1818 උඩරට කැරැල්ලට සම්බන්ධ උනායැයි රාජද්‍රෝහින් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු පිරිසකගේ රාජද්‍රෝහිත්වය අහෝසි කිරිමේ සන්නස 2017 වසරේදි මහනුවර මඟුල් මඩුවේදි එළිදැක්විනි. එකී උත්සවයට වැඩම කළ රාමඤ්ඤ නිකායේ නාහිමිවරුන්ට ආසන නොපනවන ලෙස සියම් නිකාය ඉල්ලා සිටි බව සුප්‍රකට කතාවකි.
එමෙන්ම මහනුවර දළඳා මාළිගයේ භික්ෂූන්ට දන් වැළඳිමට ඇති දන් ගෙයිහි අස්ගීරී සහ මල්වතු පාර්ශවයන් වෙනමත් අමරපූර සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා වෙනමත් දන් වැළඳිය යුතුය. ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේ නමක් මුහුණුපොතට ලියූ සටහනක්ද මා දැක ඇත.
මේ සියල්ලටම හේතු පාදක කරුණ නම් අපුල , අශීලාචාර ,ගෝත්‍රික
"ශාසනික කුලභේදයයි".
![]() |
නිකාය අනුව ආසන පැණවීමේ පිළිවෙත. |
1753 වගේ ඈත කාලෙක ,මෙරට උපසම්පදා භික්ෂූන් වැඩනොසිටි අතර සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවුන් ශාසනයට සම්පූර්ණයෙන් කැප නොවී ගොවිතැන් බත් කරගෙන අඹු දරුවන් රකිමින් සිටි බව පැවසේ. මේ නිසාම හතරලියද්දේ ,තුම්පනේ ,වැලිවිට වලව්වේ ඉපිද පසුව වැලිවිට සරණංකර නමින් පැවිදි වූ හිමිනමක් සියම් දේශයෙන් ( වර්තමානයේ තායිලන්තයට) උපසම්පදාව රැගෙන විත් සියම් නිකාය පිහිටවූ බව සැලකේ. උන්නාන්සේ ගිහිකල උසස් කුලයකින් පැමිණි නිසාම මේ සියම් කුලයේ පැවිදි වීමට වරම් ලැබූවේ උඩරට ගොවිගම අයට පමණි. උඩරට මහා ශාසනික කුලභේදයේ පටන්ගැන්ම මෙයයි.
මහාචාර්‍ය ඔබේසේකරගේ අදහස නම් විමලධර්මසූරිය රජ දවස සිට
"සියලූ දෙනාම සංඝ සමාජයට නොගත යුතුයි"
යන මතයක් පැවති බවයි. නමුත් එය උඩරට කූලභේදයෙන් ආරෝපණය වුනේ 1760 දි. සියම් නිකායට ,ගොවි ගමෙන් පමණක් පැවිදි කරගන්නා බැවින් 1779 දී අඹගස්පිටිය ඥානවිමල ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් බුරුමයෙන් උපසම්පදාව ගෙන අමරපුර නිකාය පිහිටවන ලදි. මෙහි අමරපුර යනූ එකල බුරුමයේ අගනගරයයි. දිනයක් විදියටම අමරපුර නිකාය බිහිකළේ 1803 මැයි මස බලපිටියෙදි. අද වන විට අනූ පාර්ශව 22 වෙන්වී ඇත්තේ මේ අමරපුර නිකායයි.
![]() |
බෞද්ධ සමානාත්මතාවය මෙයින් පිළිඹිබුවේද ? |
ඉන් දශක 6 ගෙවුනු තැන 1863 ජුලි මස මහමෝදරදි අඹගහවත්තේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රාමඤ්ඤ නිකාය බිහිවිය. එහි අද වන විට අනූ පාර්ශව කිසිවක් නැති අතර ඕනෑම කුලයක අයෙක්ට මහණ විය හැකි නිකායක් ලෙසද සැලකේ.
සියම් නිකායත් අනූ පාර්ශව අටකට බෙදී ඇති අතර එයින් කුලවාදය දරුණු ලෙසම භාවිතයට ගැනෙන්නේ අස්ගිරී සහ මල්වතු පාර්ශව දෙකයි. බොහෝ විට දළදා මාළිගයේ තේවාව භාරව සිටින්නේ මේ පාර්ශව දෙක වීම එයට හේතුවක් විය හැකිය.එමෙන්ම බොහෝ උඩරට ප්‍රධානීන්ගේ අනුග්‍රහය පවා ලැබෙන්නේ මෙකී නිකාය පාර්ශව දෙකටයි.
කෙසේහෝ විසිවන සියවසේ මැද භාගයක් වනතුරුම මල්වතු අස්ගීරී පාර්ශව දෙකෙහි මහානායක පදවියට පත්ව උපෝසථාරාමයේ සහ පුෂ්පාරාමයේ විහාරාධිපතිධූරය දැරූවේ උසස් කුලයේ යැයි සැලකෙන අය පමණි.සරලවම වලව්වකින් පැමිණියෝවුන්
![]() |
මූලික නිකායන් තුනේ බෙදීම |
. මෙහි බරපතළ තත්වය නම් ශාසනයේ නියමය අනූව භික්ෂූන්වහන්සේලාගේ ජේෂ්ඨත්වය මැනෙන්නේ උපසම්පදාවට පත් වූ කාලය සමඟ වූවද , මල්වතු ,අස්ගීරී පාර්ශවයක ස්වාමීන් වහන්සේ කෙනෙක් අමරපුර හෝ රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමඟ සිටීනම් උපසම්පදා ජේෂ්ඨත්වය නොසැලකීමයි. දන් පිළිගැන්වීම , අසුන් පිළිගැන්වීම , අනෙක් පරිපාලන කටයුතුවල යෙදීමට පවා ශාසනික කුලය / නිකාය මහත් ප්‍රතීරෝධයක් වී ඇත.
ආගමික මතවාදයෙන් තොරව මේ පිළිබඳ නිදහස් මනසකින් සිතන්නේ නම් බුදුදහම වැනි සමානාත්මතාවය අගයන දහමක , එකී දර්ශනයේ ප්‍රචාරනයට කැප වූ භික්ෂූ සමාජයක ඇති කුලභේදයේ නැග්ම විහිළුසහගත නොවේද ? අවම වශයෙන් කලකට පෙර නේපාලයේ සසුන නැවත පිහිටවිමේදි අනුගමනය කළ "අඛිල නේපාල සංඝ සභාව " නම් වූ තනි භික්ෂූ සභාවක් හෝ මෙරටට පිහිටවීමේ නෛතික අයිතිය බලාත්මක කළයුතුය. ස
නැතිනම් අස්ගීරී ,මල්වතු පාර්ශවයේ භික්ෂූන්වහන්සේලා උස් ආසනවල හිඳ ගැනිමත් , අමරපුර ,රාමඤ්ඤ නිකායන්හි භික්ෂූන් වහන්සේලා මිටි ආසනවල හිඳ ගැනිමත් තවත් දශක ගණනාවක් නොනැසී පවතිනු ඇත.
ප:ලි : සංඝ සමාජයේ ප්‍රශ්න ගිහියන්වන අප කතා නොකරන්නැයි අපට නොකියන්න.මක්නිසාදයත් භික්ෂූ සමාජය මේ ප්‍රශ්න මීට පෙර විසඳාගත්තා නම් අපට මේවා කතා කිරිමට සිදුනොවනු ඇත. හේතුව නම් සමානාත්මතාවය ගැන බණ දෙසමින් නිකාය භේදය අනුගමනය කිරීම අපට අනූව නම් අන්කිසිවක් නොව දරුණූ ඛේදවාචකයකි, ධර්මය විකෘති කිරිමකි.
No comments:
Post a Comment