ධර්මරත්නගේ "වාලම්පුරිය" දෙවැනි වතාවටත් මම නුවර Scope එකෙදි රසවින්දා .
මං හිතන්නේ කුස පබාගෙන් පස්සේ මම එකම චිත්‍රපටියක් දෙවතාවක් බලපු පළමු වතාව මේක. කුස පබාත් මම දෙවතාවක් බැලුවේ මගේ කිසිම උවමනාවට නෙවෙයි. මහාචාර්‍ය ආරියරත්නට කුස පබා වෙනුවෙන් පාසල් දර්ශන අනුමත වෙලා තිබුන නිසා පාසලෙන් අපිව පොළිමක දක්කගෙන ගිහින් එක වතාවක් චිත්‍රපටිය පෙන්නූවා. අනෙක් වතාවේ මගේ පියා මාවයි මගේ සහෝදරියවයි එක්කරගෙන ගිහින් ආපහූ ඒ කුසපබාම නැවත පෙන්නූවා.
එහෙම බැලුවොත් නම් වාලම්පුරිය දෙවනි වතාවට බැලුවේ මගේ පරම උවමනාවට.මං අප්‍රේල් 26 ලක්මාල්ගේ බයිස්කෝප් එක බලලා ඇවිත් දිග යාං හෑල්ලක් ලීවා. ලියලා මාස එක හමාරක් ඉදලා මට විසඳගන්න තියෙන තැන් ටික නැවත අල්ලගන්න අරමුණෙන් ආපහූ Scope එකේ පිටිපස්සේ හොඳ සැපපහසූ ආසනයක් ඔන්ලයින් බූක් කරා.
මගේ පෞද්ගලික අදහස නම් අපි චිත්‍රපටයක් මුලින්ම බලනව නම් අපිට අහුවෙන්නේ බොහෝම සීමීත ස්තරයක්. උදාහරණයක් විදියට ප්‍රධාන කතාව , කතාවේ ඇතිවෙන ගැටූම් , චරිතවල බාහිර ස්වරූපය , චරිතවල බාහිර හැසිරිම වගේ දේවල්.
මේක දවසකට චිත්‍රපටි තුනක් විතර බලන අයියා කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්. මං කියන්නෙ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන.
ඒත් ප්‍රධාන කතාවට ඇතුළෙන් උල්පතකට උනන දිය සීරාවක් වගේ නිසලව ගලන අනෙක් කතා පුවත . :- වාලම්පූරියේ සංකේතාත්මක භාවිතය , සමාජේ අතිශය පීඩාවට පත් උනු නූගත් , කොන් වුනු සමාජයක පොදූ කතාන්දරය .
චරිතවල අභ්‍යන්තරික හැසිරිම :-
චරිතවල ක්‍රියාවලිය මෙහෙයවන සිතුවිලි දාමය .මූ මේක කරන්නේ මොන හේතුවකටද කියන මනෝභාවය, ඒකට බලපාන අතීත සිදුවීම් පෙළ .
අධ්‍යක්ෂවරයා සහ නලුවන් විසින් ප්‍රේක්ෂකාගාරයට නොපෙනෙන්න හංගපූ ඉඟි (Clues) :-
උදාහරණයක් විදියට චිත්‍රපටියේ විශාලතම ප්ලොට් ට්විස්ට් එක වෙන තැනදි දිල්හානි අශෝකමාලා තමන්ගේ දුරකතනය එක්ක කරන ගනුදෙනුව. ඒ අංග චලනය , සාත්වික අභිනය . ඒ වගේම අශාන් ඩයස් දිල්හානිව දකින මුල්ම වතාවේ වාලම්පුරිය අතට දෙන මොහොතේ දෙන්නගේ හැසිරීම .
සංගීතය : අවංකවම මට පළවෙනි වතාවේ බයිස්කෝප් එක බලාගෙන යනකොට කතාවට ආසක්ත උනා මිසක් චින්තක ජයකොඩිගේ මාස්ටර් පීස් එක රසවිඳින්න බැරි උනා. මං සංගීතය ගැන මළපොතේ අකුරක් නොදැන උනත් දෙවනි වතාවේ සිනමාහලේ ඉදගත්තෙම මේ වතාවේ සංගීතයේ ආතල් එක ගන්නවා කියලා හිතාගෙනමයි. ඒ නිසා සංගීතය.
ශබ්ද පරිපාලනය : මං හිතන්නේ චිත්‍රපටියක ශබ්ද පරිපාලනය ගැන කතා නොකරනවා කියන්නේම ඒ වැඩේ ලස්සනට වෙලා කියන එක. ඒ කියන්නේ ඒ තරම් වැඩේ ස්භාවිකයි කියන එක. අතුල ජයසිංහ වගේ ප්‍රාමාණිකයෙක් නොගත්තා නම් සිඩ්නිට බිරිඳ ආඩපාලි කියනකොට "පරණ බේසමකට දෙනවා අලුත් බේසමක් " කියලා චිත්‍රපටිය මැදින් අපිට නොඇහෙන්නත්.
කුරුල්ලෝ කෑගහන , පිරිත් සද්ද නොඇහෙන්න ඉඩ තිබ්බා. කොටින්ම මේ වැඩේ ඩබ් කරා කියන එකවත් ලක්මාල් කියනකන් මට අහු උනේ නෑ. ( Direct sounds වලින් තොරව කරපු වැඩක් ).ඉතින් ශබ්ද පරිපාලනයේ විස්මය.
මේ හැම කාරණයක්ම මට අහු උනේ මේ දෙවනි ලැප් එකේදි. ඒ නිසා කුස පබා දෙවැනි වතාවේ බැලුවට වඩා ආතල් එකකින් මම සිනමාහලෙන් එළියට ආවේ.
මේ හැමදේකටම වඩා ලක්මාල්ට සතුටු වෙන්න පුලුවන් දෙයක් තියනවා. චිත්‍රපටිය මම දෙවනි වතාවේ බැලූවේ මගේ අම්මත් එක්ක. මගේ අම්මා රීදී ටීවී එකේ අහම්බෙන් යන චිත්‍රපටියක් බලනවා ඇරෙන්න චිත්‍රපටි රසිකාවියක් නෙවෙයි. එයාට වාලම්පූරි බලන්න යමුද අහනකොටමත් මට කීව දේ තමා
"ඔයා ඔයාට හරියන ෆිල්ම් එකක් බලන්නද දන් නෑ මාව එක්කන් යන්නේ."
ඒත් මුලු පැය දෙක පුරාවටම එයා මගේ වම් පැත්තේ ආසනේ ඉදගෙන මම නොහිතපු ලෙවල් එකට චිත්‍රපටිය රසවින්දා. හැම ප්ලොට් ට්විස්ට් එකකම , හැම ගැටුමකම , Climax එකේදි පවා ඇගේ ප්‍රතිචාරය මම දැක්කා. ඒ ලෙවල් එකේ , මං කියන්නේ නිතරම චිත්‍රපටි නොබලන ප්‍රේක්ෂකාගාරයකටත් මේ වැඩේ ළඟයි කියන්නේ , ලක්මාල් ඒ පැත්තෙනුත් උඩින්ම පාස්.
මනුජය තෙන්නකෝන්
2024-06-13
Well written ❤️
ReplyDeleteThank you
Delete