Skip to main content

අනුර වෙනස් විය යුතුයි !!!

 මහ වැසි මධ්‍යයේ ශ්‍රී ලංකාව තම ස්වෛරී රාජ්‍යයේ නමවන විධායක ජනාධිපති තෝරාගැන්මේ සටනට දිනෙන් දින ළං වෙමින් තිබේ. අප වැනි තුන්වන ලෝකයේ රටකට 77 සිට පැවති සෑම ජනාධිපතිවරණයක්ම අතිශය තීරණාත්මක වූ බවට සැකයක් නොමැත. මක්නිසාදයත් ඒ සෑම වරකම 'රට බේරා ගැනීමේ ' අවසන් අවස්ථාව එළැඹීමයි. මෙලෙස පරම්පරා තුනක් ගෙවුනු තැන සාම්ප්‍රදායික දකුණු ආසියාතික රටක නැවත රට බේරා ගැනීමේ මහඟු මෞලි මංගල්‍යය ඔක්තෝබර් පළමුවන හෝ දෙවන සතියේ එළැඹෙනු ඇත. 


මැතිවරණ කොමිසම විසින් 1981 කෙටුම්පත් කෙරූ ජනාධිපතිවරණ හා පළාත් පාලන පනත ප්‍රකාරව එළැඹෙන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.කොමිසමේ නෛතික රාමුවට අනූකූලව නාමයෝජනා කැඳවිම ජූලි 17 පසුව සිදුකළ යුතු අතර එයින් දින 16 සහ 21 ඇතුළත අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ පක්ෂ විසින් නාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීම කළයුතුය. එමෙන්ම උක්ත පනතේ විදිවිධාන අනුව යමින් අවමය දින 28 සහ උපරිමය දින 42 තුළ මැතිවරණ ව්‍යාපාරය හැසිරවිය යුතුය.  එමෙන්ම ආරම්භයක් වශයෙන් මැතිවරණ කොමිසම විසින් මහාභාණ්ඩාගාරයෙන් බිලියන් 10 මුදලක් බලාපොරොත්තුවන අතර  අපේක්ෂකයන්ගේ සහාභාගිත්වය සහ අනෙකුත් අනුශාංගික හේතූන් මත කොමිසම විසින් තවත් මේ මුදල ඉහළ යා හැක. 


පිටත සිට බලන්නකුට තණතිල්ල , විචාරක අට්ටාලය , විනිසුරුවරුන් සහ ප්‍රේක්ෂකයන්  සුදානම් බව පැහැදිලි වුවද , ක්‍රීඩකයන් තවමත් ක්‍රීඩා කරනවාද නැද්ද ලෙස උකටලීව සිටින බව විද්‍යාමාන වන කරුණකි. නීතී ප්‍රකාරව  කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පිඨයේ හුන් ජනාධිපති වික්‍රමසිංහ , අන් සියල්ලන්ටම වඩා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුබව දනි . ඔහූ ප්‍රාදේශීය සභා සඳහා කළ සෙල්ලම මෙහි නොකරන්නට තරම් අඥාන නොවනුද ඇත. හේතුව නම් පසුගිය වසරේ ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්විමට නියමිත වූ සමයේ රටේ තිබූ තත්වයට වඩා වර්තමානය තරමක් සංකීර්ණ වීමයි. එමෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූවේ මේ ජනාධිපතිවරණයට අවශ්‍ය කාලය ගැනිමත් ඒ කාලය තුළ තරගය තමන්ට අවශ්‍ය පරිදි හසුරවාගැනිමයි  . නමුත් වික්‍රමසිංහයන් වටේ සිටින එක් අයෙකුටවත් තම කුසලතාවන් පෙන්වමින් කිසිදු අමාත්‍යාංශයක වැදගත් සංවර්ධනයක් හෝ කැපීපෙනෙන වෙනසක් ඇති කිරිමට නොහැකිවිය. කිවහැකි එකම සාධනීය පියවර වූවේ විදේශ කටයුතු අමාත්‍ය  අල් සබ්‍රී විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ මිළඟ අදියරට මහ බැංකුව සුදානම් බව නිවේදනය කිරිමයි. ඒ අනුව ඇ.ඩො.බි 17 මුදලක් ජුනි මස අවසන ගෙවා දැමිය යුතුය. මෙම මුදල මීට පෙර ගෙවුය යුතු මුදලක් වුවද , ණයහිමියන් සහ මෙරට රජය අතර ඇතිවූ සම්මුතියක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ලබාදුන් සහන කාලය මෙලෙස ලංකා රජය භාවිතා කොට තිබිනි. නමුත් මේ සමඟම රජයේ මුල්‍යය අංශයට මුහුණදීමට දරුණු අවස්ථා කිහිපයක් ඇතිවනු ඇත. පළමුවැන්න චීන ණයහිමියන්ගේ නොසතුටට , ඔවුන් ණය ගෙවිමේදි උද්ගත වන Haircut නොහොත් ලබාගත් ණය සහ ඒ ණයපියවීමට භාවිතා කරන වත්කම් හි පවතින මුල්‍ය වටිනාකම අතර වෙනස පිළිබඳ දක්වන ආකල්පය  . දෙවැනි කාරණය  නම් බාහිර සංචිත වල ගැටලුව , මේ වසර ආරම්භයේ මහ බැංකුවේ අරමුණ වූවේ ඇ.ඩො.බි 5 විදේශ සංචිත  සඳහා යොමුවිමයි. එය බිලියන් 4 දක්වා වර්ධනය වූ අතර, උද්ගත වූ ගැටලූ නොතිබුනා නම් මහ බැංකුව අපේක්ෂිත මට්ටමද ඉක්මනට තිබිනි. එහෙත් ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ On arrival visa ගැටලූව මත අධික පිබිදීමක් තිබූ ස්ථිර  සංචාරක කර්මාන්තයට යම් විචලනයක සේයාවක් දැනි තිබේ. (මේ සටහන ලියවෙන මොහොත වන විට කටුනායකින් එම වීසා පිළිවෙත ඉවත්කොට ඇත. ) . ඒ අතරම නැවත වරක් ඊශ්‍රායල් ,පලස්තීන ගැටලුව ආරම්භ වී මෙවර ඉරානයද මෙයට මැදිහත් වූ බැවින් ගල්ෆ් ලෝකය නැවත වරක් උණුසුම් වී ඇත , ඒ නිසා ඒ ඒ රටවල සේවයේ නිරත වූ ලාංකීය ශ්‍රමිකයන් රැසක් නැවත මෙරටට පැමිණෙමින් සිටි. මේ කරුණ නිසාත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආර්ථිකයට ලැබුනාවූ දායකත්වයේ සියුම් උච්චාවචනයක් වී  ඇත. 


මේ ආර්ථිකමය සංකීර්ණත්වය මත ඉහත පැසසුමට ලක් කළ අල් සබ්‍රීගේ පියවරෙත් දෝස ඇති බව පෙනේ. ජනාධිපති වික්‍රමසිංහයන් විසින් , ගෝඨාභයගේ නික්ම යාමත් සමඟ ආරම්භ  කළ කාර්ඩ් සෙල්ලම් තවම නවතා නැත. මෙය ඔහූගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙතයි , එහෙත් ඔහූ මතක තබාගත යුතු කරුණ නම් හැටනම ලක්ෂයක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තේරිමෙන් දිව්රුම් දූන් ගෝඨාභය පවා හරවා යැවුවේ ජනතා බලයකින් බව. 

කෙසේහෝ ඔහු තවමත් පොහොට්ටූවේ බලාපොරොත්තුව බව පෙනෙන්නට තිබෙන අතර අවසන් තත්පරය තෙක් පොහොට්ටූවේ සහය තමන්ට ලබාගැනිමට ඔහූ සිය උපරීම වීර්‍ය යොදනු ඇත. කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය නොකළ වික්‍රමසිංහයන් , ප්‍රධාන වේදිකාවේ සටනකට පැමිණෙන්නෙ වසර 19 පසුව අවසන් වර තමන්ගේ ප්‍රතිවාදියා වූ රාජපක්ෂගේ සහයෝගය  සමඟ වීම දෛවයේ සරදමක් වැනිය .  


පොහොට්ටූවේ ස්වාධීනත්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වනු ඇතැයි කීම උගහටය . ධම්මික පෙරේරා මුල් නම් පෙළේ ඇසුන නමක් වුවද , පසුගිය මස තුළ ඔහූ වික්‍රමසිංහයන් සමඟ පෙනීසීටිම සහ කටයුතු කිරිම තුළින් , එළැඹෙන ජනාධිපතිවරණයක කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරාගේ ආස්ථානය තරමක් දුරට පැහැදිලිය. 


මේ සටනේ මිළඟ තීරණාත්මක සාධකය වන්නේ අනුර ඇතුළු මාලිමාවේ සටනයි. මේතාක් දුරට ඔවුන් සිය පාලනය මේ ක්‍රියාන්විතය තුළ මෙහෙයවා ඇත. එයින් වික්‍රමසිංහයන් කෙසේවෙතත් පොහොට්ටූව සහ සජිත් සලිත වී ඇති බව පෙනෙන්නට තිබේ. ( මේ සටහනෙන් ජනාධිපතිවරණ සටන තුළ සජිත්ගේ භූමිකාව විස්තර නොකෙරේ ) . ඒ සලිත වීම බිම් මට්ටමේ පොහොට්ටූ පාක්ෂිකයන්ගෙන් මෙන්ම පොහොට්ටූවේ කැත කුණු අතගාමින් අවශ්‍යතාව අනූව ඒ කැත කුණූ ආහාරයට වුවද නොපැකිළෙන කුට්ටිආරච්චි වැන්නවුන්ගේ ක්‍රියාපිළිවෙතින් පෙනේ.  නමුත් මෙහිදි මාලිමාව ඉදිරිපිට එක් දැවැන්ත ප්‍රශ්ණයක් තිබේ. ඒ ප්‍රශ්නය අනුර කුමාර විසින් ඉරාන තානාපති කාර්‍යාලයේ තැබූ ශෝක පණිවිඩය බලා ලිවිමක් වැනි තත්වයට ලඝු නොවේ. සැබෑ ගැටලුව නම් පෞද්ගලික දේපළ අයිතිය , ආයතන පෞගලීකරණය කිරිම සහ ආර්ථිකය විවෘත කිරීම පිළිබඳව මාලිමාවේ අදහස කුමක්ද යන්නයි. ඒ අදහස හරිනිගේ අදහසවත් , ටිල්වින්ගේ අදහසවත් , විජිත හේරත්ගේ අදහසවත් යනුවෙන් වෙනස් විය නොහැක. හේතුව හරිනිගේ ලිබරල්වාදී මතයත් , ටිල්වින්ගේ බෝල්ෂවික් මතයත් එකිනෙක සමපාත නොවන නිසා සැබෑ ලෙස ආයතන පෞද්ගලිකකරණය පිළිබඳ ඔවුන්ගේ සැබෑ පිළිවෙත මෙය බව කියා දැක්විය යුතුය. ඒ සියල්කටම වඩා මාලිමාව තුළ අනුර විසින් ජ.වි.පේ සතු සමාජවාදී පාලන දර්ශනය උඩුදිවිමට ඉඩ නොදිමයි. එයට හේතුකාරකය නම් මාලිමාව ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන් ඔවුනට IMF මිළඟ අදියර තුළට යෑමට සිදුවීමත් ඒ ගමනේදි සමාජවාදී ක්‍රමයකට වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩූ ක්‍රමයකින් ගමන් කිරිම නුවණට හුරු විමයි. අනෙක් වැදගත් කරුණ IMF අනුව මෙරට පෞද්ගලිකකරණය කිරිමට නිදහස් කර ඇති ආයතන සහ අනෙකුත් තරගකාරී ,විභවයක් සහිත එහෙත්  ලාභ ඉපැයිමට අසමත් ආයතන ලැයිස්තු වෙනුවෙන් මාලිමාව සතු ක්‍රියාමාර්ගය.  ඔවුන් එය පෞද්ගලිකකරණය කරන්නෙද , නැතිනම් කළමනාකරණ අයිතිය පෞද්ගලිකකරණය කොට ආයතන අයිතිය ( Ownesrhip  ) රජය සතුව තබාගන්නේද , එහෙමත් නැත්නම් රජයේ ආයෝජනයකින් ආයත ප්‍රතිව්‍යුහගත කිරිමක් කිරිමෙන් ලාභ උපයන්නේද යන්න සමාජගත කළ යුතු කරුණකි. 



මෙය අනුරගේ තානාපති කාර්‍යාලයේ බලා ලිවිමට වඩා දැනෙන ගැටලුවක් වන්නේ මිනිසුන් මාලිමාව කෙරෙහි 88-89 භීෂණ සමයට එපිටින් බැලුවද ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි තවමත් වපරැසින් බැලිමයි. විශේෂයෙන් උගත් මධ්‍යමපාන්තික ආකර්ෂණය වෙනුවෙන් උක්ත කාරණා තුළ සරලව සුගමව ලිහාදැමිය යුතුය. එය එසේනොවුනොත් ආර්ථිකය සංවෘත කොට අපේ දේ අපිම හදාගමු වැනි දර්ශනයකට ඔවුන් යොමු වුවහොත් , නමුත් වත්මන් මාලිමාව සතු ඉදිරිපෙළ එවන් අමනෝඥ පියවරක් නොගනු ඇත. හදිසියේ හරි එවැන්නකට පාර කැපෙනවා නම් ගම්බදව රාජපක්ෂගෙන් ඈත් වී යන ජනතා ආකර්ෂණය අනුර වෙත එනවා වෙනුවට ප්‍රේමදාස වෙත හමායෑම වැළැක්විය නොහැක. 


ඒ නිසා අනුර වෙනස් විය යුතුමයි !!! 

Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...