මේ දවස්වල උදේට නුවර අව්වට රත්වෙනවා, හවසට වැස්සට හේදෙනවා . ඒ අස්සේ ගල්ගමුවේ ඉදන් ආවට කොළඹ හතේ කොල්ලෙක්ගේ පිං පාට තියෙන ලකාගේ මංගල වැඩේ බලන්න මම තකහනියක් ආවා.
අපේ අයියලාගේ උනන්දුව හින්දා වැඩේ කලින්ම ස්පොයිල් වෙයි කියන බයට ඊයේ එළියට දාපූ වාලම්පූරිය අදම බලලා ඉවර කරා. කාස්ට් එක ගැන , ලකාගේ අධ්‍යක්ෂණය ගැන ගුණ අගුණ අදත් හෙටත් තව කාලෙකුත් කට්ටිය ලියයි. යූටීයූබ් එකේ ඇති පදමට පෝඩ්කාස්ට් කෙරෙයි ,පත්තරකාරයෝ ලකාව හොයාගෙන ගෙදරටත් එයි. ඒහින්දා ඒ මොකුත් නොලියා ඉන්න මම හිතුවා. ඇත්තටම මම මොකුත් නොලියා ඉන්න හිතුවා. ඒත් බං අයියේ මේ ස්ක්‍රිප්ට් එක ගැන නොලීවොත් උඩ ඉන්න දෙයියන්නාස්සේලත් කෝප වෙන්න පුලුවන්.
ලකා කියන්නේ ලියන මිනිහෙක්. ලකා අපි කැමැති දේවල් වගේම අපි අහන්න අකමැති දේවලුත් ලියන මිනිහෙක්. දැන් ඉන්න එදා වේලට ස්ක්‍රිප්ට් ලියන තිර පිටපත් රචකයෝ ආත්ම පහක් මැරිලා ඉපදිලත් ලියාගන්න බැරි "කුඹියෝ" වගේ එකක් ලීව මිනිහෙක්. ඒත් "වාලම්පුරිය" ? මං හිතන්නේ ලකාත් ට්‍රයි කරොත් තව ටිකාක් මීට හොඳ එකක් ලියාගන්න පුලුවන් වෙයි.
මේ කතාවේ තියනවා ගමක් , ඒ ගම ඇතුළේ මිනිහෙක් තමන්ගේ ගෑණිගෙන් කතා අහගෙන , ගෑණිගේ මල්ලීගෙන් උපදෙස් අහගෙන , ගමෙන් මූණ බලන්න බැරි තරමේ කුණූ කතා අහගෙන , පත්තරේ මූණ දාගෙන , ගුටි කාගෙන ,චාටර් කාගෙන මොකක්දෝ හොයනවා. ඌ දුව දුව ඒක හොයනවා . ඌ වගේම සාම්පලේ ඒත් වෙන හැඩතල වල මිනිස්සූ හත් දෙනෙකුත් මොනවදෝ හොයනවා.
ඒ හොයන අතරේ කොච්චර කෙළ උනත් , අගුපිළක වැටෙන්න තරම් දිය උනත්.
" මැණික , මේ වැඩේ හරියනවා කියලා ".
තමන්ගේ ගැණිට කියනවා. ඒ මොරාල් එක මෝඩ කමද , කරන්න දෙයක් නැති අනාථ කමද එහෙම නැත්නම් ගමක ඉපදුන කරුමෙද කියලා රීදී තිරයේ ඉස්සරහා තක්කු මුක්කූ වුනු අපෙන් ලකා අහනවා. අපි ලකාට උත්තර නොදී තවත් කතාවට ආසක්ත වෙනවා.
මේ අතරේ මේ මිනිහා වතුරෙන් ගොඩට එනවා.
කිඹුලා වතුරෙන් ගොඩට ආවම නකුටූ බල්ලොත් හපන බව දැන දැනම මේ මිනිහා ගොඩටම ඇදෙනවා
"පිං කඳක් ගෙදර ඉන්නකොට ,ඒකීට තුරුල් වෙලා නිදාගන්නේ නැතුව එක එකාගෙන් මම ගුටි කනවා කියලා "
කියලා ඒ මනුස්සයා කෑගහනවා. ඒත් හැමදේම අතෑරලා ආපහූ වතුරට පලයන් කීවට මනුස්සයා ගොඩම ඉන්නවා. ගුටි කකා , බලූ වෙවී තාමත් ගොඩම ඉන්නවා. ඒ වතුරේ ඉපදුන නිසා උරුම උනූ කාලකණ්නිකමද , වතුරේ හිටියත් ගොඩ හිටියත් තමන්ට තමන් වෙනුවෙන් හඬක් නඟන්න බැරි නිවට කමද කියලා ආපහු ලකා අපෙන් අහනවා. ප්‍රේක්ෂකාගාරය උත්තරයක් නොදී තාමත් කතාවට ඇලීලම ඉන්නවා.
"මහත්තයා අපේ එකෙක් කීවට , අපි මහත්තයලාගේ එකෙක් නෙවෙයි නේද ?
කියලා ගමෙන් ආව මිනිහා කතාව ඇතුළේ නිතරම අහනවා . එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම අහනවා. කඩ අයිති , ගාණට රැවුල කපපූ , අතේ මුද්දක් දාලා ජීප් එකක් එළවන මහත්තයාට ගමේ නාඩගම් නටන , සුද්දන්ට බොරු ඇන්ටික් විකුණන , සැලූන් දොරක් ඇතුළේ කොණ්ඩේ කපන , අතට අහුවෙනවනම් මාරක ළිඳේ බයික් එකක් හරි පදින උං සෙට් වෙන්නේ නෑ නේද කියලා ලකා ආපහු සැරයක් අහනවා.
කන්න නොදන්න , බොන්න නොදන්න , විනෝද වෙන්න නොදන්න ගමකින් ආව කබරයෝ සෙට් එකකට නගරේ මහත්තුරු මස් කට්ටක් කටට දීලා උන්ගේ අල්ලේ නටවනවා නේද කියලා ,ලකා කතාව ඇතුළේ විටෙන් විට අහනවා. ඊළඟට මොකක් වෙයිද ? මොකක් වෙයිද කියලා තක්බීරී උනූ අපි තිරෙන් ඇස් එළියට නොගෙන පැය දෙක හමාරක්ම හෙමින් සීරුවට හුස්ම ගන්නවා.ලකාට උත්තර නොදීම ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවෙන් එළියට එනවා.
ඒ එනකොට ලකාගේ කතාවේ වගේම ගම්මූ සෙට් එකක් සුදු ඇදගෙන වැව රවූමේ මහ වැස්සට හේදෙනවා . ඈත පේන පත්තිරූප්පූව බලාගෙන ඒ උදවිය සාධූකර දෙනවා . වාලම්පුරියක් එක එක ස්වරූපයෙන් පෙන්නූම් කරනවා නේද කියලා ලකා අහන ප්‍රශ්නෙට විතරක් මම ඔව් !! කියනවා.
ගල්ගමුවේ ඉපදීලා ,එයාම කියන විදියට කොටූවේ බෝ ගහ ළඟින් බැහැලා ජිවිතේ පටන් ගත්ත ලක්මාල් ඇරෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන් පුතයෙක් අපිට නෑ. දෙන්න උත්තර නෑ . ඊයේ ඉදන් ඔයායි ඔයාගේ කඩියෝ ටිකයි අවුරුදු හතක් මහන්සිවෙලා හදපූ මේ ප්‍රශ්ණාවලියට එන මාස දෙක ඇතුළේ මිනිස්සූ උත්තර දෙයි. ඒ උත්තර ෆේස්බූක් එකෙයි අරෙහි මෙහෙයි කියවලා ඔයා ආතල් එකක් ගන්න. තව කාලයක් ගන්න අයියේ !! මේ වගේම මාරකයකින් හම්බෙමූ.
මනුජය තෙන්නකෝන්
2025-04-26
Comments
Post a Comment