Tuesday, 16 September 2025

උපන්දිනේ අද ඔහුගේ....

 අද ජනාධිපති ජයවර්ධනගේ උපන්දිනේ.උන්දෑ හිටියනම් අච්චරයි ,මෙච්චරයි කියලා වැඩක් නෑ. මොකද එයා  නැති උනෙත් අවුරුදු අනූවක් විතර ජීවත් වෙලා නිසා. මගේ හිත නම් කියන්නේ, නිදහස් ලංකාවට ජයවර්ධන තරම් බලපෑමක් කරපූ කිසිම දේශපාලකයෙක් නැහැ. ඒ බලපෑම කොච්චරද කියනවනම් 88-89 කඩපිල්වල 

"ජේ.ආර් මරමු..." 


කියලා ජවිපේ සන්නද්ධ අංශයට ලියන්න සිද්ධ උනා.හැබැයි ඒ කිසිම කෙනෙක්ට ජයවර්ධනගේ මයිලයකටවත් හානි කරන්න බැරි උනා. හැබැයි ජයවර්ධනයි ,එයාගේ අනූප්‍රාප්තික ප්‍රේමදාසයි ජවිපේ සන්නද්ධ අංශය  1990-1991 වෙනකොට බිමටම සමතලා කරා. ඔවා ඉතින් ඉතිහාස කතා . පස්සේ කාලෙක ඕවත් ලියවෙන්නේ මෙන්නම් මෙහෙම‍ 

" නොමඟ ගිය ආයූධ සන්නද්ධ තරුණ කැරලිකරුවන් , වයෝවෘද්ධ එහෙත් ඔදවත්, තෙදවත්, බලවත් ,නැණවත් ජේ.ආර් උතුමාණන්ව ඝාතනයට තැතක් දැරුවෝය.එලෙසින් කුමන්ත්‍රණ කළවුන්ගේ වෑයම තිඹිරිගෙයිම වළලා දැමූවෝය." 

මහාවංශයේ,ථූපවංශයේ,ඨාටවංශයේ ,චූලවංශයේ හැම අකූරක්ම ඇත්ත කියලා අදහන උදවිය මේවටත් අනාගතේ සාධූකර දෙනවා සත්තයි. ආපහූ අද උපන්දිනය යෙදුනු ජයවර්ධනට පැත්තට හැරෙමුකෝ.  

ජයවර්ධනට සුවපහසු ළමා වියක් , තරුණ වියක් වගේම මැදි වියකුත් තිබ්බා. ඒත් මහලූ විය එච්චරම පහසු උනේ නෑ. උතුරේ ජාතිවාදි අරගලයෙනුයි , දකුණේ ජවිපේ සන්නද්ධ අරගලයෙනුයි ජයවර්ධන 1988 විශ්‍රාම යනකන්ම හොඳටම ගුටි කෑවා. එච්චර රාජතාන්ත්‍රිකයා උනූ ජයවර්ධන අන්තිමට ප්‍රේමදාසට ඉතුරු කරලා ගියේ දෙකොණ ඇවිලිනු විලක්කූවක් වගේ රටක්. කොටින්ම ඒ ප්‍රශ්න දෙකෙන් එකක්වත් ජයවර්ධන එයාගේ ධූරකාලය ඇතුළේ විසඳගන්න අපෝහෝසත් උනා. 

උතුරේ අරගලය යාන්තමින් බේර ගන්න තිබ්බ හැමතැනකදිම ජයවර්ධනගේ උද්දච්චකම එයාටම එරෙහි  උනා. 1981 යාපනේ සංවර්ධන සභා ඡන්දෙදිත් , 1983 ජූලි කලබලේදිත් වගේම 1987 Operation Liberation දෙවෙනි අදිරයේදිත් විධායක ජනාධිපතිවරයෙක් හැසිරිය නොයුතු විදියට ජයවර්ධන වැඩ කරා. ආත්ම ගාණකට ආපස්සට හරවගන්න බැරි තරමේ තීරණ කීපයක් ගත්තා. අන්තිමට ඉන්දීය හමුදාව ජයවර්ධනගෙන් අහන්නෙත් නැතුව යාපනයට පරිප්පූ දැම්මා. ඊට දවස් කීපයකට පස්සේ කන් පාත්කරගෙන රජීව් ගාන්ධි ළඟ ඔහූ ඉන්දූ-ලංකා ගිවිසුම අත්සන් කරන ගමන් ලංකාවේ ස්වෛරීත්වය කියන මිනී පෙට්ටියේ අන්තිම ඇණෙත් තද කරා.

දකුණේ සන්නද්ධ අරගලයෙදි , ඔහුට තිබුන කොමියුනිස්ට් භීතීකාවත් එක්සත් ජනපද ප්‍රේමයත් නිසා 1983  කලූ ජූලිය සමාජවාදීන්ගේ වැඩක් යැයි කියමින් ජවිපේ ඇතුලු පක්ෂ කිහිපයක්ම තහනම් කළා. 1977 නිදහස් දේශපාලනය ඇවිත් 1982 ජනාධිපතිවරණයට පවා තරග කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාරක ඇවිදගෙන එමින් සිටි ජවිපේ ජයවර්ධනගේ තීරණය එක්ක සම්පූර්ණයෙන්ම යටිබිම්ගත දේශපාලනයකට ඇදිලා ගියා. ඒ තීරණයට පිං සිද්ධ වෙන්න උගත්, හැකියාවක් තිබුනු  තරුණයෝ 60000 විතර 1991 වෙනකොට තමන්ගේ තරුණ ජීවීත  බිලිදීලා තිබුනා. හැමෝම ජවිපේ දෙවෙනි කැරැල්ලේ අලූගෝසූවා විදියට ප්‍රේමදාසව හංවඩූ ගැහූවට , සමූලඝාතනයේ නිර්මාතෲ වුනේ සුදු ඇන්ද ජයවර්ධන.

ජයවර්ධන එක්ක මට තියෙන්නේ Love-hate රිලේෂන්ෂිප් එකක්. එයා 1943 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇවිත් , තමන්ගේ මාමණ්ඩි උනූ (අම්මගේ සහෝදරයා) ඩී.ආර් විජේවර්ධන පවා උදව් නොකරන තැනක කැළණිය ආසනය දිනලා , නිදහස් ලංකාවේ පළවෙනි මුදල් ඇමති වෙලා , 1953 කොතලාවල , 1965 ඩඩ්ලි ,1970 අන්ත පරාජය කියන හැමදේම පහුකරගෙන ඇවිත් 1977 හයෙන් පහක් ගත්ත විදිය මට හූරේ දාන්න හිතෙන වැඩක්. 1943 ඉදන් 1977 වෙනකන් අවුරුදු 34 එකම ඉලක්කයක් වෙනුවෙන් වැඩකරපූ එකටත් ලකුණු දහයෙන් දහයක් දෙන්න පුලුවන්. ඒත් මනුස්සයෙක්ගේ මුල මැද අග තුනම එක සමානව වැදගත් කියන්න ජයවර්ධන තරම් හොඳ නිදසුනක් නෑ. ජයවර්ධනගේ මුල මැද වර්ණවත් උනාට අග අතිශයින්ම දූෂිතයි.

ජයවර්ධන ගැන මුල සිට අගට කියවනවනම් , ඔහුගේ චරිතාපදානය ,ජයවර්ධන කේන්ද්‍රයේන් ගන්න පුලුවන් . වෙලූම් තුනක් තියෙන පොත K.M De Silva සහ Howard wriggins ලියලා තියෙන්නේ බොහෝ විස්තර ඇතුළත් කරගෙන. මම මේ උපන්දින සටහන ලියන්නෙ ඒ වෙලූම් තුනේ අකුරක් නෑර කියවලා. 

"ජනාධිපති ජයවර්ධන තරම් තමන් කරන දේ දැනගෙන කරපූ නායකයෙක් ලංකා ඉතිහාසයේ නෑ. ඒත් ඔහු කළ දේ හරිද , වැරදිද කියන එක බොහෝම විවාදසම්පන්නයි." 

No comments:

Post a Comment

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...