මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.
මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .
සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්වය තියෙන නිසා පංති කිහිපයක්ම ස්ථානගත කරන්න පුළුවන්කමක් තිබුනා. ඒත් මැදින් පංති කාමර එකිනෙක වෙන් කරන්න බිත්ති නොතිබ්බ නිසා ඒකට පාවිච්චි කරේ අඩි පහක් පහ හමාරක් උස ලී බෝර්ඩ්ස් වගයක්.
මේ හින්දම අනෙක් පංතියේ කියන දේ මේ පංතියට බොහොම පැහැදිලිව ඇහෙනවා.හොඳින් බැලුවොත් පේනවා. දැන් අපේ තරුණ ගුරුවරයාගේ ක්‍රියාපිළිවෙත ගැන කතා කරමු. මෙහෙම වෙන් කරපු පංති දෙකක එක පංතියක ඔහු උගන්වනවා , අනෙක් පංතිය නිදහස් කාලඡ්ඡෙදයක් (Free period) ගත කරනවා . නිදහසේ ගත කරනවා කියන්නෙම කතාවක් දාගෙන ඉන්න එකනේ. මොකද නිදහස් කාලඡ්ඡෙදවලත් පොත් දිගැරගෙන හිටියැ අපි. ඉතින් ඔහු කරන්නේ හදිස්සියේම ඇවිත් නිදහස් කාලඡ්ඡෙදය තියෙන පංතියේ කෑකොස්සන් ගසන කොල්ලෝ හතරක් පහක් කනෙන් ඇදගෙන ඔහු උගන්වන පංතියට අරගෙන යන එක. දැන් ආරම්භ වෙන්නේ පැණි පිරුනු තරුණ විද්‍යා ගුරුවරයගේ සංදර්ශනය.
ඒ කොල්ලො හතර දෙනා ඔහු උගන්වන පංතියේ ඉස්සරහ තියාගෙන අපේ භාෂාවෙන් මැඬවිම , ඉංග්‍රීසියෙන් නම් Bullying කරන්න පටන් ගන්නවා. ගැහැණු ළමයින් ඉදිරියේ පවා ( ආ...කියන්න අමතක උනා. ඔව් !! මං ගියේ මිශ්‍ර පාසලකට. ඒ වගේ තැන්වල ගැහැණු ළමයිනුත් ඉන්නවා.) මේ පැණි පිරුනු ගුරුවරයා අර කොල්ලොන්ගේ ආත්මයම දියකරලා හරිනවා. යන්තම් හරි පෞර්ෂයක් ගොඩනගාගෙන තිබ්බ කොල්ලෙක් ඉන්නව නම් ඒ කොල්ලගේ අභිමානය , පෞර්ෂය බිමටම සමතලා කරලා දානවා. එහෙම කරන ගමන් මේ ගුරුවරයා ගුරු මේසෙට හේත්තුවක් දාගෙන , තමන් ඉදිරියේ දියවෙලා ,මිරිකෙන පොඩි කොල්ලෙක් දිහා බලාගෙන අමුතු වින්දනයක් ලබනවා.
මේ සංදර්ශනයේ හොඳම අංගය පටන් ගන්නේ ඊළඟට .
"උඹලා කෑගැහුවා නේද .උඹලට දඬුවම් දෙන්නේ මම නෙවෙයි කියලා".
අර කොල්ලෝ පස්දෙනාම ගැහැණු ළමයි ඉන්න පැත්තට (මිශ්‍රයි කියලා කීවට මේ පාසල්වල කොල්ලේ ඉන්නේ වම් පැත්තේ ,කෙල්ලෝ ඉන්නේ දකුණු පැත්තේ ) අරන් ගිහින් මුල්ම පේළියේ ඉන්න ගැහැණු ළමයි පස්දෙනාට කියනවා ඒ කොල්ලෝ පස්දෙනාට ටොක්කක් ගානේ අනින්න කියලා. දැන් තමන්ගේ සම වයසේ ගැහැණු ළමයි පස්දෙනෙක් ඉස්සරහ ඒ වයසෙම ඒ පංතියේම කොල්ලෝ පස්දෙනෙක් ඔලුව නැමුවම අර කෙල්ලෝ පස්දෙනත් හොඳ ගානට ටොකු පහක් අනිනවා ආය !! මදි නොකියන්න. ටොකු පාරේ වේදනාවට වඩා ලැජ්ජාවේ වේදනාව වැඩි. මේවෙනකොට ගුරුවරයගේ මැඬවිමෙන් ආත්ම ගරුත්වය යාන්තම් හරි බේරගත්ත කොල්ලෙක් ඉන්නව නම් , මේ සිද්ධියෙන් පස්සේ ඒකත් සුනුවිසුණු වෙලා යනවා.
ගුරු භූමිකාවට මුවා වෙලා. ඒ බලතල පාවිච්චි කරගෙන , දරුවන්ගේ කොදු කඩන මෙහෙම ගුරුවරුන්ව ගුරු සේවයෙන්ම පන්නලා දාන්න ඕන. තමන්ගේ ළමා කාලයේ කම්පනයට පත්වුනු (Traumartized) මේ වගේ හීන පෞර්ෂ සහිත මිනිස්සූන්ව හරිනම් ගුරු අභ්‍යාස විද්‍යාලයකින් හරි පුනුරුත්ථාපනය කරන්න ඕන. හේතුව ඔවුන්ගේ මේ නොසැලකිලිමත්කමෙන් සමහර විට දරුවෙක් මුලු ජිවිත කාලෙම පෞර්ෂ අනන්‍යයතාව සොයානොගැනිමෙන් අනාථ වෙන්න පුලුවන් නිසා. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ ,විෂය නිර්දේශයට අලුතෙන් යමක් එකතු කරන එක විතරක් නෙවෙයි. මේවගේ සාම්ප්‍රදායික , විකාර රූපී ගුරුභූමිකාවනුත් ප්‍රතිසංස්කරණය කිරිම.
දැන් මම පාසල් ගිහින් ඉවරයි. මේ පැණි පිරුනු ගුරුවරයව මට කාලෙකින් මුහුණට මුහුණ හම්බෙලත් නැහැ. ඒත් මම මේක ලීවේ ගනුදෙනුව තාම ඉවර නෑ කියන්නයි. එදා ටොකු පාර කෑව කොල්ලොන්ගෙන් එකම එක කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය කඩලා දන්න ඔයාට බැරි උනා කියලා කියන්නයි.
🤍
ReplyDelete