Skip to main content

ආදරණීය කුමුදු !!!

 මම ඉරිදා BMICH එකෙන් බම්බලපිටිය බෝඩිමට ආපු ගමන් කුමුදු කුමාරසිංහගේ "කොළඹ මතක" පොත ගැන දාලා තිබුන පෝස්ට් එකාට කමෙන්ට් එකක් දැම්මා. ඒ වෙනකොට මම විදර්ශන එකෙන් පොත අරගෙන තිබුනේ එකම එක හේතුවකට ,මම කුමුදුගේ පොත විදර්ශන ස්ටෝල් එකේදි එහෙන් මෙහෙන් පෙරළලා  කියවනකොට  එයා රෑ 9:30 Show  එක ගැන පොඩි මතකයක් ලියලා තිබුනා.කවදාවත් නොදැක්ක ඒත් දකින්න ආසාවෙන් ඉන්න ඒ රාත්‍රී නිදහස් කාමී ජිවිතයට ඇති ලෝලීත්වය නිසාම මේක නම් කියවන්න ඕන හිතුනා. ජනක ඉණිමංකඩගේ වයිෆ් බිල් කරලා දුන්න පොත අරගෙන මම එළියට ආවා.


 මුලින්ම කුමුදුගේ පොත කියවන්නම් කියලා සැලසුම් කරත් ඊට කලින් පොත් දෙකක් ඉවර කරන්න සිද්ධ උනා.ඉන් එකක් ප්‍රබෝධ කහඳගමගේ ගේ මම කාලෙක ඉදන් හෙව්ව පොතක් , අනික ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිගේ සංචාරක ග්‍රන්ථයක්. හරියටම සතියකින් සෙනසුරාදා උදේ මම කුමුදුගේ පොත අතට ගත්තා. මේ ලියන්නේ ඉරිදා රෑ, ඒ එයාට උන පොරොන්දුව පිට. කොළඹ මතක පොතේ වැඩි කොටසක් මම ඉවර කරේ , ඊයේ අවිස්සාවේල පැත්තෙන් නාවලපිටියට එන බස් ගමනේදි. කොළඹ උණුහුම , පීඩනය ටිකෙන් ටික අතෑරගෙන මධ්‍යයම කඳුකරය නඟින්න ගන්නකොට කුමුදුගේ කොළඹ භාෂාව ආපහු මාව දෙමටගොඩට එහෙමත් නැත්නම් බොරැල්ල පැත්තට අඳින්න පටන් ගන්නවා. 


පොත ගැන විචාරයක් කරන්නවත් , සමාලෝචනයක් කරන්නවත් මම සුදුසු ප්‍රාමාණිකයෙක් නෙවෙයි .කොටින්ම මම කොළඹට නූල් පොටකින් වත් සම්බන්ධයක් තියෙන කෙනෙකුත් නෙවෙයි . ඒත් මම පොතට ආසක්ත වූනේ කුමුදුගේ ඇති අතීත කාමය ( Nostalgic )  ඒ අයුරෙන්ම මටත් පිහිටා ඇති නිසා. ඈ පියවරෙන් පියවර අමුණමින් ගොඩනඟන ඇගේ මතක මට රසවිඳුමට ප්‍රිය වන්නේ මා ඒ අතීතයට ඇති ඇල්ම නිසාවෙනි. කුමුදුටම අනුව එකී අතීත කාමී ප්‍රේමය සෑම කලකම , සෑම  විටෙක මතකයට ප්‍රිය නොවුනද , ඈ නොවළහා ඒ සියල්ල ලියා දමන්නේ ඈ සතූ අවංක කලාකාමීත්වය සහ සත්‍යවාදි කලා හැසිරවීම නිසාය. 


අසම්මත ලිංගික සබඳතා , ලිංගික චර්යා , පවුල් බිඳ වැටීම් , අනාරක්ෂිත ළමා චර්‍යාවන් , මත් කුඩු , මියයන තරුණ සමාජය , අස්ථිර අනාගතය , අවිධිමත් සමාජ පාලනය , දිළිඳු බව , බඩගින්න සහ අසරණ බව කුමුදු තම පවුලෙන් අරඹා කේන්ද්‍රගත වපසරියකට ඉතාම නැණවත් අයුරින් විදහා දක්වන්නේ ය. විශේෂයෙන්ම ජේ.ආර් 77 ආර්ථිකය විවෘත කිරීම හරහා පැන නැගුන ගෘහ සේවය, ඒ මතින් උත්ප්‍රේරණය වූ පවුල් විසන්ධි වීම්  ඈ සිය සමාජ අත්දැකීම අලලා ලියා ඇත. ඇගේ මේ පොත එක හුස්මට කියවා අවසන් කිරිමට නොහැකි වන්නේ යම් යම් සංසිද්ධීන් හී මම පොත වසා මඳක් කල්පනා කළ නිසාවෙනි. ඈගේ සමහර උපුටා දැක්වීම් පෞද්ගලිකව මට අතිශයින්ම සංවේදී විය. පොත කියවීමට උනන්දූ කිරීමේ අභිප්‍රායෙන් මෙය ලියනා බැවින් මා එවන් සිදුවීම් උපුටා නොදක්වමි. 


මෙහි කුමුදුගේ රචනා ශෛලීයත් සාමාන්‍යය (casual)  වන අතර එයින් කියවීමෙහි උනන්දුවක් ඇති කරයි. කෙටි සිදුවීම් සහ ප්‍රේරණයකින් තොරව  අමුවෙන් (raw) සිදුවීම් ගළපන බැවින්  ලේඛිකාව කෙරෙහි උපන් ආලයෙන් යුතුව කියවාගෙන යත හැක.


කෘතිය අවසන මා තේරුම් ගත් කුඩා කරුණු දෙකක් මෙහි උපුටමි. මා කොළඹ දැක ඇත්තේ 2019 මුල සිටය. මා කොළඹට අලුත් බව මෑතකදිද මතක් කර දුන්නේ කොළඹ උපන් සහෝදරියකි. එදින ඈගෙන් මා "මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය " දන්නේ දැයි ඇසු විට ඈ කීවේ ,

I was born in here  යනුවෙනි. එයින් ඈ නොකියා කීවේ උඹ ගමේ එකෙක් බවයි. මේ නිසා මා කුමුදුගේ කෘතිය කියවන්නේ ගම්වැසියකුගේ මානසිකත්වයෙනි. බෝඩිමක් සෙවිමට 2019 මුල් භාගයේ මරදාන ආනන්දය අසළින් ඇතුළට ගොස් හැරෙන්නට කොළඹ නාගරීක ජිවිතයට අප නිරාවරණය වී නොමැත. කුමුදුගේ මේ නොසඟවා හෙළි කිරීම තුළ දෙමටගොඩ තොරණට පිටුපසින් තිබෙනා , එහෙත් නොදක්නා කඳුළු දැක්මට හැකි විය. 


දෙවැන්න මේ මතක පද තුළ ඇගේ දේශපාලනික කියවීමයි. මැද කොළඹ , උතුරු කොළඹ යනාදී එ.ජා.ප (U.N.P) බලකණු දශක ගණනාවක් බලයෙන් විරාජමාන වන්නේ කෙසේදැයි ඈ සූක්ෂමව පෙන්වා ඇත. සරලවම කොළඹ මල් පාරේ රනිල් සහ වෝඩ් ප්ලේසිහි උන් ජේ.ආර්

 මාළිගාවත්ත , දෙමටගොඩ සහ බොරැල්ල ජනතාවගේ මනාපයෙන් රජුන් වූ හැටි ඈ සේයා පටයක් මෙන් විස්තර කර ඇත්තේ ය. කුමුදුගේ කොළඹ මතක දිගින් දිගට කියවන විම හුස්ම හිරවන්නේ ඒ නිසාය , සංවේදි වන්නේ ඒ නිසාය , මෙහෙම ජිවත් උනේත් අපි වගේම මිනිසුන් නේද යැයි සිතන්නේ ඒ නිසාය. එමෙන්ම එ.ජා.ප යනූ ධනවාදයේ සලු පිළි හැඳ මහත්මා දේශපාලනයක් මෙහෙයවන නියාවෙන් වුවද , කුමුදුට අනූව ඔවුන් යනූ දේශපාලනික රස්තියාදුකරුවන් පමණි. 


අවසාන කරුණ , කතුවරියගේ මව කෙරෙහි හටගන්නා ප්‍රේමය. දියණියන් පස් දෙනෙක් , තනිකඩ මවක්, ගිනිගන්නා යුගයක්.කුමුදු !! මෙය ඔබ පුද කළ යුත්තේ ඔබේ අම්මාටම පමණි.


 කෘතියේ අවසන් වන විට සතියට තියෙන ගවුම් දෙකෙන් පළමුවැන්න හොඳින් සොදා , පොල්කටු ඉස්තිරික්කයෙක් මැද , කටු ගැළවී ගිය බෑගය ආනන්දේ හෝ නාලන්දේ කොල්ලන් ඉදිරියේ කැඩී බීම වැටේ යැයි භ්‍රාන්තියෙන් යුක්තව ඇවිදිනා සොඳුරු තරුණයක් මැවී පෙනෙන්නේ ය. ඈ සියල්ලටම වඩා ආදරණීයව සිනහසුන බව මට විශ්වාසය.






Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...