Friday, 28 February 2025

ශ්‍රී ලාංකීය ගුරුවරු

  Noam Chomsky ගේ උපුටා ගැනිමකට අනුව 


" There is no such thibgs as a poor country . There's only one failed system in resource managment. " 


"ලෝකයේ දිළිඳු රටවල් කියා යමක් නැත. ඇත්තේ සම්පත් කළමණාකරණයට අසමත් වූ රාජ්‍යයන් පමණි."

Noam Chomsky 


මේ කතාවට හොඳම නිදසුන "ශ්‍රී ලංකාව". Chomsky ගේ කතාවේ අර්ථය , ලංකාවේ අතීතය ,වර්තමානය ගැඹුරෙන් විමසන  ඕනෑම කෙනෙක්ට හොඳින්ම වැටහෙන කාරණයක්.රාජ්‍ය සේවයේ ඉදන් අනෙක් කෙළවර දක්වා උනූ දේශිය කාර්‍යන් බිඳවැටිමට බලපාන ප්‍රධානතම කාරණය උක්ත  සම්පත් කළමණාකරනයේ දුර්වලතාව. 


 සම්පත් කළමණාකරනයේ සරල අර්ථය විමසුවොත්. 


"යම් නිශ්චිත කාර්‍යක් ඉටුකර ගැනිමට පවත්නා සම්පත් නිවැරදිව , අවස්ථානූකූලව , සැලසුම් සහගතව යොදාගැනිම." 


මේ ක්‍රමවේදයට සිංගප්පූරුව ලබාදෙන කෙටි නම Meritocracy : A fair system that rewards talent and effort. සරල අර්ථයෙන් කුසලතාව , හැකියාව සහ විභවය මත අවස්ථාවන් ලබාදෙන ක්‍රමවේදයක්.  


මෙහි ස්වර්ණමය වචනය "සම්පත්" එහෙම නැත්නම් හැකියාව / කුසලතාව /ප්‍රාමාණිකත්වය. අපි කල්පනා කරපූ සම්පත් කළමණාකරණය අතිශයින්ම දුර්වල ශ්‍රි ලංකාවේ එක් විෂය ක්ෂේස්ත්‍රයක්  පිළිබඳව.


මගේ පෞද්ගලික අදහස , ශ්‍රි ලංකාවේ සම්පත් කළමණාකරණය ශුන්‍යම ස්ථානය අධ්‍යාපනය. ඒකට ප්‍රධානතම හේතුව කළමණාකරණයේ නොහැකියාව නෙවෙයි , කළමණාකරනයට අවශ්‍යය "සම්පත්" (Resources ) නොමැතිවිම. නිවැරදි අධ්‍යනයක් හෝ ලකුණු ලබාදිමේ පටිපාටියක් තිබුනොත් ලංකාවේ පාසල් ඇතුළේ ඉන්න ගුරුවරුන්ගෙන් 50% වැඩිය ගෙදර යවන්නම වෙනවා. ඒක ගම්බද ප්‍රදේශවලට යනකොට වැඩි ප්‍රතිශතයක් වෙන්න පුලුවන් . ගෙදර ළඟ පාසලට මාරුවක් හදාගෙන විශ්‍රාම යනකන් තමන්ගේ හණමිටි අදහස් ඔලූවේ වගා කරගෙන පරම්පරා තුනක විතර ළමයින්ගේ ඔලූ විනාශ කරපූ ගුරුවරුන්ගේ නම් මට එකින් එක කියන්න පුලුවන්. ඔවුන් විනාශ කරපු තරුණ හීන ඊටත් වඩා ලැයිස්තුගත කරන්න පුලුවන්.



මගේ අත්දැකීම් අනූව ලංකාවේ ගුරු පත්වීමක් ලබන්නේ ඒ වෘත්තියට තෝරානොගත යුතුම පුද්ගලයා. මගේ සමීපතම වැඩිහිටියෙක් මීට කලකට ඉහත කිවේ.


"පුතා මේ රටේ දෙමාපියන් වෙන්න නොගැළපෙන උං දෙමාපියන් වෙනවා. විනිසුරුවරුන් වෙන්න නොගැළපෙන උං විනිසුරුවරුන් වෙනවා. ගුරුවරු වෙන්න නොගැළපෙන උං ගුරුවරු වෙනවා."


එකී කතානායකයා දැන් ජීවතුන් අතර නොහොටියත් ඒ කතාවේ වලංගු භාවය තමත් එලෙසමයි. 


 මොකක්ද මේ නුසුදුසු ගුරුපත්වීමේ  හේතුව ?  පාසල තුළ ඉන්න කුසලතා පූර්ණ , ඉදිරිපත් වීමෙන් අනූන , දක්ෂයන් බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තීමය අවස්ථාව පෞද්ගලික අංශය තුල ලබාගන්න පෙළඹිලා තියනවා. ගුරුවර්‍යෙන් අවුරුදු 20 සේවා කාලෙකින් පස්සේ ගන්න වැටුපට වඩා වැඩි වැටුපක් පෞද්ගලික අංශයේ මුල් රැකියාවෙන් බොහෝ උපාධීදාරින් ලබනවා . ඒ නිසාම දක්ෂ , හැකියාවන් සපිරි තරුණ/තරුණියන් ගුරු වෘත්තිය මඟහරිනවා.  අවසානයේ ගුරුවරයෙක් වෙන්න ඉතිරි වෙන්නේ සම්මත තරගකාරීත්වයෙන් පසුපෙළට වැටෙන පුද්ගලයන්. මේක නිතරම එහෙම නොවුනත් වැඩි ප්‍රතිශතයක් අඩංගු වෙන්නේ ඒ කුලකයට.  මගේ සමහර මිත්‍රයෝ පාසලක ගුරුවරුන් උනා කීවම මට පෞද්ගලික කණගාටුවක් දැනිලා තියනවා ,ඒ ඔවුන්ගෙන් ඉගෙන ගන්න දරුවෝ ගැන.මොකද ඔවුන්ගේ චින්තනය ,හැසිරීම ,විචාර බුද්ධිය වගේම ග්‍රහණය කර ගැනිම මම සෑහෙන කාලයක් තිස්සේ දන්න නිසා(ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මේක අදාළ කරුණක්) .ඒ එක්කම අනෙක් පැත්තට මට කල්පනා වෙනවා , මට උගන්නපූ ගුරුවරු බහුතරයකුත් මෙහෙම නේද කියලා.



දේශපාලන උවමනා මත සමෘද්ධි ගුරු පත්වීම් ලැබූවොන්ගෙනුත් , රාජ්‍ය විශ්වවිද්‍යාලය ඉගෙන ගෙන පැමිණි ගුරුවරුන්ගෙනුත් මම ඉගෙන ගෙන ඇති නිසා ඒ වෙනස මම හොඳින්ම අත්විදලා තියනවා. ගුරුවරයෙක් හොඳ සම්පතක් බවට පරිවර්තනයක් කරන්න ඔහු හෝ ඇය රාජ්‍ය / පෞද්ගලික විශ්වවිද්‍යාලයක මූලික උපාධියක් ලබා පැමිණිම අවශ්‍යය නෑ.ලෝකේ අනෙක් රටවල එහෙම නෛතික සම්පාදනයන් තිබුනට අපට තාම එතනට යන්න අපහසුයි. ඒත් ඔවුන්ව බිහිකරන විද්‍යාපිඨ වගේ තැනක ඉගැන්වීමේ ගුණාත්මක බව ඉහළ දැමිම නම්   අවශ්‍යයමයි . විශේෂයෙන්ම වර්තමාන තාක්ෂණික භාවිතය ගැනවත් යම් දළ අවබෝධයක් ලබාදිම විධිමත් සිදු කරන්න ඕන. හේතුව දැන් ගුරුවරු ඍජුවම ගැටෙන්නේ තාක්ෂණයෙන් , දුරකතනයෙන් උපන් පරම්පරාවක් එක්ක නිසා. ඒ සුහුරු දැනුම නැතුව නම් පංති කාමරයට යන්නේ ගුරුවරයා "පල්මෝඩයෙක්" වෙන එක ඇත්තටම නවත්තගන්න බැරි වෙනවා.


අනෙක් වැදගත්ම සිද්ධිය ළමා මනෝභාවයන් තේරුම් ගැනිමේ නොහැකියාව. මට හිටි බොහෝ ගුරුවරු එහෙම යමක් පැවතුනාද කියලවත් නොදන්න බව නම් මට විශ්වාසයි. ඒත් දැන් මගේ පරම්පරාවේ ගුරුවරුත් ඒ තාලයට නම් නර්තනයට සූදානම් වෙන්නේ අනාගතය සුබයි කියන්න ලේසි වෙන්නේ නෑ. 


අවසානයට ,අධ්‍යාපනයේ මුලිකම මරමස්ථානය  ගුරු භූමිකාව . ඔවුන් තමා සමාජයේ පෙරගමන්කරුවෝ. ඒ වගේ තැනකට තරගකාරී අධ්‍යාපනයෙන් ( කැමැති උනත් අකමැති උනත් ඒ තරගකාරීත්වයට අපි යොමු වෙලා අවසන් ) අතරමං වූනූ හීන පෞර්ෂයක් යොදවනවා කියන්නෙම, මහා කුණාටුවක නැවේ පාලනය නාවිකයට නොදී කෝකියාට පවරනවා වගේ වැඩක්. හේතුව !! කෝකියා අතින් කුණාටුව නැව සුන්බුන් වුන කලට 

" අනේ අපොයි නැව"....කියලා වැළපිමෙන් බිඳුනු නැව     නැවත ගොඩනොගැනෙන නිසා.


ඒ නිසා අධ්‍යාපනයට වෙන් කරන මුදලින් ස්මාර්ට් පංති කාමර දෙන්න කලින් ස්මාර්ට් ගුරුවරු ටිකක් හදමින් අධ්‍යාපනයේ සම්පත් කළමණාකරනය ක්‍රමවත් කිරිමට අගමැතිනි අමරසූරිය ප්‍රමුඛ ආණ්ඩුවට දෑස පෑදේවා. 


මනුජය තෙන්නකෝන්

2025-03-01


Tuesday, 11 February 2025

බුද්ධිය ගලා යෑම .....

ආචාර්‍ය දිලීප විතාරණ එක්ක ගැමුණු කරන සාකච්චාවක් යාන්තමින් ඇහැ ගැටිලා බලලා අහලා ඉවර කරේ පහන් නිවෙන හැන්දෑවේ. පොඩ්කාස්ට් එකේ ටයිටල් එක දැක්කම කතාව "රාවණාට" ලඝු වෙනවා වගේ දැනුනට , දිලීප හොඳ  කාරණයක් මතු කරනවා සාකච්චාවෙදි .මට පෞද්ගලිකව ඒ තත්පර විස්සේ කොටස විමලසුරේන්ද්‍ර මහත්මයාගේ උපුටා ගැනිමටත් , රාවණා පුරාවෘතය පිළිබඳ කෙරෙන විස්තරයටත් එහා ගිහින් දැනුන දෙයක්. 



දීලිපගේ උපුටා දැක්විම : 


 "මාත් එක්ක මොරටුවේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් කරපූ 24 දෙනාගෙන් ලංකාවේ ඉන්නේ දෙන්නයි  අනෙක් අය එක්කෝ කැන්ඩාවේ ,නැත්නම් ඕස්ට්‍රේලියාවේ. "


මේ ප්‍රකාශය කොයිතරම්  බරපතළද කියලා මට තේරුනේ  , කොළඹ විශ්ව විද්‍යාලයේ මාත් එක්ක හිටපූ මගේ මිත්‍රයන්ගෙන් කී දෙනෙක් පහුගිය අවුරුදු දෙක තුළ ලංකාවෙන් පිට උනාද කියලා කල්පනා කරාම. ඔවුන් එක්සත් ජනපදයෙ , ඕස්ට්‍රේලියාවේ ,කැනඩාවේ , මහා බ්‍රිතාන්‍යයේ ,සිංගප්පූරුවේ , ජපානයේ ,ප්‍රංශයේ,ජර්මනියේ සහ පින්ලන්තයේ තමන්ගේ ජිවිත පටන් අරගෙන ඉවරයි.


 ඔවුන් බොහෝ දෙනෙක් නැවත ලංකාවට පැමිණෙයිද කියන එකත් සැකයක්. ඒ වගේම ඒ සියලූ දෙනාම තමන්ගේ විෂය පථයන්වල ප්‍රාමාණික දක්ෂයින්. ගණිතය , භෞතික විද්‍යාව , දත්ත විද්‍යාව සහ රසායනික විද්‍යාවේ දක්ෂයින්.


මෙතන හොඳම කොටස දිලිප ,ඔහුගේ  සමකාලීනයන්ගේ බුද්ධි ගලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජිවිතේ අඩ සියවසකුත් ඉක්මවූවාට පස්සේ. ඒත් මේ කතාව කියන මගේ වයස  තාම අවුරුදු විසි හතයි. ඒත් දෙපැත්ත හැරිලා බැලුවම  මගේ මිත්‍රයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ජිවිතේ තුන්වන දශකය එළැඹෙන්නත් කලින් රටෙන් පිට වෙලා.


මේකට හේතුව දිලීප තර්කානූකූලව පැහැදිලී කරනවා වචන කිහිපයකින්.


" ලංකාවේ විශ්වාසයක් තියනවා උසස් තාක්ෂණයක් භාවිතා වෙලා සිදුවෙන විශාල ව්‍යාපෘති සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒ නිසා ලංකාවේ යම් ඉහළකට ඉගෙන ගත්ත බොහෝ දෙනෙක් නතර වෙන්නේ Admin positions වල." 


මොකක්ද මෙතන දිලිප මේ... කියන්න උත්සහ කරන්නේ ? 


 ඇත්තටම ලංකාවේ බුද්ධි ගලනය ආකාර දෙකකින් වෙනවා. පළමුවැන්න External brain drain. හරියට මගේ මිත්‍රයෝ වගෙ. අනෙක් එක Internal brain drain. උදාහරණයක් විදියට ආයතනයක දක්ෂ දත්ත විද්‍යඥ්දයෙක් ඉන්නවා කියමූ, ඔහුගේ තාක්ෂණික හැකියාව යොදා ගන්න තරම් ව්‍යාපෘතියක් ආයතනයේ සිද්ධ වෙන්නේ නැත්නම්  කාලයත් එක්ක නිකන්ම ඔහුව Manegerial position (කළමණාකාර ධූරයකට) එකකට  තල්ලු වෙනවා. ඒකට ආයතනයෙන් නමකුත් දෙනවා Team lead , Technical lead කියලා.


 මේ නිසා ලංකාව වගේ තැනක දක්ෂ මෘදූකාංග ඉංජිනේරුවෝ , සිවිල් ඉංජිනේරුවන් , මුල්‍ය විශ්ලේෂකයන් (Financial Analyst) ඔවුන්ගේ වෘත්තිය ජිවිතේ නතර වෙන්නේ බොහෝ දූරට තමන්ගේ හැකියාව කේන්ද්‍ර උනූ එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියනව නම් Experties area   එකෙන් පිට තැනක ඉදන්. කොටින්ම වෛද්‍යවරුන්ටත් , විශ්ව විද්‍යාල ආචාර්‍වරුන්ටත් මේක පොදු කතාවක්.


දැන් ඒ තර්කයෙන්ම අපට පැහැදිලි කරගන්න පුලුවන් ඇයි මගේ මිත්‍රයෝ රටෙන් පිටවෙන්නේ කියලා.


ඔවුන්ට වැඩ කරන්න තරම් විශාල ව්‍යාපෘති හෝ Research institutes  ලංකාවේ නැහැ . ඉතින් ඔවුන් ,ඔවුන්ගේ දැනුම සහ නිපුණතාවය ඔහේ කැරකැවෙන පුටුවකටයි , වායූසමීකරන යන්ත්‍රයකයි කොටු නොකර ඊටත් වඩා ලොකූ හීනයකට ඉගිලිලා යනවා.


එහෙම ඉගිලෙන උගතුන්ව නවත්තගන්න කිසිම උත්සහයක් නොදරපූ දේශපාලන අධිකාරියයි අනෙක් බලධාරීනූයි සංවිධායකයෝ නැති අවුරුදු උත්සවයක කණා මුට්ටි බිඳින උං වගේ ඔහේ මුට්ටි බිඳ බිඳ ඉන්නවා.


මනුජය තෙන්නකෝන්

2025-02-11

 

Saturday, 1 February 2025

රාණි බලමූ !!

  අද හවස වැල්ලවත්තේ සැවෝයි එකෙන් මම එළියට බැස්සේ අශෝක හඳගමගේ තවත් සිනමා කාර්‍යක සාක්ෂිකාරයෙක් වෙන ගමන්. 


30 වෙනිදා එළියට ආව  "රාණි" බලලා එළියට එන ගමන් මට හිතුන දේ "හඳගමව දැන්වත් බහුතර සමාජේ භාරගනිද ?" කියන සිතුවිල්ලත් එක්ක. අක්ෂරය , මේ මගේ සඳයි වගේම දිය කැට පහනත් හදලා කුඩේ කුඩු වෙන්න සංස්කෘතික සමාජෙන් ගුටි කාපු හඳගම තාම ගේමේ නේද ඉන්නේ කියලා ඒ එක්කම හිතුනා. විශේෂයෙන්ම ඔහුගේ අසනීප තත්වයත් එක්ක මේවගේ වැඩක් අල්ලන් කරනවා කියන්නෙම මාර වැඩක්. 


"රාණි" ගැන ලියන එක බලන්න ඉන්න උදවියටත් , බලලා තමන්ගේම අදහසක ඉන්න අයටත් කරන අසාධාරණයක් .එත් මට හොඳටම දැනුනු අවස්ථා තුනක් විතරක් යාන්තමින් මතක් කරන්නම්. 


මනොරාණි සරවණමුත්තු සහ රිචර්ඩ්  සිගගරට්ටුවක් පානය කරන අතර නිවසේ ඇතිවන සංවාදය :


කොළඹ Elite  එක යැයි කියාගන්නා පවුලකින් ආ..මනෝරාණිට ඒ මොහොතේ ප්‍රේමදාසගේ වියවුල් පාලනයේ තිබුනු අසංස්කෘතික බව නොපෙනිම වගේම මේ සමාජ තලයේ හුන් බොහෝ දෙනෙක්  දේශපාලනයට දැක්වු අසංවේදිත්වය දෙබස් කිහිපයකින් හඳගම ප්‍රේක්ෂකයාට දනවනවා. ඒවන් පවුලකින් පැමිණි රිචඩ් Black sheep of the family වෙමින් වෙනස් මඟක් ගමන් කිරිමට දරන තැත ඔහුගේ පෘතුගාල රැකියාව ප්‍රතික්ෂේප කිරිම තුළින් යළි සනාථ වෙනවා.


මංගල සහ මහින්ද පැමිණ වෛද්‍ය මනොරාණිව " මව්වරුන්ගේ පෙරමුණට " එක් කර ගැනිමට දරන තැත.


මෙතන මට මනොරාණිට වඩා ඉස්මතු වුනේ මංගලව . මහින්දයි ,මංගලයි ඇවිත් මනෝරාණිව "මව්වරුන්ගේ පෙරමුණට" පොළඹව ගන්න හදන වෙලාවේ Elite level එකට වැඩේ Pitch කරන්න ඕන විදියට සැලැස්ම හසුරවන්නේ මංගල. මහින්ද වැඩි වෙලාවක් කතා කරත් හැම අසීරු අවස්ථාවකම සුක්කානම අරගෙන වාහනෙ හරි පාරට දාලා  ආපහු මහින්දට Play කරන්න දෙන්නේ මංගල. Dear darling කියලා වැඩේ පටන් ගන්න මංගල ,අන්තිමට නතර වෙන්නේ මණෝරාණිව වේදිකාව උඩට නග්ගලා. 

සිගරට් දූම මැදින් ඩිප්ලොමැටික් ස්වරයට ඇහෙන මංගලගේ වොයිස් එක මතක් කරන්නේ මහින්දගේ දේශපාලන ජිවිතේ මඟහැරුනූ හොඳම හසුරවන්නනගේ ඛේදවාචකය. ( මං තාම හිතන්නේ 2007  මහින්ද මංගලව එලෙව්වේ නැත්නම් , මහින්දගේ දේශපාලන සිතියම වෙන තැනකට තල්ලූ වෙන්න තිබුනා කියලා ) 

Ashan dias ට ලොකු විසිල් එකක්.



 ප්‍රේමදාසගේ මරණයෙන් පස්සේ වෛද්‍ය මණෝරාණි සහ නිවසේ සේවකයා "කරු"අතර  සංවාදය.


හඳගම හිතාමතාම , බොහෝම සූක්ෂමව , කරුව ගෙනත්  ඉංග්‍රීසියෙන් හිතන ,ඉංග්‍රීසියෙන් කතා කරන ගෙදරක සේවකයෙක් කරන්නෙම , ලොකූ දේශපාලනික විවාදයකට ප්‍රේක්ෂකයා යොමු කරන්න.

සරලවම ප්‍රේමදාසගේ කුරිරු පාදඩ පාලනය මැද බොහෝ එජාප ග්‍රාමිය පාක්ෂිකයන්ගේ මනෝභාවය තේරුම් ගන්න කරු චරිතයට හොඳටම ප්‍රමාණවත්. දේශපාලනික ඝාතන අනුමත කරන සමාජයක් පස්සේ කාලෙක බිහිවෙන්නේත් "කරු"වගේ ජනතාවක් බිහිවුන නිසා වෙන්න පුලුවන්. 

"ඒ රත්තරං මිනිහා මරාගත්තනේ .."කියලා කරුට කියවෙන්නේ එකල "ප්‍රේමදාස මහත්තයා " කියන නමට තිබුනු නොදියුණු ,ගෝත්‍රික වහල්භාවය නිසා.


මට මගේ අන්තිම මල් කළඹ ස්වර්ණා මල්ලවාච්චිට නොදී බැරි වෙනවා . නිදහස්කාමී , ලිබරල් වෛද්‍ය මණෝරාණි චරිතයට මීට වඩා පණ පොවන්න කෙනෙක් හඳගමට උනත් හිතාගන්නවත් පුලුවන් උනාද කියන එක මට නම් සැකයක්. 


"කඳුලු සැඟවු මව් සෙනෙහස.." වෛද්‍ය සරවණමුත්තූගෙ මරණයෙන් අවුරුදු 24 පස්සේ සැබෑවිම ම කලාවේ ජයග්‍රහණයක්.


පලි : වෙනදා නොදකින තරමේ පිරිසක් චිත්‍රපටය බලන්න ඇවිත් හිටියා. මට වම් පැත්තේ දමිළ තරුණයෝ පස්දෙනෙක් වාඩිවෙලා හිටියා. 

.අශෝක හඳගම : මෙහෙයුම සාර්ථකයි !!


මනුජය තෙන්නකෝන් 

2025-02-01



ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිම...