ටවුමේ ඉස්කෝලෙන් අයින් කරගෙන හරංගල කියන ගමේ ඉස්කෝලෙට මාව දාන්න ඕන කියලා අම්මයි අප්පච්චි තීරණය කරන කොට මට යාන්තම් අවුරුදු නමය හමාරක් ඇති.මම අනූඅටේ ජනවාරි නිසා මම වාසි අවුරුද්දෙලූ. ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එකෙදි උනත් වාසිලු.පොඩි මල්ලීලා එක්කලු දුවන්න පනින්න තියෙන්නෙත්.ගුරුවරුයි , මගේ නෑදෑයොයි. මාගේ පොඩි ඔලුව පුරවපු එකදෙයක් තමා ඔන්න ඔය කතාව. සමාව අවසර !! පොඩ්ඩක් කැළේ පනින්නමයි අදහස. ඔව් ඔව් ඉතින් !! සිංහයෙකුගෙන් පැවත ආවම වැඩි මනාපය කැළේට තාමා. හෝ....හෝ...මම ආපහූ මගේ කතාවට ගොඩවෙන්නම්කෝ.
2008 මාර්තු මාසේ 3 වෙනිදා අලුත් ඉස්කෝලෙට යන්න හරියටම දවස් දෙකකට කලින් රෑක මම දිනපොතක ලීවා මගේ පරණ ඉස්කෝලේ ගැනයි , මගේ යාළුවෝ ගැනයි(එච්චර පොඩි කාලේ දේවල් තමා උඹට මතකද කියලා මට අපවාද කරන්නට දත කන මහත්වරුනි.මගේ සමීපතම මිත්‍රයින්ගෙන් අහලා බලන්න ගණන් සාස්තරේ බැරි උනාට ආයූබෝවන්ඩ !! මට දින වකවානු යසට මතක හිටින බව උන්දෑලා නොසඟවා කියයි) .
දුඹුරු පාට රබර් වගේ අතට සිනිඳුවක් දැනෙන බර දිනපොතේ මාර්තු කියලා මහා උජාරුවට ඉංග්‍රීසි අකුරු පහකින් තිබුන තීරුවට හරියටම පහතින් ඇද වෙච්ච උස් වෙච්ච අකුරු වලින් මම මගේ දුක ලීවා. ඇද විට්ටමට හේත්තු වෙලා මහගමසේකර කවි පටබඳින්නා වාගේ මම දිනපොතේ මගේ වේදනාව පටබැන්ඳා.
හරංගල ඉස්කෝලේ මට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වුනා. කොන්තමලේ වේල්ලට උඩ පැත්තට වෙන්න තිබුන හරංගල හරි ලස්සන ගමක්. ගමේ මිනිසුන් පවා සරල අහිංසක උදවිය. පාසලේ මාදාවියෝ නැතිවෙන්න හරංගල ගමයි , ගම කෙළවරෙන් ගලන ඇළයි හැමදාම නිසලව පවතින්න තිබුනා. ඒත් 1934 වගේ කාලෙක උපරතන කියලා ස්වාමීන් වහන්සේ නමක් මුල්වෙලා ගමට පාසලක් තේමාවෙන් මේ පාසල ඉදිකරලා තිබුනා.
කෝප වෙන්න දෙයක් නෑ මේ බලවතුන් , ඔන්න ආපහූ මම කතාවට එන්නම්කෝ.
ළමයින් 16 ඉඳපු පන්තියේ ඉඳන්ම මට හැමදේම අමුතුවට පේන්න පටන් ගත්තා. අනුරුද්ධේ මම දැකපූ ලී පඩිපෙළ , සූදූ පාටින් දිලිසෙන උස ගොඩනැගිලි , හිටපූ විදුහල්පති මහත්වරුන්ගේ උජාරු පින්තූර කිසිම දෙයක් මට හරංගල පෙනුනේ නැහැ.අව්වට වේළුනු හරිම අජිවි බවක් පොඩි මට දැනෙන්න ගත්තා.
අම්මගේ ඇඟිල්ලේ එල්ලීලා හරංගල හන්දියෙන් බැහැලා පහළ බෑවුමට බැහැගෙන බැහැගෙන යනකොට මුලින්ම කටු කම්බි කැඩුනූ වැටක් ඇතුළෙන් බොල් තාලම්පටක් වදින සද්දයක් ඇහෙන්න ගත්තා. ටිකෙන් ටික ඉස්කෝලෙට ළං වෙනකොට තාලම්පටයි අඩි සද්දයි හරියටම එකට මුහුවෙන්න ගත්තා. හොඳටම ළං උනාමයි මම දැක්කේ, අඳුරු නොඋස් දැරිවියෝ ගොන්නක් සිහින් නැටුම් ගුරුවරියකගේ බොල් තාලම්පට තාලෙට නැටුමක් නටන විත්තිය. එතනින් ටිකක් පහලට එනකොට , යාන්තමින් මගේ වයසට සමාන කොලු ගැටයෝ කීපදෙනෙක් හොඳින් මාව විපරම් කරන්න ගත්තා. එතනින් එක් නිර්භීත ගැටයෙක් තමන්ගේ හඬ බුරුල් කරා.
" ස්...ස්...මාමා. මල්ලී කීය පන්තියටද ???"
අප්පච්චි මටත් කලින් ඉස්සර උනා..
"හයේ පන්තියට පුතා."
කොලූ ගැටයන්ගේ මුහුණේ සිනාවක් මතු උනා.
" ආ..එහෙනම් අපට බාලයි. "
ලද පිළිතුරෙන් සෑහිමකට පත් වූ ඔවුන් අප හා සමාන්තරව විසිර ගියා .ඒ පොළවේ ඇදමින් ගමන් කළ බොහෝ දෙපා ඉන් වසර පහක් පුරා නිරුවත්ව තිබූ අයුරු මා දුටුවා.
හරංගල සිදුවීම් එකින් එක පෙළගැස්වීමේ අරමුණක් මාහට මෙහි නැත. එය පාඨක ඔබට කෙසේ වුවද , ලේඛක මා හට මහත් වූ පීඩාවකි. එබැවින් හරංගල සහ බැඳුනූ මගේ ඉංග්‍රීසී උගැන්ම පිළිබඳ යමක් මෙහි ලියා තබන්නෙමි.
හයේ වසර පටන්ගත්ත ගමන් අපට ලැබුනු ඉංග්‍රීසී ගුරුවරිය ගැන මට ඇත්තේ අපහැදිලි මතකයකි . ඒත් ටිකාක් ආයාසයෙන් මතක් කෙරුවොත් ශ්වේත වර්ණැති නොඋස් ඒහා සමානව නොසිහින් ගුරුවරියක් මා මනසට නැඟිම නොවැළැක්විය හැකි කරුණකි. ඈ සතු සුවිශේෂ ලක්ෂණයක් ඒකල මා අධ්‍යනය කළේ ය. පන්තියේ ඈට අවනත ඈ ප්‍රිය කරන දරුවන් එහෙමත් නැත්නම් ඇයට හිතෛෂී ගෝලයන් කිහිපදෙනකු විය. ඔවුන් ඇයගේ ප්‍රාථමික කල සිට සිප්සතර හැදෑරුවෝය. ඔවුනගෙන් පිට වෙන සිසුවෙකු හට ආලය හෝ අවධානය පෑම ඈ සැලකූවේ ආනන්තරීය පාපකර්මයක් ආකාරයටය.
මේ හේතු කොට ඇයගෙන් මා සහ එකල මාගේ ඉතා හොඳ මිතුරකූ වූ අතපත්තු සහ ඉසුරු නොසෑහෙන්නට පහර කෑවේ ය.පැන්සල් පෙට්ටියෙන් උර පතුලට පත බෑ ඇගේ ප්‍රධාන දඬුවමයි. දඬුවම් කරු ඈට වඩා උස නම් කනෙන් අල්ලා පහත් කොට සමඋසේ සිට පහර දීම ඇගේ මනාපයයි. මාගේ මතකය නිවැරදි නම් නදුන් සහ ලක්මුතු ඈගේ ප්‍රියතම සිසුවන්ගෙන් කිහිපදෙනෙකු විය . .
ඈගේ මේ ක්‍රියාකලාපය හේතුකොට ඉතා ඉක්මනින්ම ඉංග්‍රීසී උගැන්ම මට නයාට අඳුකොළ වන්නට විය.
එතැනින් වසර තුනක් හෝ දෙකක් ඇවෑමෙන් මෙකී පෙරකී ගුරුවරිය ඉවත් වී නව තරුණ ගුරුවරියක් ඉංග්‍රීසී භාෂාව උගැන්විම සඳහා පැමිණියේ ය. ඈ සිටි කල අප මහත් වූ ආනන්දයෙන් ගත කළද ඉගෙනගත් ඉංග්‍රීසීයක් නම් නොමැත. එකී සුන්දර ගුරුවරිය අප පාසල අතහැර වෙනතක ගිය කල අප හඬා වැටුනේ අපගේ ආනන්දය අහිමි වීමේ ශෝකයට මිසක් ඉංග්‍රීසී ගුරුවරියක් අහිමි විමේ ඛේදවාචකයට නොව.
දෙවන වරටත් මාගේ ඉංග්‍රීසී කෙරෙහි වූ ආසක්ත බව පිරිහෙන්නට විය. මෙය එතරම් හොඳ දසුනක් නොවන වග හැඟුනු මගේ මව වහාම මා අමතර පන්තියකට ඇතුළත් කළේය . නමුත් මාගේ පාසල් ඉංග්‍රීසී දැනුම දිනෙන් දින ආගාධයට ගමන් කරන්නට විය.මාගේ මිතුරු හවුලේ තත්වය මීටත් වඩා භයානක විය.
මේ සමඟම අප පාසලේ පරිපාලන ප්‍රධානීන් , අපගේ ඉංග්‍රීසී දැනුම නන්වාලීමට නෙක නෙක ගුරුවරුන් අනියුක්ත කරමින් ලිට්මස් පරීක්ෂණයක් බඳූ අත්හදා බැලීම් කරන්නට විය. වරක පිරිමි ගුරුවරයකු යෙදූ කල අපගේ මදාවිකම් දුටු විට ඔහූ මාරාවේස වී පහර පිට පහර දෙන්නට විය. මෙයින් නුදුරේ මිනීමැරුමක් විය හැකැයි අනුමාන කළ බලවතුන් එම විසඳුමෙන් විතැන් විය.
ඔවුනගේ දෙවන බර අවිය, සොඳුරු තරුණ ගුරුවරියක් විය. නමුත් එයින් එකී තරුණ ගුරුවරියට රැකියාවත් එපා වී අනාගත දරුවකු හදාවඩා ගැනිමේ ප්‍රියතාවද මැකී යාවියැයි අනූමාන කල විදුහල් බලවතුන් නැවත එම උපක්‍රමයද සීරු මාරු කළේ ය.
මෙවර ඔවුනගේ තෝරාගැනිම මැදි වයස ඉක්මවූ අත්දැකීම් බහුල පෘතුල ගුරුවරියකි. මුල් සතිය තුළ දැහැනට සමවැදුනූ බමුණන් සේ ඉංග්‍රීසී උගත අප සතියක ඇවෑමෙන් නැවත රස ඵල බුදිමින් පිනුම් ගසමින් කෑකොස්සන් ගසන කුඩා රිළා රංචුවක් බවට පත්විය. මුලින්ම රැජිනගේ ඉංග්‍රීසීයෙන් ඈ බැණ වදින්නට විය .
අයියෝ ස්ටූඩන්ස් , බී ක්වයිට්.වෙයාර්ස් යූවර් ගුඩ් ඇටිටුඩ්ස්..වට අ ශේම් !!!
ඈ කඩුවෙන් පහර දෙන කල අප සිංහලෙන් දමා ගසන්නට විය.කිසිවිටක අප සන්සුන් කොට ඇයට පාඩම කරන්නට නොහැකි විය. පන්තිය මිශ්‍ර වූ බැවින් (ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයම ) ඉගැනුමට හිතැති දැරිවියන්ද ඇස් කොනෙන් අප දෙස බලා මුමුණමින් බැණ වදින්නට විය. ඔවුන බැණ වැදුනේ ඉංග්‍රීසීයෙන් දැයි අදටත් මා නොදනි.
පසුව ඉංග්‍රීසීයෙන් බැණ වැදිම අතහැර ඈද අපහා එක්ව සුද්ද සිංහලයෙන් බැණිම ආරම්භ කළේ ය. මෙම සටහන මා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළකරන්නට අදහස් කොට ඇති බැවින් , එවන් වදන් මෙහෙ නොලියා සිටිමට තරම් ම සංවර වනු කැමැත්තෙම් .
තවත් කරුණක් කීමට මා අවසර යදමි , එකල මාගේ ඉංග්‍රීසී අකුරු ඉතා කැත බවත් එය බල්ලෙකුට කටේ තැබිමට නොහැකි බවත් පැවසු උක්ත සඳහන් කල නොඋස් ඉංග්‍රීසී ගුරුවරිය ඩබල් රූල් පොතක් ගෙන නැවත මුල සිට අකුරු ලිවිය යුතුබව මට තරයේ අවවාද කොට සිටියේ ය.
එකල පැවති නීතී රාමූ අනූපූරකව , ඩබල් රූල් පොතෙන් සමත් වන්නා තනි රූල් පොතට මාරු වන අතර එයිනුත් හොඳින් අකුරු පටබඳින්නා හට "වැල් අකුරු " ඉගෙන ගැනිමේ ඉඩ ප්‍රස්තාවක් ලැබිනි. නමුත් තෙන්නකෝන් මුදියන්සේලාගේ වක්කුඹුරේ ගෙදර තීක්ෂණ මනුජය බණ්ඩාර තෙන්නකෝන් වන මා එම වසර තුනටම කිසිදිනක ඩබල් රූල් පොත් ඉක්මවා ගොස් නැත.එබැවින් අදටත් මා වැල් අකුරු නොහඳුනන්නෙමි.
මේ ආකාරයෙන් ඉංග්‍රීසී පන්තිය හිතාමතා මඟහරිමින් කැන්ටිමේ බනිස් කමින් කිරිතේ බිව් මම උසස් පෙළ ඉංග්‍රීසී විෂයේ සිතාමතා නිදා ගත්තෙමි. එයින් වසර දෙකක් ඇවෑමෙන් මා කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පිඨයට තේරී පත්වුන ලදි. අර්බුදය මුහුණ පුරා විසිරෙන්නට වූවේ එතැන් සිටය.
දිනක් විශ්වවිද්‍යාලයේ භුමියේදි සොඳුරු ලියක් රැජිනගේ භාෂාවේන් මාහට පැනයක් තබන ලදි. දශකයක් පමණ පැරණි මාගේ හරංගල පාසලේ ඉංග්‍රීසී පරිච්ඡේදය රීදී සේයා පටයක් මෙන් මාහට පෙනෙන්නට විය. මා තද හුස්මක් ගෙන ඇයට බායි කීවෙමි. එතැන් සිට පුරා සිව්වසරක් ඇගේ සොඳුරු මුහුණ මා නැවත කිසිදින එහිදි නොදුටුවෙමි. මාහට දකින්නය අවශ්‍ය වුවද , ඇයට එය අවශ්‍ය නොවන බව මා ගලේ කෙටූ අකුරක් මෙන් මා දනිමි.
මා තවමත් එංගලන්තවාසී භාෂාව අසමත් බැවින් , මෙයද මගේ මව්බාසාවෙන් ලියාතබමි.
දැනූමේ අන්තය භාෂාව නොවුනද , භාෂාවෙන් තොර අනන්ත දැනුමක් නොමැත.
හරංගල සිටි කල ඉංග්‍රීසී පන්තියේ හොරගල් ඇහිලු මා ඉන් දශකයකට පමණ පසුව අදත් උගත් පාඩම මෙයයි.
✨️😍
ReplyDeleteහරි පුදුම ඉස්කෝලේ මතක් උනා.....
ReplyDelete