Skip to main content

ලිවීම පාපයක්ද ??

 මම facebook එකට ලියන එක අතෑරලා ගොඩක් කල්. කොහොමත් එහෙම facebook එකට ලියන්න තරම් මහා ලොකු මිතුරු හමුවක් මට හිටියෙත් නැහැ.වෙන මිනිස්සූ සමාජ සම්බන්ධතා වැඩි කරගන්න මිත්‍රයෝ වැඩිකරගන්න කොට මම කරේ ඉන්න මිත්‍රයොත් අයින් කරපු එක. 

මට ලියන්න පුළුවන් කියලා මුලින්ම හිතුනේ මම හරංගල ඉස්කෝලෙට ගියාම මොකද ඒ මම අනුරුද්ධේ ඉන්නකන් ශිෂ්‍යත්වය හැරෙන්න වෙන දෙයක් නොකරපු නිසා. 

ඒත් හරංගලදි  සඟරාවක් හදන්න උත්සහ කරපු  සන්ධ්‍යා ටීච මට පොඩි කතාවක් ලියන්න ආරාධනා කරා. හරියට කෙලින් රූලක් වත් ගහගන්න අමාරු මම වචන වචන ගළපලා පොඩි කතාන්දරයක් ලීවා. 

ඒ 2009 වගේ. එතනින් එහාට මාත් හිතුවා මට ලියන්න පුළුවන් තමා කියලා. මම දිගටම ලීවා , සිංහල විචාරයක් වෙන අය ලකුණු ගන්න ලියනකොට මම ඒක වගා කරගෙන වෙනම වැඩක් විදියට කරන්න උත්සහ කරා. ඒත් ඒක ගොඩක් ගුරුවරු එක්ක වැඩ කරේ නෑ. එයාලා හිතුවේ මම පණ්ඩිතයෙක් කියලා . කොටින්ම එයාලට මාව තේරුනේ නැහැ වගේම මටත් එයාලව තේරුනේ නෑ.  මාත් එක්ක හොඳින් හිටිය සමහර ගුරුවරුත් සදාකල් මගේ හොඳම ගුරුවරු උනේ නැහැ. 

මම කාටුන් අඳින්න ගත්තා , පත්තරකාරයෙක් වෙන්න පත්තරෙට ලීවා , පත්තරකාරයන්ගේ සම්මුඛ සාකච්ඡා එකතු කරා , පත්තර කන්තෝරු වලට කතා කරලා "අහවලා එක්ක කතා කරන්න ආසයි " කියලා කතා කරා. මම එහෙම ලංකාදීපේ ආරියනන්ද දොඹගහවත්තටත් දවසක් කතා කරා. හරියටම මහමායා එකේදි පියල් සමරවීර හම්බෙලා එයාට කියලා "මල් මාමා" අන්දවගත්තා.  මේ හැමදෙයක්ම කරත් මම මාර දෙයක් කරන්නේ කියලා කවදාවත් මට හිතුනේ නෑ.කව්රුත් එහෙම කීවෙත් නෑ. පොඩි කොල්ලෙක් විදියට මම එහෙම ඇගයිමක් බලාපොරොත්තු උනාද කියන්නත් මට මතක නෑ. ඒත් එකම එක මනුස්සයෙක් මට දවසක් මෙහෙම කීවා.

"ඔයා මේ කරන දේ හැමෝටම කරන්න බෑ. ඒ නිසා මොන දේ උනත් මේක නවත්තන්න එපා." 

මට මෙහෙම කීවේ මට ජිවිතේට අකුරක්වත් උගන්නලා නැතත් හෙට දැක්කත් සර් !! කියලා අත අල්ලගෙන කතා කරන්න තරම් ආදරෙන් මගේ ඇස් දිලිසෙන අතුල සර්. 

මට කවදාවත් නාට්‍යය කාරයෙක් වෙන්න ඕන කියලා උවමනාවක් තිබුනේ නැහැ. ඒත් නාට්‍යය වලට මම බොහෝම කැමැති උනා. මං වගේම අපේ බැජ් එකේ හිටිය කීප දෙනාම ඒ වැඩේට අසීමිතව කැමැති උනා. නාට්‍යය පීරීයඩ් එක ඉවර වෙලා අනික් පීරීයඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුවත් නැඟිටලා නොයන අමුතු පිස්සුවක් අපට ඒ කාලේ තිබුනා. මට හොඳට ලියන්න පුළුවන් කියලා මමම හිතාන උන්නු නිසා නාට්‍යය විෂයක් විදියට වාර විභාගයකට තියෙනකොට දත කට නියවලා මම නාට්‍යය පිටපත් ලියන්න පටන් ගත්තා. වෙන ළමයි 'අංග රචනයෙන් නාට්‍යයක ත්‍රීවූරත්වය වැඩි කරන්නේ කෙසේද ??'වගේ ප්‍රශ්න තෝරනකොට මම කෙටි නාට්‍යයක් ලියලා , අවස්ථා සම්බන්ධතාවය හදලා ,පොඩි සින්දුවක් දෙකකුත් ඒකට එකතු කළා. කවදාවත් කව්රුත් ඒ දේ මහා ඉහළින් අගය නොකරත් ඒ පුංචි මම ගැන මට තාම පොඩි ආඩම්බරයක් තියෙනවා. 

ඒත් එක්කම සෞන්දර්ය විෂයන් වලට  ප්‍රායෝගික පරීක්ෂණ තියෙන වෙලාවක ඒ වෙනුවෙන් මම නාට්‍යය පිටපතක් ලීවා. මම විධිමත් විදියකට ලීව පළමුවැනි නාට්‍යය ඒක. ඒ දවස්වල අප්පච්චි මට ගෙනත් දුන්න හෙන්රි ජයසේනගේ 'ජනේලය' කියවලා මම ඒ ආකෘතියේ නාට්‍යයක් ලියලා ඉවර කරා. ඒකේ තිබුනේ රජයේ කාර්‍යාලයක අසාධාරණයට ලක්වෙන රජයේ සේවකයෙක්ගේ පීඩනය ගැන කතාවක්. ඒත් ඒක කරන්නවත් ඒ පීඩිත සේවකයා විදියට මට රඟපාන්නවත් බැරි උනා. මගේ නාට්‍යය ගුරුවරයා ඒ නාට්‍යය පිටපත පළවෙනි කණ්ඩායමට දීලා , මගේ කණ්ඩායමට සිංහල පෙළ පොතෙන් තෝරගත්ත නාට්‍යයක් කරන්නයි කීවා. හැබැයි මම ඕලෙවල් ඉවර කරලා ඉස්කෝලෙට ආපු දවසක ඒ මම ලීව නාට්‍යය ඉස්කෝලේ වෙනස් කම් කිපයක් එක්ක වේදිකාගත කරලා තිබුනා. ඒත් නාට්‍යයේ තිර පිටපත් රචකයාට වෙන නමක් ලියවිලා තිබුනා.




ඉස්කෝලේ කෙළි සෙල්ලම් හැමදේම 2017 අගෝස්තු අහවර කරලා  මම 2019 මගේ උපන්දිනේට දවස් 6 කලින් මම කුරුඳුවත්තේ තර්ස්ටන් එකට අල්ලපු වැටේ තියෙන කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒලේවල් කාලේ මගේ හදවතින්ම මැරිලා ගිය ලේඛකයා ආපහූ උපද්දවන්න ඕන කියලා මම මීඩීයා ක්ලබ් එකකට බැදුනා , ඒත් පොඩි කාලයක් ගිහින් ලස්සන ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරලා තිබුන අනිත් මීඩීයා ක්ලබ් එකට මම හෙමින් සිරූවේ මාරු උනා. කැම්පස් ඉවර වෙනකන් මහා ලොකුවට නැතත් පොඩි පොඩි දේවල් වලට මම සම්බන්ධ උනා. 
මුල් කාලේ නාට්‍යයක් කරන්නමයි ඕන කියලා චාරුකට  මම වද දෙන්න පටන් ගත්තා. කලාවට හිතැති චාරුක මට මේම යෝජනාවක් කරා.


" රොටරැක් එකේ මෙහෙම වැඩක් තියනවා ඒකට උඹ නාට්‍යයක් කරපන්."

 ඒක ළමා හිංසනය වගේ මාතෲකාවක් තිබුනේ. මමත් කැප වෙලා පේ වෙලා තුන් හතර පාර හිතලා කෙටි නාට්‍යයක් ලීවා . චාරුක යෝජනා කරපූ නම් කීපයක් එක්ක වට්ස් ඇප් ගෲප් එකකුත් හැදුවා. ඒත් දවසක රෑක ඒ නාට්‍යයේ තාත්තට ගන්න හිතාන උන්නූ කොස්තා කතා කරලා 

 "රඟපාන්න නම් බෑ වෙන ඕනම දෙයක් කරන්නම් කීවා."

නාට්‍යයක රඟපාන්නේ නැතුව වෙන කරන්න තියෙන දේවල් අල්ප නිසා මම  ඒ පිටපතත් අල්ලලා විසි කරලා දැම්මා.

ඒ සිද්ධියෙන් පස්සේ මට නාට්‍යය හදන්න් උත්සහය කරන්නවත් හිතුනේ නෑ.කොළඹ ඉන්නේ කිසිම කලා රසයක් නොදන්න මොළ ගෙඩි කියලා හම්බෙන හම්බෙන එකාට බැන බැන මම ඕපන් කැන්ටින් එකේ ඉන්නකොට කොළඹ කැම්පස් එකට අවුරුද්ද 100 කියලා වැඩක් කරන්න පුළුවන් ද කියලා අනුජිතා ඇහුවා. මං හා කීවම පුලින්, සසංක , ජයති තුන්දෙනාත් එකතු උනා. ඒ වෙනකොට ෆර්ස්ට් ඉයර් එකේ හිටපු අඩි හතර හමාරක් වගේ උස උදානිත් වැඩේට ගත්තා. 
මම කතාව ලියලා , උදානි ලවා කියවලා ,සසංක කැමරා කරා. පුලින් හැමදේකටම පිටිපස්සෙන් හිටියා. වැඩේ මැදදි ජයතිට අසනීප උනත් ඒ වැඩේ වැඩක් විදියට සාර්ථක කරගන්න  එයා පුදුම විදියට  උදව් කරා. ඒ වැඩෙන් පස්සෙ තව වැඩක් කරමු කියලා පුලිනුයි සුභාෂුයි හැමදාම කීවට කොරෝනා තුන්වෙනි රැල්ල ආපහු හැමදේකටම හරස් උනා. එතනින් පස්සේ මායි සුභාෂුයි එකට එකතු වෙලා කරපු එකම වැඩේ බොන එක විතරයි .

මම කැම්පස් එකේ කලාත්මක වැඩක් කියලා අන්තිමට කරේ ඒක විතරයි. එතනින් පස්සේ මාත් සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට අච්චූවකට වැටෙන්න පටන් ගත්තා. අවුට් වෙනකන්ම  මගේ බ්ලොග් එකේ ලියන එකට අමතරව කිසිම දෙයකට මම සම්බන්ධ නොවී සිටියා. 

පස්සේ කාලේක බ්ලොග් එකක් පටන් ගන්න කියලා මගේ සහෝදරයෙක් මට යෝජනා  කරා. මම හෙමීට බ්ලොග් එකකුත් පටන් අරන් ලියන්න ගත්තා.මම අත්වින්ද හැමදේම ඒකේ අකුරු කරන්න ගත්තා. ඒත් ඒක බලන බහුතරයක් මගෙන් ඇහුවේ ' ඒ උඹ කියක් ඕකෙන් හම්බකරනවද ' මිසක් මචන් කොහොමද මොනාද මේ  දවස්වල ලියන්නේ ඉස්සරහට මොනා ගැනද ලියන්නෙ වගේ ප්‍රශ්න නෙවෙයි .

කොටින්ම මට උන්නූ පෙම්වතියටවත් ඒ දේ කරන්නේ ඇයි කියලා තේරුනා කියලා මම අදටත් හිතන් නෑ. ඒ නිසාම ලිවීම මහා පාපයක්ද කියලා හිතෙන තරමට මම නොසන්සුන් උනා.



  කෝමහරි,      ගිය අවුරුද්දෙ අන්තිම කාර්තුව වෙනකොට ලංකාවේ ප්‍රකට පත්තරේකින්  මට ලියන්න කියලා ආරාධනාව ආවා. ඒත් පොඩි කාලයක් යනකොට ඒ වගේ පත්තර කන්තෝරුවල අපට ඕන ද් නෙවෙයි එයාලය ඕන දේ ලියන්න ඕන කියලා තේරුම් ගියාම.මගේ උනන්දුව අඩු වෙන්න පටන් ගත්තා. 

රස්සාවක් පටන් ගත්තම නාට්‍යය කෙරුවාව හීනයක්ම තාම කියලා මට වැටහෙන්න පටන් ගත්තා. ඒ නිසාම මායි පුබුදුයි දෙන්නා එකතු වෙලා කෙටි චිත්‍රපටයක් කරමු කියලා කතා උනා.ඒ කාලේ රනිල් මහත්තයා "ඡන්ද තියන්න ඡන්දයක් කොහෙද තියෙන්නේ කියලා අහපු කාලයක් නිසා  "Always make your own choice wisely " කියලා ටයිටල් එකකින් අපි දෙන්නා කතාව ලීවා. එයාගේ කාමරේ ඉදන් ප්ලේන්ටී තව දේවල් බොන ගමන් වැඩේ නියමට ලියවුනා. ඒදා කාමරේ හිටපු පුබුදුගෙ මල්ලී අශ්වින්ට 

"ශා මේකනම් මරු !! කියලා සද්දෙට කීවා. ඒත් ඒක කරගන්න කලින් පුබුදු මට ලොකු හාද්දක් දීලා එංගලන්තයට ගියා.මම ආපහු ඒ පිටපතත් ලාච්චුවට දාලා ලොකු හුස්මක් ගත්තා.

මම හදිසියේ මේ හැමදේම ලියන්න ගත්තේ මම ලීව හැමදෙයක්ම ගොඩක් අය ලස්සනයි කීවට ඒක ගැන ගැඹුරෙන් කිසිම කෙනෙක් මාව විවේචනය කරලා තිබුනේනෑ
මම පාසලේදිවත් , කැම්පස් එකේදොවත් , සමාජයේවත් ලේඛකයෙක් කියලා ලේබලයක් වැදුනෙ නෑ. කාලයක් මම ඒකට විස්කෝප උනත් මගේ අප්පච්චි නැතිවෙන්න කලින් එයා මට පොතක් ලියන්න කියලා උපදෙසක් දුන්නා.

එයා මට නොකියා කීවේ ඔයා ලියන එක අපතේ නොයන්න ඒක කරන්න කියලා.මම හරියටම මේ අවුරුද්දේ පෙබරවාරි මුල පොතේ වැඩ පටන් ගත්තා. නිකන්ම නිකන් බ්ලොග්කාරයෙක් නොවී හොඳ ලේඛකයෙක් වීමේ අභිප්‍රායෙන් මනා සංයමයකින් මම ඒ ව්‍යාපෘතිය භාරගත්තා. 
ඒත් මගේ අතින් අල්ලලා අකුරක්  ලියවලා ,පොතක් ගෙනත් දීලා වෙනස් මිනිහෙක් වෙන්න කියලා උගන්නපු අප්පච්චිට ඒ පොත දොරටවඩිනවා බලන්න එන්න බෑ නේද කියලා මතක් වෙනකොට මට පෑන අතාරින්න හිතෙනවා.ඒත් එයාගේ ලස්සන හිනාව මැකී නොගිය රාමු කරපු පොටෝ එක දිහා බලාගෙන මම එයාගෙන් තව එක අවුරුද්දක් ඉල්ලනව.

"මට අවුරුද්දක් දෙන්න අප්පච්චි !! අවුරුද්දක්" 







Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...