මම මෙළෝ මළ දානයක් නොදැන පත්තරකාරයෙක් වෙන්න දඟලන කාලෙක හරියටම 2007 අවුරුද්දේ මුල් හරියේ විජය පත්තරේ පොඩි කොලමක ලියවෙනවා.
2006 වසරේ සිදුවුනු විශේෂිත සිදුවීම් කියන විශේෂාංගය යටතේ,
"2006 ජනවාරි 18 දින ප්‍රවීණ කාටූන් ශිල්පී W.R විජේසෝම මියයයි කියලා. "
ඒ වෙනකොට මම විජේසෝම මහත්මයාගේ කාටූන් අතරෙන් පතර දිවයිනේ දැකලා තිබුනට. මම එයා ගැන හොඳටම කියෙව්වේ අසූව දශකයේ මුද්‍රණය වුනු "කල්පනා" සඟරාවේ පළවුනු ලිපි පෙළකින්. ඒ ලිපියේ විජේසෝම මහත්තයා Times of Ceylon කන්තෝරුවට ගොඩවැදුනු විදිය. දෙවනි ලෝක යුද්ධය නිසා අහිමි වූනූ විධිමත් අධ්‍යාපනය කොළ මහජන පුස්තකාලයෙන් අවිධිමත් ආකාරයට උකහා ගත්ත විදිහත් , ඒ වෙනකොට Times of Ceylon කතෲ වුනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනම ආචාර්‍යවරයා විදියට වැඩ කරපූ "ඩොරික් ඩී සූසා" ගෙන් නියත විවරණ ලබපු විදියත් , පුංචි සිඤ්ඤෝ චරිතයේ විකාශනය ගැනත් , සිංහල සහ ඉංග්‍රීසී භාෂාවන් දෙකම මනාව හසුරවමින් කාටූන් ඇන්ද විදියත් , ජයවර්ධනගේ නාහය ලොකුවට ඇන්ද නිසා ලේක්හවුසියේදි උනු අකරතැබ්බයනුත් බොහෝම අපූරුවට ලියලා තිබුනා.
විජේසෝමගේ රසකතා අහුරකුත් ඒ ලිපිපෙළේ ලියවිලා තිබුනා.
"ඉස්කොලේ සිංහල භාෂාවට අපිට සන්ධි ඉගැන්වූවා.දවසක් ගුරුවරයා මගෙන් මං දන්න සන්ධි මොනව ඇහූවම මම කීවා
"බොරැල්ලේ හංදිය , මරදාන හංදිය.
ගුරුතුමා වහාම මට කීවා
"ඉදගන්නව ඉදගනවා"
කියලා. පසුකාලීනව කාටූන් ශිල්පියෙක් විමේද අත්‍යවශ්‍යය සාධකය වූනූ හාස්‍යය ඒ යුගයේ ඉදන් විජේසෝම මහතා තුළ වර්ධනය වූ බවට මේ කතාව හොඳ නිදසුනක්.
ඒ ලිපියේ විජේසෝම මහත්තයා අලුත් අවුරුද්දක පළවෙනි දවසක ඇන්ද එක කාටූන් එකක මෙහෙම දෙයක් තිබුනා. ඒ කාටූනයට අනූව අලුත් අවුරුදු තෑගී විදියට ඇමතිවරුන්ට ලැබෙන්නේ , විශේෂයෙන්ම නත්තල් නිවාඩූව ගත කරන්න රට සවාරි යන උදවියට
"ගෙදර නැත" කියලා බෝඩ් ලෑල්ලක්.
විජේසෝම මහත්තයාගේම ප්‍රතිබිම්භය වුනූ පුංචි සිඤ්ඤෝට ලැබිලා තියෙන්නේ
"හොඳ හයිය හත්තිය ඇති පන් මල්ලක්"
විජේසෝමගේ පුවත්පත් ආගමනයේ සුවිශේෂිම කාටූනය විදියට හැඳින්වෙන්නේ 1948 අවුරුද්දෙදි ඩී.ඇස් සේනානායකගේ කැබිනෙට්ටූවේ ප්‍රබලයෙක් වූ සර් ජෝන් කොතලාවල තම බෑගය (Baggae) ලන්ඩන් ගුවන්තොටුපළේ අමතක වීමේ සිද්ධිය අළලා ඇඳි කාටූනයයි.
එම කාටූනයේදි සර් ජෝන් කොතලාවල පුවත්පතකින් තම නිරුවත වසා සිටින ආකාරය සිතුවම් කළ විගස එකල ටයිම්ස් සඟරාවේ සංස්කාරක වූ Victor louis , මරදානේ හැඳි වැඩුනු මේ තරුණයාට ටයිම්ස් සඟරාවේ කතු මඬුල්ලට ඇතුල් විමේ අවසරය සැපයුවේය.
කාටූන් ශිල්පියෙක් විදියට තමා සතු වුනු ප්‍රතිභාව භාවිතා කරගෙන පෑන් ඉරි කිහිපයකින් සමාජ පන්තියේ වෙනස අන්න එහෙමයි විජේසෝම මහත්තයා සිතුවම් කරලා තිබුනේ .
තමන්ගේ ජිවිතේ අවසන් කාලය තෙක් කාටූන් අඳිමින් 1947-2005 කාල සීමාව පුරාවට දැඩි සමාජ බලපෑමක් කරපූ විජේසෝම මහත්තයා ගැන මගේ මතකය අලූත් උනේ නාලක එක්ක සුමනපාල Assianmirror ට කරපූ පෝඩ්කාස්ට් එකෙන්. ඒකෙදි නාලක කියනවා විජේසෝම මහත්තයාහේ 100 වෙනි ජන්ම දිනය මේ අවුරුද්දේ යෙදෙනවා කියලා.
කුඩා ශරීරයක් ඇතුළේ මහා පරිකල්පනයක් දරා සිටි මට කිසිදිනක හමුනොවූ විජේ රූපගේ විජේසෝම වෙනුවෙන් මේ වචන දහය ආදරයෙන් ලියා තබමි.
මනුජය තෙන්නකෝන්
2025-04-28.
Comments
Post a Comment