Skip to main content

නොමියෙන මතක

 සම්භාව්‍ය චිත්‍ර කලාව පිළිබඳව  අංශුමාත්‍රයක හෝ  හැඟිමක් , සංවිධිත අධ්‍යනයක් හා විධිමත් දැනුමක් නොමැති  මම අදටත් විස්මයට පත්වන්නා වූ  එකම කලා මාධ්‍යය ( චිත්‍ර කලාව හා සමපාත වන ) වන්නේ පුවත්පත් කාටුන් කලාවයි (Newspaper cartoon ). එයට ඌනපූර්ණ වූ නිධන්ගත කතා වස්තුව නම් , මින් අඩ  දශකයට එපිටින්  මෙහි ලේඛකයා වන මා හට  IT කොම්පැනියක සේවය කරනවා  වෙනුවට පුවත්පත් කාටුන් ශිල්පියකු වීමට තිබූ  විළිරුදාව විය හැක.


ප්‍රකට ලයනල් වෙන්ඩ්ට් ගේ හතළිස් තුනේ කල්ලීයේ (43' group ) ද සාමාජිකයකු වූ ඔබ්‍රි කොලට් ගේ සිට  ටයිම්ස් හී කාටුන් අදිමින් එකල අගමැති වූ ජෝන් කොතලාවලයන්ගේද පැසසුම ලැබූ ( මෙම කතාව මෙහි පහතින් අමුණා ඇත )   ජී.ඇස් ප්‍රනාන්දු ,


 ඇත්ත පත්තරේ  සේවය කරන සමයේ  ඔහූගේ කාටුන් දරාගත නොහැකිව දැළි පිහියකින් කට කපා දැමීමේ දණ්ඩනයට නතු වූ  ජිප්‍රී යුනුස්, දී අයිලන්ඩ් (The Island ) එකට තීරු ලිපි ලියමින්  කාටුන් අඳිමින් හාස්‍යජනක කතා කීමේ රුසියකු වූ අමිත අබේසේකර ,රටක් හඳුනන ,රටක් සිනහවෙන් නැහැවූ නූතනයේ පවා ජනයා මහත් පැසසුමෙන් උත්කෘෂ්ටයට නංවන කැමිලස් ,


 උපාලි විජේවර්ධනයන්ගේ උපාලි පුවත්පත් සමගමේ මුද්‍රණ යන්ත්‍ර මැදින් පිටවූ  දිවයින ඉරිදා සංග්‍රහයේ  පුංචි සිඤ්ඤෝ නම් මනක්කල්පිත චරිතය හා අඩ සියවසක් ජිවත් වූ     විජේසෝම ,


එකල ජ.වි.පේ නිල නොවන පුවත්පත බඳු වූ  ලංකා පුවත්පතට කාටුන් සැපයූ  විකල්ප ධාරාවේ  විනී හෙට්ටිගොඩ , 


දී අයිලන්ඩ් පුවත්පතේ සිට   ඉංග්‍රීසී පුවත්පත් තුළ සිය කාබන් පෑන හැසිරවමින් 1994 චන්ද්‍රිකා ගේ ජනාධිපති ජයග්‍රහණය මෙහෙයවූවේ අයිවන් බවත් ( මෙහි අයිවන් යනු එකල රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ වික්ටර් අයිවන් ) 1997 ඇගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු  කරේ Eye one (ඈ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පිපිරී ගිය බෝම්බයට හසුවී එක් ඇසක් අහිමි වීමෙන් ලද මහත් වූ ජනතා අනූකම්පාවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව එකල  ප්‍රකට කරුණක් විය )  බවත් කාටුනයකින් ගෙනහැර පෑ ජෙෆ්‍රී , 


ලංකාදීපේ මුල් යුගයේ  චිත්‍ර කතා අදිමින්  පසුව "සමාජ සමයං" වැනි නූතනවාදි දේශපාලනික කතිකාවතක් ඇති කළ  මාගේ අත්තගේ පාසල් මිතුරකු වූ දයා රාජපක්ෂ ,


 මල්මාමා වැනි  ළමා කාටුන් පෙළහැරෙන් ඔබ්බොට ගොස්  ලංකෝනිස් නම් සාමාජීය පැතිකඩක සේයාව මවාපෑ පියල් සමරවීර ,


 ලා නිල් පාට හෙඩිමක් එක්ක පත්තර ලෑලට උණු උණුවේ ගෙනත් දැමූ  " දිනපතා  ලංකාදීපේ " කතුවැකියට පොඩ්ඩාක් දකුණට වෙන්න තම  වාසභූමිය කොටගත් දාස හපුවලානගේ සුවාරිස් , 


සුමති සමාගමෙන් පිටවූ ලක්බිමේ සේවය කළ  අංජන ඉන්ද්‍රජිත් , 


මුලින්ම බිංදු පුවත්පතේ ළමා  චිත්‍ර කතා අඳිමින් සිය කලා දිවිය අරඹාඅ පසුව   උපාලි තෙන්නකෝන්ගේ "රිවිරේ" ප්‍රධාන කාටුන් ශිල්පියා වූ  අසංග ඉඳුනිල් මෙන්ම   දැනට විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පුවත්පත් හි වැඩකටයුතු  කරනා  අවන්ත ආර්ටිගල තෙක්  කාටුන් ශිල්පීන්ට (මා මෙහි ඔවුන්ව කාටුන්කාරයෙක් යැයි නොකියන්නේ ඕනෑම වෘත්තීයකට

" කාරයෙක්" ප්‍රත්‍යය එක් වූ විට එහි වටිනාකම බලා සිටින විට සෝදාපාලු වන බැවිනි) මා සතු ආදරය අදටත් නොනැසී පවති.අද වුවද මම  අවන්තගේ මුහුණුපොත පිරික්සමින් වර්ණැති කාටුනයක් රස විඳිම දුලබ ඇබ්බැහියක් නොවේ. කලු සුදු පැතලි සිතුවම් මත සැඟවූ උපහාසය , ඛේදවාචකය සහ අනූවේදනීයත්වය අදද මා ස්පර්ශ කරන්නේ අතීත කාමයෙන් මත්වෙමිනි. මෙහි තීරු වැයකරමින් පැරණි කාටුන් ශිල්පීන් නැවත නැවත සිහිකරන්නේ ඔවුන් වැන්නවුන්ගේ නාමයක් හෝ මේ ලේඛනයක රැඳි තිබිය යුතු නිසාවෙනි. 


  ඩිජිටල් මාධ්‍යයකරණය අද තරම් තියුණු නොවු පසුබිමක කාටුන් කලාව කෙරෙහි පැවති උන්මාදනීය ආලය කොතරම් දැයි මැන බැලිමට මා කලකට ඉහත  දුටු එක් ඡායාරූපයක් සෑහේ. එහි දැක්වෙන්නේ ඉහතින් මා උපුටා දැක්වූ වීනී හෙට්ටිගොඩයන්ගේ ඒක පුද්ගල කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයට පැවතියා වූ ජන සහභාගිත්වයයි. අනූව දශකයේ මුල් කාර්තුවේ  කොළඹ පැවති එකී ප්‍රදර්ශනයට පැමිණි ජනයා පොළිම් ගැසී බලා සිටින අයුරු එයින් දර්ශනය විය. ඉන් දශක තුනක් ඉක්මවූ අද එකී කලා ශිල්පයට පවතින්නා වූ අස්ථානය පිළිබඳව මා සතුව සුපැහැදිලි මතයක් නොමැත. ඉඳහිට අවන්තගේ කාටූනයක් සමාජ ජාලා තුළ දුටුවද අනෙක් කිසිවක් ප්‍රධාන ධාරාවේ කතිකාවකට බඳුන්ගත වේ දැයි මා නොදනිමි. 


පුවත්පත් කාටුන් කලාවේ මුලිකතම අරමුණ නම් වචන දහසකින් පැවසිය යුතු කාරණයක සාරය හාස්‍ය හා මුසුකොට ලුහුඪින් ගෙන හැර පැමයි. එය උසස් ගණයේ දේශපාලනික කාව්‍යයක් තරමේ ගැඹුරු ව්‍යායාමයකි. කාටුන් ශිල්පියා ස්භාවයෙන්ම පාඨකයා , සාහිත්‍යමය මුහුණුවරකින් නම් සහෘදයා කෙරෙහි දෘෂ්ටි වාදයක් ( Ideology ) නිර්මාණය කරන්නේ ය. ඔහු ඒ මත සිට තම මතය මුදා හරින්නේ ය. දාස හපුවලානගේ මේ කාර්‍ය මැනවින් ඉටුකළ කාටුන් ශිල්පියෙකි. අන් කවර කාටුනයකටත් වඩා මා ඔහුගේ "සුවාරිස්" නම් මනෝරාජික චරිතයට ආශක්ත වූවේ එහි පැවති ගැඹුරු දේශපාලනික භාවිතය නිසාවෙනි. හපුවලානගේ සමහර කාටුන් තුළ කිසිදු දෙබසක් නොමැත . නමුත් එය එදින සටහන් වන කතුවැකියත් ඉක්මවන තරමේ කම්පනයක් ඇති කළේ ය. 



මා විජේසෝමයන්ගේ කාටුන් සජීවීව රස විඳ නොමැති වුවද එකල මගේ  පියා සතුවූ පුවත්පත් එකතුවක තිබී මා දුටු කාටුන් දෙක තුනකින් මා හට වැටහී ගියේ පසුකලක බොහෝ කාටුන් ශිල්පීන් සිය චරිත නිරූපණයේ අභාසයකොට ගෙන තිබුනේ විජේසෝමයන් නිර්මාණය කළ ඒ පුංචි සිඤ්ඤෝ චරිතයයි  . ඔහු එය හැත්තෑවේ දශකයේ මුල් යුගයේ නිර්මාණය කරන විට පැවතියේ සිරිමා බණ්ඩාරනායකගේ සමගි ආණ්ඩුවයි . එකල පුංචි සිඤ්ඤෝ හැඳ සිටින්නේ සරම සහ කමිසයයි . නමුත් දෙදාහා දශකයේ මුල් යුගයේ පුංචි සිඤ්ඤෝ සිටින්නේ කඩමාල්ක් හැඳ පං මල්ලක් අත මත තබාගෙනය. දක්ෂ කාටුන් ශිල්පියකූ වූ විජේසෝනයන් එකී හතළිස් වසර තුළ මෙරට සිදූ වූ ආර්ථික පරිහානියේ හරස්කඩක් එසේ පෙන්නුම් කර සිටියේ එකඳු හෝ අකුරක් භාවිතා නොකරමිනි. 


එසේම පනහේ දශකයේ ටයිම්ස් හි වැඩකළ ජි.ඇස් ප්‍රනාන්දු සතු රස කතාවක්ද මෙයින් උපුටමි. මෙකී කතාව ඇත්තේ   මගේ පොත් රාක්කය තුළ උණුසුමෙන් විවේක ගන්නා අසූව දශකයේ මෙරට ජන විඥානයට තර්කයෙන් ආමන්ත්‍රණය කළා වූ  "  කල්පනා "   නම් සඟරාවකිනි. 


1950 තරම් අතීතයේ දිනක පුවත්පත් පුරා පැතිරීගිය ප්‍රවෘත්ති දෙකකි . ඉන් එකක් නම් අගමැති සර් ජෝන් කොතලාවල සිය බංගලාවේ සාදයක් සංවිධානය කොට වහු පැටවෙක් පුළුස්සා (BBQ) ආහාරයට ගැනිමකි ,  අනෙක් ප්‍රවෘත්තිය නම් සතොසෙන් නිකුත් කළ ආහාර වේලක මැරුණු මීයකු සිටිමයි. ජී. ඇස් මේ සිදුවීම් දෙක අලලා කාටුනයක් ටයිම්ස් හි පළ කළේ ය. එහි වූවේ වනචාරීන් ලෙස හැඳ කල්දේරමක් වටා නටනා මිනිසුන් දෙදෙනෙකි. එයින් අයෙක් අගමැති සර් ජෝන් වූ අතර අනෙකා වූවේ එකල වෙළඳ ඇමති.  

මෙය පළවූ දින ටයිම්ස් සඟරාවේ උසස් තැනක දුරකතනය දිගින් දිගටම නාද විය. එහි ප්‍රතිඵලය වූවේ කාටුන් ශිල්පි තැන්පත් ජි.ඇස් ප්‍රනාන්දු හට අගමැති නිල නිවසට මඟනොහැරිය හැකි කැඳවිමක් ලැබිමයි. පසුදින අගමැති හමුවූවිට ජී.ඇස් බලාපොරොත්තු වූවේ කන්පට පහරකි. නමුත් කොතලාවල පැවසුවේ 



"අයිසේ තමුසේ නියම මිනිහෙක් නේ .එනවා !! අපි කමු බිත්තර ආප්ප " 


යනුවෙනි. අගමැති නිල නිවස ඇතුළත ජි.ඇස් දුටුවේ ඔහු අගමැති පතුරු ගසමින් ඇඳ තිබු කාටුන් සියල්ලම රාමු කොට එල්ලා ඇති ආකාරයයි. 


මෙකී සිදූවීම් සිදූවූ අඩ සියවසක් එක්මවා ඇත . සර් ජොන් අද නොමැත , ජී.ඇස් ද නොමැත  . නමුත් පුවත්පත් කාටුන් කලාව තවමත් වියැකී නොගොස් පවති. එහෙත් ඒ හා සමෝධානය වන්නේ පෙර මෙන් කලා , දේශපාලන සමාජීය වටපිටාවක් සහිතවූවන්ද යන්න සැක සහිතය. 


Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...