Skip to main content

රාණි බලමූ !!

  අද හවස වැල්ලවත්තේ සැවෝයි එකෙන් මම එළියට බැස්සේ අශෝක හඳගමගේ තවත් සිනමා කාර්‍යක සාක්ෂිකාරයෙක් වෙන ගමන්. 


30 වෙනිදා එළියට ආව  "රාණි" බලලා එළියට එන ගමන් මට හිතුන දේ "හඳගමව දැන්වත් බහුතර සමාජේ භාරගනිද ?" කියන සිතුවිල්ලත් එක්ක. අක්ෂරය , මේ මගේ සඳයි වගේම දිය කැට පහනත් හදලා කුඩේ කුඩු වෙන්න සංස්කෘතික සමාජෙන් ගුටි කාපු හඳගම තාම ගේමේ නේද ඉන්නේ කියලා ඒ එක්කම හිතුනා. විශේෂයෙන්ම ඔහුගේ අසනීප තත්වයත් එක්ක මේවගේ වැඩක් අල්ලන් කරනවා කියන්නෙම මාර වැඩක්. 


"රාණි" ගැන ලියන එක බලන්න ඉන්න උදවියටත් , බලලා තමන්ගේම අදහසක ඉන්න අයටත් කරන අසාධාරණයක් .එත් මට හොඳටම දැනුනු අවස්ථා තුනක් විතරක් යාන්තමින් මතක් කරන්නම්. 


මනොරාණි සරවණමුත්තු සහ රිචර්ඩ්  සිගගරට්ටුවක් පානය කරන අතර නිවසේ ඇතිවන සංවාදය :


කොළඹ Elite  එක යැයි කියාගන්නා පවුලකින් ආ..මනෝරාණිට ඒ මොහොතේ ප්‍රේමදාසගේ වියවුල් පාලනයේ තිබුනු අසංස්කෘතික බව නොපෙනිම වගේම මේ සමාජ තලයේ හුන් බොහෝ දෙනෙක්  දේශපාලනයට දැක්වු අසංවේදිත්වය දෙබස් කිහිපයකින් හඳගම ප්‍රේක්ෂකයාට දනවනවා. ඒවන් පවුලකින් පැමිණි රිචඩ් Black sheep of the family වෙමින් වෙනස් මඟක් ගමන් කිරිමට දරන තැත ඔහුගේ පෘතුගාල රැකියාව ප්‍රතික්ෂේප කිරිම තුළින් යළි සනාථ වෙනවා.


මංගල සහ මහින්ද පැමිණ වෛද්‍ය මනොරාණිව " මව්වරුන්ගේ පෙරමුණට " එක් කර ගැනිමට දරන තැත.


මෙතන මට මනොරාණිට වඩා ඉස්මතු වුනේ මංගලව . මහින්දයි ,මංගලයි ඇවිත් මනෝරාණිව "මව්වරුන්ගේ පෙරමුණට" පොළඹව ගන්න හදන වෙලාවේ Elite level එකට වැඩේ Pitch කරන්න ඕන විදියට සැලැස්ම හසුරවන්නේ මංගල. මහින්ද වැඩි වෙලාවක් කතා කරත් හැම අසීරු අවස්ථාවකම සුක්කානම අරගෙන වාහනෙ හරි පාරට දාලා  ආපහු මහින්දට Play කරන්න දෙන්නේ මංගල. Dear darling කියලා වැඩේ පටන් ගන්න මංගල ,අන්තිමට නතර වෙන්නේ මණෝරාණිව වේදිකාව උඩට නග්ගලා. 

සිගරට් දූම මැදින් ඩිප්ලොමැටික් ස්වරයට ඇහෙන මංගලගේ වොයිස් එක මතක් කරන්නේ මහින්දගේ දේශපාලන ජිවිතේ මඟහැරුනූ හොඳම හසුරවන්නනගේ ඛේදවාචකය. ( මං තාම හිතන්නේ 2007  මහින්ද මංගලව එලෙව්වේ නැත්නම් , මහින්දගේ දේශපාලන සිතියම වෙන තැනකට තල්ලූ වෙන්න තිබුනා කියලා ) 

Ashan dias ට ලොකු විසිල් එකක්.



 ප්‍රේමදාසගේ මරණයෙන් පස්සේ වෛද්‍ය මණෝරාණි සහ නිවසේ සේවකයා "කරු"අතර  සංවාදය.


හඳගම හිතාමතාම , බොහෝම සූක්ෂමව , කරුව ගෙනත්  ඉංග්‍රීසියෙන් හිතන ,ඉංග්‍රීසියෙන් කතා කරන ගෙදරක සේවකයෙක් කරන්නෙම , ලොකූ දේශපාලනික විවාදයකට ප්‍රේක්ෂකයා යොමු කරන්න.

සරලවම ප්‍රේමදාසගේ කුරිරු පාදඩ පාලනය මැද බොහෝ එජාප ග්‍රාමිය පාක්ෂිකයන්ගේ මනෝභාවය තේරුම් ගන්න කරු චරිතයට හොඳටම ප්‍රමාණවත්. දේශපාලනික ඝාතන අනුමත කරන සමාජයක් පස්සේ කාලෙක බිහිවෙන්නේත් "කරු"වගේ ජනතාවක් බිහිවුන නිසා වෙන්න පුලුවන්. 

"ඒ රත්තරං මිනිහා මරාගත්තනේ .."කියලා කරුට කියවෙන්නේ එකල "ප්‍රේමදාස මහත්තයා " කියන නමට තිබුනු නොදියුණු ,ගෝත්‍රික වහල්භාවය නිසා.


මට මගේ අන්තිම මල් කළඹ ස්වර්ණා මල්ලවාච්චිට නොදී බැරි වෙනවා . නිදහස්කාමී , ලිබරල් වෛද්‍ය මණෝරාණි චරිතයට මීට වඩා පණ පොවන්න කෙනෙක් හඳගමට උනත් හිතාගන්නවත් පුලුවන් උනාද කියන එක මට නම් සැකයක්. 


"කඳුලු සැඟවු මව් සෙනෙහස.." වෛද්‍ය සරවණමුත්තූගෙ මරණයෙන් අවුරුදු 24 පස්සේ සැබෑවිම ම කලාවේ ජයග්‍රහණයක්.


පලි : වෙනදා නොදකින තරමේ පිරිසක් චිත්‍රපටය බලන්න ඇවිත් හිටියා. මට වම් පැත්තේ දමිළ තරුණයෝ පස්දෙනෙක් වාඩිවෙලා හිටියා. 

.අශෝක හඳගම : මෙහෙයුම සාර්ථකයි !!


මනුජය තෙන්නකෝන් 

2025-02-01



Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...