Sunday, 24 November 2024

කකුල් දෙකේ බෝට්ටුවක්

 වියට්නාමේ සංචාරක කර්මාන්තේ වැඩ කරන්නේ සරල විදියට. මූලික අණ පනත් ටික වගේම සීමා මායිම් ආණ්ඩුවෙන් හෝ සංචාරක කටයුතු අමාත්‍යයංශ වලින් සපයනවා. එතනින් එහාට වැඩේ වියට්කොම්වරු කරගෙන යනවා.  

    

හොඳම උදාහරණේ Ninh binh සංචාරේ තුන්වෙනි නැවතුම  වුනු Tam Coc සහ Mua cave බෝට්ටූ සවාරිය.  මම මුලිනූත් කීවා වගේ මේ Ninh binh පැත්තේ බොහෝමයක් හුණු ගල් පර්වත වගේම , හුණුගල් කුහර   ස්භාවිකවත් මනුෂ්‍යය ක්‍රියාකාරකම් නිසාත් බිහිවෙලා තියෙනවා. ( සිමෙන්ති කර්මාන්තයට අවශ්‍යය හුණුගල් ගන්න මහා පරිමාණෙන් කැණීම් සිද්ධ වෙනවා. )

දැන් කවදාවත් වියට්නාම් ආණ්ඩූව ඇවිත් මේ බෝට්ටූ පාට කරන්න , රාජ්‍ය ලාංඡන ගහන්න වගේ සිල්ලර වැඩ කරන්නේ නෑ. බෝට්ටූ පදවන්නන්ට නියමිත කරපූ මුදලක් තියෙනවා . ඒ හැර ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය තමන්ගේ කුසලතාවෙන් කරගෙන යන්න ඉඩදීලා තියනවා. උදාහරණයකට ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගන්න පුලුවන් උනොත් තමන්ගේ බෝට්ටූවේ ආදායම වැඩි කරගන්න එයාලට පුළුවන්.අන්න ඒ වගේ !!  


හැබැයි ඒ අවට පිරිසිදු බව , වැසිකිළි කැසිකිළි පහසුකම් . අන්න ඒ දේවල් ආණ්ඩුවෙන් අධීක්ෂණය කරනවා. අන්න ඒකට තමා සීමා මායිම් එක්ක සංචාරක ව්‍යාපාරය කරවනවා කියන්නේ. 


මේ එක්කම මම බෝට්ටූ සවාරිය ගැනත් විස්තරයක් ගළපන්නම්කො. බෝට්ටූවට උපරිම තුන්දෙනයි. තොටියා එක්ක හතරයි. අපේ බෝට්ටූවට ගොඩ උනේ බෙල්ජීයම් වලින් ආව විශ්‍රාමික විදුහල්පතිනියයි , එක්සත් ජනපදයේ ඉපදිලා දැන් මෙල්බර්න්වල රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන මේරියි . හදවතින්ම ලාංකික මමයි.  


ගමන යන්න කලින් පොඩි පෝළිමක් තියනවා. හවස තුන වගේ වෙලාවට මෙතන සෙනග වැඩී බෝට්ටූවක් ගන්න.බෝට්ටුවක් එනකන් එතන පරණ හෝචූ මිංගේ සාම්පලේ අත්තලා වගයක් දාම් වගෙ සෙල්ලමක් සෙල්ලම් කරනවා මම බලාගෙන හිටියා. සෙල්ලම මැදින් සැර දුම්කොළ පුරවපූ සිගරට් දෙක තුනක් පිච්චෙනවා . ඒ සැර සිගරට් එකක් රස බලන්න ඕන කියලා මමත් කල්පනා කරා. 


 ගමනට විනාඩි 40 . ලස්සනම දේ තොටියා ( අපට නම් උන්නේ  දිරිමත් වියට්නාම් කතක්)  හබලක් නැතුව කකුල් දෙකෙන් මේ බෝට්ටූව පදවන එක. එයා ජංගමයාගෙන් කාට හරි කතා කරන ගමන් කකුල් දෙකට දුන්න රාජකාරිය නිසා බෝට්ටූව හුණුගල් මැදින් , කුඹුරු මැදින් වගේම Ninh binh මකර කන්දට  ආසන්නෙන් ගමන් කරා. 


 ඒ අතර අපිත් කතාවකට වැටුනා. මම බෙල්ජියම් විදුහල්පතිනියගෙන් ඇහූවා රොමේරෝ ලූකාකූ ගැනයි වෙස්ලි ස්නයිඩර් ගැනයි ඒඩන් හසාර්ඩ් ගැනයි ඇහූවා.මේ ඉන්දියාවේ කොණක හාල් ඇටයක් වගේ  ඉන්න අපිත් බෙල්ජියමේ පාපන්දූ තරු දන්නවා නේද කියලා අහලා එයාට පුදුම හිතුනා. මේරි ඒ අස්සේ ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අහලා තිබුනා. මම මේරිටයි , බෙල්ජියම් විශ්‍රාමික විදුහල්පතිනියටයි දෙන්නටම

 " මේ රට කෑවේ මිනිස්සූ නෙවෙයි දේශපාලකයෝ " 

කියලා විස්තර ඇතුව කීවා. 

ඒක අහන් උන්නූ Economics ගැන master's  එකකුත් තියෙන බෙල්ජියම් විදුහල්පතිනිය "මනූ හැම තැනම දේශපාලකයෝ  එහෙම තමයි කියලා " 

"Manu , that's how they are " මට කියලා දුන්නා. 


මකර කන්ද උඩින් දවසේ වැඩ ඉවර කරලා නින්දට යන ඉර , Mua cave අවට තව තවත් කලූවර කරනකොට අපි බෝට්ටූ සවාරියේ අවසානයට ආවා. බෝට්ටූ පාර දෙපැත්තේ ඈත කොණකටම විහිදෙන කුඹුරුවලින් වියට්නාම් ගෙවිලියෝ ගොඩවෙනවත් එක්කම අපිත් බෝට්ටූවලින් එළියට පැන්නා. බෝට්ටූව හෙලවෙන නිසා අපි හැමෝම ගොඩවෙනකන් ඔරුකාරිය බෝට්ටූ බඳ තදින් අල්ලගෙන හිටියා. 


ස්තුති කියලා යන්න හදනකොට එයා අපෙන් සන්තෝසමක් ඉල්ලුවා. අපි තුන්දෙනාම බෝට්ටූ සවාරියේ ප්‍රීතියෙන් සන්තර්පණය වෙලා උන්නූ නිසා වියට්නාම් Dong 1000 ගානේ තුන්දාහක් දූන්නා. එයා අපේ දිහාවත් නොබලා මොනවාදො මුමුණන ගමන් සල්ලිත් නොගෙන පිටත් වුනා. 


මේ සිද්ධවුනු කතාව මම පස්සේ දවසක Sapa නගරෙ මගේ සංචාරක මඟපෙන්වන්නිය උනු Ha ට කීවා. එයා හිනාවෙන ගමන් මට කීව්වේ, 


"එයා ඔයාලට ගැහූවේ නැති එකමයි හොඳ කියලා." 


"ඇයි ඒ ?? " ඒ මම 


"ඒ මනුස්සයට ඕකෙන් ලොසිංජර් එකක්වත් ගන්න බෑ." 


Ha  හොරණෑ හඬක් වගේ එයාගේ හිනාව මැදින් ඒ වචන ටික කීවා.


(වියට්නාම් මුදල බොහෝමයක් අවප්‍රමාණ වී තිබිම මේකට හේතුව )



Thursday, 14 November 2024

උතුරේ පණිවිඩය

EPDP එකේ කතිරවේලූ දේවානන්ද එහෙම නැත්නම් ඩග්ලස් දේවානන්දන් , අවුරුදු තිහකට පස්සේ තමන්ගේ දියවන්නා පරීක්ෂණය අසමත් වෙලා තියනවා .


 ප්‍රභාකරන්ටත් දහ වතාවක් උත්සහ කරලත් ඝාතනය කරගන්න  බැරි උනු ඩග්ලස් නියොජනය කරේ විග්නේෂ්වරන්ගේ පසුබිම සහිත උතුරේ  ජනතාව නොවුනත් තමන්ගේ දේශපාලනය ආරම්භය උනු EROS ( Elam Revoulutionary Organization of Students )  , එතැනින් EPRLF ( Elam pepole's revoulutionary  liberation front )  , EPRLF  එකේ සන්නද්ධ අංශයත් , අන්තිමට තමන්ම EPRLF ගෙන් විඛණ්ඩය වෙලා හදපු EPDP පක්ෂයත් ඇතුළේත් , තමන්ගේ ත්‍රාඩ දේශපාලනය මුදාහරිමින් දිගින් දිගටම කටයුතු කරපු  දේවානන්දව උතුරේ ජනතාවම නිහඬ කරවලා තියනවා.  


ඔහු උතුරට තඹ දොයිතුවක දෙයක්වත් , උතුරේ පීඩීත ජනතාවගේ ජිවිතය අඟලකින් හරි ඉහළට දාන්න සුළු හෝ උත්සහයක් නොදැරුවත් , පත්වන පත්වන ආණ්ඩුවල උතුරේ සුරතලා වුනේ ඔහු. මුලින්ම 94 චන්ද්‍රිකාගේ විජයග්‍රාහි ආණ්ඩුවෙත් ,  රාජපක්ෂගේ  ආණ්ඩුවෙත් , 2015 බලයට පැමිණි  සිරිසේන යටතේත් , අවසානයට ගෝඨාභය යටතේ සහ ගෝඨාභයගේ පලායෑමෙන් අනුප්‍රාප්තික ජනාධිපති වූ වික්‍රමසිංහ යටතේත් දේවානන්ද කටයුතු කළා. 


මේ ඡන්දය තුළින් දකුණේ බොහෝමයක් ත්‍රාඩ නූගතුන් ගෙදර යවා ඇති අතර , උතුරේ ජනතාවත් ඒ ආකාරයෙන්ම තමන්ගේ නායකයන්යැයි කියාගන්නා මෙවැනි දේශපාලන  තක්කඩින් ගෙදර යැවිම අතිශයින්ම තීර්ණාත්මක තීන්දුවකි. මා තවමත් නුවරඑලියේ මනාප ප්‍රතිඵලය නොදැක ඇති හෙයින්. එයිනුත් මේ හා සමානව නොවුනත් දිගම්භරන් සහ තොණ්ඩමන්ව අකර්මණය කිරිම අනිවාර්‍ය වෑයමකි.

 මා දකුණේ මනුෂ , මීගමුවේ ලන්සා , බදුල්ලේ හරින් වැන්නවුන් කොට්ට පිලෙනුත් බිමට වැටිමට වඩා උතුරේ සහ නැගෙනහිර මේ විපර්‍යාසය ආකර්ෂණීය වන්නේ , සෑම ජන කොටසක්ම තමන්ගේ ජාතිකවාදි කඳවුරෙන් ඉවතට පැමිණ පොදු අරමුණකට පෙළගැසිමේ වැදගත්කම දන්නා නිසයි. 


එයින් ලබාදෙන පණිවිඩය ඉදිරි වසර පහේ ආණ්ඩූ කරවිමෙදිත් මතක තබාගැනිම ජනාදිපති අනුර සතු වගකීමකි.

Sunday, 10 November 2024

Ninh binh බලා බයිසිකලයෙන්

  හැනෝයි ඉදන් Ninh binh එන අතර එක තැනක බස් එක නවත්වනවා. ඒක ඒ පාරේ යන හැම සංචාරක බස් රථයක්ම කරන දෙයක්. මෙතන තියෙන්නේ උණ ශාකයෙන් කරන නිෂ්පාදන අඩංගු ප්‍රදර්ශන කුටියක්. කුටියක් කීවට 6'10 '  කුටියකට වඩා විශාල කර්මාන්තශාලාවක්. සංචාරකයන්ට උණ ශාකයෙන් සිදු කරන නිෂ්පාදන පිළිබඳ අදහසක් ගන්න වගේම ඒ නිෂ්පාදන මිලදි ගන්නත් මෙතන ඉඩකඩ තියනවා. මේ වගේම මුහුදු බෙල්ලන්ගෙන් කරන නිෂ්පාදන ආයතනයක් හාලෝන් බේ (Halong bay ) යන පාරෙත් තියනවා.


මේ කණු දෙකෙන් නිරූපණය කරන්නේ ජලය සහ ගින්දරලු. ටෑම් තමා මටත් කීවේ.


අපේ කණ්ඩායමේ උන්නූ මේරි තමන්ගේ ඇමෙරිකාවේ ජිවත්වෙන අම්මට කියලා උණ කෙඳි භාවිතයෙන් හදන තුවායක් මිලදි ගත්තා. මම මොකුත් මිලදි නොගෙන  එයාලගේ රසකැවිල්ලක් කටේ දාගෙන ප්‍රදර්ශන කුටිය වටේ පොඩි රවුමක් දැම්මා. මම කලින් දවසේ හැනෝයි කඩපිල්වල කරක් ගැහූව නිසා වියට්නාමේ සාමාන්‍ය රෙදිපිළි වල මිල ගැන යම් අදහසක් මට තිබුනා. ඒත් මෙතන තිබුන භාණ්ඩ ඒ වගේ එළිමහනේ විකුණන භාණ්ඩවලට වඩා බොහෝම වැඩි මිලක් නියම වෙලා තිබුනා. ඒකට හේතුව මේ නිෂ්පාදනවල තියෙන දූලබ බව සහ නිෂ්පාදන කාර්‍යේ  සංකීර්ණත්වය කියලා, ලස්සන හිනාවක් මුණේ අලවගෙන උන්නු වියට්නාම් කතක් මේරිට කියනවා මම කොණක ඉදම් අහගෙන උන්නා. 


අනෙක් හැමෝම  එන්න කලින් මම එළියට එනකොට ටෑම් සිගරට්ටුවකුත් පත්තු කරගෙන සාම්ප්‍රදායික වියට්නාම් ග්‍රීන් ටී එකක් බොනවා. Ninh bing වලට තම කොච්චර දූරක්ද අහනකොට එයා සිගරට් එක රැදෙන අතෙන්ම දබරඟිල්ල පෙන්නූවා. එයා කීවා වගේම පැයකින් අපි උතුරු වියට්නාමේ පැරණිම රාජවංශය තමන්ගේ අවසාන රාජධානිය විදියට සලකපු Ninh binh වලට සැපත් උනා. සාමන්‍යෙන් හැනෝයි පරිසරයට වඩා සෞමය බවක් Ninh bing පරිසරයේ තිබුනා. ඒක Sapa තරම් සනීප නොවුනත් හැම තැනක ගහකොළ තිබුන නිසා ලංකාව වගේම නේද කියලා මටම හිතුනා. 


Ninh binh  වල පළවෙනි ගමනට අපි හැමෝටම මවුන්ටන් බයිසිකලය ගානේ දූන්නා. හුළං නොයන , චේන් එක නොපනින , හොඳ තත්වයේ බයිසිකලයක් හොයා ගන්න කියලා ටෑම් අපි හැමෝටම විනාඩි පහක් දුන්නා. බ්‍රසීල ජාතික වයෝවෘද පවුල් දෙකක් ඇරෙන්න අනෙක් හැමෝම බයිසිකල් රයිඩ් එකකට කැමැති උනා. කොටින්ම බෙල්ජියමෙන් ආපූ විශ්‍රාමික විදුහල්පතිනියත් ඉස්සරහ මල් කූඩයක් තියෙන බයිසිකලයක් තෝරගෙන පරිස්සමෙන් පැදගෙන යන්න පටන් ගත්තා. අපේ නඩයම ටෑම් පිටිපස්සෙන් Ninh binh  රජ මාළිගාව බලන්න යන ගමන පිටතින් පින්තූරයක් ගත්තානම් බොහෝම ලස්සන වෙන්න තිබ්බා. තැඹිළි පාට බයිසිකල් උඩ  එකට එකක් වෙනස් ශරිර වර්ණ උරුම , මහද්වීප තුනක විතර සංකලනයක් තනි වියට්නාම් පාපැදිකරුවෙක් පිටිපස්සේ වැටිලා යන එකම දර්ශනීය නැද්ද ?? 


පැය භාගෙක බයිසිකල් රයිඩ් එකේ ටෑම් අපි ට එක විවේකයක් වත් දුන්නේ නෑ. ඒ හින්දම Ninh binh මාළිගාව ළඟට ඇවිත් ටෑම් මේ ස්ථානයේ වැදගත්කම පැහැදිලි කරන අතරේ අපි හැමෝම ගැඹුරු හුස්ම පිටකරා. ඒ අතරේ විස්තර පත්‍රිකාවල තියෙන විස්තරත් මම නම් එහෙන් මෙහෙන් කියවන්න පටන් ගත්තා  . ටෑම්ට අනූව උතුරු වියට්නාමයට දරුනු චීන ආක්‍රමණ එල්ල වෙන්න පෙර ඔවුන්ගේ රාජ්‍යත්වය තහවුරුවුනේ මේ බිම් කඩෙන්ලූ. ඒත් පස්සේ කාලෙක මහ නගරය විදියට හැනෝයි පත්වුනාම , Ninh binh ගැන තිබ්බ උනන්දූව අඩූවුනාලු. 

මේ අවට බොහෝ දෙනෙක් සංචාරක කර්මාන්තය මත පදනම් වුනාට ඒ හැමකෙනෙක්ගෙම ජාන ඇතුළේ දුවන්නේ ගොවිතැන කියලා ටෑම් හිනාවෙවි කියනවා. ඒ හිනාව ඇතුළෙම ,මම රාජධානියේ හැම අස්සක් මූල්ලම පීරන්න ගත්තා.පොළොන්නරුවේ රාජධානි තරම් අතිවිශාල නොවුනත් වියට්නාම් ගෘහනිර්මාන ශිලිපයේ ඔවුන්ටම ආවේණික සරල බවක් තිබූනා  ඒක තමන්ගේ අසල්වැසියා වුනූ මහා රතු චීනයෙන් ආ බවට සැකයක් නැහැ. 

අනෙක් වැදගත් කතාව රාජධානිය නිර්මාණයේදි ඔවුන් ආගමික නැඹුරුතාව සලකලා තිබුනා. අපි ලංකාවේ හරි ඉන්දියාවේ හරි නොදකින ඒත් ටිකාක් සමාන බුදු පිළිම කිහිපයකුත් දැකගන්න අමාරු උනේ නැහැ. 


ආපහු ගමන ඉක්මනින්ම උනේ බයිසිකල් රයිඩ් එකෙන් අපි හැමෝම හෙම්බත්වෙලා හිටිය නිසාම වෙන්න ඇති. Ninh binh වල ප්‍රධානතම ආපනශාලාවක අපි හැමෝටම කෑම ලෑස්තිකරලා තිබුනා. ටෑම් අපිට කාලා එන්න කියලා තවත් සිගරට් එකක් පත්තු කරගෙන පුටුවකට බර උනා. මමත් Ninh binh වලටම ආවේණික එළු මස් ව්‍යෑංජනයක් එක්ක බුෆේ එකේ එහට මෙහෙට තුන් පාරක් විතර ඇවිදලා බඩ පුරව ගත්තා.  කෑමට එහායින් වියට්නාමයටම ආවේනික බියර් වීදුරුවක් තියලා තිබුනේ කෑමට පසූ කියලා හිතලා , ඒකත් අහවර කරලා මම ටෑම් ළඟට ආවා.


මිළඟ කොටස : කකුල් දෙකේ ඔරු පාරු සහ කඳු නැගිම 

Thursday, 7 November 2024

වියට්නාමයෙන් සතියක්

 "හැනෝයි කියලා මේ නගරෙට ඔයාලා කීවට අපි නම් කියන්නේ Hanoisee කියලා. "

මේ හැම කන්දක්ම හූණුගල් කන්දක්


මිලියන 6.1 යතුරුපැදි තියෙන හැනෝයි නගරය ගැන මගේ සංචාරක උපදේශකයා කීවේ එහෙමයි. ,ටෑම් !! අනෙක් වියට්නාම් ජාතිකයන්ට වඩා ටිකාක් උස උනත් කඩිසර හාදයෙක් .(මට ඒක නම් හිතුනේ Ninh binh වලදි තනි පැඩල් එකක බයිසිකලයක් පදිනවා දැකලා ) . අවුරුදු 35 විතර ඇති. ඉංග්‍රීසී  කතා කරන සංචාරකයෝ එක්ක බොහෝම ඉක්මනින් කුලුපඟ වෙන්න පුලුවන් උන නිසා එයාව අපි හැමෝටම අල්ලලා ගියා.  ටෑම් කොච්චර හිතට ඇල්ලුවාද කියනව නම් අපේ සංචාරක කණ්ඩායමේ උන්නූ බෙල්ජියම් ජාතික විශ්‍රාමික විදුහල්පතිනියට ,ටෑම් නොදැකම ඉන්න බැරි ගාණට ආවා .


ටෑම් මාව හැනෝයිවල Little diamond හොටෙල් එකෙන් ගන්න ඕන වෙලාව උදේ 7:15 උනත් එයා 7:00 ආවා. ඒත් එයා එනකොට මම තම්බපු බිත්තරයක් කටේ ඔබාගෙන  උදේ කෑම ගන්නවා දැකලා මට සුබ උදෑසනක් කියලා අනෙක් සංචාරක කණ්ඩායම් ටික එකතු කරගන්න  පිටත් උනා. මම වියට්නාම් බිත්තර කෝපි එකක් බිලා නිවිහැනහිල්ලේ ඉන්නකොට ටෑම් ඇවිත්  මගේ බෑග් එක අතට ගත්තා. 


Hanoi ඉදන් nihnh binh යනකන් පැය එකයි විනාඩි 45 පුරාවට සැරෙන් සැරේ ටෑම් ඇවිත් 

විහිළු කතා කියන්නයි , උදේ නිදිමතේ උන්නූ හැමෝවම ප්‍රබෝධයෙන් තියන්නයි පුදුම උත්සහයක් ගත්තා. ටෑම්ගේ වියට්නාම් විහිළුවලට චීලී ජාතික විවාහක යුවළක් ඇරෙන්න අනෙක් හැමෝම හිනා උනා. මං කියවලා තියෙන විදියට හෝචූ මිං කියනව අග්නිදිග ආසියාතිකයො වෙන අපි ,විහිලුවට සමත් ඒ වගේම වැඩටත් හපන්නු කියලා. වියට්නාමේ පියා විදියට හැමොම ගරු කරන චූ මිං බොහෝම නිවැරදි නේද කියලා මටම සනාථ වුනා.


 මේ අතරේ අවුරුදු දහ නමයක් උනත් අඩි හයයි අඟල් තුනක් උස එංගලන්ත ජාතික තරුණයෙකුයි ( එයා කොලේජ් එකේ රගර් ගහන බවත් ,ටීම් එකේ ඕපන් සයිඩ් ෆ්ලෑන්කර එයා බවත් , බස් එක නවත්තපු වෙලාවේ මට කීවා ), එයාට හරියට දකුණෙන් ඉදගෙන උන්නූ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නොවන සංවිධානයකට සේවය කරන මේරි කියන තරුණියයි දෙන්නම අල්ලාප සල්ලාපයක. ඒත් එක්කම සංචාරක බස් රථයේ පිටිපස්සේ ආසනයම අයිතිකරගෙන උන්නු සිංගප්පූරුවෙන් ඇවිත් හිටිය අම්මෙක්ටයි දුවෙක්ටයි වියට්නාම් භාෂාව පුලුවන් උනු නිසා  ටෑම් එයාලට ටිකක් වැඩිපුර විහිළුවක් දෙකක් කරන බව මටත් දැනුනා.


 ටෑම්ගේ හීනී හිනාව ඇතුළෙන් මහා සංස්කෘතියකට  උරුමකන් කියන වියට්නාමේ ,මුහුදු හතක් එකට තියලා ඈදුව තරම් විශාල කුඹුරු යායවල් , හුණු ගල් පර්වත සහ මහා පරිමාණේ සිමෙන්ති කම්හල් දිහා බලාගෙන මම බස් එකේ ජනේලේ ළඟට තව තවත් ළං උනා.


මිළඟ නවාතැන්පොළ :::

Ninh bing හි මකර පර්වතය සහ වියට්නාම් එළු මස් ව්‍යාංජනය 

ඉංග්‍රීසී කොඩිය පෑගීමේ ප්‍රෝඩාව

 උඩරට ගිවිසුම අත්සන් කරන මොහොතේ එවකට අස්ගිරී පාර්ශවයේ භික්ෂූවක් වූ වාරියපොල සුමංගල හිමි ඉංග්‍රීසී ධජය බිම හෙළා සිංහයා සහිත ධජය එසවූ බවට මතිම...