Monday, 27 October 2025

සංගා.............

2007 ඕස්ට්‍රේලියානූ සංචාරයේ හෝර්බාට් තරගය බලනකොට මම පොඩිම පොඩි කොල්ලෙක්. උදේ පාන්දර නැඟිටගෙන , ගෙදර හැමෝම නිදි වෙලාවක , පෙට්ටී ටීවී එක ඉස්සරහට තල්ලූ කරගෙන ආපූ පුටුවේ ඉඳගෙන , මීක් සද්දයක් නැතුව මම තරගේ බැලූවා. 

ඒ කාලේ ලංකාවේ නොම්බර තුනේ කප්පිත්තා ලී ,ජොන්සන් , ස්ටූවර්ට් ක්ලාක් තුන්දෙනාට හැරෙන හැරෙන පැත්තට ගැහූවේ තස්මේනීයන් ප්‍රේක්ෂකයෝ පුදූම කරමින්. ලකුණූ 192 දී රූඩී කර්ට්ස්ගේ වැරදි විනිසුරු තීරණයෙන් කප්පිත්තගේ හත්වන ද්විත්ව ශතකය මඟහැරුනත් එතන ඉදන් තවත් අවුරුදූ අටක් මොන තරම් තරග ඔහූ දිනවන්න ඇත්ද ? මොන තරම් සුන්දර රාත්‍රීන් අපට එකතු කරන්න ඇත්ද ? බිමටම වැටිලා අඩපණ උනූ රටක මිනිසූන්ට මොනතරම් බලාපොරොත්තු ඔහූ දෙන්න ඇත්ද ?  

ඒ සුන්දර වමත් කප්පිත්තා අන් කව්රුත් නොවේ කූමාර් චුක්ෂනාදන් සංගක්කාර. අද සංගක්කාරගේ උපන්දිනය බව ICC Instagram පිටූව මතක් කරලා තිබූනා ,

ඉදින් බලාපොරොත්තුවේ ප්‍රතිමූර්තිය බඳු සංගක්කාරතුමණි සුබෝපන්දිනයක්ම වේවා !! 




Sunday, 26 October 2025

තාජුඩීන් ?

සති දෙකකට උඩදි මිලට ගත්ත පුස්සවෙලගේ අපරාධ රාජ්‍යය පොතේ හරි අඩකටත් වඩා කියවලා ඉවරයි, සති දෙකකින් කරන්න සැලසුම් කරපූ Book Review එක නිසා "ප්‍රසන්න රණතුංගගේ" පරිච්චේදයේ ඉදන් දැන් වේගයෙන් කියවනවා.දැනට ලසන්ත , දුමින්ද සහ තාජූඩීන් කියන ප්‍රධාන මාතෘකා කියවලා අවසන් නිසාම මේ කියන්න යන කතාව කියන්න මට අයිතියක් තියෙන බව මම විශ්වාස කරනවා.

මේ අපරාධ හැමඑකම අතරින් මාව පුදුම විදියට කම්පා කළේ තාජූඩීන් ඝාතනය. 2012 තාජූඩීන් මියයනකොට අවුරුදු 28 යි. එළැඹෙන ජනවාරියට මටත් 28 යි . පොතේ තාජූඩීන් පරිච්චේදයේදි මං කල්පනා කළේ මා හා සමවයසේ  තරුණයෙක්ව දණ ගස්වලා (ඔහූගේ කලවා අස්ථි දෙකේ එක සමාන බිඳීම අනුව අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරන්නේ ඔහුව දණගස්සවා මුගුරක් වැනි ආයූධයකින් කලවාට පහරදුන් බවයි.) කලවා අස්ථිය බිඳෙන තෙක් පහර දෙන්නත් , ඉළ ඇටවලට හානි වෙන්නත් , උගුරු දණ්ඩට ප්‍රහාරයක් එල්ල  කරන්නත් පුලුවන් නම් , එවැනි සමාජයක ආරක්ෂණවාදයේ දියාරූ වීමේ ඛේදවාචකය ගැනයි.

එකල  රාජපක්ෂ හිතවාදි  පොලීසීයේ අනූර සේනානායක , අජිත් රෝහණ වැන්නවුන් කැට තබා කීවේ තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් බවයි. කොටින්ම තාජුඩීන්ගේ මරණයේ පළමු මරණ පරීක්ෂණයේ තිබූ අස්ථි කොටස් පහක් 2015 සිදුවූ පළමූ ගොඩ ගැනීමේදි නොතිබිනි. සාක්ෂී වසන් කිරීමේ අරමුණෙන් මළ මිනිසකුට පවා රාජපක්ෂ ආණ්ඩූව අත තැබුවේ එලෙසිනි.

නාමල් රාජපක්ෂ වර්තමාන ආණ්ඩූව රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීම පිළිබඳ කිඹුල් කඳුළු සළන විට මම කෝපයෙන් ඉතිරෙන්නේ එබැවිනි. කොළඹ මධ්‍යයේ ,රටේ ප්‍රකට රගර් ක්‍රීඩකයකු මරා ගිනි තැබිය හැකි අන්දමේ රටක් හැදූ පියෙක් සහ කාබාසිනී පුතෙක් , තවත් වසර පහකට මෙරටම බලය ඉල්ලීමේ වේදනාත්මක සෝපහාසය එයයි.

තාජූඩීන්ගේ මරණයේ සිට වසර තුනක් රාජපක්ෂවරුන් රජ පූටූවේ වැජඹිනි. ඒ කාල සමය තුළ තාජූඩීන්ගේ මරණය රිය අනතුරක් බව හැරෙන්නට අන් කිසිම ආකාරයක පර්‍යෙෂණයක් සිදුනොවීනී. එවැනි ජනාධිපති අප්පකුගේ පුතකුට සෙව්වන්දී ඇල්ලීමට පමා වීම ප්‍රශ්න කළ හැකිද , යුක්තිය පසිඳලීමේ වචනයවත් කිව හැකිද , නාමල් ප්‍රේමීයනී  , රාජපක්ෂ වන්දිභට්ටයිනි නුඹේ හාම්පුතුන් අමු අමුවේ මරා දැමූ වන්ගේ යුක්තිය මෙලොවදි හෝ එලොවදි ලැබිය යුතුමය.



Friday, 24 October 2025

ආයූ

 අරුණ ජයවර්ධනගේ මාරියා දැකලා නැති නිසා හරියටම කියන්න බැරි උනත් ,මං හිතන්නේ චත්‍රගේ වැඩේ තමයි මේ අවුරුද්දේ වැඩේ. කෙනෙක් ලියලා තියනවත් දැක්කා මම , සිනමාව ගැන ඉගෙනගන්න කෙනෙක්ට ප්‍රවේශමෙන් අධ්‍යනය කරන්න පුලුවන් පෙළපොතක් තමා "ආයූ".චත්‍රගේ පියාගේ කතා වස්තුව , රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව  ,කතාන්දරයේ ගලා යෑම සහ නොබිඳීම ,  ආයූ නම් චරිතයේ සම්බන්ධය , එකිනෙකට විසිරුණු සිද්දීන් හී සම්බන්ධය ,සංගීතය එක්ක බැඳුනු සංස්කරණය. ආයූ පොහොසත් කරන්න දායක උනූ කරුණු.




ඒත් හැම දෙයක්ම අභිබවා කාලිංග දේශප්‍රියගේ කැමරාකරණය මාව විස්මයෙන් ඔසවා තැබූවා. නිෂිගේ ගාලූ මුවදොර ආරම්භක දර්ශනයෙන් ඇරඹුනු ඒ මායාමය ප්‍රවීණත්වය චිත්‍රපටයේ අවසන් දර්ශනය තෙක් නොනැසී පවත්වා ගැනීමම ම ප්‍රාතිහාර්‍යක්. මුහුදු රළ  , ළා පැහැයෙන් මියෙන  ඉර, කටුක අව් රශ්මිය , වැල්ලේ ජීවිතය , රිද්මාන්විත සංගීතය , දුමෙන් මත්වන නෙත් සඟල යන සියල්ලක්ම කාලිංගගේ කැමරා කාචයෙන් දස දහසක ප්‍රේක්ෂකයන් පිනවන්නට වරම් ලැබුවා.

ආයූ නැවත වරක් බැලීමේ උනන්දුවෙන් සිටීන මට ඒ සඳහා පොළඹන හේතු දෙකකි.

පළමුවැන්න කාලිංගගේ කැමරාකරණය සහ ආලෝකකරණය නැවත අත්විදීමේ කෑදරකම . දෙවැන්න දශකයකට පමණ ඉහත 

" මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු" යැයි ලිවු සැන්ඩ්‍රා මැක්ව නැවත වරක් රීදී තිරයේ දැකීමට ඇති උවමනාව.

Saturday, 18 October 2025

මෝඩම මෝඩ තරිඳු

 2025 කියන්නේ සිනමාත්මක අවුරුද්දක්. හරියට 1994 දී හොලිවුඩ් වගේ. ඒ සිනමාත්මක අවුරුද්දේ අන්තිම චිත්‍රපටි තුනෙන් එකක් උනු "මෝඩ තරිඳු" බලන්න මම සැහෙන උනන්දුවකින් හිටියේ. 



නිනෝ ලයිව් කරලා ඇණගෙන ,කටු කාලා උන්නූ ලොකු තිසරයි ,පොඩි තිසරයි මෝඩ තරිඳුගෙන් ඇරියර්ස් ඔක්කොම ඇල්ලූව ගතියක්  මට නම් අද දැනූනේ. 

අද නුවර KCC ,  10:45 show එකේ එක හිස් පුටුවක් වත් තිබුනේ නෑ. මේ ජයග්‍රහණය තිසරලාගේ අනාගත කලා ජිවීතයට හොඳ ආයෝජනයක් වේවායි හිතන ගමන් මම මේ ටික ලියන්නම්.

Comedy ශානරයේ පරිණාමය හොඳටම බලන්න පුලුවන් චිත්‍රපටියක් තමා "මෝඩ තරිඳු". කොටින්ම අපි හිනා උනේ සූර්‍යාගේ මෝඩකමටවත් , කෞශල්‍යාගේ ‍රංගන ප්‍රතිභාවටවත් නෙවෙයි , පොඩි තිසර ලියපූ නාට්‍යෝචිත අවස්ථා අනූන දෙබස් වලට. පිටපතෙන් ප්‍රේක්ෂකයාව සිනහ සාගරයට අරන් යන නූතනවාදි ප්‍රහසන සිනමාව කියන  කැබිනෙට්ටූවේ උඩම තට්ටූව මෝඩ තරිඳුට හිමිවෙන්නේ අන්න ඒහෙමයි.

මම කොහොමත් වචන වලින් දාන සෙල්ලම් වලට ආසයි. පොඩි තිසරගේ ඒ සෙල්ලම අවසන් නිශ්පාදනයක් විදියට වර්ණවත් කරලා විචිත්‍රපටියක් කළේ ලොකු තිසර. බයිස්කෝප් හදන්න තමන්ගේ මූලූ තරුණකාලෙම දියකරගෙන යාන්තම් මැදිවියට ඔලුව උස්සගෙන එන ඉඹුලානට මගේ ප්‍රණාමය. ලස්සනයි මචන් වැඩේ !! කතාවට කියන විදියටම මෝඩ තරිඳු Visually  දැනෙන වැඩක්. මේ ඔක්කොමලා වෙළඳ දැන්වීම් හදන ඈයෝ නේ. උන් දන්නවා තැනේ හැටියට ඇණේ ගහන්න.ඔය ලක්මාල් පේනවනෙ.

ඊළඟට ඩිස්ටි ඩිඩින් වෙලාවට මවපූ වයිබ් එක. මම කිසිම චිත්‍රපටියක එහෙම කතාදරයක් දැකලම නෑ ආයිබෝවන්ඩ. වෙලාවක හිතුනා , දෙයිහාමුදුරුවන් පල්ලා ඇත්තම ජිවිතෙත් මෙහෙමද මන්දා මේ දේවල් වෙන්නේ කියලා.දිනේෂ් ගමගේ තමන්ගේ පළවෙනි සංගීත අධ්‍යක්ෂණය විදියට අත්හදා බැලීම් කීපයක් කරලා තිබුනා. ශානර කීහීපයකම ගීත තිබුනා.සොමි ඉතින් !!!

දැන් කාස්ටින්. 

සූර්‍යා, කෞශල්‍යා, ෂනූද්‍රී, කණිෂ්ක, ධනුක ,සුලෝචනා ගැන ඔයාලා ඇති තරම් විචාර ලියන්න.ඒත් මගේ සත දෙක සොපියා ගැන. මෙහෙම සොපියලා ඒ කාලේ ගම්වල උන්න නම් යකෝ ඉපදෙන්න තිබ්බේ 1947 අවුරුද්දේ මිසක් 1998 අවුරුද්දේ නෙවෙයි.කහඳවලගේ තෝරා ගැනීමම ම ටිකාක් මතභේදයක් වෙන්න පුලුවන් උනත් , එයා මදිනොකියන්න සොපියට ඇන්දා. 

ඉතින් මිතුරනි ,2025 වසරේ සිනමා වසන්තයේ අලුත්ම මල් පොකුර මඟහැරනොගන්න. ටිකාක් මෝඩයි වගේ නමින් දැනුනට , අපේ ජිවිතෙත් මෙහෙම මෝඩ තරිඳුලා අරක්ගෙන උන්නා නේද කියලා විටින් විට මතක් වෙයි. ඒ එක්කම ළාවට මූත්‍රා බරකුත් දැනෙයි. 

මනුජය තෙන්නකෝන්


Friday, 17 October 2025

අසමසම අරවින්ද

 මගේ හොඳම මිත්‍රයෙක්  දැන් ඉන්නේ එංගලන්තයේ කෙන්ට් වල. එයා කෙන්ට් යන්න කලින් ඉඳලම මම කීවෙ 1995 දී අරවින්ද කෙන්ට් වල ගැහූව 112 ගැන තාම කෙන්ට් වලා වයසක උදවිය කතා වෙනවලූ ඒ නිසා ක්‍රිකට්වලට ප්‍රිය සීයා කෙනෙක් හම්බුනොත් අරවින්ද ගැන අහන්න කියලා.

අරවින්ද කෙන්ට් හි ක්‍රීඩා කරන විට

 එයා ඒක ඇහුවද කියලා මම දන් නෑ. ඒත් එදා කාල් හූපර් වෙනුවට කෙන්ට් කණ්ඩායමට ඇතුළු උනූ අරවින්දගේ අවසන් මහා තරගෙ  ඉනිම වෙනුවෙන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයම Standing ovation එකක් දුන්නා කියලා නම් මම දන්නවා. අඩි පහයි අඟල් තුනහමාරක් උස අරවින්ද ක්‍රීඩාගාරය ඇතුළට නොපෙනී යනකන් ලෝර්ඩ්ස් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොළොසන් නාදය නතර උනේ නෑ. තරගය කෙන්ට් පරාද උනත් ,අරවින්ද තරගයේ වීරයා උනා. 

1995 පස්සේ ආය කිසිම දවසක අරවින්ද කවුන්ටී ක්‍රිකට් එකක් නොගැහුවත් , ඒ සීසන් එක ඉවර වෙලා අවුරුදු තිහක් ගතවෙලත් තාම අපි ඒ ගැන කතාවෙනවා. අන්න ඒක තමා අරවින්දගේ ක්ලාස් එක.

ඒ කාලේ පර්සි අන්කල් අරවින්ද කලින්ම අවුට් උනාම මෙහෙම දුක් ගී කියනවලූ 

"අරවින්දා...උඹ හින්දා

අපි දුක්.........      වින්දා " 

රටක් සතුටෙන් පිරවූ අරවින්දයක්ම බඳු අරවින්ද අද තමන්ගේ හැටවන උපන් දිනය සමරනවා. 

ඉතින් වෙන කුමක් නම් කියන්නද  සුබ උපන් දිනයක් හැරෙන්නට !!!!



Thursday, 16 October 2025

විජයට 46 ක් !!!!

 විජයට අවුරුදු 46 කියලා මිතුරියක් ලියලා තියනවා අහම්බෙන් දැක්කා. ආපස්සට හැරිල බැලුවොත් මගේ ළමා කාලේ විජය තරම් බලපෑමක් ඇති කරපු කිසිම පත්තරයක් නැහැ. ලියන්න ,හිතන්න , නිර්මාණ කරන්න , දැනුම හොයන්න විජය තරම් මාව උනන්දූ කරපු කිසිම පත්තරයක් නෑ. ලේක්හවුස් එකෙන් ආව මිහිරට නොතිබුනූ වර්ණවත් , විනෝදශීලී ,නිර්මාණශීලීත්වයක් විජයට හැමදාම තිබුනා. ඒ නිසාම වෙන්න ඇති මිහිර , පත්තරෙන් Epaper එකකට මාරු උනත් විජය තවම නොනැසී පත්තර ලෑල්ලේ ඉන්නේ.

හිඟුල්වල දිසානායකගේ සහ පියල් උදය සමරවීරගේ සුප්‍රකට චිත්‍රකතා ද්විත්වය.


 යාන්තම් අවුරුදු 10-11 වෙනකොට පත්තරකාරයෙක් හරි පුවත්පත් කාටූන් ශිල්පීයෙක් හරි වෙන්න ඕන කියලා බලාපොරොත්තුවේ බීජයක් මගේ හිතේ පැළ කලෙත් විජය පත්තරේ. ඒ විකාරේ කොච්චර උඩු දිව්වද කියනව නම් ගයත්‍රී සමරවීරට , පියල් උදය සමරවීරට , දුමින්ද සංජීව බාලසූරියට පවා මම විජය කතුමඬුල්ලේ 011-2479224 සහ 011-2479228 අංක දෙකෙන් අනේක පාරක් අමතලා ඇති. 2008 අගෝස්තුවේ මගේ පළවෙනි ළිපිය "කොරල්පර " නමින් පළ උනෙත් ගයත්‍රී සමරවීරගේ උපකාරයෙන්. මේ හැමදේම පටන් ගත්තෙත් එතැනින්.

ඉතින් "විජය "  අවුරුදු 46 කියන්නේ බොහෝම දිගු කාලයක්. මේ සුහුරු ලෝකයේ තවත් කල් විස්මය දක්වන්න , සතුට පතුරන්න , දැනුම වපුරන්න , හීන පණගන්වන්න ශක්තියම ලැබේවා.


Tuesday, 14 October 2025

ශාසනික නිකායභේදයේ ඛේදවාචකය

 1818 උඩරට කැරැල්ලට සම්බන්ධ උනායැයි  රාජද්‍රෝහින් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු පිරිසකගේ රාජද්‍රෝහිත්වය අහෝසි කිරිමේ සන්නස 2017 වසරේදි මහනුවර මඟුල් මඩුවේදි එළිදැක්විනි. එකී උත්සවයට වැඩම කළ රාමඤ්ඤ නිකායේ නාහිමිවරුන්ට ආසන නොපනවන ලෙස සියම් නිකාය ඉල්ලා සිටි බව සුප්‍රකට කතාවකි. 

එමෙන්ම මහනුවර දළඳා මාළිගයේ භික්ෂූන්ට දන් වැළඳිමට ඇති දන් ගෙයිහි අස්ගීරී සහ මල්වතු පාර්ශවයන් වෙනමත් අමරපූර සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා වෙනමත් දන් වැළඳිය යුතුය. ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේ නමක් මුහුණුපොතට ලියූ සටහනක්ද මා දැක ඇත.

මේ සියල්ලටම හේතු පාදක කරුණ නම් අපුල , අශීලාචාර ,ගෝත්‍රික  

"ශාසනික කුලභේදයයි".


නිකාය අනුව ආසන පැණවීමේ පිළිවෙත.


 1753 වගේ ඈත කාලෙක ,මෙරට උපසම්පදා භික්ෂූන් වැඩනොසිටි අතර සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවුන් ශාසනයට සම්පූර්ණයෙන් කැප නොවී ගොවිතැන් බත් කරගෙන අඹු දරුවන් රකිමින් සිටි බව පැවසේ. මේ නිසාම හතරලියද්දේ ,තුම්පනේ ,වැලිවිට වලව්වේ ඉපිද පසුව වැලිවිට සරණංකර නමින් පැවිදි වූ හිමිනමක්  සියම් දේශයෙන් ( වර්තමානයේ තායිලන්තයට)  උපසම්පදාව රැගෙන විත් සියම් නිකාය පිහිටවූ බව සැලකේ. උන්නාන්සේ ගිහිකල උසස් කුලයකින් පැමිණි නිසාම මේ සියම් කුලයේ පැවිදි වීමට වරම් ලැබූවේ උඩරට ගොවිගම අයට පමණි. උඩරට මහා ශාසනික කුලභේදයේ පටන්ගැන්ම මෙයයි.

මහාචාර්‍ය ඔබේසේකරගේ අදහස නම් විමලධර්මසූරිය රජ දවස සිට

 "සියලූ දෙනාම සංඝ සමාජයට නොගත යුතුයි"  

යන මතයක් පැවති බව‍යි. නමුත් එය උඩරට කූලභේදයෙන් ආරෝපණය වුනේ 1760 දි. සියම් නිකායට ,ගොවි ගමෙන් පමණක් පැවිදි කරගන්නා බැවින් 1779 දී අඹගස්පිටිය ඥානවිමල ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් බුරුමයෙන් උපසම්පදාව ගෙන අමරපුර නිකාය පිහිටවන ලදි. මෙහි අමරපුර යනූ එකල බුරුමයේ අගනගරයයි. දිනයක් විදියටම අමරපුර නිකාය බිහිකළේ 1803 මැයි මස බලපිටියෙදි. අද වන විට අනූ පාර්ශව 22 වෙන්වී ඇත්තේ මේ අමරපුර නිකායයි. 

බෞද්ධ සමානාත්මතාවය මෙයින් පිළිඹිබුවේද ?


ඉන් දශක 6 ගෙවුනු තැන 1863 ජුලි මස මහමෝදරදි අඹගහවත්තේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රාමඤ්ඤ නිකාය බිහිවිය. එහි අද වන විට අනූ පාර්ශව කිසිවක් නැති අතර ඕනෑම කුලයක අයෙක්ට මහණ විය හැකි නිකායක් ලෙසද සැලකේ. 

සියම් නිකායත් අනූ පාර්ශව අටකට බෙදී ඇති අතර එයින් කුලවාදය දරුණු ලෙසම භාවිතයට ගැනෙන්නේ අස්ගිරී සහ මල්වතු පාර්ශව දෙකයි. බොහෝ විට දළදා මාළිගයේ තේවාව භාරව සිටින්නේ මේ පාර්ශව දෙක වීම එයට හේතුවක් විය හැකිය.එමෙන්ම බොහෝ උඩරට ප්‍රධානීන්ගේ අනුග්‍රහය පවා ලැබෙන්නේ මෙකී නිකාය පාර්ශව දෙකටයි. 

කෙසේහෝ විසිවන සියවසේ මැද භාගයක් වනතුරුම මල්වතු අස්ගීරී පාර්ශව දෙකෙහි මහානායක පදවියට පත්ව උපෝසථාරාමයේ සහ පුෂ්පාරාමයේ විහාරාධිපතිධූරය දැරූවේ උසස් කුලයේ යැයි සැලකෙන අය පමණි.සරලවම වලව්වකින් පැමිණියෝවුන්

මූලික නිකායන් තුනේ බෙදීම


. මෙහි බරපතළ තත්වය නම් ශාසනයේ නියමය අනූව භික්ෂූන්වහන්සේලාගේ ජේෂ්ඨත්වය මැනෙන්නේ උපසම්පදාවට පත් වූ කාලය සමඟ වූවද , මල්වතු ,අස්ගීරී පාර්ශවයක ස්වාමීන් වහන්සේ කෙනෙක් අමරපුර හෝ රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමඟ සිටීනම් උපසම්පදා ජේෂ්ඨත්වය නොසැලකීමයි. දන් පිළිගැන්වීම , අසුන් පිළිගැන්වීම , අනෙක් පරිපාලන කටයුතුවල යෙදීමට පවා ශාසනික කුලය / නිකාය මහත් ප්‍රතීරෝධයක් වී ඇත.

ආගමික මතවාදයෙන් තොරව මේ පිළිබඳ නිදහස් මනසකින් සිතන්නේ නම් බුදුදහම වැනි සමානාත්මතාවය අගයන දහමක ,  එකී දර්ශනයේ ප්‍රචාරනයට කැප වූ භික්ෂූ සමාජයක ඇති කුලභේදයේ නැග්ම විහිළුසහගත නොවේද ? අවම වශයෙන් කලකට පෙර නේපාලයේ සසුන නැවත පිහිටවිමේදි අනුගමනය කළ "අඛිල නේපාල සංඝ සභාව " නම් වූ තනි භික්ෂූ සභාවක් හෝ මෙරටට පිහිටවීමේ නෛතික අයිතිය බලාත්මක කළයුතුය. ස

නැතිනම් අස්ගීරී ,මල්වතු පාර්ශවයේ භික්ෂූන්වහන්සේලා උස් ආසනවල හිඳ ගැනිමත් , අමරපුර ,රාමඤ්ඤ නිකායන්හි භික්ෂූන් වහන්සේලා මිටි ආසනවල හිඳ ගැනිමත් තවත් දශක ගණනාවක්  නොනැසී පවතිනු ඇත.

ප:ලි :  සංඝ සමාජයේ ප්‍රශ්න ගිහියන්වන අප කතා නොකරන්නැයි අපට නොකියන්න.මක්නිසාදයත් භික්ෂූ සමාජය මේ ප්‍රශ්න මීට පෙර විසඳාගත්තා නම් අපට මේවා කතා කිරිමට සිදුනොවනු ඇත. හේතුව නම් සමානාත්මතාවය ගැන බණ දෙසමින් නිකාය භේදය අනුගමනය කිරීම අපට අනූව නම් අන්කිසිවක් නොව දරුණූ ඛේදවාචකයකි, ධර්මය විකෘති කිරිමකි.


Monday, 13 October 2025

ලසන්ත , ගෝඨාභය සහ යුක්තිය

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට  වසර 16 කි.  2009 සිට ගෙවුනු මේ දශක එක හමාර තුළ ආණ්ඩූ පහක් විටෙන් විට ( ජනාධිපතිවරුන් පස්දෙනෙක්) බලයට පත්වුනත් තවමත් වික්‍රමතුංග ඝාතනය වෙනුවෙන් කැපී පෙනෙන යුක්තියක් ඉටූවී නැහැ. ලසන්තගේ ඝාතනය සිදුවූ ආකාරය අදවන විට අප හොඳින් දන්නා නිසා එකී ඝාතන පරීක්ෂණ ගලාගිය ආකාරය මෙම සටහනෙන්  පිරික්සා බලමූ.

මහාරාජා ආයතනයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එහි පැමිණි ලසන්ත.මෙයින් දින දෙකකට පසුව ලසන්තව ඝාතනය විය.

2009 ජනවාරි 8 දින අත්තිඩියේදි ලසන්ත ඝාතනය වූ විගස ඝාතනය පිළිබඳ පර්‍යේෂණය පැවරෙන්නේ ගල්කිස්ස පොලීසීයටයි. එවකට එහි SSP වූ හේමන්ත අධිකාරී යටතේ සිටි ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල පර්‍යේෂණය ආරම්භ කළ අතර පසූව මිරිහාන පොලීසීයත් මෙයට සහය දෙනවා.  මුලික පර්‍යේෂණ මඟින් මෙය වෙඩි තැබිමක් නොවන බව හෙළි වූ අතර මෝටර් රථයේ තිබි ලසන්තගේ පිටූ 160 සටහන් පොත පර්‍යේෂකයන් භාරයට පත්වනවා . පසුකලක ගෝඨාභයව භීතීයෙන් පුරවා දමමින් ලසන්තගේ ඝාතන පරීක්ෂණ උඩියටිකුරු කළේ මේ සටහන් පොතයි.

විශේෂයෙන්ම ලසන්තගේ සටහන් පොතේ කොණක තිබුනූ යතුරු පැදි අංක දෙකක් ( මේ අංක දෙක ලසන්තගේ ඝාතකයන්ගේ බවට කළ උපකල්පනය මත පිහිටවා පර්‍යේෂණ සිදුකරන ලදි) පිළිබඳව තිස්සසිරි සුගතපාල පරීක්ෂණ ආරම්භ කරන්න ගත්ත මොහොතේම ඔහූගේ ප්‍රධානීයා වූ හේමන්ත අධිකාරීගෙන් සහ එවකට බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වූ ප්‍රසන්න නානායක්කාර පර්‍යේෂණයට බාධා කිරිම ආරම්භ කරනවා. 

තිස්සසිරි සුගතපාලට බැණ වදින නියෝජ්‍ය පොලිස්පති , ලසන්තගේ සටහන් පොත ආරක්ෂ ලේඛම්ට අවශ්‍යබව පවසා තිබෙනවා. එකල ආරක්ෂක ලේඛම් වූවේ ගෝඨාභය රාජපක්ෂයි.නමුත් ඒ මොහොත වෙනකොටත් නඩු භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබුනු සටහන් පොත ලබාදීමට නොහැකි බව පැවසුවත් පොලිස් පරීක්ෂකවරයාගේ පවුලට සහ දරුවන්ට කළ තර්ජන හමූවේ ඔහූ සටහන් පොත ආරක්ෂක ලේඛම්ට ලබාදෙනවා.නමුත් ඊට පෙර මතු ප්‍රයෝජන සඳහා තිස්සසිරි සුගතපාල විසින් ලසන්තගේ සටහන් පොතේ ඡායාපිටපතක් (Photocopy) ගෙන එය සඟවා තබනවා. 

ලසන්තගේ දියණිය : 


ලසන්තගේ සටහන් පොත පිළිබඳව යමක් පවසනවා නම් ඒ වනවිට ලීඩර් කතුවැකියේ ලියමින් සිටි මිග් යානා ගනුදෙනුව පිළිබඳව තොරතුරු සහ තවත් තොරතුරු ඉංග්‍රීසී භාෂාවෙන් ලියා තිබුනු බව පැවසෙනවා.පිටූ 160 න් ,126 ක් ලසන්ත ලියා තිබුනා. 

කෙසේ හෝ 2010 වසරේ ජනවාරි වන විට ගල්කිස්ස පොලීසීය සතුව තිබුනූ ලසන්ත ඝාතනයේ තොරතුරු සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබාදෙන ලෙස ගල්කිස්ස උසාවිය විසින් නියෝගයක් ලබාදෙනවා. පසූව එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නගේ උපදෙස් මත 2010 පෙබරවාරි මස 7 වන දින  CID සතුව තිබුනූ පරීක්ෂණ දත්ත චන්ද්‍රා වාකිෂ්ට යටතේ තිබුනූ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID ) පවරනවා. එයට හේතුව ලෙස IG ජයන්ත පවසන්නේ CID හි ඇති අධික වැඩකන්දරාව නිසා ලසන්තගේ පර්‍යේෂණය නිසි අන්දමින් කළ නොහැකි බවයි.

TID විසින් දුරකතන කුලුණු දත්ත භාවිතයෙන් ලසන්තගේ ඝාතකයන්ගේ යැයි සැකකෙරෙන දුරකතන අංක පහක්  සොයාගන්නවා.ලසන්තගේ ඝාතන පරීක්ෂණය වෙන මඟකින් ආරම්භ වෙන්නේ මේ සමඟයි.

උක්ත දුරකතන අංක (සිම් කාර්ඩ්පත් පහ) ඕල්කට් මාවතේ දුරකතන අලුත්වැඩියා කරන ආයතනයකින් මිලදි ගෙන ඇති අතර TID විසින් එකී සිම් කාර්ඩ්පත් මිලදිගත් හැඳුනුම්පත් අංකය සොයාගිය විට නුවරඑළියේ පදිංචි පින්තේ විජේසූදාසන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගයක්ද ලබාගන්නවා.  විජේසූදාසන්ගේ කට උත්තරය අනූව

 "විජේසූදාසන් කිසිදිනක ඕල්කට් මාවතේන් සිම් කාර්ඩ්පත් මිලදි ගෙන නැත. නමුත් ඔහූ හඳුනන හමුදා නිලධාරීයකූ සමඟ  මත්පැන් පානය කළ දිනක ඔහූගේ හැඳුනුම්පත නැතිවී ඇත."   

ඒ කට උත්තරය මත පරීක්ෂණ මෙහෙයවූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කන්දේවත්තගේ පියසේන නැමැති හමුදා නිලධාරීයාව අත්අඩංගුවට ගැනිමට සමත් වනවා. කන්දේවත්තගේ පියසේන යනූ එකල ත්‍රීකුණාමලයේ ට්‍රිපොලි කඳවුරට අනුබද්ධිත බුද්ධි අංශ නිලධාරීයෙකි. විජේසුදාසන් සමඟ මත්පැන් බිව් හමුදා නිලධාරීයා ඔහුයි. විජේසුදාසන්ගේ හැඳුනුම්පත අස්ථානගතවන්නේ ඒ හමුවෙන් පසුව. විජේසුදාසන්ගේ හැඳුනුම්පත භාවිතාකර ඕල්කට් මාවතෙන් සිම්.කාර්ඩ් මිලදි ගන්නෙත් ඊට පසුව. 

අවසානයට ලසන්තගෙ ඝාතනයටත් ට්‍රිපොලි කඳවුර සම්බන්ධවෙන්නේ මේ අයුරින්. නමුත් ජේ

.සී වැලිඅමුණගේ නීතී සහය මත මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ කන්දේවත්ත එයින් ජයග්‍රහණය කොට නඩුවෙන් ඉවත්වනවා.ඔහූව අත්අඩංගුවට නොගන්නා ලෙසත් නිදහස් කරන ලෙසත් , රණවිරුවන්ව දඩයම් නොකරන ලෙසත් ගෝඨාභය පාර්ශවයෙන් දිගින් දිගටම හඬක් නැඟෙනවා.

ඒ ආසන්න කාලයක සිම් කාර්ඩ්පත් පහ මිලදි ගත් හැඳුනුම්පත් අංකය හිමි විජේසුදාසන්ද බන්ධනාගාරය තුළදි මියයනවා. ඒ අතරතුර 2010 නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර එයින් පසු වසර 5 ගතවන තුරු ලසන්තගේ ඝාතන පර්‍යේෂණ මුද්‍රා තැබෙනවා. 

ලසන්තව සමරමින්


2015 දී මහින්ද රාජපක්ෂගේ පරාජය සමඟ නැවත ලසන්ත ඝාතනය කරළියට පැමිණියද , ඝාතකයන්ගේ යතුරු පැදි සොයා ගැනිම , වව්නියාවේ තරුණයන් දෙදෙනෙකුගේ සම්බන්ධය හැරෙන්නට පැහැදිලි සම්බන්ධයක් හෝ පැහැදිලි කිරිමක් සිදුකරගැනිමට CID ද අපෝහොසත් වුනා. 

නැවත 2019 දී ,ලසන්ත ඝාතනයට නියෝගය ලබාදුන්නා යැයි සැකකෙරෙන ගෝඨාභය රාජපක්ෂවම ලක්ෂ 69 ක ජනතා අභිලාශයෙන් ජනාධිපති කරවූ විට ලසන්තගේ ඝාතන කාලයේ වැළිතලාවෙන් සඳහටම වැළලි යන්නට වුනා. මහමඟ කර්තෲවරයෙක් ඝාතනයට නියෝග කළායැයි සැකකෙරෙන මිනිසෙක්ව රටේ ජනාධිපති කළ මිනිසුන් වසර දෙකක් ගෙවෙන්නත් පෙර ඔහුවම රජ මාළිගයෙන් පන්නා දැමූවා. 

අදටත් මගේ පෞද්ගලික අදහස නම් , ලසන්තගේ ඝාතනයේ සුලමුල සෙවීම මාලිමා ආණ්ඩුවටත් පහසු කාර්‍යක් නොවනු ඇති වගයි.

 හේතුව ඝාතනය වී වසර 16 ක් වීමත්. වග උත්තරකරුවන් බොහෝ දෙනෙක් ජිවතුන් අතර නොමැතිවිමත් , පර්වේෂණ සාක්ෂි තවදුරටත් වලංගු නොමැතිවිමත් , අඛණ්ඩ නොවූ පර්‍යේෂණ නිසා උසාවියෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ හැකි අන්දමින් ඝාතනය පෙළගැස්විට අපෝහෝසත් විමත්. කට උත්තර සහ මරණ පරීක්ෂණයේ ඇති පරස්පරතා ප්‍රමාණයත්.

 නමුත් මේ සියල්ල මධ්‍ය වුවද ලසන්තට ,ලසන්තගේ පවුලට , නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට යුක්තිය ඉටුකළ හැකි නම් එය  මාලිමා ආණ්ඩූවේත් , ඒ ආණ්ඩුව පත්කළ ජනතාවගෙත් සුවිශේෂි ජයග්‍රහණයක් වන බව අමතක නොකළයුතුයි. 






Monday, 6 October 2025

Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.වයස අවුරුදු 91 වෙනකන් සක්‍රීයව පරිසරවේදිනියක් විදියට කටයුතු කළ ඈ ජීවන ගමනෙන් පසුගිය පළවෙනිදා නික්මුනේ , සමාජය , සත්ව සංහතිය සහ  ලෝකය වෙනුවෙන් ඇගේ සේවය සම්පූර්ණයෙන් අවසන් කිරිමෙන් පස්සේ. ඒ නිසා ඇගේ අහිමිවීම ලෝකයට පාඩුවක් කියලා සිතීම ඇගේ පැත්තෙන් යුක්ති සහගත නැහැ.

Jane ගේ සුප්‍රකටම ඡායාරූපයක්.

ආචාර්‍ය Jane Goodall ගේ Through a window - My thirty years with the Chimpanzees of Gombe පොත මට කියවන්න ලැබුනේ ටික කාලෙකට උඩදි ඒත් ඊටත් කලින් 2009 වගේ කාලයක  ඇගේ පර්‍යේෂණ කටයුතු ගැන ලියවුනු සිංහල පරිවර්තනයක් කියවීමෙන් තමා මේ සුන්දර පරිසරවේදිනියව  මම මුලින්ම දැනගත්තේ. 

ආචාර්‍ය Goodall, අවුරුදු 26 දී  ආපනශාලා සේවිකාවක් විදියට සේවය කරලා ලැබුන මුදලින් ටැන්සානීයාවට යන්නේ ඕනෑම ආකාරයක අප්‍රිකානූ සතෙක් පිළිබඳ ගවේෂණය කිරිමේ අරමුණෙන්. ඒත් ඇගේ දෛවය ඇයට ලබා දුන්නේ මිනිසාට සමීපතම ඥාතියා උනූ චිම්පන්සීන්. ඇය Gombe වනාන්තරයේ දින ,සති ,මාස ,අවුරුදු ගණන් අධ්‍යන කටයුතුවල නිරත උනා. අව්, වැසි නොසලකා කූඩාරමක තමන්ගේ තරුණ සමයම ගතකළා. ඇගේ තනියට ඇගේ අම්මා ඈ සමඟ සිටියා. ආචාර්‍ය Goodal  සැලකෙන්නේ මුලික උපාධියක් (Bsc) නොමැතිව ඍජුවම ආචාර්‍ය උපාධියට සුදුසුකම් ලැබූ උපාධි අපේක්ෂකයෙක් ලෙස. කේම්බ්‍රීජ් විශ්වවිද්‍යාල ඉතිහාසයටම එවැන්නන් සිට ඇත්තේ අටදෙනෙක් පමණි.

තම එකම පුතු සමඟ ටැන්සානීයාවේදි.

"චිම්පන්සීන් ගැන මම දැක්ක ගොඩක් දේවල් ලෝකේ මුලින්ම දැක්කේ මම..උදාහරණයක් විදියට ඔවුන් උපකරණ (Tools) පාවිච්චි කිරීම වගේ දේවල්. ඒ නිසා ඒ හැමදෙයක්ම අලුත් අත්දෑකීමක් උනා." 

ඒ තමා Gombe ජිවිතේ ගැන ඇගේ මතකය.

 ආචාර්‍ය Goodall ගේ මැදිහත්වීමෙන් කොන්ගෝවට උනූ විශාලතම සේවය  Tchimpounga Sanctuary (චිම්පන්සී අභය භූමීය) .හැත්තෑව දශකය අවසානය වෙනකොට  අප්‍රිකාව පුරාම චිම්පන්සීන් දඩයම , මව මරා සතුන් වෙන්කොට විකිණීම , අවම ප්‍රමිතීකරණයෙන් යුතු සත්වෝද්‍යාන පවත්වාගැනිම සහ සර්කස් වෙනුවෙන් චිම්පන්සීන් යොදාගැනිම බරපතළව සිදුවෙමින් තිබුනා. ආචාර්‍ය Jane , ඒ මොහොතේ නික්සන් ජනාධිපතිවරයගේ රාජ්‍ය ලේඛම් වූ ජේම්ස් බේකර් හරහා අප්‍රිකානූ රාජ්‍ය තුළ එක්සත් ජනපද තානාපති කාර්‍යාලවලට නිලනිවේදනයක් නිකුත් කළා 

ඈ Gombe වනාන්තරයට ගිය මුල් අවදියේදි ගත් ඡායාරූපයක්.

Please help Jane !!

කරුණාකර ජේන්ට උදව් කරන්න !! 

ඒ එක්කම කොන්ගෝ රාජ්‍යේ Tchimpounga අභයභූමීය ඉදිකිරිමේදි ඒ මොහොතේ කොන්ගෝව තුළ තෙල් කැණීම් සිදුකළ Conoco ආයතනයේ සහය ඈ ලබාගත්තා. මහා පරිමාණ තෙල් කැණීමේ ආයතනයක් එක්ක පරිසරවේදිනියකට ඇති සම්බන්ධය ගැන විරෝධතා ,විවේචන ඒ මොහොතේ එල්ල උනත් . ඇය පරිසරවේදිනියක් , පරිසර ක්‍රියාකාරීනීයක් විදියට ඇගේ රාජතාන්ත්‍රික , වෘත්තීමයභාවය හරහා තමන්ට අවශ්‍ය දේ කරගන්න සමත් උනා. 

අසූව දශකයේ මැද භාගයේදි සිය සටහන් පොත සමඟ චිම්පන්සීන්ව අධ්‍යනය කරන අචාර්‍ය.Goodall

අනූව දශකයේ මැද කොටසේදි , චිම්පන්සීන් භාවිතා කරමින් වෛද්‍ය පර්‍යේෂණ කිරිම සහ විද්‍යාත්මක පර්‍යේෂණ කිරිම ගැන ආචාර්‍ය Jane දැඩි විරෝධයක් දැක්වූවා. දශකයකට පස්සේ එක්සත් ජනපද පර්‍යේෂකයන්ගේ සංගමය තවදුරටත් සිය විද්‍යාත්මක පර්‍යේෂණ සඳහා චිම්පන්සීන් යොදා නොගන්නා බව නිලවශයෙන් නිවේදනය කළා. 

Gombe වනාන්තරයෙන් පැමිණි දා  සිට මියයනතෙක් ඈ කළේ දේශන පවත්වමින් ,ජනතාව දැනුවත් කරමින් , අරමුදල් එක්රැස් කිරිමයි. Roots and shoot එලෙස ඈ ආරම්භ කළ ඇගේ මුලිකතම පදනමක්. විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරගත් වැඩසටහනක් වූ මෙය අදවන විට රටවල් 75 අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වූ ආයතනයක්. මෙම සංකල්පය වටා ලොව පුරා  දරුවන් මිලියන 1.7 එක්වී සිටිනවා. ඔවුන් බොහෝ දෙනා අචාර්‍ය. Goodall ගේ වෑයම තවත් ඉදිරියට ගෙනයාමට උත්සුක වෙන තරුණ පිරිස්.  

දවසක වෙහෙස අකුරුබවට හරවන ඈ


ආචාර්‍ය Goodall අවුරුදු හැටේ සිට පුරා දශක තුනක් වසරකට දින 300-320 අතර සංචාරය කළ කාන්තාවක්. ඇය Gombe වැනි තැනක සිට තමන්ගේ පර්‍යේෂණ කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අත්‍යන්තයෙන් ප්‍රිය කළත් එලෙස සිටිම ඇය දැක්කේ ද්‍රෝහීකමක් විදියට. 

"මම අදටත් කැමති පර්‍යේෂකයෙක් විදියට කාලය ගත කරන්න.මම අප්‍රිකාවට ආවේ ඒනිසා. ඒත් ලෝකය විනාශ වෙන විදිය බලාගෙන නම් මම පර්‍යේෂණ කරන්නේ. ඒක මම ලෝකයට කරන ද්‍රෝහිකමක්." 

ඒ ඇගේ අදහස.

තවදුරටත් ලෝකයට Jane Goodall කෙනෙක් නැහැ. ඒත් අනාගත ලෝකයට එවැනි මිනිසුන් දස දහසින් අවශ්‍ය වෙවී. සතුන්ගේ නිදහසටත් , මිනිසුන්ගේ අවබෝධයටත් , පෘථිවියේ පැවැත්මටත්.






Friday, 26 September 2025

දුර්මත දුරුකරමු.

 මාලිමා රජය විසින් ගෙන ආ Penal Code (Amendment) පිළිබඳ ගුරුවරු කිහිපදෙනෙක් තමන්ගේ අප්‍රසාදය මුහුණුපොතේ මුදාහැරලා තිබුනා.එතනින් කීපදෙනෙක් කියලා තිබුනා

 "අදින් පස්සේ නම් අපි ඉගැන්නූවා ,ගෙදර ආවා වගේ කතාන්දරයක්." 

ගුරුවරුන්ට ඒ පනත එක්ක දැනෙන අනාරක්ෂිතබව මට තේරුම් ගන්න අපහසු නෑ.හේතුව ළමයි (අවුරුදු 18 අවම) පිළිබඳ තීරණයක් කරළියට ආපූ ගමන් ඒ ගැටලූව/තීරණය හැඟිම්බරව සමාජයේ කතිකාවට ලක්වීමේ ඇති අවදානම. හැබැයි පනතේ මූලික ලියවිල්ල (Draft) කියවපු ගමන් මට  අවංකවම දැනුන දේ  නම්, මේ පනතෙන් වඩාත්ම ආරක්ෂණයක් ලැබෙන්නේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ටත් වඩා ළමා නිවාසවල හැදි වැඩෙන දරුවන්ට. මේ පනතේ ඉතිහාසයට ගියොත් , 1994 චන්ද්‍රකාගේ ආණ්ඩූව බලයට පත් උනු ගමන් 1995 Penal Code Ammendment no 22 සම්මත කරේ ළමුන්ගේ ආරක්ෂණය තහවුරු කරන්න. ළමා මෙහෙකාර සේවය වගේ වැරදි ඇස්පනාපිට අඩූ උනේ ඒ පනත නිසා. මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබුනා.

දැන් මාලිමා ආණ්ඩූව කළේ ඒ පනතට සංශෝදන මාලාවක් ගෙනාපූ එක. මූලිකව ඔවුන් කරේ පහත සංශෝදන කිහිපය.

1. Corporal punishment for children (physical or humilating punishments) on children is now a criminal offence. 


දඬුවම් දීම (ශාරීරිකව හෝ මානසිකව අපහසුතාවයට /ලැජ්ජාවට පත්කිරිම) මෙම පනත ප්‍රකාරව අපරාධමය වරදකි.

  මේ වගන්තිය පිළිබඳ ළමා ආර්ක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පැහැදිලි කිරිම අනූව මෙය කිසිවිටක ගුරුවරුන් පමණක් ඉලක්කකරගත් වගන්තිය නොව , ළමා රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන අකටයුතුකම් පාලනයට ගෙනා පාලකයක්. විශේෂයෙන්ම 82 අනුඛණ්ඩයෙන් පවා කියන්නේ ඕනෑම විශේෂතත්වයක් යටතේ ( දෙමාපියන් විසින් ළමයකුගේ විනය සකස් කිරිම , ගුරුවරයෙක් විසින් ළමයකුගේ විනය සකස් කිරිම ) වැනි කාරණයකදි ඉහතින් සඳහන්වන අපරාධමය දඬුවම් ක්‍රියාත්මක නොවන වගයි. 

Section 82 is updated to say any exceptional ( like parental discipline ) don't apply to corporal punushments.

 කොටින්ම

 "ළමයෙක්ගේ විනයවත් අපිට හදන්න බෑ දැන් කියලා ගුරුවරයෙක්ට හෝ දෙමාපියෙක්ට කියන්න බෑ තව දුරටත්."

 හැබැයි ශාරීරික පහරදීමකින් හෝ සභාවක් ඉදිරියේ ලැජ්ජාවට බඳුන් කිරිමකින් තොරව ( Humilation) . ඒක බොහෝම මානුෂීය ප්‍රගතිශීලී පියවරක් කියලා සානුකම්පිත හිතක් සහ තාර්කික මනසක් තියෙන ඕන කෙනෙක්ට තේරෙන සත්‍යයක්.


2. ඉහතකී අපරාධමය දඬුවම වලංගුවන්නේ දෙමාපියන්ට , ගුරුවරුන්ට , ළමා නිවාස භාරකරුවන්ට සහ අවුරුදු 18 අඩූ දරුවකුගේ භාරකාරත්වය දරණ ඕනෑම අයෙක් වෙතට.


3. සංශෝදන තුළම ඉහත නීතීය භාවිතාවන  ආකාර නිරූපිතලෙස (Illustrations) ලබාදී තිබෙනවා. මෙහි ප්‍රධාන ඇණවූම ලිපිය අවසන අමුණා ඇත. ( අවශ්‍යය කෙනෙක්ට කියවීමට)




දරුවකුට බඳ පටියකින් පහර දීම : වරදක්

ආහාර ලබාදීම හිතාමතාම පමාකොට ඒ හරහා දඬුවම් ලබාදීම        : වරදක්

පාසලක් තුළ රැස්වීමක් ඉදිරියේ දරුවකු අපහසුතාවයට පත්කිරිම (public humilation)    : වරදක්

ශිෂ්‍ය නායකයකුට දරුවකුගේ කොණ්ඩා මෝස්තරය හෝ නිල ඇඳුමේ වැරැද්දක් වෙනුවෙන් කම්බුලට පහරක් දීම ( එයින් ශාරීරිකව හානියක් නොවුනත් )    : වරදක්


මෙහි තෝරාගත් දරුවකු , අනෙක් දරුවන් ඉදිරියේ අපහසුතාවයට පත්කිරිම , මම පෞද්ගලිකව අත්වින්ද සහ සියැසින් දැක ඇති සිදුවීමක්. ඒ පිළිබද මා ලිව් සටහනක් මෙලෙස අමුණා තබන්නම්.

කෙසේ හො උක්ත සංශෝදන වෙනුවෙන් හිමි දඬුවම් ලෙස මාස හයකට නොඅඩූ සිරදඬුවමක් හෝ  රුපියල් ලක්ෂයකට නොඅඩූ දඩමුදලක් ගෙවිය යුතුය. වින්දිත පාර්ශවය ශාරීරික ආබාධ සහිත නම්  දඬුවම තවත් බරපතළ විය හැක. නැවත මා අවධාරණය කරන්නේ ළමා රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන අපචාර සමඟ මෙම පනතේ විධිවිදාන ගැළපෙන ආකාරය සිතා බලන ලෙසයි.

බොහෝදෙනෙක් වරදවා වටහාගෙන අදහස් ඉදිරිපත් කරන Penal Code හි 19 වන පරිච්චේදයට ඇතුළත්වන සංශෝදනයන්ගේ හරය මෙයයි.  ඔබ ගුරුවරයෙක් නම් දරුවාගේ නොගැළපෙන කොණ්ඩා මෝස්තරයක් නිවැරදි කිරිම , නිල ඇඳුමේ වැරැද්දක් නිවැරදි කිරිම මේ පනතෙන් වළකා නැත. වළකා ඇත්තේ ඒ නිවැරදී කිරිමේදි ශාරීරික දඬුවමට ඇති අයිතියයි. ඉතින් ඔබට හිතෙනවා නම් දරුවන් විනයවත් කිරිමේ එකම ක්‍රමය දඬුවම් දීමයැයි කියා.එය ඔබේ වරදක් මිස පනතේ වරදක් නොවේ. 

ප.ලි :-

අපි නම් ඉගෙනගත්තේ මෙහෙමයි , අරහෙමයි කියා කීම  තවත් වලංගු නැත.ඔබ ඉගෙනගත් 70,80 දශකයවත් , මා ඉගෙන ගත් විසිවන සියවසේ මුල්කාර්තුවවත් ලෙස ලෝකය , ආර්ථිකය , දේශපාලනය  ,නීතීය හෝ අයිතිවාසිකම් තවදුරටත් ක්‍රියානොකරයි. ඒ සියල්ල නවීන ලෝකයට අනුව වෙනස් වී ඇත. එය පිළිගැනිම වැඩිහිටි ඔබ සියල්ලගේම වගකීමයි. 

මනුජය තෙන්නකෝන්

1. පළමු ඇමිණුම : Penal Code Amendment :සංශෝදන අඩංගු පනත

2. දෙවන ඇමිණුම : දඬුවම් පිළිබඳ අර්ථ නිරූපණය.

Smokin' Joe : විවියන් රිචර්ඩස්

 ආසියානූ කුසලානේ පැරදිලා අබල දුබල වෙලා ඉන්න මොහොතකත් ක්‍රිකට් ගැන නොහිතා ඉන්න බෑ. අනෝරා වැස්සේ , සීතල මීදූමේ , කෝපි කෝප්පෙකුත් එක්ක මම World Cricket Encyclopedia  එක අතරින් පතර පෙරළුවේ ඒ නිසයි. David Gower ලීව පෙරවදනත් කියෝගෙන යන අතරේ බටහිර ඉන්දීය කොදෙව් පරිච්චේදයේ සිත නෙත දෙකම නතර උනේ නොහිතාම.

විවියන් රිචර්ඩ්ස් ඇන්ටිගුවාහිදි


සර් අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචර්ඩස්. මෙන්න අද  අපේ මිනිහා.  උස අඩි පහයි අඟල් දහයයි. පුවක් ගස් තරම් උස ජැමෙයිකානූවෝ මැද උන්නූ ඇන්ටිගුවාවේ අභිමානය. 1974 ඉදන් 1991 වෙනකන් ලෝක ක්‍රිකට් මවිතයට පත්කරපූ ආශ්චර්‍යය. එක්දින ලෝක කුසලාන තුනක අවසන් තරග ක්‍රීඩා කරලා එතනින් දෙකකම කුසලානය දින්න පුරාවෘතය.දැන් කෙනෙක් අහයි ,

" ඔයා විවියන් රිචර්ඩ්ස් බැට් කරනවා දැකලා තියනවද ? "

"ඇයි අපි දුටුගැමුණු විජිතපුර සටන කරනවා දැකලද රචනා, කවි ,ගීත  එහෙම ලීවේ. අනේ නිකන් යන්න !!මල්ලී යන්න !! "

නොම්බර තුන පිතිකරුවෙක් කියන්නෙම චමත්කාරයක්. කුමාර් සංගක්කාර , රාහූල් ඩ්‍රාවීඩ් , රීකී පොන්ටින් , ජෝ රූට් , බ්‍රයන් ලාරා ලැයිස්තුව දැක්කම උනත් ඇඟ සීතල වෙනවා. විවියන් රිචර්ඩ්ස් මේ හැමෝටම කලින් නොම්බර තුනේ ඇණේ ගැහූව හාදයා.මම වමත් පිතිකරුවන්ට ආසක්ත උනත් , විවියන් රිචර්ඩ්ස් කියනේ මඟහරින්න බැරි පිටූවක්. ටෙස්ට් තරග 121 , සාමාන්‍යය 50.23. ත්‍රිත්ව ශතකයක් නොතිබුනත් ශතක 24 යි , අර්ධ ශතක 45 යි ඒ අඩූව හොඳටම පිරෙව්වා. මංගල තරඟය ඉන්දියාවේ බැංගලෝර්වලදි සෙල්ලම් කරන කාලේ විවියන් රිචර්ඩස් යාන්තමින් අවුරුදු විසිදෙකක් ලැබූවා විතරයි. ලකුණු 267 න් බටහිර ඉන්දීය කොදෙව්වෝ තරගය දිනූම් , සියවසේ නායකයා ක්ලයිව ලොයිඩ්ගේ දෙවෙනි ඉනිමේ ලකුණු 163 කවියක් වගේ මිහිරියි. පළවෙනි තරගෙදි විවියන් රිචඩ්ස් මහා ලොකුවට කැපී පෙනූනේ නැතත් , නායක ලොයිඩ් දෙවෙනි තරගයටත් මේ ඇනිටිගුවානූ දඩබ්බරයව කැඳෙව්වා. 

 තමන්ගේ ජිවිතේ දෙවෙනි ටෙස්ට් තරගය , තුන්වෙනි ටෙස්ට් ඉනිම ,නොදැවී ලකුණූ 192 යි. මුලූ ලෝකය්ම ඔහු ළඟ.නායකයාගේ තෝරාගැනීම , විවියන් තරුණයා මනාව සාධාරණීකරනය කළා. අවාසනාවට ඔහූ ද්විත්ව ශතකයට යන්න කලින් බ.ඉන්දීය කොදෙව් අනෙක් අන්තය දැවීගියා. ඉන්දීය දෙවෙනි ඉනිමෙදි ගිබ්ස් ලකුණු 76 ට කඩුලු හයයි. ඉන්දීයානූ ඉනිම විනාශයි. ඉනිමකින් සහ ලකුණු 17 න් ජය කොදෙව්වන්ටයි. විවියන්ගේ ලකුනු මැෂිම වැඩකරන්න ගන්නේ එතන ඉදන්.

පකිස්තානූ වේග පන්දූවේ ප්‍රතිමූර්තිය , වසීම් අක්‍රම් නම්  සර් විවියන් රිචර්ඩ්ස් මතක් කරන්නේ

වසීම් අක්‍රම් කඩුල්ලක් සමරමින්

 

"Nobody likes him; he literally tried to kill me in the Barbados test!"

එංගලන්තයේ හිටපූ ආරම්භක පිතිකරු ජෙෆ් බොයිකොට්ට අනුව නම් 

ජෙෆ් බොයිකොට් පසුකලක විස්තර විචාරකයකු ලෙස


"No one picks the length like Viv - my all-time favorite!"

ලාහෝර් සිංහයා , එහෙම නැත්නම් පකිස්තානයට 1992 ලෝක කුසලානයක් දිනාදුන් නායකයා ඉම්රාම් කාන්ගේ අදහස 

ඉම්රාන් ඛාන් 


 "Arguably, he's one of the greatest batsmen of all time. He's a genius."

විවියන් රිචර්ඩ්ස් ගේ ආක්‍රමණශීලී පිතිකරණයත් , කෙටි පන්දුවට දක්වන නිර්භීතබවත් නිසා ඔහූ ඕස්ට්‍රේලියානූ , එංගලන්ත තණතිලිවල අතිශයින්ම බිහිසුණු උනා.හොඳට ඉපිලිම තියෙන වේගවත් තණතිලිවල වෙනත් පිතිකරුවෝ පැකිළෙන අවස්ථාවල  ඔහූ වේගයෙන් , හැබැයි ස්ථිරසාරව ලකුණු රැස් කරා. 1976  කැලැන්ඩර් වසරෙදි විතරක් ඔහූ ටෙස්ට් ලකුණු 1710 ගැහූවා. එයින් ලකුනු 829 ආවේ එංගලන්තය එක්ක තරග හතරකින් . එහි ලකුණු සාමාන්‍ය 118.42. ඔහුගේ එංගලන්ත වික්‍රම ගැන ඊටත් වඩා මොනවා කියන්නද ?

විවියන් රිචර්ඩ්ස් කියන්නේ ලෝක කුසලාන හතරක් නියෝජනය කරන්න වාසනාව ලැබුනු ක්‍රීඩකයෙක්. ලෝක කුසලාන තරග 23 යි , ඉනිම් 21 යි , ලකුණු 1013 යි. තරගයක ලකුණු සාමාන්‍යය් 63.31. හොඳින් කල්පනා කරොත් සෙල්ලමක් නෙවෙයි ඒ ඉලක්කම් . ඊට අමතරව ශතක තුනකින් සහ අර්ධ ශතක පහකින් ඔහුගේ ලෝක කුසලාන දිවිය වර්ණවත් වුනා. එයිනුත් 1979 ලෝර්ඩ්ස් හි අවසන් මහා තරගයේ නොදැවී ලබාගත්ත ලකුණු 138 ඉනිම වගේම 1987 ලෝක කුසලානයේදි පන්දු 125 න් ශ්‍රි ලංකාවට එරෙහිව ලබාගත්ත ලකුණු 181 ඉනිමත් ඉහළින්ම කියවෙනවා. එදා අසන්ත ද මෙල්ගේ පන්දුවාර දහයට ලකුණු 97 යි , අසංග ගුරුසිංහගේ පන්දුවාර හතරට ලකුණු 43 යි. ගිණිකෙළි පරාදයි.

කැරීබියානූ නිදහස , කැලිප්සෝ සංගීතය , අනුකම්පා විරහිත පුල් පහර , ආයාසයකින් තොරව ලකුණු රැස් කිරිම , බටහිර ඉන්දීය කොදෙව් සටන්කාමීත්වය  සහ අපේ කතානායක විවියන් රිචර්ඩ්ස්ගේ වීරත්වය තවත් අවුරුදු ගාණක් මේ විදියට කියවෙයි , ලියවෙයි , සංස්කරණය වෙයි .  ශ්‍රේෂ්ඨයෙක් කියන්නේ අන්න එහෙම වෙන්න පුලුවන් කෙනෙක්ට කියලා අනාගත ක්‍රිකට් ලෝකයට හැමදාම මතක තියෙයි.


විවියන් විචර්ඩ්ස් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ ඇති තම ආලේඛ්‍ය චිත්‍රය සමඟ










සංගා.............

2007 ඕස්ට්‍රේලියානූ සංචාරයේ හෝර්බාට් තරගය බලනකොට මම පොඩිම පොඩි කොල්ලෙක්. උදේ පාන්දර නැඟිටගෙන , ගෙදර හැමෝම නිදි වෙලාවක , පෙට්ටී ටීවී එක ඉස්සර...