Skip to main content

හුණුපිටියේ පුවත්පත් ප්‍රේමය...

ලිවිම සහ කියවීම මාහට උරුම කරවූවේ මාගේ පියාය. වසර ගණනාවක ඇවෑමෙන් තවමත් එහි ක්ෂය නොවූ අංශූ මාත්‍රයන් මා හා බැඳි පවති.මෙම බ්ලොග් සටහන පවා එහි එක් අවක්ෂේප කුඩකි.

මාගේ පියා මින් දශකයකටත් එපිටින් වූ යම් දිනක රතු පැහැතී අකුරෙන් මුද්‍රිත "ලංකාදීප" නම් වූ බරැති තීන්ත සුවඳ පහව නොගිය පත්‍රයක් ගෙනවිත් කියවිම සඳහා මා නිරායාසයෙන් යොමු කළේ ය. එයට පෙර ලංකා , රාවය , ලක්බිම , දිවයින සහ අනිද්දා මගේ දෑසට අසූවූ පුවත්පත් නාමයන් ය. කෙසේ හෝ ලංකාදීප පුවත්පත යම් මුද්‍රණාලයක මුද්‍රණය කලේ නම් , එකී පුවත්පත් සමාගමෙන්ම මුද්‍රිත කහ පැහැති පසුබිමේ රතු පැහැයෙන් මඳක් ඇලවූ හෙඩිමක් සහිත "විජය" නම් වූ පුවත්පත සෑම සඳු දිනකම සිය අත් බෑගයේ සඟවා ගෙන පැමිණෙමින් මගේ මව මා පත්තරකාරයෙක් වීමට අවශ්‍ය උත්ප්‍රේරකය ලබා දුන්නේ ය.

මා පත්තරකාරයෙක් සහ කාටුන් ශිල්පියකු වීමට දැරූ උත්සහය මෙන්ම එකී සිහිනය බිඳ වැටිම " Dreams were perished " නමින් කෙටි ලිපියකින් මා මීට පෙර විස්තර කොට ඇත . මෙකී සටහන අවසන එයද , පාඨක පහසුව තකා අමුණා තබන්නෙමි.

එනමුදු , අද දින මාගේ ප්‍රේමණීය මතකාවර්ජනය විටෙක මවක් , විටෙක ගුරුවරියක් මෙන්ම විටෙක පෙම්වතියක් මෙන් මා සැනසූ මාගේ හිතාදර කඩදාසිමය මිතුරිය උදෙසායි . ඈ අන් කිසිවකු නොව හුණුපිටිය හරස් පාරේ අංක 22 දරණ ස්ථානයේ රංජිත් විජේවර්ධනයන්ගේ අනුදැනුම මත මුද්‍රණය වූ "විජය" පුවත්පතයි. මා මුලින්ම විජය පුවත්පත අතපත ගාමින් ආලය කරන්නට වූවේ 2006 වසරේදිය. එතැන් සිට 2013 තෙක් මා නොකඩවා විජය පාඨකයකු වුනෙමි. සෑම සතියකම මගේ මව මාහට පුවත්පත ගෙනත් දුන්නෙමි. එය ඇගේ රාජකාරිඋඅ හා සමානව නිශ්චිත වූ සිදුවීමකි. ඉහතකී සත් වසර පුරාවට පියල් උදය සමරවීරගේ "මල්මාමාගේ" සිට හිඟුල්වල දිසානායකයන්ගේ "රජ්ජුරුවෝ මං" දක්වා චිත්‍ර කතා හා මා සමවැදුනෙමි. මෙගා ටෙලි බඳූ චිත්‍ර කතාවේ එක් කොටසක් අවසානයේ අනෙක් කොටස අරඹන තෙක් මා නියපොතු සපමින් කාලය ගත කළෙමි. කුඩා දරුවකු ලෙස මා මුලින්ම පුවත්පතේ චිත්‍ර සහ කාටුන් වෙත ආසක්ත වූ අතර එකල එහි සමන් කළුබෝවිල නම් දක්ෂ චිත්‍ර ශිල්පියකුද විය. "විජය" කතු මඬුල්ල ඉතා දක්ෂ අයුරින් ඔවුනගේ ලිපි අතර උක්ත චිත්‍ර ශිල්පීන්ගේ මන බඳනා සිතුවම් එකතු කළේ ය. එකී පිටු සැකැස්ම ඔවුනගේ සහෝදර ළමා පුවත්පත බඳු වූ ලේක්හවුසියේ පැරණි මුද්‍රණාලයෙන් නිකුත් වූ "මිහිර" පුවත්පතේ කිසිකලක නොතිබිනි. විජය සෑම විටම පාඨකාගාරයට නවමු අත්දැකීමක් හුරු කළේ ය.මෙම ව්‍යාපෘතිය රොශාන් වටවල පුවත්පතේ සේවය කරන සමයේ පවා දක්නට ලැබිනි.

විජය පුවත්පතටම ආවේණික වූ විශේෂාංග රාශියක් එකල විය. මුල් පිටේ හලලියේ කරුණාතිලක (නමේ දෝෂයක් වී නම් සමාව අයැදමි.) රචනා කරමින් රූ ගැන්වූ සක් හඬ චිත්‍ර කතාව , පුජ්‍ය වලස්ගල මයුරවංශ නාහිමිපාණන්ගේ ( උන්වහන්සේ කලකට පෙර අපවත් වී වදාළහ ) " නව සියවසට නව සංකල්පනා " ලිපිය සහ ඒ හා අළලා පියල් උදය සමරවීර ඇඳි හුරුබුහුටි සිතුවම, ප්‍රබෝධ කහඳගමහේ ලිවූ "ගිං ගඟ අද්දර නිවාඩුව " නම් ලිපිය , ප්‍රවීණ මාධ්‍යවේදී ලුසිත ජයමාන්න විදෙස් පුවත් සේවාවන් කළඹමින් එහි පුවත් සිංහල භාෂාවට පෙරළමින් රචනා කළ විදෙස් විත්ති හා එකල ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘත්වය දැරූ ආරියනන්ද දොඹගහවත්තයන්ගේ ළමා නවකතාව එකී විශේෂාංග වලින් ප්‍රධාන තැනක් ගත්තේය.මෙහි දොඹගහවත්තයන්ගේ නවකතා පසුකලක පොත් වශයෙන් ද පළ විය. බෙරගල කන්දේ නිධානය එයින් වඩාත් ප්‍රචලිත වූ කතාමාලාවයි.

අන්තර්ජාලය හෝ සයිබරය පිළිබඳව ඡායාමය දැනුමක් නොතිබූ දසවියැති මාගේ මුළු මහත් සතියකම විනෝදය ,දැනුම සහ රසකාමීත්වය ගැබ්වූ කලා මාධ්‍යය "විජය" පුවත්පත විය. මා ඇතුළුව අනූව දශකයේ උපන් පුවත්පත් සමඟ සිය ප්‍රේමණීය ජීවිතය ගෙනියාවූ සෑම අයෙකුටම මෙය පොදු කරුණක් යැයි මම සිතමි. එකම ලිපිය මා සියවතාවක් කියවමින් රසවින්දෙමි . මාගේ සමීපතම මිතුරන් මා වෙත දමාගසන්නා වූ සොඳුරු චෝදනාවක් වන්නේ මා ලොව සිදුවූ විශේෂිත සිදුවීම් සිදූවු කාල සීමාවන් සහ ඒවාට නිරාවරණය වූ මිනිසුන්ගේ නම් ගම් මතකයේ තබාගැනිමට ආයාසයෙන් උත්සහ දරන බවයි. නමුත් සැබැවින්ම මා සතුව එවන් මතකයක් පවතිනම් එයට බලපානා වූ පරම හේතුව උක්ත සඳහන් කළ " විජය" පුවත්පතේ එකම ලිපිය දහස් ගණනින් සතිය පුරා කියවිමයි.

මෙය මා නොවළහා කිව යුතු සත්‍යයකි .මාගේ ජිව්තයෙ යම් අයුරකින් හෝ කලාකාමි විතැන් විමක මායාමය හේතු සාධකය කුමක්දැයි අයෙක් ඇසූවිට උක්ත අකුරු තුන මා පෙන්වනවා නිසැකය. මක්නිසාදයත් "විජය" යන්න මා එතරම් ආස්වාදයට ලක් කළ කරුණක් විමයි. මා වයසින් මුහුකූරා යන කළ විජයට ලිපි යැවිම ආරම්භ කළ අතර එලෙස මා යැවූ මුල්ම ලිපිය "සුන්දර කොරල්පර" ලෙස නාමකරණය විය. එය මම 2010 ජුලි මස ලියාපදිංචි තැපෑලෙන් විජය කතු මඬුල්ලට යැවූවෙමි. එම ලිපිය එකල එහි සේවය කළ ගයත්‍රී සමරවීර නම් මාධ්‍යවේදීනිය භාරයේ යවන ලදි. ඇගේ උපකාරය මත එම ලිපිය අගෝස්තු මස අඟහරුවාදා දිනයක පුවත්පතේ පළ විය. මා සතුටෙන් පිම්බෙමින් ප්‍රීතිමත් විය.

දැනට ජිවිතයේ විසි සතරවන විය පසුකරන මා තවමත් මෙලෙසින් මගේ ළමා කාලයේ ප්‍රියතම පුවත්පත පිළිබඳ වර්ණැති මිශ්‍ර හැඟිමකින් කතා කරන්නේ මන්ද ??.

මක්නිසාදයත් , එකී පිටු කිහිපය ගුරුවරයකු තරම්ම මා පරිපුර්ණ කළ නිසාවෙනි. භෞතික මට්ටමේ ගුරුවරයකු කලින් කල වෙනස් විමට ප්‍රවණතාවක් තිබුනද " විජය" පුරා සත්වසරක් සිය ගුරු භූමිකාව මැනවින් ඉටු කළේ ය. ඔවුන් 2011 වසරේ හඳුන්වා දුන් " දැනුම නිධානය" නම් සඟරාමය නව අත්හදා බැලිම හරහාද පෙර නොවු විරූ දැනුමක් සහ විනෝදාස්වාදයක් මාහට ලැබිනි. එය ජගත් විශ්ව කෝෂයකි.දරුවන්ට නොමිලේ ලෝකය හා යාවිමේ මාර්ගයකි.

මෙය මාගෙ පසුතැවිමේ ශෝක පණිවිඩයයි පසුගිය සිව් වසර පුරා මා කොළඹ ආසන්න කොට ජිවත් වුනෙමි. මාගේ විශ්ව විද්‍යාල සමයේදි පවා මම "විජය"කාර්‍යාලයට පියමැනිමට ප්‍රිය කළෙමි. විවිධ කාර්‍යන් සඳහා ගංගාරාමය අසළට ගමන් කළද මගේ පැරණි මිතුරිය මට කුමන හෝ අයුරින් මඟ හැරුනි. ඒ හේතු කොට මගේ විජය කාර්‍යාල චාරිකාව සහ මගේ කුඩා කළ පෑනෙන් සටන මෙහෙයවූ වීරවයන් දැකබලාගැනිම නුදුරේ ඉටුවන තෙක් මෙකී අකුරු ඇමිණුමට මා මගේ සිත නැඹුරු කරගත්තෙමි. සිද්ධියෙන් සිද්ධිය ඇමිණුම් කොට මා මෙම සටහන මෙලෙසින් අවසන් කරන්නෙමි.

"නුඹට ප්‍රාණයක් නොමැති බව මම දනිමි.නුඹ ආශ්වාසයක් හෝ ප්‍රාශ්වාසය සිදු නොකරන බව මම දනිමි. ඔබගේ මුද්‍රිත තීන්ත සුවඳ හැරෙන්නට ජීවමය ගන්ධයක් නැති බව මම දනිමි, නමුත් දහසක් වූ කලාකාමී සිත් සහ අත් නුඹව පරිපූර්ණ මඟපෙන්වන්නෙක් කළේ ය. පුරා වසර හතක් නුඹ එකී මඟපෙන්වන්නා වෙමින් මා ගැඹුරු දියෙන් එතෙර කළේ ය. "විජය" නම් වූ මාගේ පූරාණ ප්‍රේමවන්තිය නුඹට ස්තුති !!! මාව මිනිසෙකු කරාට.

Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...