Skip to main content

ගෲෂා කෙනෙක්ද ?? මනමේ කුමාරියක් ද ??

 මට අදටත්  

නියම නලුවෙක් නේ !! කියලා හිතෙන්නේ එකම එක මනුස්සයෙක් ගැන විතරයි. 

මං නිහාල්සොංහගේ වැලකතරේ  ගෝරිං මුදලාලි වෙච්ච ජෝ අබේවික්‍රම මුහුදු හුළං මැද සිගරට් එකක් උරන ගමන් 

"නෝනා පයින් යන්න , යනකොට හුළං වදී "

කියලා කියන දෙබස ඛණ්ඩයට අදටත් ආස උනත් ,

බූඩී ඉතාලියෙත් ගිහින් බොහෝම වැර වෑයමෙන් රූපගත කරපු "මිල්ලේ සොයා " චිත්‍රපටයේ ලක්ෂමන් මෙන්ඩිස් අයියා විදියට මහේන්ද්‍ර පෙරේරාව නින්දෙන් ඇහැරවලා කනට දෙකක් ගහලා බනිනකොට ඒකෙන් බේරෙන්න ගේ මුල්ලේ හේත්තු කරලා තියෙන ෆුට් සයිකලේ අරන් යන්න හදනකොට ,ලක්ෂමන් 

" ඕක මගේ බයිසිකලේ " 

කියලා කියන  කොටසට කැමැති උනත් . 


ජයන්ත චන්ද්‍රසිරිගේ "ගරිල්ලා මර්කටිං " බයිස්කෝප් එක ඇතුලේ ,  ශ්‍රියන්ත මෙන්ඩිස්  රූපවාහිනීයේ 

ජාතිය අමතන ගමන්  ඉස්පිරිතාලෙ ඉන්න කමල් අද්දරාච්චිටත් ජාතිය අමතන්න පටන් ගන්න කොටසට අමුතු විදියකට ආකර්ෂණය වුනත්.

හඳගම වැඩිහිටියන් පමණයි ලේබලය බිමින් තියලා හදපු "විදු" චිත්‍රපටියේ පොඩි කොල්ලා ගහක් උඩට නැගලා 

"මට තියනවා කතාවක් කියන්න " 

 දර්ශනයට ආපහු ආපහු බලන්න තරම් කැමැති  උනත් ,

 මේ කතාවේ කතා කරන කතා නායකයා ඒ හැමදේකටම වඩා මට බලපෑමක් කරපු කලාකරුවෙක්.


 ඔහු දැන් බොහෝ කාලෙකට කලින් භෞතිකව මේ භුමියෙන් වෙන් වෙලා ගියත් ඒ නම ළඟින් යන මොනවා හරි ලේඛනයක් , තවමත්  හම්බුනොත්   මං ඒ දේ නොකියවා යන්නේ බොහොම අඩුවෙන්. 


අදත් මට ඒ වගේ දෙයක් ලැබුනා. ඒක මේ කතාවේ කතා නායකයා කාලෙකට ඉහත රාවයට ලීව ලිපියක උපුටා ගැන්මක්. ඒ කොටසට එන්න කලින් උපුටා ගැන්මේ හිමිකරු ගැන වචනයක් නොලියාම බැරි වෙනවා.

S.W.R.D බණ්ඩාරනායකට සිවුරක් පොරවගත්ත මනුස්සයෙක් රොස්මීඩ් ප්ලේස් වල ටින්ටජල් වලදි වෙඩි තිබ්බ අවුරුද්දේ මුලින්ම සිනමාවට ආපු මේ කතා නායකයා  හැටේ දශකයේ ඉදන් අනූව දශකය වෙනකන් මෙරට සංස්කෘතිකමය කම්පනයක්  ඇති කරපු හැම කලා නිර්මාණයකටම වගේ දායක උනා , හුණුවටයේ කතාවේ ඉදන් ගම්පෙරළිය හරහා සෝමරත්න දිසානායකගේ පුංචි සුරංගනාවි වෙනකන් ඔහුගේ නිර්මාණය පරාසය විහිදිලා ගියා..ග්‍රන්ථ රචකයෙක් විදියට නාට්‍යය සහ වේදිකාව පිළිබඳ සෛද්ධායාන්තික කරුණු රචනා කරා.


පනහේ දශකයේදි , නාගරීකරණයේ අක් මුල් පැතිරී 'බෝඩිං කාමර' නම් සංකල්පය ආරම්භ වන සමයේ ඔහු අතින් 1963-1964 සමයේ ලියවූනු " ජනේලය " නම් වේදිකා නාට්‍යය  මෙව් අන් සියල්ලටම වඩා   මා  ආශ්වාදයට පත් කළ රස මාධ්‍යයකි. එකිනෙකට වෙනස් සමාජ පරතර කිහිපයක් තරගකාරී සමාජය තුළ සිදුකරගන්නා වූ මානූෂිය ගනුදෙනු සහ සමාජීය වශයෙන් නොනැසී පැවතිම ( Social survival )  සමාජ ප්‍රහසනයක් ආකාරයෙන් ඔහූ  මැනවින් ඉදිරිපත් කර තිබිනි. 


 ඔහූගේ ජනේලය පිළිබඳ විචාර මත පලවී ඇත්දැයි මා නොදන්නා නමුත් එය එසේ නොවේ නම් එය විචාර මතයන්ට නතු විය යුතුම කෘතියක් බව අවිවාදාත්මකයි . ජනේලය පිළිබඳව මා දැක ඇති එකම විචාර මතය පළ වී ඇත්තේ 'ජනේලය' නාට්‍යය පිටපතේ හැඳින්විම තුළයි. එයට අනුව මේ පිටපත කියවු මහාචාර්ය සරත්චන්ද්‍රයන් පවසා ඇත්තේ 


" There is some brecht in this play "  යනුවෙනි. නමුත් ඒ වනවිට මගේ කතා නායකයා බ්‍රේෂ්ට්ගේ කිසිදු නාට්‍යයරස විඳ ද නොතිබිනි. ඔහූ ජනේලය හරහා පුනරූපන කර තිබුනේ ග්‍රාමීය පුද්ගල චරිතයන් ශිඝ්‍රයෙන් නවීකරණය වූ කල ඔවුනට මුහුණ දෙන්නට වූ සංස්කෘතික කම්පනය ( Cultural shock ) පිළිබඳවයි . එය මගේ කතාවක් වන්නේ ඒ නිසාවෙනි.


හුණුවටය තරම් ජනේලය උත්‍කෘෂ්ටයට නොනැගුනද , මිලාගිරියේ 10/3/1  බෝඩින් නිවහනේ උඩු මහලේ සිට ඉවත බලන මා හට ජනේලය තරම් සමීප කතාවක් තවම හමුවී නොමැත. 


මාගේ මේ සරල වෑයම  ජනේලය පිළිබඳ හෝ මෙකී කතා නායකයාගේ කලා ජිවිතය තුන්වන පාර්ශීය කෝණයකට නතු කිරිම නොව ඔවුන් වැන්නවුන්ද මෙහි සිටි බවට මතක් කරදීමය. එබැවින් දැන් මාගේ කතා නායකයා ඔබට මෙසේ අනාවරණය කරන්නෙමි. 

 ඔහු අන් කවරකු නොව නොසැලෙන පෞරුෂයක් සහ ගැඹුරු එහෙත් සුපැහිදිලි හඬක්  උරුම වූ  හෙන්රි ජයසේනයන් ය. එයටත් වඩා එකී නාමකරණයට මෙසේ ඌන පුර්ණයක් එක් කරන්නෙමි. ඔහු වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් සිනමාවට නැඟු කල එහි " පියල් ".


මා පෙර කී පරිද්දෙන් ඔහුව සිහියට නැඟිමට හේතුපාදක වූ සටහනද මෙහි පහතින්  අමුණමි. 



ඔහු එලෙසින් දශක තුනකට පෙර රාවයට ලී දෑ සත්‍යයකි . අප බොහෝ දෙනා ගෲෂා යැයි සිතා සිටින්නේ මනමේ කුමරියන් හටයි. බොහෝ විට ඈ මනමේ කුමරියක්ම පමණ බව වැටහෙන විට බොහෝ දුර ගොස් අවසන් ය. එවිට හෙන්රි  ජයසේනයන් මෙන් මානෙල් කෙනෙක් සෙවීම අපහසු කරුණකි.


ජිවන සෘතු ක්ෂනයෙන් වෙනස් වන කලට ඔබට සිටිය යුත්තේ ගෲෂා කෙනෙකු මිස මනමේ කුමරියක් නොව බව වැටහිමට කොතරම් වයසට යා යුතුද යන්න නම් මාද නොදන්නා කරුණකි. 



     



































Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...