Sunday, 11 June 2023

ලිවීම පාපයක්ද ??

 මම facebook එකට ලියන එක අතෑරලා ගොඩක් කල්. කොහොමත් එහෙම facebook එකට ලියන්න තරම් මහා ලොකු මිතුරු හමුවක් මට හිටියෙත් නැහැ.වෙන මිනිස්සූ සමාජ සම්බන්ධතා වැඩි කරගන්න මිත්‍රයෝ වැඩිකරගන්න කොට මම කරේ ඉන්න මිත්‍රයොත් අයින් කරපු එක. 

මට ලියන්න පුළුවන් කියලා මුලින්ම හිතුනේ මම හරංගල ඉස්කෝලෙට ගියාම මොකද ඒ මම අනුරුද්ධේ ඉන්නකන් ශිෂ්‍යත්වය හැරෙන්න වෙන දෙයක් නොකරපු නිසා. 

ඒත් හරංගලදි  සඟරාවක් හදන්න උත්සහ කරපු  සන්ධ්‍යා ටීච මට පොඩි කතාවක් ලියන්න ආරාධනා කරා. හරියට කෙලින් රූලක් වත් ගහගන්න අමාරු මම වචන වචන ගළපලා පොඩි කතාන්දරයක් ලීවා. 

ඒ 2009 වගේ. එතනින් එහාට මාත් හිතුවා මට ලියන්න පුළුවන් තමා කියලා. මම දිගටම ලීවා , සිංහල විචාරයක් වෙන අය ලකුණු ගන්න ලියනකොට මම ඒක වගා කරගෙන වෙනම වැඩක් විදියට කරන්න උත්සහ කරා. ඒත් ඒක ගොඩක් ගුරුවරු එක්ක වැඩ කරේ නෑ. එයාලා හිතුවේ මම පණ්ඩිතයෙක් කියලා . කොටින්ම එයාලට මාව තේරුනේ නැහැ වගේම මටත් එයාලව තේරුනේ නෑ.  මාත් එක්ක හොඳින් හිටිය සමහර ගුරුවරුත් සදාකල් මගේ හොඳම ගුරුවරු උනේ නැහැ. 

මම කාටුන් අඳින්න ගත්තා , පත්තරකාරයෙක් වෙන්න පත්තරෙට ලීවා , පත්තරකාරයන්ගේ සම්මුඛ සාකච්ඡා එකතු කරා , පත්තර කන්තෝරු වලට කතා කරලා "අහවලා එක්ක කතා කරන්න ආසයි " කියලා කතා කරා. මම එහෙම ලංකාදීපේ ආරියනන්ද දොඹගහවත්තටත් දවසක් කතා කරා. හරියටම මහමායා එකේදි පියල් සමරවීර හම්බෙලා එයාට කියලා "මල් මාමා" අන්දවගත්තා.  මේ හැමදෙයක්ම කරත් මම මාර දෙයක් කරන්නේ කියලා කවදාවත් මට හිතුනේ නෑ.කව්රුත් එහෙම කීවෙත් නෑ. පොඩි කොල්ලෙක් විදියට මම එහෙම ඇගයිමක් බලාපොරොත්තු උනාද කියන්නත් මට මතක නෑ. ඒත් එකම එක මනුස්සයෙක් මට දවසක් මෙහෙම කීවා.

"ඔයා මේ කරන දේ හැමෝටම කරන්න බෑ. ඒ නිසා මොන දේ උනත් මේක නවත්තන්න එපා." 

මට මෙහෙම කීවේ මට ජිවිතේට අකුරක්වත් උගන්නලා නැතත් හෙට දැක්කත් සර් !! කියලා අත අල්ලගෙන කතා කරන්න තරම් ආදරෙන් මගේ ඇස් දිලිසෙන අතුල සර්. 

මට කවදාවත් නාට්‍යය කාරයෙක් වෙන්න ඕන කියලා උවමනාවක් තිබුනේ නැහැ. ඒත් නාට්‍යය වලට මම බොහෝම කැමැති උනා. මං වගේම අපේ බැජ් එකේ හිටිය කීප දෙනාම ඒ වැඩේට අසීමිතව කැමැති උනා. නාට්‍යය පීරීයඩ් එක ඉවර වෙලා අනික් පීරීයඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුවත් නැඟිටලා නොයන අමුතු පිස්සුවක් අපට ඒ කාලේ තිබුනා. මට හොඳට ලියන්න පුළුවන් කියලා මමම හිතාන උන්නු නිසා නාට්‍යය විෂයක් විදියට වාර විභාගයකට තියෙනකොට දත කට නියවලා මම නාට්‍යය පිටපත් ලියන්න පටන් ගත්තා. වෙන ළමයි 'අංග රචනයෙන් නාට්‍යයක ත්‍රීවූරත්වය වැඩි කරන්නේ කෙසේද ??'වගේ ප්‍රශ්න තෝරනකොට මම කෙටි නාට්‍යයක් ලියලා , අවස්ථා සම්බන්ධතාවය හදලා ,පොඩි සින්දුවක් දෙකකුත් ඒකට එකතු කළා. කවදාවත් කව්රුත් ඒ දේ මහා ඉහළින් අගය නොකරත් ඒ පුංචි මම ගැන මට තාම පොඩි ආඩම්බරයක් තියෙනවා. 

ඒත් එක්කම සෞන්දර්ය විෂයන් වලට  ප්‍රායෝගික පරීක්ෂණ තියෙන වෙලාවක ඒ වෙනුවෙන් මම නාට්‍යය පිටපතක් ලීවා. මම විධිමත් විදියකට ලීව පළමුවැනි නාට්‍යය ඒක. ඒ දවස්වල අප්පච්චි මට ගෙනත් දුන්න හෙන්රි ජයසේනගේ 'ජනේලය' කියවලා මම ඒ ආකෘතියේ නාට්‍යයක් ලියලා ඉවර කරා. ඒකේ තිබුනේ රජයේ කාර්‍යාලයක අසාධාරණයට ලක්වෙන රජයේ සේවකයෙක්ගේ පීඩනය ගැන කතාවක්. ඒත් ඒක කරන්නවත් ඒ පීඩිත සේවකයා විදියට මට රඟපාන්නවත් බැරි උනා. මගේ නාට්‍යය ගුරුවරයා ඒ නාට්‍යය පිටපත පළවෙනි කණ්ඩායමට දීලා , මගේ කණ්ඩායමට සිංහල පෙළ පොතෙන් තෝරගත්ත නාට්‍යයක් කරන්නයි කීවා. හැබැයි මම ඕලෙවල් ඉවර කරලා ඉස්කෝලෙට ආපු දවසක ඒ මම ලීව නාට්‍යය ඉස්කෝලේ වෙනස් කම් කිපයක් එක්ක වේදිකාගත කරලා තිබුනා. ඒත් නාට්‍යයේ තිර පිටපත් රචකයාට වෙන නමක් ලියවිලා තිබුනා.




ඉස්කෝලේ කෙළි සෙල්ලම් හැමදේම 2017 අගෝස්තු අහවර කරලා  මම 2019 මගේ උපන්දිනේට දවස් 6 කලින් මම කුරුඳුවත්තේ තර්ස්ටන් එකට අල්ලපු වැටේ තියෙන කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒලේවල් කාලේ මගේ හදවතින්ම මැරිලා ගිය ලේඛකයා ආපහූ උපද්දවන්න ඕන කියලා මම මීඩීයා ක්ලබ් එකකට බැදුනා , ඒත් පොඩි කාලයක් ගිහින් ලස්සන ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරලා තිබුන අනිත් මීඩීයා ක්ලබ් එකට මම හෙමින් සිරූවේ මාරු උනා. කැම්පස් ඉවර වෙනකන් මහා ලොකුවට නැතත් පොඩි පොඩි දේවල් වලට මම සම්බන්ධ උනා. 
මුල් කාලේ නාට්‍යයක් කරන්නමයි ඕන කියලා චාරුකට  මම වද දෙන්න පටන් ගත්තා. කලාවට හිතැති චාරුක මට මේම යෝජනාවක් කරා.


" රොටරැක් එකේ මෙහෙම වැඩක් තියනවා ඒකට උඹ නාට්‍යයක් කරපන්."

 ඒක ළමා හිංසනය වගේ මාතෲකාවක් තිබුනේ. මමත් කැප වෙලා පේ වෙලා තුන් හතර පාර හිතලා කෙටි නාට්‍යයක් ලීවා . චාරුක යෝජනා කරපූ නම් කීපයක් එක්ක වට්ස් ඇප් ගෲප් එකකුත් හැදුවා. ඒත් දවසක රෑක ඒ නාට්‍යයේ තාත්තට ගන්න හිතාන උන්නූ කොස්තා කතා කරලා 

 "රඟපාන්න නම් බෑ වෙන ඕනම දෙයක් කරන්නම් කීවා."

නාට්‍යයක රඟපාන්නේ නැතුව වෙන කරන්න තියෙන දේවල් අල්ප නිසා මම  ඒ පිටපතත් අල්ලලා විසි කරලා දැම්මා.

ඒ සිද්ධියෙන් පස්සේ මට නාට්‍යය හදන්න් උත්සහය කරන්නවත් හිතුනේ නෑ.කොළඹ ඉන්නේ කිසිම කලා රසයක් නොදන්න මොළ ගෙඩි කියලා හම්බෙන හම්බෙන එකාට බැන බැන මම ඕපන් කැන්ටින් එකේ ඉන්නකොට කොළඹ කැම්පස් එකට අවුරුද්ද 100 කියලා වැඩක් කරන්න පුළුවන් ද කියලා අනුජිතා ඇහුවා. මං හා කීවම පුලින්, සසංක , ජයති තුන්දෙනාත් එකතු උනා. ඒ වෙනකොට ෆර්ස්ට් ඉයර් එකේ හිටපු අඩි හතර හමාරක් වගේ උස උදානිත් වැඩේට ගත්තා. 
මම කතාව ලියලා , උදානි ලවා කියවලා ,සසංක කැමරා කරා. පුලින් හැමදේකටම පිටිපස්සෙන් හිටියා. වැඩේ මැදදි ජයතිට අසනීප උනත් ඒ වැඩේ වැඩක් විදියට සාර්ථක කරගන්න  එයා පුදුම විදියට  උදව් කරා. ඒ වැඩෙන් පස්සෙ තව වැඩක් කරමු කියලා පුලිනුයි සුභාෂුයි හැමදාම කීවට කොරෝනා තුන්වෙනි රැල්ල ආපහු හැමදේකටම හරස් උනා. එතනින් පස්සේ මායි සුභාෂුයි එකට එකතු වෙලා කරපු එකම වැඩේ බොන එක විතරයි .

මම කැම්පස් එකේ කලාත්මක වැඩක් කියලා අන්තිමට කරේ ඒක විතරයි. එතනින් පස්සේ මාත් සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට අච්චූවකට වැටෙන්න පටන් ගත්තා. අවුට් වෙනකන්ම  මගේ බ්ලොග් එකේ ලියන එකට අමතරව කිසිම දෙයකට මම සම්බන්ධ නොවී සිටියා. 

පස්සේ කාලේක බ්ලොග් එකක් පටන් ගන්න කියලා මගේ සහෝදරයෙක් මට යෝජනා  කරා. මම හෙමීට බ්ලොග් එකකුත් පටන් අරන් ලියන්න ගත්තා.මම අත්වින්ද හැමදේම ඒකේ අකුරු කරන්න ගත්තා. ඒත් ඒක බලන බහුතරයක් මගෙන් ඇහුවේ ' ඒ උඹ කියක් ඕකෙන් හම්බකරනවද ' මිසක් මචන් කොහොමද මොනාද මේ  දවස්වල ලියන්නේ ඉස්සරහට මොනා ගැනද ලියන්නෙ වගේ ප්‍රශ්න නෙවෙයි .

කොටින්ම මට උන්නූ පෙම්වතියටවත් ඒ දේ කරන්නේ ඇයි කියලා තේරුනා කියලා මම අදටත් හිතන් නෑ. ඒ නිසාම ලිවීම මහා පාපයක්ද කියලා හිතෙන තරමට මම නොසන්සුන් උනා.



  කෝමහරි,      ගිය අවුරුද්දෙ අන්තිම කාර්තුව වෙනකොට ලංකාවේ ප්‍රකට පත්තරේකින්  මට ලියන්න කියලා ආරාධනාව ආවා. ඒත් පොඩි කාලයක් යනකොට ඒ වගේ පත්තර කන්තෝරුවල අපට ඕන ද් නෙවෙයි එයාලය ඕන දේ ලියන්න ඕන කියලා තේරුම් ගියාම.මගේ උනන්දුව අඩු වෙන්න පටන් ගත්තා. 

රස්සාවක් පටන් ගත්තම නාට්‍යය කෙරුවාව හීනයක්ම තාම කියලා මට වැටහෙන්න පටන් ගත්තා. ඒ නිසාම මායි පුබුදුයි දෙන්නා එකතු වෙලා කෙටි චිත්‍රපටයක් කරමු කියලා කතා උනා.ඒ කාලේ රනිල් මහත්තයා "ඡන්ද තියන්න ඡන්දයක් කොහෙද තියෙන්නේ කියලා අහපු කාලයක් නිසා  "Always make your own choice wisely " කියලා ටයිටල් එකකින් අපි දෙන්නා කතාව ලීවා. එයාගේ කාමරේ ඉදන් ප්ලේන්ටී තව දේවල් බොන ගමන් වැඩේ නියමට ලියවුනා. ඒදා කාමරේ හිටපු පුබුදුගෙ මල්ලී අශ්වින්ට 

"ශා මේකනම් මරු !! කියලා සද්දෙට කීවා. ඒත් ඒක කරගන්න කලින් පුබුදු මට ලොකු හාද්දක් දීලා එංගලන්තයට ගියා.මම ආපහු ඒ පිටපතත් ලාච්චුවට දාලා ලොකු හුස්මක් ගත්තා.

මම හදිසියේ මේ හැමදේම ලියන්න ගත්තේ මම ලීව හැමදෙයක්ම ගොඩක් අය ලස්සනයි කීවට ඒක ගැන ගැඹුරෙන් කිසිම කෙනෙක් මාව විවේචනය කරලා තිබුනේනෑ
මම පාසලේදිවත් , කැම්පස් එකේදොවත් , සමාජයේවත් ලේඛකයෙක් කියලා ලේබලයක් වැදුනෙ නෑ. කාලයක් මම ඒකට විස්කෝප උනත් මගේ අප්පච්චි නැතිවෙන්න කලින් එයා මට පොතක් ලියන්න කියලා උපදෙසක් දුන්නා.

එයා මට නොකියා කීවේ ඔයා ලියන එක අපතේ නොයන්න ඒක කරන්න කියලා.මම හරියටම මේ අවුරුද්දේ පෙබරවාරි මුල පොතේ වැඩ පටන් ගත්තා. නිකන්ම නිකන් බ්ලොග්කාරයෙක් නොවී හොඳ ලේඛකයෙක් වීමේ අභිප්‍රායෙන් මනා සංයමයකින් මම ඒ ව්‍යාපෘතිය භාරගත්තා. 
ඒත් මගේ අතින් අල්ලලා අකුරක්  ලියවලා ,පොතක් ගෙනත් දීලා වෙනස් මිනිහෙක් වෙන්න කියලා උගන්නපු අප්පච්චිට ඒ පොත දොරටවඩිනවා බලන්න එන්න බෑ නේද කියලා මතක් වෙනකොට මට පෑන අතාරින්න හිතෙනවා.ඒත් එයාගේ ලස්සන හිනාව මැකී නොගිය රාමු කරපු පොටෝ එක දිහා බලාගෙන මම එයාගෙන් තව එක අවුරුද්දක් ඉල්ලනව.

"මට අවුරුද්දක් දෙන්න අප්පච්චි !! අවුරුද්දක්" 







Friday, 9 June 2023

මගේ පුතා තමා බැද්දගානේ සංජීව !!!

 මෙරට ලෙයින් නැහැවුනු භූමියකි, මරණ සහ ඝාතන දස දහසෙන් සිදුකළ දේශයකි,පුරා දශක තුනක් පටු දේශපාලනික අරමුණු කරපින්නා දෙපිළකට බෙදී ලේ,ඇට,මස් නහර උදුරා ගත් උදාරතර භූමියකි .මෙම යුද්ධයේ අවසාන කාර්තුවේ ඡායාමය මතක මත කර දඬු උස් වූ මිතුරනි, මෙබිම මරණයන් හැර කිසිවක් නුඹලාද දායාද කොට නොමැත .එකී මරණයන්ගෙන් ගලා හා රක්ත වර්ණැති රුධිරයේ පැහැය ජාතිය , ආගම හා කුලය මත අඩු වැඩි නොවන බව පසක් වන තුරු මේ ශෝකාන්තයන් නොනවතිනු ඇත. 



බොහෝමයක් වූ කලබැගෑනි , අහිමිවීම්,හුදකලා වීම් සහ අසරණ වීම් අතරමැද නැවත වරක් පෑන අතට ගත් මා කුමක් ලියම්දෝ යැයි කල්පනාවක නිමග්න විය. සැනෙන් මා වසර දෙකකට ඉහත ලිවිය යුතු යැයි අදිටන් කල සිටි  එහෙත් ලිවිමට නොහැකි වූ ලිපි මාලාවක් මෙලෙස ලිවිමට ඇරඹුවෙමි . අකුරෙන් අකුර ගළපමින් කලබලයකින් තොරව උක්ත අමිහිරි සිතුවම කැන්වසය මත මා මෙසේ සිතුවම් කරමි. 


වසර 2500 ප්‍රෞඩත්වයෙන් අනූන මහාභිසම්පන්න උත්කෘෂ්ටයෙන් කව් ගී ලියවෙන රජවරුන් 189 ආසන්න රාජාවලිය පීරා බැලු කල , බලය මත පදනම් ව සිදූවූ ඝාතන ප්‍රමාණයට අනූගාමීව නිදහස් ශ්‍රී ලංකාවේද දේශපාලන ඝාතන බොහෝමයකි. මේ සියල්ල මනා අවබෝධයෙන් යුතුව කියවාගන්නා ප්‍රඥාගෝචර මනුෂ්‍යයිනි


 "අතීත වේවා වර්තමාන වේවා ශ්‍රී ලාංකීකයන් යනූ ධනය , බලය ඉදිරියේ අනෙකාව තලා , පෙළා නසා දැමීමට නොපැකිලෙන ජාතියකි. " 


එය එසේ නොවේනම් කිසිදිනක බණ්ඩාරනායක ඝාතනය නොවනු ඇත , ඇතුළත්මුදලි මියනොයනු ඇත. 

 

අද සටහනට පාදක වන්නා වූ පාතාලයද එලෙසින් බල ලෝභිත්වය නම් කටුක මාර්ගය තරණයට ඉනි වැටක් බඳු උත්ප්‍රේරකයකි. එකී උත්ප්‍රේරකය අනූව දශකයෙ මුල් යුගයේ සිට විසිඑක්වන සියවසේ පළමු දශකය තෙක්ම මෙරටට පිළිළයක් බඳු විය. ලේ පිපාසිත දේශපාලනික පියවරුන්ගේ සහ මව්වරුන්ගේ මන දොළ සනසාලීමට මරණය සෙවූ එක්තරා මනුෂ්‍යය කොට්ඨාසයකින් එකල මුලු බස්නාහිරම ත්‍රස්ත වී තිබිනි. 

අද පහතින් යතුරු ලියනයවන්නා වූ මෙම සටහන එසේ අනෙකාගේ වේදනාව රසමවුළක් කොට ගත් බලයෙන්, ධනයෙන් සහ පාපයෙන් සිය දෑස් අන්ධකරගත් මිනිසුන්ගේ ආත්මයේ දිග පලල මැන බැලිමකි.  එයට පෙරාතුව සඳහන් කළ යුතු වැදගත් කරුණකි මාගේ මේ වෑයම මොවුන් කිසිවකු උත්කර්ෂයට නැංවීමවත් වීරත්වයක් ආරෝපණය කිරිමවත් නොව. අතීතයේ වැලිතලාවෙන් මැකීයන්නා වූ මතකයන් නිසිලෙස ගොතා පාඨක ඔබට පිළිගැන්වීමයි.


---බැද්දගානේ සංජීව----




A.T ඉරාන් ධනුෂ්ක පෙරේරා නොහොත් බැද්දගානේ සංජීව 1972 අප්‍රේල් මස 28 උපත ලබා 2001 වසරේ අඳුරු නොවැම්බරයේ පාගෝඩ පළමුවන පටුමගේදි වෙඩි කා මියයන තුරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තරමෙ බලයක් හසුරවමින් සිටියේය. බැද්දගානේ දූව පාරේ මහගෙදර වූ සංජීව කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව ඇමති ආරක්ෂක අංශයට සිය දේශපාලනික සම්බන්ධතා හරහා ඇතුළු විය. 1993 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග මෙරටට පැමිණ මහමැතිවරණය මෙහෙයවන සමයේදි සන්ජීව ඈ හා සම්බන්ධ විනි. එකල ඈගේ ශරීර ආරක්ෂකයකු ලෙස කටයුතු කළ ඔහූ ඇගේ 1994 වසරේ 70.47% ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟම බැද්දගානේ සන්ජීව ජනාධිපති ආරක්ෂක අංශයට නොහොත් සාමාන්‍යය ව්‍යවහාරයේ හැඳින්වෙන PSD (President's security division ) අනියුක්ත විනි. ඔහූගේ ත්‍රාඩ සේවය ඇරඹෙන්නේ එයින් ලැබූ ව්‍යස්ථාපිත බලයත් සමඟයි. 


කිසිදිනක පොලීස් නිලධාරීයකු නොවී ආරක්ෂක අංශයට රිංගා ගත්  සන්ජීව දිනෙන් දින උසස් නිලදරුවන්ගේ සූවච කීකරු නිල සුනඛයෙක් බඳු විය. ඕනෑම දේශපාලනික දඩයමක් සඳහා කුමාරතුංග රජයට සන්ජීවගේ නොපැකිලෙන සහය තිබිනි. එකල 1999 වසරේ කොළඹ පැවති එ.ජා.ප රැළිය ආවරණය කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා ආම්පන්න සජීවි විකාශනය ඉදිරියේම පොඩිපට්ටම් කර දැමීමට තරම් සන්ජීව බලසම්පන්න විය.


ලේ පිපාසිත විධාන සොයනා සුනඛයන් මෙන් ඔවුන් අනූව දශකයේ අග භාගය වන විට අසීමිත භීතියක් පතුරවමින් සිටියේය.එකල රට දෙකොණෙන් ඇවිළෙමින්  තිබූ යුගයකි. උතුරෙන් ප්‍රභාකරන් සිය ඊළාම් යුද්ධය දියත් කරන සමයක දකුණෙන් සොත්ති උපාලි ,කලු අජිත් , අමරසිංහ සහෝදරයන් සහ බැද්දගානේ සන්ජීව මරණයේ වරෙන්තු තැපැල් කරමින් සිටියේය. 


මේ සියල්ලන්ටම වඩා මුල් යුගයේ පෞද්ගලික කෝන්තර මත පදනම්ව සිදූවූ සංවිධානාත්මක මනුෂ්‍යය ඝාතන නොහොත් පාතාලයේ ක්‍රියාකාරකම් මේ සමය වන විට මාළිගාවත්තේන් කොළඹට සංසරණය වන හෙරෝයින් මත රඳා පැවතිම ඇරඹිනි. එකී කාර්‍යන් සඳහා බැද්දගානේ සන්ජීව වැනි නිලලත් අලූගෝසුවන්ගේ සෙවණැලිද වැටී තිබිනි. 


කෙසේ නමුත් PSD හරහා සිය නිත්‍යානුකූල බලය මුදුන්පත් කරගෙන සිටි සන්ජීව තම හාම්පුතුන්ගේ විධානයන් නොපැකිලී ඉටු කිරීම ඇරඹුවේය . එලෙසින් භීතීය මුදාහළ යුත්තේ කලාව දෙසටද නැතහොත් මාධ්‍ය දෙසටද යන්න උස් පුටුවකින් පැමිණෙන වැකියකි. සන්ජීව වැන්නවුන්ගේ කාර්‍යභාර්‍ය එම අණවිධාන ප්‍රශ්න කිරිමකින් තොරව ක්‍රියාවට නැංවීමයි. එලෙසින් ඉටු කරන්නා වූ ත්‍රාඩ ක්‍රියාවේ පරිමාණයට අනූව තුටු පඬුරු ලැබිමද නොපමාව සිදූවු කර්තව්‍යයකි. ඒ සඳහාම අවශ්‍යය මස්කටු බොහෝමයක් පක්ෂ විපක්ෂ දෙපිරිසම අතර එකල පැවතිනි. 


බැද්දගානේ සන්ජීවගේ ගිණුමට ඍජුවම බැර වූ අපරාධ කිහිපයක් මා පහතින් උපුටා දක්වමි. මෙයින් සමහරක්ට අදවන තුරු අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන නොමැත.


1. සිනමා නිළි අනෝජා වීරසිංහගේ ගෙය ගිනිබත් කිරිම , දේපළ හානි කිරිම සහ ජිවිත තර්ජන ඉල්ල කිරිම. ( මෙය එකල රජයේ උසස්ම තනතුර දැරූ තැනැත්තියකගේ උවමනාවට සිදූවූවක් බව පැවසේ)


2. මත්තේගොඩ රූකාන්ත- චන්ද්‍රලේකා නිවසට බලෙන් ඇතුළු වීම , යුවළට පහරදීම, හිසකේ කපා, හිංසා කොට යුවළට අයත් වූ ජීප් රථයක් රැගෙන පලා යෑම. ( මෙම සිද්ධියට පසුකලක කොළඹ මහාධිකරණයෙන් චූදිතයන් හට දඬුවම් නියම කලද ඒ වනවිටත් බැද්දගානේ සන්ජීව මියගොස් දශකයක් ඉක්වමා තිබිනි.) මෙම ප්‍රහාරයට හේතු කාරණා වී තිබුනේ මෙම ගායක යුවළ වෙනත් දේශපාලන පක්ෂ වේදිකාවක ගීත ගායනා කිරිමයි. 


3.තෙවැන්න 'සටන' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රෝහණ කුමාර ඝාතනය කිරීම. 1999 වසරේ සැප්තැම්බර් මස 07 දින ඔහුව ඝාතනය වන්නේ සටන කාර්‍යාලයේ සිට නිවසට කුලී රථයකින් පැමිණෙමින් සිටින මොහොතකය. මෙම ඝාතනයට පෙරාතුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Terrarium prevention act) යටතේ රඳවා ප්‍රශ්න කර තිබුනි. එයට ආසන්නතම හේතුව වී තිබුනේ 1996 මුලතිව් සටනේ පරාජය පිළිබඳව ඔහූ සටහනක් තබා තිබිමයි. මේ නිසා ඔහුව රජයට තර්ජනයක් වී තිබූ පුද්ගලයෙකි. 

මාධ්‍යවේදී රෝහණ කුමාර



4. අවසාන චෝදනාව වන්නේ කොළඹ මල් පාරේ ජිවත් වූ කුමර් පොන්නම්බලම් මහතා වැල්ල්වත්තේ රාමක්‍රිෂ්ණා ටෙරසයේදි ඝාතනය වීමයි. එකල සන්ජීව වටා තිබූ බලය කොතෙක්ද යත් අද වනතුරු කෝටිපති ව්‍යාපාරික කුමාර් පොන්නම්බලම් ඝාතනය පිළිබඳව අධිකරණයට කිසිවකු ඉදිරිපත් කර නොමැත. 

කුමාර් පොන්නම්බලම් ඝාතනය 


මෙලෙසින් දශකයකට ආසන්න කලක් දිවිගෙවුවද බැද්දගානේ සන්ජීවගේ දිවියද තිබුනේ ඉතාම අන්ත්‍රාදායා අඩියකය . එයට බලපෑ ප්‍රධානතම හේතුව වූවේ ආණ්ඩුව විසින් මෙහෙයවූ බොහෝමයක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හී ජීවමාන සාක්ෂිය ඔහූ වීමයි. කොතරම් හොඳ දඩ බල්ලකු වුවද අවස්ථාව ලද කල නොහපා නොසිටින බව දැන සිටි දේශපාලනික අධිකාරය සන්ජීවටද තොන්ඩුව තද කිරීමට තීරණය කර තිබිනි. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ කොළඹ ගෝතමී පාරෙන් පාතාලයේ අත්පොත තැබූ  උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා නොහොත් ධම්මික අමරසිංහයි. 2001 මැද මසක ඔහුට මෙම කොන්ත්‍රාත්තුව මැද කොළඹ දේශපාලකයකුගෙන් ලැබුනු අතර එය නොවැම්බර් දෙවැනි දින කිසිදු අඩුපාඩූවකින් තොරව පාගොඩදි ක්‍රියාත්මක විය.

නමුත් මෙහි සඳහන් වන්නාවූ තවත් කරුණක් වන්නේ බැද්දගානේ සන්ජීව විසින් ධම්මික අමරසිංහ ඝාතනය කරනු ඇතැයි තිබූ සැකය මත ධම්මික විසින් වෙඩික්කරුවකු යැවූ බවයි. කෙසේ හෝ පෙර කී කුමාර් පොන්නම්බලම් ඝාතනයෙන් සය මසක් ඉක්මවූ දින එරාන් ධනුෂ්ක නොහොත් බැද්දගානේ සන්ජීව මරුමුවට පත් විය.

බැද්දගානේ සන්ජීවගේ අවසන් කල ඡායාරූපයක් 


අතීත කතා අනූව ඉතා උගත් කාන්තාවක් වූ සන්ජීවගේ මව ඔහුගේ මළගමට පවා සහභාගි නොවූ බව පැවසේ.  පාතාලයේ ආරම්භ කෙතෙරම් ධන,බල සහ සැප සපුරාලීයද ඔවුන් සියල්ලෝම වෙඩී කා මහමඟ මියයන්නෙ අවාසනාවන්ත අයුරිනි.


අප කිසිදිනක හෝ මියයා යුතුමය , නමුත් ඔබගේ මරණයේ පශ්චාත් සමාජ විවරණය සිදුකරන කළ ඔබ ගුණවතකු නොවේ නම් මෙලෙසින් ඔබේ මරණයෙන් දශක දෙකක් ඉක්මවූ පසුවද ඔබව ගරහමින් මත පලවනු ඇත.


මිළඟ පරිච්ඡේදය "ගෝතමී පාරේ අමරසිංහ පාතාලය".

















Jane Goodall සමුගනි.

   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.ව...