Skip to main content

අවාසනාවන්ත අවසානයක්

 2007 වසරේ අප්‍රේල් 28 වන දින  ශ්‍රි ලාංකිකයන්ට  වඩාත්ම මතක සැමරුමක් වීමට හේතු වූ සුවිශේෂී කරුණු දෙකකි. ඉන් පළමුවැන්න 


2007 දි බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සත්කාරකත්වයෙන් පැවති පන්දුවාර පනහ  ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයයි. 


දෙවැන්න LTTE ත්‍රස්තවාදීන් විසින් කොළොන්නාව තෙල් සංචිත සඳහා පහර දිමයි. 


මෙකී සටහන ඉන් පළමු සිදුවීම වෙනුවෙනි.


අපරාජිත ඕස්ට්‍රේලියානුවන් 


අවසන් තරගයට පැමිණෙන විට තරගාවලිය පුරාවටම ඉතාමත්ම හොඳින් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානුවන් 2007 ලෝක කුසලානය දිනාගැනිමට අවශ්‍යය සියලූ පිඹුරුපත් සකසා තිබිනි. තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානූ ප්‍රවිණයන් කිහිපදෙනෙකු සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කළ සිටි නිසාවෙන්  ඔවුනට අමතක නොවන සමුගැන්මක් ලබාදීමට පොන්ටින් ඇතුළු නවකයන්ට අවශ්‍යයව තිබිනි. 

රිකී පොන්ටි ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවාන් අප්‍රේල් 25 වන දින අවසන් පූර්ව තරගයේදි දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් පරාජය කරමින්    පිටියට පිවිසි අතර මහේල ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම අප්‍රේල් 24 වන දින ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදි  නවසීලන්තය ලකුණු 81 න් පරාජය කරමින් අවසන් තරගයට   පිවිසුනි. අත්දැකීම් අතින් ඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට වඩා පියවරක්  ඉදිරියෙන් සිටියද ,  සටන්කාමී ශ්‍රි ලාංකිකයන් ලෝක කුසලානය පුරාවටම තමන් ලෙහෙසියෙන් සටන අතහරින්නන් නොවන බව කිහිපවතාවක්ම පෙන්වා තිබිනි. 


බාබර්ඩෝස් හි සූන්දර  කෙන්ග්සින්ටන් ඕවල්

 ක්‍රීඩාංගණය අවසාන මහා තරගයට මැනවින් සූදානම් කොට තිබූ අතර  අලීම් ඩාර් සහ ස්ටීව් බක්නර් පිටියේ විනිසුරු ලෙසද , ජෙෆ් ක්‍රෝ  තරග තීරක ලෙසද කටයුතු කළේ ය.  කාසිය වාසිය ජයග්‍රහණය කළ රිකී  පොන්ටින්  මුලින් පන්දුවට පහර දිමට තීරණය කිරිමත් සමඟ කැන්ගරුවන් එතෙක් මෙතෙක් බිහිකළ බිහිසුණුම ආරම්භ පිතිකරු යුගළය වු මැතිව් හේඩ්න් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට්  පිටියට පිවිසුනි.


ගිල්ක්‍රිස්ට් ක්‍රියාත්මක වේ.. 


තරගාවලිය පුරාවටම ඕස්ට්‍රේලියානූ පිතිකරුවන් ඉතා  හොඳින් ක්‍රීඩාකළේ ය. ඔවුන් සෑම හොඳ කණ්ඩායමකටම එරෙහිව විශාල ලකුණු රැස් කළ අතර ගිල්ක්‍රිස්ට් ,හේඩින්,පොන්ටි,ක්ලාක්, සයිමන්ඩ්ස් සහ හසී ඔවුන්ගේ බරපතල පිතිකරු ලැයිස්තුවේ බර අවි විය. ඔවුනගේ මුල් කඩුලු ඉක්මනින් බිඳවැටුනද මැද පෙළ ඉතා ශක්තිමත් සහ අනුකම්පා විරහිත  විය . නමුත් ශ්‍රි ලංකාව පැත්තෙන් මුරලි ක්‍රීඩාකිරිමත් වාස් මුලින්ම පන්දු යැවිමත් ලසිත් රිද්මයේ සිටිමත්  නිසා තරගය දෙපිලටම විවෘත වූ පසුබිමක  තිබිනි. 


ගිල්ක්‍රිස්ට් සිය ශතකයෙන් අනතුරුව ක්‍රීඩාගාරයට සිය අත්වැස්ම තුළ තිබෙන ස්කොෂ් පන්දුව පෙන්වමින් 


පළමු පන්දුවාරයෙ සිටම ගිල්ක්‍රිස්ට් ප්‍රහාරය ආරම්භ කළේ ය. ආරම්භයේදි ඇදහැලුණු වර්ෂාවත් සමඟ තරගය පන්දුවාර 38 සීමා වී තිබිනි. ක්‍රීඩාගාරයෙන් ලැබුනු උපදෙස් අනුව යමින් ගිල්ක්‍රිස්ට් සිය ප්‍රහාරය දැඩි කෙරිනි. දෝලනයක් නොතිබූ කඩුල්ලේ ඔහූ රිසි සේ පහර දුන් අතර ස්භාවිකව ප්‍රහාරයට ලැදි බවක් දක්වන හේඩ්න් සෑම විටම සිය සගයාට පිතිකරු අන්තය භාර දෙමින් ඔහුට සහය විය. ලසිත් ඔහූගේ වේගයෙන් ගිල්ක්‍රිස්ට්ව පාලනය කිරිමට උත්සහ කලද ,  තිස්පස් හැවිරිදි වමත් පිතිකරුවා එදින ඔහූගේ දිනය බවට ඒවනවිටත් පසක් කොට තිබිනි.  එදින තරගයට සැපයූ  බාබර්ඩෝස් හි මළ තණතිරුව පිළිබඳව මුරලි පසුකලක පැවසුවේ මෙවන්නකි. 


  " පළවෙනි ඕවරේ දානකොටම වාස් ගේ මුණ හරි නෑ.මම ළඟට ගිහින් ඇයි වාසි කියලා  ඇහුවම එයා කිවේ වැඩක් නෑ මචන්.. බෝලේ බැට් එක හොයාගෙනම යනවා .පුලුවන් තරම් ඉක්මනට ඔයා බෝලේ අරන් බෝල් කරන්න." 



මුරලි පන්දු යැවිම ආරම්භ කලද වෙනසක් නොවිනි. පන්දූ 104 න්   ලකුණු 149 ලැබූ ගිල්ක්‍රිස්ට් ඒ සඳහා දර්ශනීය හතරේ පහර 13 සහ  කෙන්ග්සින්ටන්  ඕවල් ක්‍රීඩාංගණය දෙවනත් කළ දැවැන්ත  හයේ පහර 8 ද වැය කළේ ය. ඔහූ ශතකය ලබාගැනිමෙන් පසුව සිය අත් ආවරණය තුළ රුවා සිටි ස්කොෂ් පන්දුව ක්‍රීඩාගාරයට සන්කොට පෙන්වූ අතර එය ඔහූගේ පිතිහරඹයේ තාක්ෂණික ගැටලුවක් මඟහරවා ගැනිමට ලැබූ උපදෙසක් මත යොදාගත් එකක් බව පසුව හෙළිදරව් විය. එය කෙසේ සිදු වුවද මේ ඕස්ට්‍රේලියානූ  වමත් පිතිකරුවාව නැවැත්විමට කිසිදු ශ්‍රි ලාංකීය පන්දුයවන්නකුට එදින නොහැකි විය. 


පන්දුවාර 38 අවසානයේ කඩුලු 4 ට ලකුණු 281 ක් ලැබූ ඕස්ට්‍රේලියානුවන්  නමගිය සියලූම ශ්‍රි ලාංකික පන්දු යවන්නන්ට  දැඩි සේ පහර දුන්නේ ය. ඒ අතරින්  දිල්හාර  ප්‍රනාන්දුගේ පන්දුවාර අටෙන් පමණක්    ලකුණු 74 උදුරා ගැනිමට ඔවුන් සමත්වී තිබිනි

සනත් නම් පුරාවෘත්තය 


1996 ලෝක කුසලානයේ දි  ඕස්ට්‍රේලියානුවන්ගේ නරක සිහිනය අරවින්ද සිල්වා විය. නමුත් ඔවුන් 2003 අවසන් පූර්ව තරගයේ දි අරවින්දගේ දුවද්දී දැවියාම ලබා ගැනිමත්  සමඟ එකී සටන නිල වශයෙන් නිමාවිය .2003 වසරේ  අවසන් මහා  තරගයේ ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් විය. නමුත් ග්ලේන් මැක්ග්‍රාත්  ඔහුව මුල් පන්දුවාරයේදිම නතර කළේ ය. 

නමුත් මේ 2007 වසරයි .බැලූබැල්මට ලකුණු පුවරුව ශක්තිමත්ය. මැක්ග්‍රාත් ප්‍රමුඛ වේග පන්දු බලඇණිය තරගාවලිය පුරාම පොන්ටින්ගෙ විශ්වාසය ආරක්ෂා කොට ඇත. නමුත් අප්‍රේල් 28 සැන්දෑවේ  ඔවුන්ගේ එකම නරක සිහිනය කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි  සනත් ටෙරාන්  ජයසුරිය පමණක්ම  විය. 

මුල් ලකුණු 7 දි තරුණ එහෙත් තරගාවලිය පුරාම මහේලගේ විශ්වාසය සුරුකි උපුල් තරංගව ක්‍රීඩාගාරයට හරවා යැවිමට බ්‍රැකන් සමත් විය. ඒ දෙවන පන්දුවාරයේ පළමු පන්දුවේදි යි. නමුත් එතැන් සිට තවත් ලකුණු 116 ලකුණු පුවරුවට එකතු කිරිමට කුමාර් සංගක්කාර සහ සනත් ජයසුරිය සමත් විය. සනත් පන්දුවාරයෙන් පන්දුවාරයට ප්‍රචණ්ඩ වන්නට විය. ඔහූ එක්දින තරග 250 අත්දැකීම් සපිරි ග්ලේන් මැක්ග්‍රාගෙන් පමණක් ආරක්ෂා වෙමින් අනෙක්.පන්දුයවන්නන් ඉදිරියේ සිය සුපුරුදු පිතිහරඹය දියත් කළේ ය. කුමාර් තැන්පත්ව දිගු ඉනිමකට සූදානම් වෙමින් සිටියේ ය. 

දෙවන වර්ෂාව ඇදහැලෙන විට ශ්‍රි ලංකා පිතිකරු යුගළය 



නැවත වර්ෂාව පැමිණිමත් සමඟ එතෙක් පැවති තණතිරුව තරමක් වෙනස් විය. මෙම සිදුවීම මුරලි පසු කලක විස්තර  කොට තිබුනේ මේ අයුරිනි. 


" ඒක තනිකරම මළ තණතිරුවක් .හැබැයි අපි බැට් කරනකොට වැස්ස  නිසා ඒක ආපහු පණ ගහලා ආවා.හැබැයි මුල් විදියටම තණ තීරුව තිබුනානම් මුළු ඕස්ට්‍රේලියාවම ගෙනාවත් එදා සනත්ව  නවත්වන්න නම් වෙන් නෑ."



19 වන  පන්දු වාරයේ පස්වන පන්දුවේදි  කුමාර් සංගක්කාර දැවි ගිය අතර  ඉන් පන්දු වාර තුනක් ඉක්මවන තැන සනත් දැවියන්නේ මයිකල් ක්ලාක් ගේ පන්දුවකටයි. සීමා ඉරෙන් ඉවතට පැන විශාල පහරක් සඳහා සනත් සුදානම් වුවද ඔහූ බලාපොරොත්තු වූ අන්දමින් පන්දුව ඉපිලිමකට ලක් නොවිනි. අවසන් ප්‍රතිඵලය මයිකල් ක්ලාක් දිනයේ ඔහුගේ  පළමු කඩුල්ල ලබා ගැනිමයි.   ඒ වන විට ලකුණු 63 ලබාසිටි සනත් ඒ සඳහා පන්දු 67 වැය කළ අතර ඉනිම සඳහා  දර්ශනිය හතරේ පහර 9 ද ඇතුළත් කොට තිබිනි. 


නැවත වර්ෂාව සහ මැදපෙළ බිඳවැටිම 


තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ නායක  මහේල ජයවර්ධන සහ ප්‍රවේගකාරි පිතිකරු චාමර සිල්වා පන්දුවට පහර දෙමින් සිටින විට නැවත බාබඩෝස්හි කෙනිග්ස්ටන් පිටියට වර්ෂාවක් ඇඳහැලිනි. ඒ සමඟ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනූකූලව ශ්‍රි ලංකාවට තවත්  පන්දුවාර දෙකක් අහිමි වූ අතර ඉලක්කය ලකුණු 269 බවට පත්විය. ඒ වනවිට ශ්‍රි ලංකාව ලකුණු 149 ට කඩුලු තුනක් අහිමි වි තිබිනි. නමුත් වර්ෂාවෙන් පසුව නැවත ක්ලාක් සහ වොට්සන් කැඳවමින් පොන්ටින් ශ්‍රි ලංකා මැඳපෙළ විනාශ කිරිම ආරම්භ කළේ ය. චාමර සිල්වාගේ දැවියාමත් සමඟ තරගයේ වැඩි වාසිය  ඕස්ට්‍රේලියානුවන්ට නතු විම ඇරඹිනි . ඒ වන විට ශ්‍රි ලංකාව ලකුණු 190 ට කඩුලු 6 දැවී ගොස්  තිබූ අතර අවසන් බලාපොරොත්තුව වූ රසල් ආර්නල්ඩ් ද දැවීයාමත් සමඟ ශ්‍රි ලංකාව ඉතා අසීරු මොහොතකට පත්වුනි. 

  මේ අතර නැවත වරක් ආලෝක තත්වයේ මඳබව නිසා තරගය මඳකට නැවැත්විමට විනිසුරුවන් තීරනය කරන්නේ 33 වන පන්දුවාරයේදි. එදින ශ්‍රි ලංකාවට අවසන් පන්දුවාර තුන ක්‍රීඩාකිරිමට සිදුවූවේ ඉතාමත් අයහපත් ආලෝක තත්වයන් තුළයි. එහිදි ඕස්ට්‍රේලියානු නායකයා සිය දඟ පන්දු යවන්නන් පමණක් යොදාගැනිමට එකඟ වූ අතර මහේල ජයවර්ධන එදිනම තරගය නිමකිරිමට සිය එකඟතාවය පළ කලේ ය. අවසන් පන්දුවාර තුනෙහි පිටිය තුළ සිදූවූ බොහෝ සිදුවීම් විස්තර විචාරකයන්ටද දැකිමට අපහසු විය. ආලෝක තත්වය එතරම් අයහපත්ව තිබිනි. 

රිකී පොන්ටින් සහ මහේල තරගයේ ඉදිරිය පිළිබඳව විනිසුරුවරයා සමඟ සාකච්ඡාව කරමින්



35 වන පන්දුවාරයේ අවසන් පන්දුව ඇන්ඩෘ සයිමන්ඩ්ස් විසින් චමින්ද වාස්ට යොමු කළ අතර ඒ වනවිට ශ්‍රි ලංකා ලකුණු පුවරුව දැක්වූවේ ලකුණු 215 ට කඩුලු 8 වශයෙනි. ඒ පන්දුව වාස් ආරක්ෂාකාරීව පිළිගැනිමත් සමඟ රිකී පොන්ටින් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනූකූලව ලකුණු 53 න් ශ්‍රි ලංකාව පරාජය කරමින්  තම  සිව්වන ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනිමට සමත්විය .

සටන නිමාවෙයි



තරගයෙ වීරයාට හිමි සම්මානය විනාශකාරී ඉනිමක් ක්‍රීඩාකළ ඇඩම් ගිල්ක්‍රිස්ට් හිමි වූ අතර ඔහූ එහිදි සිය කණ්ඩායමට ඔහූව විශ්වාස කිරිම පිළිබඳ විශේෂයෙන්ම ස්තුතිය පල කළේ ය. තරගාවලියේ වීරයාට හිමි සම්මානය කොදෙව් හි ක්‍රිකට් වීරයා වන "Sir ගැරී සෝර්බස් "  අතින් ග්ලේන් මැක්ග්‍රාත් ලැබූ අතර ඕස්ට්‍රේලියාව එතෙක් මෙතෙක් බිහිකල විශිෂ්ඨතම වේග පන්දු යවන්නාගේ එක්දින ක්‍රිකට් දිවිය ඒ සමඟ හමාර විය. 

තරග අවසානයට මඳකට පෙර බාර්බඩෝස් අහස (මෙහිදි විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩා නොකළේය .)



ශ්‍රි ලාංකීය ක්‍රීඩාලෝලීන්ට සදාතනික වේදනාවක් හිමිකරදෙමින් ප්‍රේක්ෂකයන්  28108  සහභාගිත්වයෙන් පැවති 2007 බටහිර ඉන්දීය කොදෙව්  ක්‍රිකට් ලෝක කුසලානය , විචිත්‍ර කැරිබියන් සංස්කෘතිකාංග රාශියකින් හැඩවූ චමත්කාරජනක සමාප්ති උළෙලකින් පසුව නිල වශයෙන් අවසන් විය.


Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...