Thursday, 19 January 2023

කඳු මුදුනක සිට පහත බැලීම


 මේ මගේ "පත්තරකාර හීන" කතා පෙට්ටියේ අන්තිම කතාව. පත්තරකාරයෙක් වෙන්න පටන් ගත්ත මගේ ගමනේ වර්තමාන සැතපුම් කණුව. 

ජීවන හුස්ම වැටුනොත් දශකයක් හෝ තවත් මෙතැනින් එහා සැතපුම් කණුවක් දිහාටවත් ඇවිදින්න පුළුවන් වේවි මට ,  අපි හැමෝටම. එතෙක් මේ අවසන් පරිච්ඡේදය ලියමින්  මේ විදියට මම පෑන බිමට අතාරින්න තීරණය කරා. 


පත්තර හීනයක් ඇතුළේ හිර වෙලා තද වෙලා හුස්මක් පොදක් නොවැටෙනා තැනක උන්නූ මට "අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ" කියලා මහා බාධකයක් 2013 අවසානයට  මුණ ගැහෙනවා. 

ලංකාව වගේ  රටක දක්ෂ ක්‍රීඩකයන් විනාස වෙන්නේ , කලාකරුවන් මියදෙන්නේ , ගායකයන් ගායනය නවත්වන්නේ , ව්‍යාපාරිකයන් මහා සිහින අත්හරින්නේ ඔවුන්ගේ ජිවිතේ අවසන් කාලේ නෙවෙයි . ඔවුන් යාන්තමින් කර දඬු උස් මහත් වෙමින් උ.පෙළට ඉඳගන්න මොහොතේ. ඒ විභාග භීතීකාවෙන් නිර්මාණශීලිත්වය , නිදහස් චින්තනය වගේ අගයන් (values)  අමු අමුවේ විනාස කරනවා.මාත් ඒ සමාජීය ප්‍රකම්පනයේ වින්දිතයෙක් . මගේ පත්තර සිහිනේ සිව්වසරකට හාන්සි වෙන්නේ ඒ ආකාරයට.


මගේ උ.පෙළ ජිවිතයම නොනැවතුන දුම්රියක්. මුලින් කීව විදියට ඉදිරි දශකයේ හුස්ම ඉතිරිවෙලා තිබුනොත්  ඒ හැම අත්දැකීමක්ම  අකුරු කරන්නට මට ඒහැටි කාලයක් යන්නේ නැහැ. 

 මගේ මිත්‍රයෝ ඉංජිනේරුවෙක් , වෛද්‍යවරයෙක් වෙන්න වාර තුන ,හතර උත්සහා කරනකොට මම මගේ දෙමාපියන් සතුටු කරන්න කොළඹ තර්ස්ටන් රෝඩ් එකේ කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පිඨය ඇතුළට මගේ දෙවන වාරයේ ප්‍රතිඵලයෙන්  එන්න පිටත් උනා.

මගේ සිව් වසරක නිද්‍රාගත  ලිවිමේ අභ්‍යාසය පියවරෙන් පියවර ගැළපිම නැවත  ඇරඹුනේ කොළඹ සරසවියේ දුටු , හැඟුනු ,මුණගැසුනු  අත්දැකීම් සමඟයි.  

මුලින්ම Colombo Beacon නම් මාධ්‍ය කවයට නිර්නාමික ලිපි දෙකක් හෝ තුනක් සැපයූ මා , පසුව FOS Media නම් වූ මාධ්‍ය සමාජයට ඇතුළත් විය . එතැන් සිට මරණීය වේදනාවෙන් රිදුම් කමින් සිටි ලේඛක ආත්මය මා තුළ යමක් කරන්නට ඉල්ලමින් සිටියේය. මහා වැඩ නොවුනද නැවත වරක් හැරී බැලූ කලක සතුටෙන් සිනහ විය හැකි මට්ටමේ බරැති වැඩ කිහිපයක් ඔවුන් හා මම කළෙමි. 


දක්ෂ , නිර්මාණශීලි කලාකාමී මිනිසුන් පිරිසක් ඒ හරහා මට  මුණගැසිනි. අරමුණක් නොතිබූ මාගේ ජීවන විලාසය නැවත වරක් වර්ණැති වන්නට විය. මා සරසවිය තුළ අත්විඳි සෑම හැඟිමක්ම එකල අකුරු කළෙමි. එය ලිපියක්ද , නිසඳසක් ද  යන්න මා නොසිතුවෙමි. එය ආදරයක්ද , විරහවක්ද , කළකිරිමක්ද යැයි වර්ග නොවිනි. කලාවට සීමා නොමැති බව ශ්‍රේෂ්ඨතමයා වූ පැබ්ලෝ පිකාසෝ පැවසූවේ එබැවිනි. 


2020 මාර්තු මස සිට සුවහසක් මනුෂ්‍යය වර්ගයාම අගුළු ලා සිරවූහ. නොපෙනෙනා , නොඇසෙනා වෛරසයක් මුළු ලොවක් මාස ගණනාවක් නිහඬ කළේ ය. එකල මා ඔබ මේ කියවන බ්ලොග් පඩංගුව ඇරඹුවේ ය. සිහින පැතුම් බිඳ දමා ගන්නා යුගයක මා මගේ අදහස මෙසේ ලියා පළ කළෙමි. එය ආදරයද , දේශපාලනයද , ආර්ථිකයද , ජාතිවාදයද , ලිංගිකත්වය ද යන්න මා ලඝු නොකළෙමි. 

තවමත් මා බ්ලොග් පළ කරන්නේ මෙය අතහැරී ගොස් මුදල් පසුපස දුවමින් සිහින සැබෑකරගන්නා පිසාචයකු බඳු මිනිසකු වීමට ඇති අප්‍රියාවටය. 

කුඩා කල විජය පුවත්පතෙන් ලෝකය දැක , පුවත්පත්කලාවේදියකු වීමට පෙරුම් පිරූ මා පහත උපුටමෙන් ලිපිය හමාර කරන්නෙමි.


" දශක දෙකක් පත්තරෙන් විතරක් මම දැක්ක , හුණුපිටිය හරස් පාර දිගේ මම ත්‍රී වීල් එකේ එන්න පටන් ගත්තා. ලංකාදීප කන්තෝරුව ළඟ රුපියල් 130 දීලා බහින ගමන් මම ගේට්ටුව ඇතුළට ආවා. මගෙ අනන්‍යතාව තහවුරු කරලා අහවල් ආයතනයේ , අහවල් පුද්ගලයා , මම ආවේ අසවල් කෙනා හම්බෙන්න යැයි විස්තරේ කිවම ආරක්ෂක නිලධාරීයා "සර් !! මෙතනින් ගිහින් ලිෆ්ට් එක ගන්න , එතනින් දෙවැනි තට්ටූවේ කෙළවරම කන්තෝරුවට යන්න. " විස්තරාත්මක මාර්ගෝපදේශනයක් දුන්නා. කන්තෝරුව ඇතුළට යනකොට හැමදෙනාම ගජරාමෙට වැඩ. කෙනෙක් ටයිප් සෙටින් , කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනින් , කෙනෙක් ලිපි සංස්කරණය . මගේ හුස්ම උගුර ළඟ නතර උනා. අවුරුදු ගාණක් මම දැක්ක හීනේ ළඟ නතර වෙලා මම ගිමන් හැරියා. 


අද මම විජයට ලිපි  ලියන ගමන් මගේ පාසල් කාලෙට හෙමින් සීරූවේ රවුමක් ගිහින් එනවා. ඒ කුතුහලය පිරුණු ළමා හදවතින් පත්තරේ පිටු පිරෙන්න මම තාමත් අකුරු පටබඳිනවා.  











Sunday, 8 January 2023

ප්‍රේමණීය කාබන් සුවඳ

 කතාන්දරයක එක කොටසක් ලීවම අනෙක් කොටස නොලියම බැරි වෙනවා. මේ මගේ පත්තරකාරයෙක් වීමේ හීනයේ දෙවන පරිච්ඡේදය .


මං ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ දෙමාපිය ගුරුවර නිසඟ  ආභාසය වැඩිමනක්  යොමූ වුවේ  අධ්‍යාපනික නැඹුරුවක් වෙනුවෙන්. අහම්බයකින් හෝ 


 '"පුතා ඔයා ලේඛනයේ බොහෝම රුසියෙක් වග ආරංචි  මාධ්‍යවේදීයෙක් උනානම් අපූරුයි , නේද කියන්න. " 


 ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් සෙවිම ඒ යුගයේ අතිශය දුෂ්කර කාර්‍යකි. 


මොකද ඒ යුගය කියන්නේ මහින්ද මහත්තයා මහ දවල් මහ මඟ පුවත්පත කර්තෲවරුන් ඝාතනය කරන  යුගයක් ,මර්වින් සිල්වා ග්‍රාමසේවක මහතුන් ගස් බඳින සමයක් , ලේඛකයන්ගේ මුහුණ   දැලි පිහියෙන් කපා දමන මොහොතක් , ලී කොටයක් මත තබා දණහිස වෙන්වන තුරු අහිංසක සමාජ ක්‍රියාකාරීන්ගේ කකුල් කැඩූ පාලනයක්. එවන් යුගයක හතුරෙකුටවත් මාධ්‍යවේදීයකු වන්නැයි නොකීමට තරම් එකල මා අවට සිටි වැඩිහිටියන් විනීත වී සිටියේය. 


නමුත් පසුනොබසින මා පත්තරකාරයෙක් වීමේ මූලික පියවර ලෙස තෝරාගත්තේ විජය පුවත්පත් සමාගමෙන් මුද්‍රණය කරන්නට යෙදුන "විජය " ළමා පුවත්පතයි.මක්නිසාදයත් ඒයුගයේ අපට මාධ්‍යයක් ලෙසින් ඇසුරුකරන්නට හැකිවූනු සමීපතමයා එය විමයි.


 විජය සමඟ මගේ ඇති ආත්මිය ඇල්ම පිළිබඳව මීට කලකට ඉහත මා සටහනක් තබා ඇත්තෙමි. මගේ ජිවිතය තුළ මා දුටු ,මා ඇසුරු කළ , මා ආදරය කළ සෑම සියලූ කාන්තා පෞරුෂයකට වඩා "විජය" යුවතිය දැකුම්කළුය , ප්‍රේමාන්විතය , මනබඳන සුළුය , යාවත්කාලීනය ,දැනුමෙන් පොහොසත්ය.   ඒ සියල්ලටමත් වඩා ඈ  අතිශයින්ම  අවංකය , විශ්වාසය නොබඳිනා සුළුය . මින් දශක දෙකකට පෙර මා දූටූ යුවතිය සේම තවමත් ඈ සොඳුරුය. 


මුලින්ම මම විජය පුවත්පතෙහි කර්තෘ මණ්ඩලය නිවසේ රැහැන් දුරකතනයෙන් ඇමතිම ඇරඹුවෙමි (තවමත් විජය කාර්‍යාල දු.ක අංකය මට මතකයෙන් කිව හැක). මුල් යුගයේ මා විසින් මල් මාමා චිත්‍රනය කොට රචනා කළ පියල් සමරවීරයන් ඇමතුවෙමි.පසුව එකල විජයට ලිපි රාශියක් රචනා කළ ගයත්‍රී සමරවීර ඇමතුවෙමි. 2010 වසරේ අගෝස්තු මස දිනක මගේ මුල්ම ලිපිය "විජය" පුවත්පතේ පළ කරලීම සඳහා අතහිත ලබාදුන්නේ ඇයයි. එතැන් සිට නොකඩවා නොවුනද යම් මට්ටමක සිඝ්‍රතාවයකින් මා පුවත්පතට ලිපි සැපයුවෙමි. සමහර ප්‍රතික්ෂේප වූ අතර සමහරක් "නව සියවසට නව සංකල්පනා " යටතේ පළ විය  . නමුත් කිසිදිනක සඳුදා සවස් යාමයේ තවමත් තීන්ත සුවඳවත් පහව නොගිය විජය පුවත්පත පෙරළා බැලිමේ මගේ උනන්දුව  මන්දගාමී නොවිනි. 

දැඩි උනන්දුවෙන් සහ සීරුවෙන් මා පත්තරකාරයෙක් වීමේ පියගැටපෙළ තරණය කරමින් සිටියෙමි.


දයා රාජපක්ෂ නාමය ඔබ නොදන්නාවා විය හැක. ඔබේ දෙමාපියන්ද නොදන්නාවා විය හැක. නමුත් ඔබගේ සීයා හෝ ආච්චි දයා රාජපක්ෂ නොහඳුනන්නේ නම් එය ඔවුනගේ ගැටලුවකි. හේතුව නම් මුද්‍රිත මාධ්‍ය කලාව මෙරට තුළ රජ කෙරු 50-60 දශකයේ මෙරට චිත්‍ර කතා කලාවේ පෙරළිකාර චරිතය දයා රාජපක්ෂයන් විමයි.එතෙක් ආගමික මුහුණුවරකින් සීමීත මාතෲකා කිහිපයක් අතපතගාමින් සිටි මෙරට පැතලි චිත්‍රකතා ශිල්පීන් නව මානයක් කරා රැගෙන යාමේ මුලසුන ගත් පුද්ගලයා එතුමයි. 

එතුමන්ගේ චිත්‍රකතා කොතරම් ජනප්‍රසාදයට පත්වුනේ දැයි මැනබලන්නේ නම් එම කතාන්දර පාදක කොට නිර්මාණය වූ  චිත්‍රපට කිරා බලන්නේ නම් මැනවි. ඔහු සිය පත්තර කලාවේ අවසන් යුගයේදි ලංකාදීපයට සමාජ සමයං නමින් විශේෂාංගයක්ද එක් කලේය. මේ සියල්ල සපිරි මිනිසා මගේ මවගේ පියාගේ නොහොත් මගේ අත්තාගේ පංති සගයකු වීම තරම් මට ප්‍රීතීයක් නොමැති විය. 


දයා රාජපක්ෂයන්ගේ ප්‍රකටම චිත්‍ර කතාව වූ "අසිරිමත් අතීතය " චිත්‍ර කතාවේ මුද්‍රිත පිටපත කියවා හදවත ප්‍රීතී ප්‍රමෝදයෙන් පුම්බාගෙන මගේ අත්තගේ අනුරුද්ධ කොලීජීයේ කතා ඇසුවෙමි. චිත්‍ර කතාවෙන් නෝටන්බ්‍රිජ් සිට අනුරුද්ධ කොලීජීයට පැමිණි දයා රාජපක්ෂයන්ගේ පාසල් දිවිය මා මාගේ  අත්තාගේ ජීවමාන අත්දැකීම් හරහා ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි. 


එකල ලංකාදීපයේ සඳැල්ල අතිරේකයේ තෙවන පිටුවට ආතර් යූ අමරසේනයන් විසින් රචනා කළ මතක පෙළගැස්මක එක් දිනක් කලාශූරී දයා රාජපක්ෂයන්හට වෙන්විය. ලිපිය අවසන දහතුන් වියැති මගේ සිත් කලඹන යමක් විය. 


ඒ එතුමන්ගේ දුරකතන අංකය. නොඉවසිලිමත් මම රැහැන් දුරකතනයෙන් උක්ත අංකය ඇමතුවෙමි. 


වියපත්  ඒ හා සමාන ප්‍රාමාණික දැනුමැති හඬක් පිළිතුරක් අපේක්ෂා වෙන් දුරකතන රැහනේ අනෙක් පස  රැඳි සිටි. මුඛරි මා දයා රාජපක්ෂයන්ගේ පාසල් දිවිය ,නාවලපිටියේ ෂෙම්රොක් බෝඩින් ජිවිතය පසුව ගිනිගත්හේන මැදි විදුහලේ කෙටි කාලීන පාසල් දිවියද ඇසින් දුටුවෙකි මෙන් විස්තර කළෙමි. ඒ අතරමැද මාගේ අත්තාගේ මිත්‍රත්වයද මතක් කළෙමි. අවසානයට මාගේ පත්තරකාරයකු වීමේ සිහිනයත් කාටුන් ශිල්පියකු ලෙස ප්‍රදර්ශනයක් පැවැත්වීමේ බලාපොරොත්තුවත් සිහි කළෙමි. ඔහූ මා වෙත ආදරයෙන් පිළිතුරු ලබාදී , ප්‍රදර්ශනය පවත්වන ලෙසටත් ඔහුද එය නැරඹිමට පැමිණෙන බවත් සහතික 

වුනේය. 


මා කිසිදිනක කාටුන් ප්‍රදර්ශනයක් පැවැත්වූවේ නැත , නැවත රාජපක්ෂයන් හට ඇමතුමක් ලබාදුන්නෙද නැත. පසුකලක ඔහූ අසනීපවී සිට මියගිය බවද අසන්නට ලැබිනි. නමුත් පත්තර සිහිනයක් අත මත තබා තමාට ඇමතු කුඩා දරුවකුට ඔහු  දුන් පිළිතුරෙන් එම දරුවා තවත් දශකයක් පමණ සිහිනය වෙනුවෙන් සටන් කරන්නකු විය. 

ඔහු මින් වසර ගණනාවකට පෙර ලබාදුන් පිළිතුරු වූවේ.


"පුතා පටන්ගන්න. මාත් එන්නම් බලන්න. " 


තෙවන සහ අවසාන කොටස : සිහිනය සැබෑවීම් සහ ඉතිහාසය නැවත ලියවීම්


  











Wednesday, 4 January 2023

නෑ..මට පත්තරකාරයෙක් වෙන්නමයි ඕන.....

  



2009 අවුරුද්දේ අන්තිම කාර්තුව වෙනකොට මට පත්තරකාරයෙක් වෙන්න ඕනැමයි කියලා මනෝ විකාරයක් වැළඳුනා. ඒකට ප්‍රධානම හේතුව උනේ ඊළාම් යුද්ධය ජයග්‍රාහී විදියට අවසන් කරපූ මහින්ද රාජපක්ෂ මහාරජාණන්ට අඳින්න පටන් ගත්තම අවධීයේ අතිශය එ.ජා.ප ලෝලීයකූ වුනු මගේ අප්පච්චි ගෙදරට ලේ රතු පැහැති හෙඩිමක් සහිත "ලංකා" පත්තරය  ගෙන ඒමයි. ඒ වෙනකොට චන්දන සිරිමල්වත්ත ප්‍රධාන කර්තෘ ධූරය දරපූ "ලංකා" පත්තරය ප්‍රබල ආණ්ඩූ වීරෝධී මතයක් නිර්මාණය කරමින් සිටි අවධියක්. 


මාව මුලින්ම උද්දීපනය කරේ පත්තරේ ලිපි බොහෝමයක් එකල රචනා කළ අසංක සායක්කාර විසින්. ඒවෙනකොට දිග කොණ්ඩයක් හිස මුදුනේ තියාගෙන පත්තර පිටූ පුරවපූ මේ වාමාංශික ලියන්නාව මට තවත් අවුරුදු ගාණක් අමතක කරන්න බැරි උනා.  

බොහෝමයක්  දේශපාලනික , විවාදශිලී , විවාදාත්මක ලිපි ඔහූ අතින් රචනා වූනා. වීනී හෙට්ටිගොඩ අතිශයින්ම දේශපාලනික කාටුන් හරහා රාජපක්ෂ ආණ්ඩුවට පහර ගසමින් සිටියා. 

මේ සියල්ලක් මධ්‍යයේ සොළොස් වියැති මා විස්මයට පත් වී සිටියා.

මෙවන් වයසම මේ සා දේශපාලනික උනන්දුවක් හෝ ඇල්මක් තිබිය හැකි දැයි  අහන මහත්වරු ඔය ප්‍රශ්නයම ලක්මාල් ධර්මරත්නගෙන් අහන්න. එයා කියයි සයිමන් නවගත්තේගමගේ  "සාපේක්ෂණී" කියවනකොට එයාගේ වයස . 


මං ආපහු කතාවට එන්නම් !!


ලංකා පත්තරේ නිතරම අමූතූ දේවල් ලීවා. ඒ කාලේ මුළු රටක්ම රාජපක්ෂවරුන් උඩ දාන වෙලාවක " ලංකා " ඔවුන්ට එරෙහිව හිටගත්තා. රටක් වන්දනාමාන කරන පවුලට මේ පිටූ 15 පත්තරය අභියෝග කරා. දේශපාලනික අරමුණ මොකක් වුනත් ඒ නීර්භීතබව මාව තිගැස්මකට ලක් කරා.


 ලංකා පත්තරේ 2010 ජනාධිපතිවරණයට පෙර තිබුන මේ හෙඩිම මගේ මරණය වෙනක් අමතක නොවෙන දෙයක් වෙන්න පුළුවන් . ඔවුන්ගේ එක ලිපියක එකල පාර්ලිමේන්තු කථානායක ධූරය දැරූ  වි.ජ.මු ලොකුබණ්ඩාර නොහොත් දැන් ඉන්න  පුංචි නංගීලා මල්ලීලා දන්න විදියට උදිත ලොකුබණ්ඩාරගේ පියාණන්ගේ මුල් අකුරු වලට ලබා දුන් තේරුම වූවේ  


වි = විජ්ජාවෙන්

ජ = ජනතාව

මු = මුලාකල 


ලොකුබණ්ඩාර නමිනි. ඔවුන්ගේ හෙඩිම වූවේ විජාවෙන් ජනතාව මුළාකල ලොකුබණ්ඩාර .


" ලංකා " නිසා මගේ පත්තරකාරයෙක් වීමේ සිහිනය යම් තාක් දූරට දළු ලෑවත් , ඒක වැඩෙන්න අවශ්‍යය පෝර සහ ජලය ලබාදුන්නේ ප්‍රවීණ පුවත්පත්කලාවේදි ගුණදාස ලියනගේ එහෙමත් නැත්නම්  පත්තර භාෂාවෙන් ගු.ලි. එතුමා කිසිම දවසක මට මුණ ගැහිලා නොතිබූනාට මම දහම් පාසල් පුස්තකාලේ තිබිලා එතුමා විසින් කලකට ඉහත රචිත "පුවත්පත් කලාවේදය " නම් වූ පොත් පිංච කියවන්නට ලැබුනා. දහම් පාසල් පුස්තකාලේ අය කරන  දඩ රුපියල් පහ සතිය  ගාණේ ගෙව ගෙව මම ඒ පොත ළඟ තියාගත්තා. 


ලිපියක් ලියන ආකාරයෙ , කරුණු පෙළගැස්වීම , ප්‍රවෘත්තියක සහ විශේෂාංග රචනයක ඇති වෙනස , ප්‍රවෘත්තියක් රචනා කිරිමේ තාක්ෂණික ක්‍රම ශිල්ප , පුවත්පතකට ලිපියක් යැවිමේදි අනුගමනය කළ යූතු ක්‍රියාමාර්ග මේ සියල්ලක්ම එතුමා පොතේ අකුරක් නෑර විස්තර කරන්නට යෙදුනා. 


අඬන්න උන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නාක් වාගේ මේ පොත  මං මගේ ආධ්‍යාත්මික  බයිබලය වගේ ආරක්ෂාව කරන්නට උනා.පුංචි පුංචි විශේෂාංග කොටස් මම තනියම ලියන්න පටන් ගත්තා. මගේ මුල්ම පාඨකයා වුනේ තාමත් මගේ හොඳම පාඨකයා වෙන  මගේ සහෝදරියයි. මුලින්ම අපි දෙන්නා සඟරාවක් හදන්න ගත්තා. මම කතා ලියනකොට , නංගී චිත්‍ර ඇන්දා , අප්පච්චි අඩුපාඩූ කීවා , කියවන්න කම්මැලි අම්මා " ආ..බෝම හොඳයි කියලා හිනා උනා." 


 ගුණදාස ලියනගේ මහත්මයාගේ ඉහත කී පොතේ පෙරවදනේ අපූරු සටහනක් මෙන්න මේ විදියට තිබුනා.ඒකෙන් මගේ හිතට ඊයම් බරුවක් තිය උනා. 

මේ සටහනට පාදක වෙන්නේ ගුණදාස ලියනගේ මහත්මයා ආධූනිකයෙක් විදියට එකල ටයිම්ස් සඟරාවේ ප්‍රධාන කර්තෲ ධූරය දැරූ ඩී.බී ධනපාල මහතාව මුලින්ම මුණ ගැහුනූ මොහොත පිළිබඳව . 


" මම ටයිම්ස් කන්තෝරුවේ ඇතුළේ  ඉදගෙන ඉන්න අතරේ ඩී.බී ධනපාල මහත්මයා මං ළඟට ආවා. ආ..මේ ළමයාට පත්තරකාරයෙක් වෙන්න ඕනලූ නේද ?? එහෙම කියලා ධනපාල මහත්මයා පැය භාගයක් විතර පත්තර රස්සාවේ නරක පැත්ත ගැනම මට විස්තර  කීවා. ඒත් කෝම හරි මට පත්තරකාරයෙක් වෙන්නමයි ඕන.එතුමා කතාව නතර කරනකොට මම උත්තර දුන්නා."   


2010 මාර්තු වෙනකොට මාත් කෝම හරි පත්තරකාරයෙක් වෙන්න ඕනැයි කියලා තීරණයක් ගත්තා. 


මීළඟ කොටසින් : ලාංකීය චිත්‍ර කතා කලාවේ දැවැන්තයා බඳූ දයා රාජපක්ෂයන් හා සම්මුඛ වීම සහ සිබිල් වෙත්තසිංහ පරිච්ඡේදය .












 


ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිම...