මේ මගේ "පත්තරකාර හීන" කතා පෙට්ටියේ අන්තිම කතාව. පත්තරකාරයෙක් වෙන්න පටන් ගත්ත මගේ ගමනේ වර්තමාන සැතපුම් කණුව.
ජීවන හුස්ම වැටුනොත් දශකයක් හෝ තවත් මෙතැනින් එහා සැතපුම් කණුවක් දිහාටවත් ඇවිදින්න පුළුවන් වේවි මට , අපි හැමෝටම. එතෙක් මේ අවසන් පරිච්ඡේදය ලියමින් මේ විදියට මම පෑන බිමට අතාරින්න තීරණය කරා.
පත්තර හීනයක් ඇතුළේ හිර වෙලා තද වෙලා හුස්මක් පොදක් නොවැටෙනා තැනක උන්නූ මට "අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ" කියලා මහා බාධකයක් 2013 අවසානයට මුණ ගැහෙනවා.
ලංකාව වගේ රටක දක්ෂ ක්‍රීඩකයන් විනාස වෙන්නේ , කලාකරුවන් මියදෙන්නේ , ගායකයන් ගායනය නවත්වන්නේ , ව්‍යාපාරිකයන් මහා සිහින අත්හරින්නේ ඔවුන්ගේ ජිවිතේ අවසන් කාලේ නෙවෙයි . ඔවුන් යාන්තමින් කර දඬු උස් මහත් වෙමින් උ.පෙළට ඉඳගන්න මොහොතේ. ඒ විභාග භීතීකාවෙන් නිර්මාණශීලිත්වය , නිදහස් චින්තනය වගේ අගයන් (values) අමු අමුවේ විනාස කරනවා.මාත් ඒ සමාජීය ප්‍රකම්පනයේ වින්දිතයෙක් . මගේ පත්තර සිහිනේ සිව්වසරකට හාන්සි වෙන්නේ ඒ ආකාරයට.
මගේ උ.පෙළ ජිවිතයම නොනැවතුන දුම්රියක්. මුලින් කීව විදියට ඉදිරි දශකයේ හුස්ම ඉතිරිවෙලා තිබුනොත් ඒ හැම අත්දැකීමක්ම අකුරු කරන්නට මට ඒහැටි කාලයක් යන්නේ නැහැ.
මගේ මිත්‍රයෝ ඉංජිනේරුවෙක් , වෛද්‍යවරයෙක් වෙන්න වාර තුන ,හතර උත්සහා කරනකොට මම මගේ දෙමාපියන් සතුටු කරන්න කොළඹ තර්ස්ටන් රෝඩ් එකේ කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පිඨය ඇතුළට මගේ දෙවන වාරයේ ප්‍රතිඵලයෙන් එන්න පිටත් උනා.
මගේ සිව් වසරක නිද්‍රාගත ලිවිමේ අභ්‍යාසය පියවරෙන් පියවර ගැළපිම නැවත ඇරඹුනේ කොළඹ සරසවියේ දුටු , හැඟුනු ,මුණගැසුනු අත්දැකීම් සමඟයි.
මුලින්ම Colombo Beacon නම් මාධ්‍ය කවයට නිර්නාමික ලිපි දෙකක් හෝ තුනක් සැපයූ මා , පසුව FOS Media නම් වූ මාධ්‍ය සමාජයට ඇතුළත් විය . එතැන් සිට මරණීය වේදනාවෙන් රිදුම් කමින් සිටි ලේඛක ආත්මය මා තුළ යමක් කරන්නට ඉල්ලමින් සිටියේය. මහා වැඩ නොවුනද නැවත වරක් හැරී බැලූ කලක සතුටෙන් සිනහ විය හැකි මට්ටමේ බරැති වැඩ කිහිපයක් ඔවුන් හා මම කළෙමි.
දක්ෂ , නිර්මාණශීලි කලාකාමී මිනිසුන් පිරිසක් ඒ හරහා මට මුණගැසිනි. අරමුණක් නොතිබූ මාගේ ජීවන විලාසය නැවත වරක් වර්ණැති වන්නට විය. මා සරසවිය තුළ අත්විඳි සෑම හැඟිමක්ම එකල අකුරු කළෙමි. එය ලිපියක්ද , නිසඳසක් ද යන්න මා නොසිතුවෙමි. එය ආදරයක්ද , විරහවක්ද , කළකිරිමක්ද යැයි වර්ග නොවිනි. කලාවට සීමා නොමැති බව ශ්‍රේෂ්ඨතමයා වූ පැබ්ලෝ පිකාසෝ පැවසූවේ එබැවිනි.
2020 මාර්තු මස සිට සුවහසක් මනුෂ්‍යය වර්ගයාම අගුළු ලා සිරවූහ. නොපෙනෙනා , නොඇසෙනා වෛරසයක් මුළු ලොවක් මාස ගණනාවක් නිහඬ කළේ ය. එකල මා ඔබ මේ කියවන බ්ලොග් පඩංගුව ඇරඹුවේ ය. සිහින පැතුම් බිඳ දමා ගන්නා යුගයක මා මගේ අදහස මෙසේ ලියා පළ කළෙමි. එය ආදරයද , දේශපාලනයද , ආර්ථිකයද , ජාතිවාදයද , ලිංගිකත්වය ද යන්න මා ලඝු නොකළෙමි.
තවමත් මා බ්ලොග් පළ කරන්නේ මෙය අතහැරී ගොස් මුදල් පසුපස දුවමින් සිහින සැබෑකරගන්නා පිසාචයකු බඳු මිනිසකු වීමට ඇති අප්‍රියාවටය.
කුඩා කල විජය පුවත්පතෙන් ලෝකය දැක , පුවත්පත්කලාවේදියකු වීමට පෙරුම් පිරූ මා පහත උපුටමෙන් ලිපිය හමාර කරන්නෙමි.
" දශක දෙකක් පත්තරෙන් විතරක් මම දැක්ක , හුණුපිටිය හරස් පාර දිගේ මම ත්‍රී වීල් එකේ එන්න පටන් ගත්තා. ලංකාදීප කන්තෝරුව ළඟ රුපියල් 130 දීලා බහින ගමන් මම ගේට්ටුව ඇතුළට ආවා. මගෙ අනන්‍යතාව තහවුරු කරලා අහවල් ආයතනයේ , අහවල් පුද්ගලයා , මම ආවේ අසවල් කෙනා හම්බෙන්න යැයි විස්තරේ කිවම ආරක්ෂක නිලධාරීයා "සර් !! මෙතනින් ගිහින් ලිෆ්ට් එක ගන්න , එතනින් දෙවැනි තට්ටූවේ කෙළවරම කන්තෝරුවට යන්න. " විස්තරාත්මක මාර්ගෝපදේශනයක් දුන්නා. කන්තෝරුව ඇතුළට යනකොට හැමදෙනාම ගජරාමෙට වැඩ. කෙනෙක් ටයිප් සෙටින් , කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනින් , කෙනෙක් ලිපි සංස්කරණය . මගේ හුස්ම උගුර ළඟ නතර උනා. අවුරුදු ගාණක් මම දැක්ක හීනේ ළඟ නතර වෙලා මම ගිමන් හැරියා.
අද මම විජයට ලිපි ලියන ගමන් මගේ පාසල් කාලෙට හෙමින් සීරූවේ රවුමක් ගිහින් එනවා. ඒ කුතුහලය පිරුණු ළමා හදවතින් පත්තරේ පිටු පිරෙන්න මම තාමත් අකුරු පටබඳිනවා.
සුබපැතුම් ❤
ReplyDeleteස්තුති
Delete