මෙරට තුළ සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රාමාණික අයුරින් හදාරා ඒ හා සමානව එහි භාවිතය ප්‍රයෝජනයට ගත් උගත් පරපුරේ ආදිතම පුරුක මීට මසකට පමාන පෙර දිවංගත විය.
එකී පරම්පරාවේ සාමාජිකයන් වූ සාහිත්‍යයධර මාර්ටින් වික්‍රමසිංහයන් ,මහාචාර්ය කාලෝ ෆොන්සේකා , සිනමාවේදි ආචාර්ය තිස්ස අබේසේකරයන් , මහාචාර්ය සුචරිත ගම්ලත් , මහාචාර්ය එදීරීවීර සරත්චන්ද්‍රයන් , ටයිටස් තොටවත්තයන් ලෙසින් වූ නාමාවලියේ අවසානතමයා අන්කවරකු නොව මෙරට කීර්තිමත් ප්‍රාග් ඉතිහාසගත කැණිම් ශිල්පියේ මූලිකත්වය ගත් ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගලයි."සාහිත්‍යය කන්න දැයි ?? " ඇසූ ජනාධිපතිවරුන් සිටි රටක බොහෝ දෙනෙකු ආචාර්ය දැරණියගල නොදැන සිටිම විස්මයට කරුණක් නොව. පහතින් දිගහැරෙන කරුණු සමුදාය ගොඩනැගෙන්නේ මෙය කියවන බහුතරය ආචාර්ය දැරණියගලයන් පිළිබඳ නොදන්නවා යන උපකල්පනය මතයි. ඉතිහාසය යනු හුදෙක්ම ශාස්ත්‍රීය ලිපියක් නොව අනාගතය සහ වර්තමානය එක්කොට යා කරනා මාර්ගයයි.ඉතිහාසයෙන් තොර වර්තමානයක් සේම අනාගතයක්ද නොමැත.
ආචාර්ය ශිරාන් දැරණියගල සිය කුරුවිට වලව්වේදි |
ශිරාන් උපේන්ද්‍ර දැරණියගල 1942 මාර්තු පළමුවන දින කුරුවිට වලව්වේ උපත ලබන්නේ මෙරට සුප්‍රකට පවුලක ප්‍රථම පිරිමි දරුවා ලෙසයි. ඔහුගේ පියා වූ P.D.P දැරණියගල ශ්‍රි ලංකාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රථම දේශිය භාරකරුයි.ඔහු එම තනතුර භාරගන්නා තෙක් එහි කටයුතු දරමින් සිටියේ ඉංග්‍රීසි ජාතිකයන් විසිනි පසුකලක P.D.P දැරණියගල මහතාද මෙරට පුරාවිද්‍යා කොමසාරිස් බවට පත්වූ අතර සිය පියාගේ මඟ ගත් මෙහි කතා නායකයා වන කනිටු දැරණියගලද පසුකලක පුරාවිද්‍යා බලයලත් කොමසාරිස්වරයා බවට පත්විය.
ලන්ඩනයේ අධ්‍යාපනය
ඉපැරැණි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා කේම්බ්‍රිජ් හි ට්‍රිනිටි විද්‍යාලයේ සංස්කෘත භාෂාව සහ වාස්තු නිර්මාණ ශිල්පිය සිය මුලික උපාධිය ලෙස ලැබූ දැරණියගල තරුණයා ඉන්පසුව ලන්ඩනයේ Institute of Archeology හි පුරාවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිමත් සමඟ ඔහුගේ පුරාවිද්‍යා විෂය කෙරෙහි වූ ආනන්දනීය ආලය ඉස්මතු වන්නට විය. ආචාර්ය දැරණියගලයන් ඔහූගේ මුලික උපාධියේ ලැබූ දැනුමෙන් පසුකලක පෙරදිග භාෂා විධි පිළිබඳව විධිමත් දැනුම් සම්භාරයක් ලැබූ අතර අසූව දශකයේ සිට මෙරට සිදුවූ බොහෝ කැණිම් කටයුතු හි පශ්චාත් අවධියේ නිරීක්ෂණයන් නිගමනයන් සඳහා එම දැනුමෙන් විශාල සහයක් ලබාගන්නා ලදි.
ඔහුගේ මරණයෙන් පසුවද බොහෝදෙනෙකු ඔහුව පුරාවිද්‍යාඥයකු ලෙස ලඝු කළද ඔහුගේ සංස්කෘත දැනුම අතිශයින්ම උසස් මටටමක පැවතිනි. ඔහු එංගලන්තයේ සිට පැමිණි මුල් යුගයේදි කැළණි සරසවිය හා සබැඳිව සංස්කෘත භාෂාවේ මුලික රීතී උගැන්විමද ආරම්භ කළේ ය. ස්වයං අධ්‍යාපනයෙන් සහ මනා උද්‍යෝගයකින් පැරණි පොත පත පරීශීලනය කළ මේ මහතා ලන්ඩනයේ Institute of Archeology හි ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළේ Golden Child නම් පදක්කමද සමඟයි. එවැන්නක් ලද ප්‍රථම ලංකීක ඇකඩමියානු බුද්ධිමතා ඔහුයි.
ශිරාන් දැරණියගල නැවත හැත්තෑවේ දශකයේ මුල් කාර්තුවේ එංගලන්තයේ සිට මෙරටට පැමිණි අතර ඔහු ඍජුවම ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනියුක්ත වි සේවය කිරිම ඇරඹිනි. නමුත් ඒවනවිට පුරාවිද්‍යා කැණිම් කටයුතු සිදුකිරිමට අවශ්‍යය තාක්ෂණික උපාංග මෙරට නොවු බැවින් අසූව දශකය ආරම්භය වනතෙක් ඔහු ක්‍රියාකාරී කැණිම් කටයුතු සඳහා යොමු නොවිනි. නමුත් ඒ සමය තුළ සිය සහයක කණ්ඩායම සමඟ බොහෝ ලෙන් ගවේෂණයන් සිදුකළ ඒ මහතා විශේෂයෙන්ම යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යාන දෙකෙහි එතෙක් අවධානයට ලක්නොවූ ප්‍රාග් යුගයට අයත් ලෙන් දෙකක් පිළිබඳ සෛද්ධාන්තික පර්‍ය්යේෂණ කටයුතු සිදුකරමින් පැවතිනි. එතුමන් ඒ වනවිට ඉංග්‍රීසි පුරාවිද්‍යා ගවේෂකයන්ට හසුනොවූ විෂය ක්ෂේත්‍ර සහ ස්ථාන පිළිබඳ සිය අවධානය යොමු කළේ ය. විශේෂයෙන්ම එතුමන් සිගීරිය වැනි ස්ථානයක් වෙනුවෙන් සිය කාලය මිඩංගු නොකොට ඉන් එහාට ගොස් නුතන මානවයාගේ ප්‍රාග් යුගයේ සාක්ෂි අධ්‍යනයට සිය කාලය කැප කළේ ය. ආචාර්ය දැරණියගල මහතාට එකල මුහුණදිමට සිදුවූ විශාලතම අභියෝගය වූවේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමඟ ශිඝ්‍රයෙන් සිදුවූ නාගරීකරණයේ අනිසි ඵල විපාකයෙන් බොහෝ ඉපැරණි මෙන්ම කැණිම් කටයුතු කළ යුතු ස්ථාන ජනාවාසකරණයට ලක්වීමයි. ශිරාන් දැරණියගල විසින් එම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනිමට අවශ්‍යය කටයුතු නොපිරිහෙලා සිදුකළ අතර ඒ සඳහා අවශ්‍යය දේශපාලනික බලයද ඔහුට ඕනෑතරම් තිබිනි. මක්නිසාදයත් ඔහුගේ මවගෙ පාර්ශවය වූ මොළමුරේ නාමය මෙරට දේශපාලන ඉතිහාසයේ බොහෝ වැදගත් සන්දිස්ථානයන්හි කැපීපෙනෙන කාර්‍යභාරයක් ඉටුකළ දේශපාලන පවුලක් විමයි.
පාහියන්ගල හමුවෙයි
1968 වසරට පෙර මෙරට සිදුවූ බොහෝ පුරාවිද්‍යා කැණිම් සිදුවූවේ කොළඹ ජාතික කෞතුකාගාරයේ අනුදැනුම සහ අනුග්‍රහයට අනුගතවෙමිනි.එකල කෞතුකාගාරයේ පාලන තන්ත්‍රයෙන් ලද තොරතුරුක් අනුව ආචාර්ය දැරණියගල මුල්ම වරට බුලත්සිංහල පාහියන්ගල වෙතට නිරික්ෂණ කටයුතු සඳහා සහභාගි විය. නමුත් පෙර පැවසූ පරිදි තාක්ෂණික අංගෝපාංගයන් හි පැවති අඩුපාඩුව නිසාවෙන් 1986 වසර තෙක් ඔවුන් මෙහි ක්ෂේත්‍ර කැණිමකට යොමු නොවිනි.
පාහියන්ගල ලෙනේ පිටත දර්ශනය |
ආචාර්ය දැරණියගලයන් පසුකලක පැවසූ අන්දමට පාහියන්ගල ලෙන යනු තෙත් කලාපයේ තිබෙන ලෙන් කිහිපය අතරින් විශාලතම ලෙනයි. සාමාන්‍යයෙන් වියළි කලාපයේ විශාල ප්‍රාග් ලෙන් දැකිමට හැක උදාහරණයක් වශයෙන් යාල නැගෙනහිර ලෙන දඹුල්ලේ ලෙන ආදිය පැවතුනද තෙත් කලාපයේ බොහෝ විට පුරාවිද්‍යාඥයන්හට නිරික්ෂණයට අවස්ථාව ලැබෙන්නේ කුඩා ප්‍රාමණයේ ලෙන් පමණි. පාහියන්ගල ලෙනට අමතරව තරමක විශාල භූ සැකැස්මක් සහිත ලෙන වන්නේ කිතුල්ගල බෙලිලෙන පමණි. මේ හේතුව නිසාවෙන්ම අවශ්‍යය සංරක්ෂණ කටයුතු සියල්ල සිදුකොට 1986 වනතෙක් ආචාර්ය දැරණියගල සහ කණ්ඩායම පාහියන්ගල ලෙන වෙතට අවධානය යොමුකොට පැවතිනි.
1986 වසරේදි පාහියන්ගල ලෙන කැණිම ඇරඹු අතර ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස දැරණියගල මහතා කටයුතු කළේ ය.
මුලික වශයෙන් ඔවුන් පාහියන්ගල ලෙන අදියර දෙකක් යටතේ ගවේෂණය සිදුකළ අතර ප්‍රධාන වළ නොහොත් මුලික ලෙන කැණිම් කටයුතු මුලින්ම ආරම්භ කොට පසුව එයින් නැගෙනහිරට වන්නට පාහියන් උප ලෙන කැණිම් කටයුතු කළේ ය. බොහෝ ප්‍රාග් මෙවලම් සහ සාක්ෂි සියල්ල හමුවුනේ එම උප ලෙන ගවේෂණයෙනි.ආචාර්ය දැරණියගලයන්ගේ පර්‍යේෂණ වාර්තාවට අනුව එහි ප්‍රධාන පස් ස්තර හතක් වෙන්ව තිබි ඇති අතර කාබන් දින නිර්ණයට අනුව එවායේ ඉපැරැණිත්වය වසර 37000-40000 පමණ විය. එහි ඉහළම පස් ස්තරය වසර 5000 පමණ පුරාණ පස් ස්තරයක් විය. ආචාර්ය දැරණියගලයන්ගේ මෙම කැණිමෙන් බොහෝ ගල් ආයුධ සහ අස්ථි කැබලි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවිය. ඒ අතර නූතන මානවයා ආහාරයට ගත් බෙල්ලන් සහ අනෙකුත් අවශේෂ කොටස්ද සොයාගැනීමට හැකිවිය.එමඟින් ආදි මානවයාගේ ආහාර චක්‍රය පිළිබඳ අධ්‍යනයටද අවස්ථාවක් එමඟින් ලැබිනි.
මුලින්ම කැණිම ආරම්භ කළ ප්‍රධාන වළෙහි අඩි 17 පමණ කැණිමක් සිදුකලද ඔවුනට අවශ්‍යය සාධක සොයාගැනිමට නොහැකි විය. එමනිසාම එම ලෙනේ කැණිම් වාර්තාව එළිදැක්වූවේ අසම්පූර්ණ කැණිමක් ලෙසිනි. එබැවින් යම් දිනක අනාගතයේදි පාහියන්ගල ප්‍රධාන කැණිම සිදුකරන්නේ නම් තව බොහෝ සාක්ෂි සාධක සොයාගැනිමට හැකිවනු ඇත.පසුකලක එනම් 2012-2013 කාල සීමාව තුළ නැවත පාහියන්ගල ලෙන කැණිමකට ලක්කලද මෙවර ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ ලෙනේ ඇතුළු දොරටුවයි.
නූතන මානව අනාවරණය
පුරාවිද්‍යා කැණිමක ඇති සුවිශේෂීතාව වන්නේ එම කැණිම් සාධක හරහ වසර දස දහසකකට ඉහත යුගයේ සමාජ තන්ත්‍රය , ආහාර විධි හා අනුශාංගික ජීවන දර්ශනය පැහැදිලි කිරිමට හැකිවිමයි.
ආචාර්ය දැරණියගලයන් මෙම ක්‍රියාන්විතයෙන් වඩා ජනප්‍රසාදයට පත්වූවේ පාහියන්ගල උප ලෙනෙන් වසර 37000 පැරණි නූතන මානව ඇට සැකිල්ල හමුවිමත් සමඟයි. එය අදටත් සැලකෙන්නේ දකුණු ආසියාවේ ඉපැරැණිම නූතන මානව සාක්ෂිය ලෙසයි. විද්‍යාත්මක නාමයෙන් Anatomically Modern Homo Sapiens නම් වූ මානවයා සැලකෙන්නේ මධ්‍යම ශිලා යුගයෙ ජිවත් වූ දියුණුම මානව ගෝත්‍රය වශයෙනි. නූතන මිනිසාගේ මොළයට සමානම මොළයක් බලංගොඩ මානවයාටද පැවති අතර දැඩි හිස්කබල සහ ඉදිරියට නෙරා ගිය දත් යනුවෙන් පරස්පරතා කිහිපයක් විය .
මෙම කැණිමෙන් පසුව ශිරාන් දැරණියගල විසින් සිය ආචාර්ය උපාධි නිබන්ධනය රචනා කිරිම ආරම්භ කළේ ය. කැණිමෙන් වසර දෙකකට පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය එතුමන් සිය සම්පූර්ණ කලේ ය. එහි අන්තර්ගතයටද පාහියන්ගල ලෙනේ ගවේෂණ දත්ත ඉවහල් වූ බව සැලකේ. අතිශය වෙහෙසකර සහ ඉවසීම ප්‍රගුණ කළ යුතු වෘත්තීයක් වන පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ බොහොමයක් වූ පර්‍යේෂණ වාර්තා එළිදැක්විමට අවම දශකයක කාලයක් පමණ ගතවේ.
එයින් පසු දශක කිහිපය පුරා නැගෙනහිර යාල වියළි ලෙන සේම තෙත් කලාපයේ ගවරගල ලෙනද ආචාර්ය දැරණියගලයන්ගේ අවධානයට ලක්විය.ඔහු විශ්‍රාම ගන්නා තුරුම සක්‍රීය කැණිම් සඳහා සිය දායකත්වය සැපයූ විද්වතෙකි.
ආධුනික කැණිම් කරන්නකු ලෙස හැටේ දශකයේ මධ්‍යම භාගයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ශිරාන් දැරණියගල පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්විය. විශාල වශයෙන් විෂයානුබද්ධ ග්‍රන්ථ රචනා කර ඇති ශිරාන් දැරණියගල මියයාමට පෙරාතුව මන්නාරම ආශ්‍රිතව සිදුවූ කැණිම් සම්බන්ධව පර්‍යේෂණ ග්‍රන්ථයක් රචනා කළේ ය. එම ග්‍රන්ථය අවසන් කිරිමට පමණක් ඔහුට වසර 30 ගතව තිබුනි.
පාහියන්ගල ලෙනෙන් හමුවූ ගල් ආයුධ |
මෙරට ඉතිහාසගත පුරාවෘතයන් විද්‍යාත්මක සාධක සහිතව ජනතාවට දැනගැන්විමට සැලැස්වූ ආචාර්ය දැරණියගලයන් සුලබව ටෙලිවිෂනයේ හෝ මුද්‍රිත මාධ්‍යයේ පෙනී නොසිටි පුද්ගලයෙකි. නමුත් එතුමන් ක්ෂේත්‍රයේ විශාල වෙහෙසකින් සිදුකෙරූ කැණිම් සහ කාබන් දින නිර්ණ පර්‍යේෂණ හේතුකොට පාහියන්ගල සහ කිතුල්ගල බෙලි ලෙන නම් ස්ථාන දෙකෙහි වැදගත්කම සුවිශාල ලෙස ඔප්නැන්විනි.එය මෙරට සංචාරක අමාත්‍යාංශය සිය දියුණවට භාවිතා කළේද යන්න විවාදසම්පන්න කරුණකි.
මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සියවසක් පිරිම නිමිත්තෙන් නිකුත් කළ සංවත්සරික සඟරාවට අනුව ආචාර්ය දැරණියගලයන්ගේ පාහියන්ගල අනාවරණය කිරිම බෙල් මහතාගේ සිගීරිය ගවේෂණය තරමටම වැදගත් සිදුවීමකි. තවදුරටත් කිරා බැලූ කල පස්වන සියවසෙ පමණ නිර්මාණය වූ සීගිරි ආලකමන්දාව හා සාපෙක්ශව බලන කල වසර 40000 ඉපැරැණි ශිලා යුගයේ මානව සංහතියේ උරුමය ගවේෂණය කිරිම ආනන්දජනක නොවේද ??
නමුත් වසර 79 ආයු වළඳා දැරණියගල මාර්ගයේ ඇතුළත් පිහිටි සුන්දර කුරුවිට ග්‍රාමයේ දැරණියගල වලව්වේ සිට සිය අවසන් හුස්ම පෙද වා තලයට මුසුකරන තෙක් ආචාර්ය දැරණියගලයන් හට එකී ගෞරවය ලැබූනේද යන්න ප්‍රශ්නාර්ථයකි. මිනිස්සූන් මියගිය කල ඔවුනගේ චරිතය කපා කොටා ඔවුන්ගේ ස්වයං චරිතවත් බව නිමානය කරන සමාජයක උක්ත සටහන ආචාර්ය දැරණියගල හට ගෞරවය උදෙසා ලියවූවක් පමණක් බව සලකන්න.
creative & informative!
ReplyDeleteSSuperb 🔥
ReplyDeleteSuperb❤
ReplyDeleteNice
ReplyDelete