අපි මේ ගෙවන්නේ වාමවාදි පාදම සහිත ආණ්ඩුවක සුහුඹුල් අවස්ථාවේ. සන්නස්ගල කියන විදියට නම් ආණ්ඩුව දැන් ඉන්නේ සුරාන්ත මොහොතේ. මධුසමය ගත කරමින් . මධුසමයක් මැද දෙන්න දෙමහල්ලන්ගේ පොඩි පොඩි ආරෝවන් තිබ්බට අලුත බැන්ද ප්‍රේමය නිසා ඒව අමතක කරගෙන ඉන්නවා. මේ හින්දම සතියකට උඩ මම මගේ මිත්‍රයෙක්ගෙන් කොහොමද මේ ආණ්ඩුව කියලා අහනකොට එයා මට කීවේ
"මේ මොහොතේ අනුර සිදුකල යුතුම දේ කරමින් පවතිනවා කියලා. "
මගේ මිතුරා අතිශයින්ම දක්ෂිනාන්ෂිකයෙක් නිසාත් අනුරගේ ආණ්ඩුව හා ජයග්‍රහණය වෙනුවෙන් මා පෙනි සිටි සහ සිටින නිසාත් . ඒ ප්‍රකාශය මට සතුටක් ගෙන නොදුන්නායැයි කිවොත් මුසාවක්.
තවත් මසකින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණ උණුසුමත් යාන්තමින් ඇරඹුන නිසාම , මාලිමාව මැද තවමත් හිටගෙන ඉන්ද්‍රකීලයක්වගේ දිලිහෙන ජවිපේ අරටුවේ මතකය මම මෙහෙම්ම අකුරු කරන්නම්.
මගේ පියා උග්‍ර එජාප පාක්ෂිකයෙක් , ඒ නිසාවෙන්දෝ මට මුලින්ම ලැබුනේ එජාපය පාදක කරගත් චින්තනයක් .ඒක හැමොටම එහෙම වෙන්න ඇති ,ඔබ යම් අකාරයක හරි දේශපාලනයට සංවේදි දේශපාලන සත්වයෙක් නම් . ඒත් වයස යන්න යන්න සමහර දේශපාලනික භාවිතයන් , දේශපාලකයින්ගේ හැසිරිම පවා වඩා බුද්ධිගෝචරව නිර්ණය කරගන්න දැනුම ,අත්දැකීම සහ නිදහස් චින්තනය ලැබෙනවා. ඒක මට අවුරුදු 16-17 දි ලැබුනට , මගේ පියා 2019 ජනාධිපතිවරණයේ අනුරට ඡන්දයක් දෙන තුරු ඔහුට ඔහුගේ සාම්ප්‍රදායික දේශපාලනික නැමියාව පෙරළා වෙනස් කරගන්න බැරි උනා. මහරාජාගේ සිරස බලන් , එජාප පාක්ෂික , රංජිත් විජේවර්ධනගේ ලංකාදීප කියවන පියෙක් උන්නූ මටත් නිරායාසයෙන්ම රනිල් පිළිබඳ සුභවාදි හැඟිමක් තිබුනා . හැමෝම බැන්නත් රනිල් තමා හොඳ කියන ළාමක සිතුවිල්ල මගේ ගැටවර කාලේ පුරාම හිතේ හොල්මන් කළා. පහුගිය කාලේ අවුරුදු පනහේ හැටේ උදවිය රනිල් තමා මේක ගොඩදාන්නේ කියලා විශ්වාසකරාට ඒ සිතුවිල්ලේ මං උන්නේ මීට අවුරුදු 16 කලින්.
ඒ දේශපාලනික විතැන් වීම නිසාම මට ජවිපේ දේශපාලනයේ ගලා යෑම ඒ යුගයේදි මඟ හැරුනා. රටේ අනෙක් හැමකෙනෙක්ගෙම වගේ ධනවාදයේ සපත්‍තු පහරෙන් !! මගේ ඇසුත් නිලංකාර වෙලා තිබුනා.
හැබැයි ජවිපේ ගැන පළවෙනි දේශපාලන ඔත්තුව දෙන්නෙත් මගෙ පියා , ඒ කාලේ ඔහු 71 කැරැල්ල ගැන කියනකොට අනිවාර්‍යෙන් මතක් කරන නමක් තියනවා. ඒ සුනන්ද දේශප්‍රිය . වෙන විදියකින් කිව්වොත් පහුගිය පොත් ප්‍රදර්ශනයෙදි සයුරේ නිලන්තගේ ස්ටෝල් එකේ තිබිලා උණු කැවුම් වගේ විකුණුනු "පාස්කු ඉරිදා ප්‍රහාරය" පිළිබඳ රචනා වුනු කෘතියේ කර්තෘ. මගේ පියා ඒ ගැන කියන්නෙ
"71 කැරැල්ලේ ,විත්තිකරුවන් 41 දෙනාගෙන් ළාබාලතම විත්තිකාරයා තමා සුනන්ද , මහින්ද දේශප්‍රියගේ අයියා. "
ඒ වෙනකොට සුනන්ද ප්‍රංශයට ගිහින් නෑ. එයා එහෙ මෙහෙ ලියන ලිපි කියවන්න මට ලැබුනා. 71 කැරැල්ල ගැන , 88-89 ගැන ලංකාදීපේ ප්‍රසන්න සංජීව ලීව දියතට ලීව ලිපි පෙළ . මේ දේවල් එක්ක මුල් යුගයේ අතෑරුනු දේශපාලනික භාවිතකයට , කියවිමකට , දර්ශනයකට අවිඥානිකව පිවිසුනා. කොහොමත් රතු කියන්නේ අනෙක්
හැම වර්ණයකටම වඩා ටිකක් දැනෙන වර්ණයක්. හරියටම Enzo ferrari කියන විදියට
"
Ask a child to draw a car and he will draw it red. "
මේකාලෙම මම සුමතිපාලලාගේ ලක්බිම පත්තරේ කොටස් විදියට පළවුනු සෝමවංශ අමරසිංහගේ ජර්මනියේ සහ යුරෝපයේ අනෙක් රටවල් හි ගතකල කාලය පිළිබඳ ලිව් ලිපිකියවන්න ලැබුනා. පක්ෂ තහනමෙන් පස්සේ විදේශගත උනු ඔහු මෙරට රැඳී සිට 1993 දේශපාලනික නිදහස ලැබූ කැරැල්ලෙන් ඉතිරි උනු පිරිස එක්ක යටිබිම්ගත දේශපාලනයෙන් එළියට ඇවිත් ප්‍රසිද්ධ වේදිකාවට එන්න පුලුවන් උනේ මේ කාලේ.
ඉතිහාසය පුරාම ,මං හිතන්නේ 1965 විජේවීර පක්ෂය පටන් ගත්ත තැන ඉදන් 94 චන්ද්‍රිකා ගෙන්න, 2005 රාජපක්ස බලයට ගෙන්න බිම්මට්ටමේ තම ජාලය පාවිච්චි කරලා , 2010 ෆොන්සේකා එක්ක ඇවිත් එක මොහොතක ජව්පෙටත් තමන්ගේ දේශපාලනික අස්ථානය ගැන ප්‍රශනයක් පැන නැගුනා. ඒ වෙනකොට වීරවංශ , පෙරටුගාමීන් , පක්ෂය කඩාගෙන ගිහින් පක්ෂය බිමටම සමතලා කරපු යුගයක්. කොටින්ම 2015 ජනාධිපතිවරණයෙදි ඔවුන් තරග නොකර ඒ වගේම කිසිම පක්ෂයකට සහයෝගයත් නොදී ඉන්න තීරණය කළා. ඔවුන් එතන ඉදන් ඔවුන්ගේ අභ්‍යන්තර , මතවාදිමය සහ සංකල්පමය පරිවර්තන සහ ප්‍රතිසංවිධානය ඇරඹුවා. අද රාජ්‍ය බලය ලබාගත් ජාජබ ආරම්භය ඒ ප්‍රතිසංස්කරණය සහ උපාය මාර්ගික වෙනසේ ප්‍රතිඵලයක්.මෑත ඉතිහාසයේ දේශපාලනික පක්ෂයක් බලය ඇල්ලීම වෙනුවෙන් සිදුකළ සූක්ෂම , සැලසුම්සහගත පියවර එයයි. ඒක පාස්කු ප්‍රහාරයක් වගේ නින්දිත දේශපාලනික වාසි ලබාගැනිමේ උපාය මාර්ගයක් නෙවෙයි.
ඒත් හැමදාම ජවිපෙට , ජවිපෙටම අනන්‍යය හැඩයක් තිබුනා.සාධාරණය ඉටු නොවෙන , සමාජ පීඩාවක් සිදුවන තැනකට කව්රු නැතත් ජවිපේ එයි කියලා ජනතාවට විශ්වාසයක් තිබුනා. කඳ බඩ මහත දේශපාලනික තක්කඩින්ගේ අසාධාරණයට කව්රු නැතත් ජවිපේ විරුද්ධවෙයි කියලා අදහසක් තිබුනා. තනි සොර මුළක් මැද ජවිපේ මන්ත්‍රීවරු සොරකම් නොකරනු ඇතැයි ජනතාවගේ ලැදියාවක් තිබුනා. ඒත් ඒ විශ්වාසය , ලැදියාව ඡන්දයක් බවට පත් කරගන්න ඔවුන්ට 2024 වසර වෙනකන් නොහැකි වුනා. හේතුව වුනේ ඔවුන්ගේ බල අධිකාරිය ජවිපේ ලෙසම දකින්න තිබුන අකමැත්ත.
ජේවිපි හොඳයි !! ඒත් දිනන් නෑ නේ. ඒ නිසා සජිත්ට දෙනවා.
2019 ජනාධිපතිවරනේ ,මගේ සමීපතයින් මට කීවේ එහෙම. ඔවුන් 3% නතර වුනේ ඒ සිතුවිල්ලෙන්. ජවිපේ ඡන්ද පදනම අවම වෙන්න බලපෑ මිත්‍යා මතත් තිබුනා. ඒ මිත්‍යා මත ඉතාම ප්‍රාථමික පැරණි සොවියට් දේශයේ ලෙනින් පාලනය විසින් කරපු පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කිරිම වගේ අදහස්.
මේ එකක් !!
ඒ කාලේ මම උපකාරක පංතියකට ගියා කොත්මලේ හරංගල. එතන හිටපු ගුරුවරයා විශ්වවිද්‍යාලයට ඒ වෙනකොට අවසන් වසරේ සිසුවෙක් . ඔහු දවසක් කියනවා
"ජේවිපි එක එනවනම් මම කැමැති . ඒත් එයාලා ආවොත් අවුරුදු 65 වැඩිය මිනිස්සූ මරලා දානවා. මොකද ඔවුන්ට වැඩිහිටියෝ අවශ්‍ය නැති නිසා.මගේ අම්මයි තාත්තයි නිසා මට ඒ නිසා ඡන්දේ දෙන්න බෑ."
ඒ කාලේ අපිත් මේවා කටවල් ඇරගෙන අහන් හිටියට. මට දැන් හිතෙන දේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ශිෂ්‍යයෙක් විදියට ඔහුට මීට වඩා වගකීම් සහිත වෙන්න තිබුනා කියලා. හැබැයි ඒක තමා ඔවුන්ගේ දේශපාලනික කියවීම ඒ මොහොතේ.
ගෙදර වාහන දෙකක් නම් එකක් රජයට."
"පවුලෙක් අයෙක්ට හමුදා පුහුණුව "
"විනෝද රාජ්‍ය අවසානයි"
ඒවගේ ප්‍රකාශ ග්‍රාමීයව විශාල වශයෙන් උඩුදුවමින් තිබුනා.ඒකෙන් ජවිපෙට පෙරලගන්න බැරි තරමේ පීඩනයක් ආරෝපණය වුනා.ඔවුන්ට ඒ ප්‍රතීරෝධය මඟහැර ගන්න Center-left කියන දේශපාලනික භාවිතයට මුහුවෙන්න සිද්ද වුනා. ජවිපේ , ජාජබ වීම බලය අල්ලා ගැනිම , ආණ්ඩුව පිහිටවීම සහ ශක්තිමත් පාර්ලිමේන්තුවකට ඇතුළු වීම 56 බණ්ඩාරණායකගේ බල පෙරළියත් එහා ගිය දේශපාලනික වෙනසක්.හේතුව අන්කිසිවක් නෙවෙයි මෙහි තියෙන නිර්ප්‍රභූත්වය , සුදුස්සාට සුදුසු තැන දීම නොහොත් Meritocracy සහ අවංකත්වය ( Honesty).
සේනානායකලගේ සිට බණ්ඩාරණායක හරහා රාජපක්ෂට එනකන් තිබුන වංකත්වය වෙනුවට පොදු අරමුණක් තිබිම.
ජව්පේ දේශපාලනික සිතියම ගැන පර්‍යේෂණ ග්‍රන්ථයක් කාටහරි ලියන්න පුළුවන් නම් මේ හැමදේම එකතු කරලා ඒක මාර වැඩක් වෙයි.වැටුන තැන් , නැඟිට්ට තැන් ලියන්න පුළුවන් නම් !! මේ... වෙලාවේ ඒක කරනවනම් ඉන්න ගැළපෙන මිනිහා තමා ජවිපෙට අනුව තමන් සුළු ධනේෂ්වරයෙක් නොවන බව පෙන්වන්න සීනී නොකෑ අම්බලන්ගොඩ හිටපු ජවිපේ ෆුල් ටයිමර් සුනන්ද දේශප්‍රිය.
Comments
Post a Comment