මම ඉරිදා BMICH එකෙන් බම්බලපිටිය බෝඩිමට ආපු ගමන් කුමුදු කුමාරසිංහගේ "කොළඹ මතක" පොත ගැන දාලා තිබුන පෝස්ට් එකාට කමෙන්ට් එකක් දැම්මා. ඒ වෙනකොට මම විදර්ශන එකෙන් පොත අරගෙන තිබුනේ එකම එක හේතුවකට ,මම කුමුදුගේ පොත විදර්ශන ස්ටෝල් එකේදි එහෙන් මෙහෙන් පෙරළලා කියවනකොට එයා රෑ 9:30 Show එක ගැන පොඩි මතකයක් ලියලා තිබුනා.කවදාවත් නොදැක්ක ඒත් දකින්න ආසාවෙන් ඉන්න ඒ රාත්‍රී නිදහස් කාමී ජිවිතයට ඇති ලෝලීත්වය නිසාම මේක නම් කියවන්න ඕන හිතුනා. ජනක ඉණිමංකඩගේ වයිෆ් බිල් කරලා දුන්න පොත අරගෙන මම එළියට ආවා.
මුලින්ම කුමුදුගේ පොත කියවන්නම් කියලා සැලසුම් කරත් ඊට කලින් පොත් දෙකක් ඉවර කරන්න සිද්ධ උනා.ඉන් එකක් ප්‍රබෝධ කහඳගමගේ ගේ මම කාලෙක ඉදන් හෙව්ව පොතක් , අනික ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිගේ සංචාරක ග්රන්ථයක්. හරියටම සතියකින් සෙනසුරාදා උදේ මම කුමුදුගේ පොත අතට ගත්තා. මේ ලියන්නේ ඉරිදා රෑ, ඒ එයාට උන පොරොන්දුව පිට. කොළඹ මතක පොතේ වැඩි කොටසක් මම ඉවර කරේ , ඊයේ අවිස්සාවේල පැත්තෙන් නාවලපිටියට එන බස් ගමනේදි. කොළඹ උණුහුම , පීඩනය ටිකෙන් ටික අතෑරගෙන මධ්‍යයම කඳුකරය නඟින්න ගන්නකොට කුමුදුගේ කොළඹ භාෂාව ආපහු මාව දෙමටගොඩට එහෙමත් නැත්නම් බොරැල්ල පැත්තට අඳින්න පටන් ගන්නවා.
පොත ගැන විචාරයක් කරන්නවත් , සමාලෝචනයක් කරන්නවත් මම සුදුසු ප්‍රාමාණිකයෙක් නෙවෙයි .කොටින්ම මම කොළඹට නූල් පොටකින් වත් සම්බන්ධයක් තියෙන කෙනෙකුත් නෙවෙයි . ඒත් මම පොතට ආසක්ත වූනේ කුමුදුගේ ඇති අතීත කාමය ( Nostalgic ) ඒ අයුරෙන්ම මටත් පිහිටා ඇති නිසා. ඈ පියවරෙන් පියවර අමුණමින් ගොඩනඟන ඇගේ මතක මට රසවිඳුමට ප්‍රිය වන්නේ මා ඒ අතීතයට ඇති ඇල්ම නිසාවෙනි. කුමුදුටම අනුව එකී අතීත කාමී ප්‍රේමය සෑම කලකම , සෑම විටෙක මතකයට ප්‍රිය නොවුනද , ඈ නොවළහා ඒ සියල්ල ලියා දමන්නේ ඈ සතූ අවංක කලාකාමීත්වය සහ සත්‍යවාදි කලා හැසිරවීම නිසාය.
අසම්මත ලිංගික සබඳතා , ලිංගික චර්යා , පවුල් බිඳ වැටීම් , අනාරක්ෂිත ළමා චර්යාවන් , මත් කුඩු , මියයන තරුණ සමාජය , අස්ථිර අනාගතය , අවිධිමත් සමාජ පාලනය , දිළිඳු බව , බඩගින්න සහ අසරණ බව කුමුදු තම පවුලෙන් අරඹා කේන්ද්‍රගත වපසරියකට ඉතාම නැණවත් අයුරින් විදහා දක්වන්නේ ය. විශේෂයෙන්ම ජේ.ආර් 77 ආර්ථිකය විවෘත කිරීම හරහා පැන නැගුන ගෘහ සේවය, ඒ මතින් උත්ප්‍රේරණය වූ පවුල් විසන්ධි වීම් ඈ සිය සමාජ අත්දැකීම අලලා ලියා ඇත. ඇගේ මේ පොත එක හුස්මට කියවා අවසන් කිරිමට නොහැකි වන්නේ යම් යම් සංසිද්ධීන් හී මම පොත වසා මඳක් කල්පනා කළ නිසාවෙනි. ඈගේ සමහර උපුටා දැක්වීම් පෞද්ගලිකව මට අතිශයින්ම සංවේදී විය. පොත කියවීමට උනන්දූ කිරීමේ අභිප්‍රායෙන් මෙය ලියනා බැවින් මා එවන් සිදුවීම් උපුටා නොදක්වමි.
මෙහි කුමුදුගේ රචනා ශෛලීයත් සාමාන්‍යය (casual) වන අතර එයින් කියවීමෙහි උනන්දුවක් ඇති කරයි. කෙටි සිදුවීම් සහ ප්‍රේරණයකින් තොරව අමුවෙන් (raw) සිදුවීම් ගළපන බැවින් ලේඛිකාව කෙරෙහි උපන් ආලයෙන් යුතුව කියවාගෙන යත හැක.
කෘතිය අවසන මා තේරුම් ගත් කුඩා කරුණු දෙකක් මෙහි උපුටමි. මා කොළඹ දැක ඇත්තේ 2019 මුල සිටය. මා කොළඹට අලුත් බව මෑතකදිද මතක් කර දුන්නේ කොළඹ උපන් සහෝදරියකි. එදින ඈගෙන් මා "මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය " දන්නේ දැයි ඇසු විට ඈ කීවේ ,
I was born in here යනුවෙනි. එයින් ඈ නොකියා කීවේ උඹ ගමේ එකෙක් බවයි. මේ නිසා මා කුමුදුගේ කෘතිය කියවන්නේ ගම්වැසියකුගේ මානසිකත්වයෙනි. බෝඩිමක් සෙවිමට 2019 මුල් භාගයේ මරදාන ආනන්දය අසළින් ඇතුළට ගොස් හැරෙන්නට කොළඹ නාගරීක ජිවිතයට අප නිරාවරණය වී නොමැත. කුමුදුගේ මේ නොසඟවා හෙළි කිරීම තුළ දෙමටගොඩ තොරණට පිටුපසින් තිබෙනා , එහෙත් නොදක්නා කඳුළු දැක්මට හැකි විය.
දෙවැන්න මේ මතක පද තුළ ඇගේ දේශපාලනික කියවීමයි. මැද කොළඹ , උතුරු කොළඹ යනාදී එ.ජා.ප (U.N.P) බලකණු දශක ගණනාවක් බලයෙන් විරාජමාන වන්නේ කෙසේදැයි ඈ සූක්ෂමව පෙන්වා ඇත. සරලවම කොළඹ මල් පාරේ රනිල් සහ වෝඩ් ප්ලේසිහි උන් ජේ.ආර්
මාළිගාවත්ත , දෙමටගොඩ සහ බොරැල්ල ජනතාවගේ මනාපයෙන් රජුන් වූ හැටි ඈ සේයා පටයක් මෙන් විස්තර කර ඇත්තේ ය. කුමුදුගේ කොළඹ මතක දිගින් දිගට කියවන විම හුස්ම හිරවන්නේ ඒ නිසාය , සංවේදි වන්නේ ඒ නිසාය , මෙහෙම ජිවත් උනේත් අපි වගේම මිනිසුන් නේද යැයි සිතන්නේ ඒ නිසාය. එමෙන්ම එ.ජා.ප යනූ ධනවාදයේ සලු පිළි හැඳ මහත්මා දේශපාලනයක් මෙහෙයවන නියාවෙන් වුවද , කුමුදුට අනූව ඔවුන් යනූ දේශපාලනික රස්තියාදුකරුවන් පමණි.
අවසාන කරුණ , කතුවරියගේ මව කෙරෙහි හටගන්නා ප්‍රේමය. දියණියන් පස් දෙනෙක් , තනිකඩ මවක්, ගිනිගන්නා යුගයක්.කුමුදු !! මෙය ඔබ පුද කළ යුත්තේ ඔබේ අම්මාටම පමණි.
කෘතියේ අවසන් වන විට සතියට තියෙන ගවුම් දෙකෙන් පළමුවැන්න හොඳින් සොදා , පොල්කටු ඉස්තිරික්කයෙක් මැද , කටු ගැළවී ගිය බෑගය ආනන්දේ හෝ නාලන්දේ කොල්ලන් ඉදිරියේ කැඩී බීම වැටේ යැයි භ්රාන්තියෙන් යුක්තව ඇවිදිනා සොඳුරු තරුණයක් මැවී පෙනෙන්නේ ය. ඈ සියල්ලටම වඩා ආදරණීයව සිනහසුන බව මට විශ්වාසය.
❤️
ReplyDelete🤍🤍
ReplyDelete❤
ReplyDelete❤❤
ReplyDelete