Skip to main content

කකුල් දෙකේ බෝට්ටුවක්

 වියට්නාමේ සංචාරක කර්මාන්තේ වැඩ කරන්නේ සරල විදියට. මූලික අණ පනත් ටික වගේම සීමා මායිම් ආණ්ඩුවෙන් හෝ සංචාරක කටයුතු අමාත්‍යයංශ වලින් සපයනවා. එතනින් එහාට වැඩේ වියට්කොම්වරු කරගෙන යනවා.  

    

හොඳම උදාහරණේ Ninh binh සංචාරේ තුන්වෙනි නැවතුම  වුනු Tam Coc සහ Mua cave බෝට්ටූ සවාරිය.  මම මුලිනූත් කීවා වගේ මේ Ninh binh පැත්තේ බොහෝමයක් හුණු ගල් පර්වත වගේම , හුණුගල් කුහර   ස්භාවිකවත් මනුෂ්‍යය ක්‍රියාකාරකම් නිසාත් බිහිවෙලා තියෙනවා. ( සිමෙන්ති කර්මාන්තයට අවශ්‍යය හුණුගල් ගන්න මහා පරිමාණෙන් කැණීම් සිද්ධ වෙනවා. )

දැන් කවදාවත් වියට්නාම් ආණ්ඩූව ඇවිත් මේ බෝට්ටූ පාට කරන්න , රාජ්‍ය ලාංඡන ගහන්න වගේ සිල්ලර වැඩ කරන්නේ නෑ. බෝට්ටූ පදවන්නන්ට නියමිත කරපූ මුදලක් තියෙනවා . ඒ හැර ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය තමන්ගේ කුසලතාවෙන් කරගෙන යන්න ඉඩදීලා තියනවා. උදාහරණයකට ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගන්න පුලුවන් උනොත් තමන්ගේ බෝට්ටූවේ ආදායම වැඩි කරගන්න එයාලට පුළුවන්.අන්න ඒ වගේ !!  


හැබැයි ඒ අවට පිරිසිදු බව , වැසිකිළි කැසිකිළි පහසුකම් . අන්න ඒ දේවල් ආණ්ඩුවෙන් අධීක්ෂණය කරනවා. අන්න ඒකට තමා සීමා මායිම් එක්ක සංචාරක ව්‍යාපාරය කරවනවා කියන්නේ. 


මේ එක්කම මම බෝට්ටූ සවාරිය ගැනත් විස්තරයක් ගළපන්නම්කො. බෝට්ටූවට උපරිම තුන්දෙනයි. තොටියා එක්ක හතරයි. අපේ බෝට්ටූවට ගොඩ උනේ බෙල්ජීයම් වලින් ආව විශ්‍රාමික විදුහල්පතිනියයි , එක්සත් ජනපදයේ ඉපදිලා දැන් මෙල්බර්න්වල රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන මේරියි . හදවතින්ම ලාංකික මමයි.  


ගමන යන්න කලින් පොඩි පෝළිමක් තියනවා. හවස තුන වගේ වෙලාවට මෙතන සෙනග වැඩී බෝට්ටූවක් ගන්න.බෝට්ටුවක් එනකන් එතන පරණ හෝචූ මිංගේ සාම්පලේ අත්තලා වගයක් දාම් වගෙ සෙල්ලමක් සෙල්ලම් කරනවා මම බලාගෙන හිටියා. සෙල්ලම මැදින් සැර දුම්කොළ පුරවපූ සිගරට් දෙක තුනක් පිච්චෙනවා . ඒ සැර සිගරට් එකක් රස බලන්න ඕන කියලා මමත් කල්පනා කරා. 


 ගමනට විනාඩි 40 . ලස්සනම දේ තොටියා ( අපට නම් උන්නේ  දිරිමත් වියට්නාම් කතක්)  හබලක් නැතුව කකුල් දෙකෙන් මේ බෝට්ටූව පදවන එක. එයා ජංගමයාගෙන් කාට හරි කතා කරන ගමන් කකුල් දෙකට දුන්න රාජකාරිය නිසා බෝට්ටූව හුණුගල් මැදින් , කුඹුරු මැදින් වගේම Ninh binh මකර කන්දට  ආසන්නෙන් ගමන් කරා. 


 ඒ අතර අපිත් කතාවකට වැටුනා. මම බෙල්ජියම් විදුහල්පතිනියගෙන් ඇහූවා රොමේරෝ ලූකාකූ ගැනයි වෙස්ලි ස්නයිඩර් ගැනයි ඒඩන් හසාර්ඩ් ගැනයි ඇහූවා.මේ ඉන්දියාවේ කොණක හාල් ඇටයක් වගේ  ඉන්න අපිත් බෙල්ජියමේ පාපන්දූ තරු දන්නවා නේද කියලා අහලා එයාට පුදුම හිතුනා. මේරි ඒ අස්සේ ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අහලා තිබුනා. මම මේරිටයි , බෙල්ජියම් විශ්‍රාමික විදුහල්පතිනියටයි දෙන්නටම

 " මේ රට කෑවේ මිනිස්සූ නෙවෙයි දේශපාලකයෝ " 

කියලා විස්තර ඇතුව කීවා. 

ඒක අහන් උන්නූ Economics ගැන master's  එකකුත් තියෙන බෙල්ජියම් විදුහල්පතිනිය "මනූ හැම තැනම දේශපාලකයෝ  එහෙම තමයි කියලා " 

"Manu , that's how they are " මට කියලා දුන්නා. 


මකර කන්ද උඩින් දවසේ වැඩ ඉවර කරලා නින්දට යන ඉර , Mua cave අවට තව තවත් කලූවර කරනකොට අපි බෝට්ටූ සවාරියේ අවසානයට ආවා. බෝට්ටූ පාර දෙපැත්තේ ඈත කොණකටම විහිදෙන කුඹුරුවලින් වියට්නාම් ගෙවිලියෝ ගොඩවෙනවත් එක්කම අපිත් බෝට්ටූවලින් එළියට පැන්නා. බෝට්ටූව හෙලවෙන නිසා අපි හැමෝම ගොඩවෙනකන් ඔරුකාරිය බෝට්ටූ බඳ තදින් අල්ලගෙන හිටියා. 


ස්තුති කියලා යන්න හදනකොට එයා අපෙන් සන්තෝසමක් ඉල්ලුවා. අපි තුන්දෙනාම බෝට්ටූ සවාරියේ ප්‍රීතියෙන් සන්තර්පණය වෙලා උන්නූ නිසා වියට්නාම් Dong 1000 ගානේ තුන්දාහක් දූන්නා. එයා අපේ දිහාවත් නොබලා මොනවාදො මුමුණන ගමන් සල්ලිත් නොගෙන පිටත් වුනා. 


මේ සිද්ධවුනු කතාව මම පස්සේ දවසක Sapa නගරෙ මගේ සංචාරක මඟපෙන්වන්නිය උනු Ha ට කීවා. එයා හිනාවෙන ගමන් මට කීව්වේ, 


"එයා ඔයාලට ගැහූවේ නැති එකමයි හොඳ කියලා." 


"ඇයි ඒ ?? " ඒ මම 


"ඒ මනුස්සයට ඕකෙන් ලොසිංජර් එකක්වත් ගන්න බෑ." 


Ha  හොරණෑ හඬක් වගේ එයාගේ හිනාව මැදින් ඒ වචන ටික කීවා.


(වියට්නාම් මුදල බොහෝමයක් අවප්‍රමාණ වී තිබිම මේකට හේතුව )



Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...