අන්තර්ජාලය අද තරම් සුලබ නොවිච්ච අනූව දශකයේ මැද ඉදන් 2008-2009 වෙනකන් ළමා කාලය ගත කල බොහෝ දෙනාගේ විනෝදාස්වාදයේ වැඩි ඉඩක් අරගෙන තිබුනේ රූපවාහිනි කාටූන් කලාව.
ලංකාවේ අපිටම කාටූන් නිර්මාණයක් කරන්න තරම් ආර්ථික හයියක්වත් තාක්ෂණික හැකියාවක්වත් නැති නිසා අසූව දශකයේ ඉදන් ටයි මහත්තයා වෙනත් රටක නිමැවූනූ කාටූන් නිර්මාණ සිංහලෙන් හඬ කවමින් විකාශනය කිරිම ආරම්භ කළා. ටයි මහත්මයාගෙ ඇවෑමෙන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූනූ අතුල රන්සිරිලාල් ඒ කාර්‍ය රූපවාහිනියෙන් විශ්‍රාම යනතෙක්ම සිදූ කරගෙන ගියා.
අද වෙනකොට අවුරුදු විසි හතක් පහු කරගෙන යන මගේ ජිවිතේ මම ආපස්සට හැරුනම , උදේ අම්මා හදලා දෙන කිරි තේක අතට අරගෙන ටීවී එකට අඩි හතරක් මෙහා බිම ඉදගෙන , ඔලූව අංශක අසූපහක් විතර උඩට හරවලා ඥාන කතා මල්ලී බැලූව විදිය මැරෙනකන්ම අමතක කරන්න බැරි වෙයි. ඒකට හේතුව , එහෙම ඇහුන තේමා ගීතය , සංගීත ඛණ්ඩය එක්ක ගැටගැහුනූ මහා විශාල අතීතයක් තියෙන නිසා.
අපි කල්පනා කරොත් ලංකාවේ කාටූන් ඇතුළේ මුද්‍රාවක් වගේ සටහන් උනූ දේ තමා කාටූන් තේමා ගීතය (Theam song). මේ සටහනෙන් ඒ විදියට අපට ඇහූනූ කාටූන් නිර්මාණ කිහිපයක තේමා ගීත ගැන මගේ අදහස ඉදිරිපත් හිතුනා. මොකද සමහර තේමා ගීත ළමයි එක්ක දෙමාපියන්ටත් අහන්න පුලුවන් තාලේ දේශපාලනිකයි.
මගේ හැම කාලෙකම ප්‍රියතමයා තමා ඥාන කතා මල්ලී. 1973 ඉදන් 2013 වෙනකන් ජපානේ පින්තූර පොත්වලින් ආපූ AnpanMan රූපවාහිනිය හරහා අපේ ආලින්දයට එනකොට ඥාන කතා මල්ලී උනා. ජපානයේ ප්‍රසිද්ධ Anpan කියන බනිස් වර්ගය වෙනුවට අතුල රන්සිරිලල් ලංකවෙදි ආදේශ කරගත්ත නම ඥානකතා. දැන් Anpanman ට නොතිබුනු අපූරු ලක්ෂණයක් අපේ ලෝකල් ඥානකතා මල්ලීට තියනවා. ඒ තමා ඥානය ( wisdom) . අතුල රන්සිරිලාල්ගේ වචන වලට ජයන්ත රත්නායම විරිදුවකට සමාන තනුවක් යොදලා මෙන්න මෙහෙම කියන්නේ ඒ නිසයි.
![]() |
Anpanman නොහොත් ඥානකතා මල්ලී |
ඥානේ නොමැති අයට හදපූ
හුස්ම පිඹලා පණ පොවාපූ
අනුන්ගේ ගින්දර නිවාපූ
ඥාන කතා මල්ලීයා...
ඥානේ වඩන කතා කියන
ඥාන කතා මල්ලීයා..
දැන් අපේ ලෝකල් ඥානකතා මල්ලී එන්නේ නිකන් නෙවෙයි "අනුන්ගේ ගින්දර නිවන්න " . අපි දෙවැනි පෙළට යමූ.
විෂබීජලා කෙළෙස්වලට
මෙහි ඉඩ නෑලූ...
ඥාන මල්ලී පාන් මාමා උන් පන්නාලු
අලූත් අලූත් හොඳ යාලූවෝ
තව ළංවේවිලූ
හොඳ හිත හා උත්සහයෙන් ජයම ලැබේලු
බලන්න මේ වචන , ඇත්තටම කාටූනයකය එහා ගිය අර්ථයක් මේ ගීතයෙක් පණිවිඩයක් විදියට සපයන ආකාරය. ඊළඟ කොටස තමා මගේ ප්‍රියතම පදය
වැඩියෙන් උඩ පැන්නෝතින්
බිමමලු යාලූ
බලය අතට ගෙන නැටූවොත්
පද පැටලේලූ
ඇද පෙන්නලා ඇදේ ගියොත්
හැම රැවටේලූ
යහපත හොඳ යුක්තිය රැක්කොත් වැජඹේලූ..
හරියට මාලිමා ආන්ඩුවට දුන්න උපදෙසක් වගේමයි. වැඩිය උඩ නම් පනින්න එපා , හේතුව බිම වැටෙන්න පුලුවන්. බලය තියෙන්නේ පාවිච්චියට මිසක් අතේ අරන් නැටූම් නටන්න නෙවෙයී. මොකද ඒකෙන් නටන නැටූමේ පදේ පැටලෙන්න පූලුවන්..ඔන්න බිමල් රත්නායකට උපදෙසක්. ඇද පෙන්නලා ඇදේ ගියොත් හැම රැවටේලූ !! එකක් පෙන්නලා එකක් කරන්න එපා . අපි විතරක් නෙවෙයි උඹලා අපි හැමෝම රැවටෙන්නේ අන්තිමට.
මං දන්නේ නෑ වෙන ලෝකේ තමන්මඉ තමන්හේ භාසාවෙන් කාටූන් හදන රටකවත් තේමා ගීත මේ ලෙවල් එකට අරගෙන ගිහින් තියනවා කියන්න.
ඊළඟ උදාහරණය කෙලින්ම Old school . දොස්තර හොඳ හිත. Dr. Doolitlle කාටූනය 1986 අවුරුද්දේ ටයි මහත්තයා සිංහලට පරිවර්තනය කළෙ "දොස්තර හොඳ හිත " විදියට. ප්‍රේමකීර්ති ද අල්විස් ගේ වචන වලට සෝමපාල රත්නායක තනුවක් යොදලා ගැමුණු විජේසූරියගේ හඬින් ගැයෙන තේමා ගීතයේ එක තැනෙක මෙහෙම කියවෙනවා
අයූක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්‍රියෙන් ජය ලැබේ...
කාටූනයක් ඇතුළෙන් ඒ වගේ දහමක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන්ද හිතෙන තරමට ටයි මහත්තයා දොස්තර හොඳ හිත ව්‍යාපෘතිය කරලා තිබුනා. ඒකට හොඳම හේතුව වෙන්න ඇත්තේ ඔහුට තිබුන ද්විභාෂා ප්‍රවීණත්වය. දැන් හඬ කැවෙන කාටූන් විදියට සම්පූර්ණ පරිවර්තනයක් නොකර ඒ වෙනුවට ලංකාවේ සංස්කෘතියට ගැළපෙන මුහුණුවරක් එක්සත් ජනපදයේ නිපැයූනූ කාටූනයකට දුන්න එකම ආතල් වැඩක්.
දොස්තර හොඳ හිත කාටූනයේ මගේ හිතේ පැළපැදියම් උනූ චරිතය තමා "ළා තණකොළ පෙත්තාස් " බෑන්ඩ් එක. දොස්තරගේ බෙහෙත් පෙට්ටිය වාසභූමිය කරගත්ත ඔවුන් විටෙන් විට ඇවිත් හොඳ බීට් එකකට සින්දුවක් ප්ලේ කරනවා. මේත් ඒ වගේ කිව්ව බැහැයි කියලා බැහැයි කියලා බෑ සින්දුව.
මල් පිපුනේ සුවඳ දෙන්න
බැහැයි කියලා බෑ
තටූ ලැබුනේ පියාඹන්න
බැහැයි කියලා බෑ
අත් ලැබූනේ වැඩ කරන්න
බැහැයි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ..
ලංකාවේ අකාර්‍යක්ෂන රාජ්‍ය සේවයේ කාර්‍යාලවල ආගම සිහිකිරිමෙන් පස්සේ වාදනය කරන්න ගැළපෙන ජාතියේ ගීතයක් මේක.හේතුව රජයේ කාර්‍යාලවල වැඩ සිද්ධවෙන විදියට අත් ලැබුනේ වැඩ කරන්න මිසක් වෙන දේකට නෙවෙයි කියන එක මෙහෙම ගීතයකින් හරි පැහැදිලි කරන්න වෙන තැනකට දැන් ඇවිත් තියෙන්නේ.
ඒ ගීතයේ අවසන් කොටසේ ළා තණකොළ පෙත්තාස් බෑන්ඩ් එක මෙන්න මෙහෙම කියනවා.
අප හැදුනේ රට රකින්න
බැහැයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න
බැහැයි කියලා බෑ
යුතුකම් ඇත ඉටු කරන්න
බැහැයි කියලා බෑ
නගේ මලේ කිසිම දෙයක්
බැහැයි කියලා බෑ...
ප්‍රේමකීර්ති මේ වචන ලියලා අවුරුදු 40 පිරෙන්නත් එනවා. දොස්තර හොඳ හිත රූපවාහිනියේ දහස් වතාවකට වඩා විකාශනය වෙලා තියනවා. ඒත් තාමත් අපිට
"මේ ලෝකේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ" කියලා නැවත නැවත කියන්න වෙලා තියනවා.
.
මීට අමතරව ඉඟුරු පාන් මල්ලී , ඉරපායනකොට දොයිය බබාලා , සිඟිතිගේ කතා , කාබාසිනියාතුමා , ඇපල් ආදිපාද තුමා , කූබිච්චි සහ කෝලිකුට්ටූ සහෝදරයෝ කියන කාටූන් නිර්මාණවල තේමා ගීත තුළින් පවා විනෝදාස්වාදයට එහා ගිය නවීනත්වයක් ලබා දුන්නා.
එහෙම යුගයක ළමා කාලේ ගත කරලා දැන් ආපස්සට හැරිලා ඒ දේවල් දිහා විශ්ලේෂණාත්මකව බලන්න ලැබීමත් මට අනූව නම් වාසනාවක්.
මනුජය තෙන්නකෝ
2025-06-14
Comments
Post a Comment