායි. ඔහුට මා තරුණයා යැයි කීවද , ඔහු සතුව තද කලු කෙස් වැටියක් හෝ පදම් කල බෙරයකට යොදන සමක් වැනි පැහැපත් සමක් නොමැත. කදිමට ඔප දැමූ පාවහන් යුවළක් හෝ කැඳයොදා ඉස්තිරික්ක කළ පැල්ලම් නොමැති කමිසයක්වත් නැත. පොඩි නොවී මඳක් දකුණට ඇළවී මුහුණේ සමබරතාව බිදින හිස්වැස්මක් හෝ මිල.අධික උපැස් යුවළක් නැත. එහෙත් මම ඔහුට තරුණයායැයි කීවේ ඔහූගේ දීප්තිමත් දෙනෙතට සහ වම අතෙහි නහර පෑදුනු මැණික් කටූවේ නිරුවත වසා දමන ඔරලෝසුව නිසා පමණි.
ඔහු කඩවසම් තරුණයෙක් යැයි මෙහි ලීවොත් එය ලෝක පාලක දෙවියන්ට කරන අසාධාරණයකි. නමුත් තරුණයා ඍජුය , දිගැටි මුහුණ සියවස් ගණනාවක දුක්ඛ දොමනස්සයන් විඳ දරාගත්ත අන්දමෙන් ස්ථිරසාරය , ඝන නොවු ඇහි බැමි දෙක යට නිසලව හුන් දෙඇස් ගැඹුරුය නමුත් දීප්තියෙන් නොඅඩුය. දිනපතා හොඳින් රැවුල බා සිටිමේ පුරුද්ද නිසා ඔහූගේ මුහුණ නිරෝගීය .ලප කැලැල් නොමැත. තදින් පියවුනු මුවත් , පිහිතලයක් බඳු හකු යුහළත් නිසා ඔහූ සොඳුරු , අසංවිධ චරිතයක් බව දුටු ගමන් වැටහේ. ඔහුගේ සිහින් , සවි ශක්තියෙන් හීන ශරීර කූඩූව සහ ඇඳුම් ආයිත්තම් ගැන ලීවීම කොපි කොළ අපතේ යාමකි. කෙටියෙන්ම තරුණයා මේ සියල්ලෙහිම සම්මිශ්‍රණයකි.
තරුණයාගේ හැසිරීම මම නැවත නැවත කවුළුවෙන් පිරික්සුවෙමි. ඔහු අත කිසිවක් නැත. කවුළුවෙන් පිටත ලෝකයේ බොහෝ අයගේ අත හිස් නැත..ඔවුන් අතින් කටින් එල්ලා යන්නේ යම් දෙයක්ද , එයට දහස් ගුණයක බරක් හිතේ එල්ලාගෙන යන්නේය. එයට කවුළුවෙන් පිටත ලෝකයද , කවුළුවෙන් මෙපිට දුම්රියද කියා වෙනසක් නැත.ඔවුන් අතර තනිකඩ කැළැ වෙළඹක් බඳු තරුණයා හිස් අත් එකිනෙක පිරිමදිමින් වේලාව පිරික්සන්නේය.ඔහූ සිය දුබල අත වසා සිටින ඔරලෝසූවට වඩා කවුළුවෙන් එපිට ලෝකයේ දැවැන්ත ඔරලෝසූව දෙස නෙත් යොමන්නේය.
මහා ඔරලෝසූවේ සවස පහ වදින කල තුන්වන වේදිකාවට දුම්රියක් පැමිණ මහත් වූ පරිශ්‍රමයකින් නැවැත්වූවේය, දුම්රියක් තුළ මා දැන් සිටින්නාක් මෙන් සිටි තවත් දහසක් දෙනා දුම්රියෙන් බැස කවුළුවෙන් එපිට ලෝකයට යෑමට පොරබදන බවත් , දුම්රියේ සිරවී සිට නිවහල් නිදහස් හුස්ම රොදක් ලැබුමට උත්සුක වන බවත් පෙනේ.
තුන්වන වේදිකාවේ දුම්රිය දෙස සිය දීප්තිමත් නෙත් යොමා හුන් තරුණයා තවමත් සෙලවී නොමැත. මිනිසුන් එකා දෙන්නා , සිව් දෙනා , පස් දෙනා පසුව දස දහස් දෙනා කිටිකිටියේ සිරවූ දුම්රියෙන් බැස සිනහ වී දොඩමළු වන්නේ යම් මොහොතකද , ඔවුන් තවත් දුම්රියකට නැඟ අතුරුදන් වන්නේය. ඒ සමඟ ඔවුන්ගේ සිනහවද අතුරුදන්වන්නේය.
මේ සියල්ලක්ම සිදුවන තුරු තරුණයා තවමත් නෙසෙල්වී සිටින්නේය. මිනිසුන් ලක්ෂ ගණනින් දුම්රිය දහස් ගණනක සිදුවන හුවමාරු දෙස තරුණයා බලා සිටින්නේය. දුම්රිය කවුළුවෙන් මෙපිට ජිවිත දෙස , දුම්රිය කවුළුවෙන් එපිට සිට තරුණයා බලාසිටින්නේය. දුම්රියකට නොනැඟ , දුම්රියකින් නොබැස තරුණයා කවුළුවෙන් එපිට ලෝකයේ සිටින්නේය.
මෙපිටම මොහොතක් එපිට බව තරුණයාට හඬ නගා කීමට මම සැරසුනෙමි. එවිට මගේ දුම්රියේ නළා හඬ ඇසුණි. මම මගේ දුම්රියේ යා යුතුය. එහෙත් තරුණයා තවමත් එතැනමය.

දුම්රිය යනු අපගේ ජීවිතයයි. කවුළුවෙන් එපිට යනු අපේ සිහින ලෝකයයි. තරුණයා යනු අපට අත්පත් කරගත නොහැකි වූ අප සොයන සැනසීමයි
ReplyDelete