" මේ රැවුල්කාරයා විජ්ජාකරුවකු " ලෙසිනි. ඔහුගේ ප්‍රතිභාව එතරම් පුලුල් විය.පසුකලක රූපවාහිනී දෙබස් හඬ කැවීම් අධ්‍යක්ෂක භූමිකාවට පමණක් පසුකලක ලඝු කළද මෙරට කතාබහට ලක්වූ අතිවිශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක සංස්කාරකවරයා වන්නේ ඔහුයි. පසුකලක කාටුන් හඬ මුසුවෙහිද එතුමන් සමර්ථයක් දැක්වූවේ ඔහු සතු සියුම් සංස්කරණ හැකියාව නිසාවෙනි.
1960 වසරෙ තිරගත වූ "සන්දේශය " සිනමා නිර්මාණයෙන් සිය දෙවන සංස්කාරක ගමන ඇරඹු තොටවත්තයන් පිළිවෙළින් 1962 වසරේ " දස්කොන්" එම වසරේදිම මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව " සහ ඉන් වසර දෙකක ඇවෑමෙන් එනම් 1964 වසරේ පෙබරවාරි මස 24 දින තිරගත වූ " ගැටවරයෝ " සමඟ සිය සංස්කාරක වෘත්තීය වඩාත් පුළුල් කරන්නට විය.
පිටපත් රචනයේ නිසඟ හැකියාව සහ ක්ෂේත්‍රයේ තමන් ලැබූ පළපුරුද්ද උපයෝගීකොට 1965 වසරේදි ටයිටස් තොටවත්තයන් සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය පරික්ෂාවට නතු කරන්නේ "චණ්ඩියා " සිනමා නිර්මාණය තුළිනි. එහි ලද සාර්ථකත්වය හේතුකොට ඉන් ඉදිරි දශකය පුරාවට තොටවත්ත මහතා චිත්‍රපට නමයක් අධ්‍යක්ෂණය කළ අතර අවාසනාවකට මෙන් 1979 වසරේ තිරගතවූ "හඳයා " සිනමා නිර්මාණයෙන් පසුව නැවත එතුමන් සිනමා පටයක් අධ්‍යක්ෂණයට යොමූවූවේ නැත. එතුමන්ගේ සිනමා අධ්‍යක්ෂ ධාරාවේ නොමැකෙන සලකුණ ලෙස 1971 වසරේ දෙසැම්බර් 17 වන දින සිට තිරගතවීම ඇරඹුනු " හාරලක්ෂය" චිත්‍රපටය හැඳින්විය හැක. නිදහස් ශ්‍රි ලාංකාවේ කොළඹ තුරඟ තරග පිටිය අසල සිදුවූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය පාදක කොට නිර්මාණය වූ එම සිනමා නිර්මාණය ත්‍රාසය මෙන්ම භීතීය කැටිකෙරු දර්ශන රාශියකින් සමන්විත සිනමා පටයකි.එය හැඳින්වෙන්නේ මෙරට ප්‍රථම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසයි. "කව්රුද ??? කව්රුද ?? දැන් ලොක්කෝ... අපිමයි.. අපිමයි.. දැන් ලොක්කෝ ..."
ඉහත පදපෙළ 1979 වසරේදි ටයිටස් තොටවත්තයන් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ "හඳයා " සිනමා නිර්මාණයෙන් උපුටා ගත්තකි. තොටවත්ත මහතාගේ පද රචනයෙන් සහ සෝමපාල රත්නායක මහතාගේ සංගීතයෙන් හැඩවූ ඉහත ගීතය , පුරා දශක ගණනාවක් ලාංකීය ළමා පරපුරේ තේමා ගීතයවන තරමටම ජනප්‍රිය විය.
බොහෝ සිනමා විචාරක මතයට අනුව හඳයා යනු මෙරට ළමා චිත්‍රපට කලාවේ හැරවුම් ලක්ෂයයි. අතිශය සියුම් පරිකල්පන හැකියාවකින් හෙබි ටයිටස් තොටවත්තයන් විසින් හඳයා චිත්‍රපටයට පාදක වූ සරල සිද්ධි දාමය ළමා මනසට දැනෙන හැඟෙන අයුරින් නිර්මාණය කිරිම වෙනුවෙන් 1980 වසරේ සරසවි සම්මාන රාශියක් ඔහු හා ඔහුගේ කණ්ඩායමට හිමිවුනි.
අන්තර්ජාතික මට්ටමෙන්ද "හඳයා " සඳහා ගෞරවාන්විත පිළිගැනිමක් ලැබුනු අතර 1980 වසරේ ඉතාලියේ Giffoni චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ටයිටස් තොටවත්තයන්ගේ හඳයා සතු විය. එවැනි ඉතාලි සිනමා උළෙලක් ජයග්‍රහණය කළ මුල්ම ලාංකීය සිනමා නිර්මාණයවන්නේ ද " හඳයා " යි.
අසූව දශකයේ මුල් යුගයේ රූපවාහිනී සංස්ථාවට ටයිටස් තොටවත්ත මහතා පැමිණෙන විටත් එහි හඬ කැවිම් මැදිරියක් නොතිබිනි. රූපවාහිනී සංස්ථාවට මුල්ම හඬ කැවිම් මැදිරිය ලබාදීමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළේද එතුමන් විසිනි. එතුමා එම මැදිරියට හැඳින්වූවේ "හඬදෙකැවි මැදිරිය " නමිනි. එතැන් සිට තොටවත්තයන් විශ්‍රාම යනතෙක්ම නිර්මාණය කළ සියලූම නිර්මාණයන්හි තිඹිරිගෙය මෙම හඬ දෙකැවි මැදිරියයි.
විදේශිය රටකින් ගෙන්වූ කාටුන් කතාමාලාවක් හුදෙක්ම පරිවර්තනය කිරිමකින් තොරව අනුවර්තනය කිරිමකට නතුකොට මෙරට ළමා ප්‍රේක්ෂකාගාරයට මුදාහැරිමට ටයිටස් තොටවත්ත මහතා නිරන්තරයෙන්ම උත්සාහ කළේය. එමනිසාම ඒ සියලූම කතාමාලා දශක ගණනාවක් ගෙවුනද මෙරට සංස්කෘතිය හා බද්ධවන තරමටම සමීප විය. එතුමන්ගේ පරිකල්පනය අනුව Bugs Bunny කාටුනය හා හා හරි හාවා වූ අතර 1971 වසරෙ එක්සත් ජනපදයෙ විකාශන වූ Dr Dolittle කතාමාලාව දොස්තර හොඳ හිත නමින් විකාශනය කෙරිනි. හැටේ දශකයේ ඇමෙරිකාවේ විකාශනය වූ Top Cat කාටූන් කතාමාලාව මෙරටට පැමිණෙන විට පිස්සූ පූසා නමින් වෙනස්ම හැඩයක් ගැන්විමට තරම් එතුමන් සූක්ෂම විය. ඉන්දීය සරල ගැමි සංස්කෘතිය පාදකකොට R.K නාරායන් විසින් 1943 වසරේ රචිත මල්ගුඩි දවස කෙටිකතා ග්‍රන්ථය පාදකකොට නිර්මාණය වු Mulgudi days ටෙලි කතාමාලාවට හඬ මුසුකළ තොටවත්තයන් එය "මල්ගුඩි දවස " නමින් විකාශනය කරන්නට විය. එය එකල මෙරට ප්‍රේක්ෂකාගාරය ඉතා ආදරයෙන් වැළඳගත්තේ ය.
එතුමන්ගේ විචිත්‍රවත් හඬකැවිම් දිවියේ වඩාත්ම කැපීපෙනෙනම කඩයිම " ඔෂින් " කතාමාලාවයි. එම ජපන් කතාමාලාව මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරයෙ කල නිර්මාණයකි. 1983 වසරේ සිට 1984 වසර දක්වා වූ කාල පරාසය තුළ ජපානයේ කොටස් 297 පුරා විකාශනය වූ එය , පසුව රටවල් 68 ක් විසින් පරිවර්තනයකොට විකාශනය කෙරිනි.
දිරිමත් ජපන් කාන්තාවකගේ දිවියේ හරස්කඩක් විදහා දැක්වූ එම නිර්මාණය මෙතරම් ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනිමට හේතුව වූවේ ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලී පරිවර්තිත පිටපත සහ එහි හඬමුසු කළ හඬකැවිම් ශිල්පීන්ගේ දක්ෂතාවයයි. මෙයට අමතරව රොබින්සන් කෲසො , මනුතාපය , යවෙස් ලූ මිනිසා ,ගලිවරයන්ගේ සුවිසැරිය , සුරංගනා කතා කරළිය , පිනෝකියෝ , සිටුවර මොන්ත ක්‍රිස්තෝ සහ වලස් මාමා එතුමන්ගේ අධ්‍යක්ෂණය යටතේ හඬ කැවූ තවත් නිර්මාණ කිහිපයකි. හඬ කැවිමට අමතරව උපසිරස ගැන්විම මඟින්ද ටයි මහතා මෙරටට නවමු අත්දැකීමක් ලබාදුනි.1984-1986 කාල පරාසය තුළ එංගලන්තයේ විකාශය වූ ෂර්වුඩයේ රොබින් හූඩ් ටෙලි කතාව උපසිරස ගන්වා විකාශනය කිරිමට එතුමන් මුල්විය.
විදේශීය කාටූන් කතාමාලාවක් සිංහලට හඬකැවිමේදි මෙරටට ගැළපෙන අන්දමින් නිර්මාණය කළ නිසාවෙන්ම එතුමා මෙරට ළමා පරපුර අතර "ටයි මාමා " නමින් ආදර ගෞරවයට පාත්‍ර විය. එතුමන්ට ඒ කාර්‍ය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා ලේඛකයාගේ පෑන් තුඩේ සහය සහ සෝමපාල රත්නායකයන්ගේ සංගීත භාවිතයද මනා ලෙස උපකාරී විය.
ස්භාවයෙන්ම ටයි මහතා තරමක් දැඩි පුද්ගලයකු විය. එකල රූපවාහිනී සංස්ථාවේ ප්‍රකටම කියමන වූවේ " ටයි මහත්තයා එක්ක නම් වැඩ කරන්න බෑ .." යන්නයි.නමුත් එතුමා විසින් ගුරුහරුකම් ලබාදී පෝෂණය කළ අතුල රන්සිරිලාල් වැනි නිර්මාණවේදින් තොටවත්තයන්ගේ යුගයෙන් පසුව මෙරට හඬ කැවීම් ක්ෂේත්‍රයේ සුවිශාල වෙනසකට මඟ කීමටද සමත්විය.
ටයිටස් තොටවත්තයන් වෙනුවෙන් නම්කළ හඬකැවිම් මැදිරිය ටයිටස් තොටවත්ත මහතාට ගෞරව පිණිස රූපවාහිනී සංස්ථාව විසින් නම් කළ ඔවුන්ගේ සංස්කරණ මැදිරිය
2011 වසරේ ඔක්තෝබර් මස 15 දින කොළඹ පෞද්ගලික රෝහලකදි එතුමන් තම වසර 84 ක දිවිගමන හමාර කළ අතර පුරා දශක දෙකක් පුරාවට මෙරට ළමා පරපුරේ ආදරණීය කතාමවන්නා වූ ටයිටස් තොටවත්තයන්ට ගෞරව කිරිමක් වශයෙන් රූපවාහිනී සංස්ථාවේ හඬකැවිම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬ දෙකැවි මැදිරිය
නමින් නම් කළේ ය. අදටත් එම මැදිරිය හැඳින්වෙන්නේ ඒ නමිනි. මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් මෙන්ම ළමා මනසේ රසවින්දනය වෙනුවෙන් නිහඬ සේවයක් කළ ආදරණීය ටයිටස් තොටවත්තයන් ගේ දොස්තර හොඳ හිත කතාමාලාවේ එක් ගීත ඛණ්ඩයකින් ඉහත ලිපිය හමාර කරන්නෙමි.
"අපි හැදුනේ රට රකින්න බැහැයි කියලා බෑ.. රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියලා බෑ.. යුතුකම් ඇත ඉටුකරන්න බැහැයි කියලා බෑ.. නගේ.. මලේ.. කිසිම දෙයක් බැහැයි කියලා බෑ.."
මෙම කියමන දශක තුනක් ඉක්මවන අද දිනටත් වලංගු නොවේ ද ? -- - --
Comments
Post a Comment