Skip to main content

Ninh binh බලා බයිසිකලයෙන්

  හැනෝයි ඉදන් Ninh binh එන අතර එක තැනක බස් එක නවත්වනවා. ඒක ඒ පාරේ යන හැම සංචාරක බස් රථයක්ම කරන දෙයක්. මෙතන තියෙන්නේ උණ ශාකයෙන් කරන නිෂ්පාදන අඩංගු ප්‍රදර්ශන කුටියක්. කුටියක් කීවට 6'10 '  කුටියකට වඩා විශාල කර්මාන්තශාලාවක්. සංචාරකයන්ට උණ ශාකයෙන් සිදු කරන නිෂ්පාදන පිළිබඳ අදහසක් ගන්න වගේම ඒ නිෂ්පාදන මිලදි ගන්නත් මෙතන ඉඩකඩ තියනවා. මේ වගේම මුහුදු බෙල්ලන්ගෙන් කරන නිෂ්පාදන ආයතනයක් හාලෝන් බේ (Halong bay ) යන පාරෙත් තියනවා.


මේ කණු දෙකෙන් නිරූපණය කරන්නේ ජලය සහ ගින්දරලු. ටෑම් තමා මටත් කීවේ.


අපේ කණ්ඩායමේ උන්නූ මේරි තමන්ගේ ඇමෙරිකාවේ ජිවත්වෙන අම්මට කියලා උණ කෙඳි භාවිතයෙන් හදන තුවායක් මිලදි ගත්තා. මම මොකුත් මිලදි නොගෙන  එයාලගේ රසකැවිල්ලක් කටේ දාගෙන ප්‍රදර්ශන කුටිය වටේ පොඩි රවුමක් දැම්මා. මම කලින් දවසේ හැනෝයි කඩපිල්වල කරක් ගැහූව නිසා වියට්නාමේ සාමාන්‍ය රෙදිපිළි වල මිල ගැන යම් අදහසක් මට තිබුනා. ඒත් මෙතන තිබුන භාණ්ඩ ඒ වගේ එළිමහනේ විකුණන භාණ්ඩවලට වඩා බොහෝම වැඩි මිලක් නියම වෙලා තිබුනා. ඒකට හේතුව මේ නිෂ්පාදනවල තියෙන දූලබ බව සහ නිෂ්පාදන කාර්‍යේ  සංකීර්ණත්වය කියලා, ලස්සන හිනාවක් මුණේ අලවගෙන උන්නු වියට්නාම් කතක් මේරිට කියනවා මම කොණක ඉදම් අහගෙන උන්නා. 


අනෙක් හැමෝම  එන්න කලින් මම එළියට එනකොට ටෑම් සිගරට්ටුවකුත් පත්තු කරගෙන සාම්ප්‍රදායික වියට්නාම් ග්‍රීන් ටී එකක් බොනවා. Ninh bing වලට තම කොච්චර දූරක්ද අහනකොට එයා සිගරට් එක රැදෙන අතෙන්ම දබරඟිල්ල පෙන්නූවා. එයා කීවා වගේම පැයකින් අපි උතුරු වියට්නාමේ පැරණිම රාජවංශය තමන්ගේ අවසාන රාජධානිය විදියට සලකපු Ninh binh වලට සැපත් උනා. සාමන්‍යෙන් හැනෝයි පරිසරයට වඩා සෞමය බවක් Ninh bing පරිසරයේ තිබුනා. ඒක Sapa තරම් සනීප නොවුනත් හැම තැනක ගහකොළ තිබුන නිසා ලංකාව වගේම නේද කියලා මටම හිතුනා. 


Ninh binh  වල පළවෙනි ගමනට අපි හැමෝටම මවුන්ටන් බයිසිකලය ගානේ දූන්නා. හුළං නොයන , චේන් එක නොපනින , හොඳ තත්වයේ බයිසිකලයක් හොයා ගන්න කියලා ටෑම් අපි හැමෝටම විනාඩි පහක් දුන්නා. බ්‍රසීල ජාතික වයෝවෘද පවුල් දෙකක් ඇරෙන්න අනෙක් හැමෝම බයිසිකල් රයිඩ් එකකට කැමැති උනා. කොටින්ම බෙල්ජියමෙන් ආපූ විශ්‍රාමික විදුහල්පතිනියත් ඉස්සරහ මල් කූඩයක් තියෙන බයිසිකලයක් තෝරගෙන පරිස්සමෙන් පැදගෙන යන්න පටන් ගත්තා. අපේ නඩයම ටෑම් පිටිපස්සෙන් Ninh binh  රජ මාළිගාව බලන්න යන ගමන පිටතින් පින්තූරයක් ගත්තානම් බොහෝම ලස්සන වෙන්න තිබ්බා. තැඹිළි පාට බයිසිකල් උඩ  එකට එකක් වෙනස් ශරිර වර්ණ උරුම , මහද්වීප තුනක විතර සංකලනයක් තනි වියට්නාම් පාපැදිකරුවෙක් පිටිපස්සේ වැටිලා යන එකම දර්ශනීය නැද්ද ?? 


පැය භාගෙක බයිසිකල් රයිඩ් එකේ ටෑම් අපි ට එක විවේකයක් වත් දුන්නේ නෑ. ඒ හින්දම Ninh binh මාළිගාව ළඟට ඇවිත් ටෑම් මේ ස්ථානයේ වැදගත්කම පැහැදිලි කරන අතරේ අපි හැමෝම ගැඹුරු හුස්ම පිටකරා. ඒ අතරේ විස්තර පත්‍රිකාවල තියෙන විස්තරත් මම නම් එහෙන් මෙහෙන් කියවන්න පටන් ගත්තා  . ටෑම්ට අනූව උතුරු වියට්නාමයට දරුනු චීන ආක්‍රමණ එල්ල වෙන්න පෙර ඔවුන්ගේ රාජ්‍යත්වය තහවුරුවුනේ මේ බිම් කඩෙන්ලූ. ඒත් පස්සේ කාලෙක මහ නගරය විදියට හැනෝයි පත්වුනාම , Ninh binh ගැන තිබ්බ උනන්දූව අඩූවුනාලු. 

මේ අවට බොහෝ දෙනෙක් සංචාරක කර්මාන්තය මත පදනම් වුනාට ඒ හැමකෙනෙක්ගෙම ජාන ඇතුළේ දුවන්නේ ගොවිතැන කියලා ටෑම් හිනාවෙවි කියනවා. ඒ හිනාව ඇතුළෙම ,මම රාජධානියේ හැම අස්සක් මූල්ලම පීරන්න ගත්තා.පොළොන්නරුවේ රාජධානි තරම් අතිවිශාල නොවුනත් වියට්නාම් ගෘහනිර්මාන ශිලිපයේ ඔවුන්ටම ආවේණික සරල බවක් තිබූනා  ඒක තමන්ගේ අසල්වැසියා වුනූ මහා රතු චීනයෙන් ආ බවට සැකයක් නැහැ. 

අනෙක් වැදගත් කතාව රාජධානිය නිර්මාණයේදි ඔවුන් ආගමික නැඹුරුතාව සලකලා තිබුනා. අපි ලංකාවේ හරි ඉන්දියාවේ හරි නොදකින ඒත් ටිකාක් සමාන බුදු පිළිම කිහිපයකුත් දැකගන්න අමාරු උනේ නැහැ. 


ආපහු ගමන ඉක්මනින්ම උනේ බයිසිකල් රයිඩ් එකෙන් අපි හැමෝම හෙම්බත්වෙලා හිටිය නිසාම වෙන්න ඇති. Ninh binh වල ප්‍රධානතම ආපනශාලාවක අපි හැමෝටම කෑම ලෑස්තිකරලා තිබුනා. ටෑම් අපිට කාලා එන්න කියලා තවත් සිගරට් එකක් පත්තු කරගෙන පුටුවකට බර උනා. මමත් Ninh binh වලටම ආවේණික එළු මස් ව්‍යෑංජනයක් එක්ක බුෆේ එකේ එහට මෙහෙට තුන් පාරක් විතර ඇවිදලා බඩ පුරව ගත්තා.  කෑමට එහායින් වියට්නාමයටම ආවේනික බියර් වීදුරුවක් තියලා තිබුනේ කෑමට පසූ කියලා හිතලා , ඒකත් අහවර කරලා මම ටෑම් ළඟට ආවා.


මිළඟ කොටස : කකුල් දෙකේ ඔරු පාරු සහ කඳු නැගිම 

Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...